සැරිසරන්නී – 07

දුටු පළමු නිමේශයේ පටන් රවීන් විවාහකයෙකු බව මම දැන සිටියෙමි. නමුත් එය මසිත් හි ඔහු කෙරෙහි ඇති වුණා වූ කැළඹුම සමනය කරන්නට කිසි සේත් හේතු වූයේ නැත. රවීන් එක් බැල්මකින් හෝ මට අනුබල දුන්නා ත් නොවේ. ලොකු අයියා මට පෙන්වූ ආදරය හා ළෙංගතුකම නිසාවෙන් ඔහු ද පුංචි නංගියෙකු ගැන සිතනා සෙයින් මා ගැන සිතන්නට ඇත. නමුත් මගේ ඇස් වල තත්පරයක් ගානේ ඇති වෙමින් තිබූ දීප්තිය ඔහු දුටුවා ද යන්න තව දුරටත් මා දැන සිටියේ නැත. අනිත් අතට ඔහු සිටියේ බිරිඳ සම්බන්ධ යම් ගැටළුවක ය. රවීන් ගේ බිරිඳ ඔවුන් ගේ තවත් මිතුරෙකු සමග සබඳකමක් ඇති කර ගෙන රහසේ ගොස් ඇති බව ද මම මුලින් ම අම්මා කී කතාවක් අනුව දැන ගතිමි. ඒ ප්‍රශ්න වලට කුමක් සිදු වී ද කියා මා දන්නේ නැත. නමුත් මට දැන ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති ව තිබිණි. ඔහු සිය බිරිඳ යමග යළිත් එක් වන්නට කටයුතු කරාවි ද? පවුල් වල එහෙම ගැටළු ඇති වේ. නමුත් ඒවා විසඳා ගෙන යළිත් ජීවිත ගමන යන්නට පටන් ගනිති. රවීන් ගේ යුග දිවිය බිඳ වැටේවා යි පැතුමක් මගේ තුන් හිතකවත් නොවූ බව දිව්රා කිව හැක. 

මගේ සිත් හි මේ ඇති ව තිබෙන කුණාටුව කුමක්  දැයි මම ම සිතුවෙමි. ඒ ආදරය බව මා වටහා ගත යුතු ය. රවීන් වැනි විවාහකයෙකු කෙරේ ආදරයක් ඇති කර ගැනීම ගැහැනු ළමයෙකුට කෙතරම් ගැලපේ දැයි දැන් ඔබ සිතනු ඇත. විවාහය කියන්නේ ආදරයට කිසිදු බලපෑමක් එල්ල කළ හැකි දෙයක් නොවේ ය කියා මම කියමි.

ආදරය වූ කලී හදවතක උපදිනා දෙයකි. විවාහය කියන්නේ මිනිසුන් විසින් ඇති කර ගන්නා දෙයකි. ආදරය ස්වභාවික ව ඇති වේ. විවාහය මිනිසුන් විසින් ඇති කරනු ලබයි. දැන් මගේ හදවතෙහි ඉපිද තිබෙන හැඟීම ස්වභාවික වූවකි. මම එය බලයෙන් ඇති කර නො ගතිමි. එසේ ම මට එය බලයෙන් නැති කර ගත නො හැකි ය. 

“ඔයා රවීන්ට කැමතියි”

අප කෑම කමින් සිටියදී සුනෙත් කීවේ ය.  බත් කට මගේ පිටි උගුරේ ගියේ ය. සුනෙත් මගේ පිටට තට්ටු කොට වතුර බෝතලයේ පියන ද හැර දුන්නේ ය. මම වතුර උගුරු කිහිපයක් බී ගෙන ගියෙමි. ඇස් වලට කඳුළු බින්දු කිහිපයක් කාන්දු වී, මූණ රතු වී තිබි බව මට දැනිණ.

දෙවියන්ට පින් සිදු වන්නට අවසානයේ ඔහු එය තේරුම් ගෙන තිබේ.

“හ්ම්. මාත් හිතනව”

මම සුනෙත් ගේ මූණ බලා ගෙන කීවෙමි. ඔහු සිනහවක් නගා ගත්තේ ය. එය කොහොම සිනහවක් ද? මට දැනුණේ එය දුක වහන් කර ගත් සිනහවක් වාගේ ය. මා ඔහු ගේ හොඳම යහළුවා ය. අප අප ව දරා ගනිමින් ද බෙදා හදා ගනිමින් ද වසර හතරක් හොඳ ම යහළුවන් ගේ භූමිකා නිරූපණය කළෙමු. දැන් මගේ හදවතට තවත් පිරිමියෙකු පැමිණි එක ගැන ඉසියුම් දුකක් ඔහු ගේ සිත්හි ඇති වන්නට ඇත. ඔහු ට පෙම්වතියක හමු වූ දිනෙක මා ඊර්ෂ්‍යා කරනු ඇතැයි මම සුනෙත් සමගින් කිය කියා හිටියෙමි. ඒ වෙලා වලදී ඔහු කළේත් සිනහ වෙන එක ය.

“මං හිතනව රවීන් වගේ හැන්ඩ්සම් කොල්ලෙක්ට ඔයාගෙ හිත ඇදිච්ච එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි කියල”

“ඒක එයාගෙ රූපෙත් එක්ක ඇති වෙච්ච දෙයක් නෙවෙයි කියලයි මට නං හිතෙන්නෙ. එහෙනං රවීන්ටත් වඩා කිව්ට් කොල්ලො ඕන තරං මං දැකල තියෙනව”

“මේ මමත් ඉන්නෙ ඒ ගොඩේ නේ…”

සුනෙත් බිඳෙන්නට ආසන්න සිනහවකින් කීවේ ය. මම ඔහු ගැන වද වෙන්නට නො ගියෙමි.

“ආදරේ කියන්නෙ අපි ඇතුළෙ අපි නො දන්න තැනක ඇති වෙන හැඟීමක්. මං රවීන් ට ආදරේ කරන්න අරං. ඔව්. මන් දන්නෑ එයා මට මුණ ගැහිච්ච පලවෙනි පාර මේකද නැත්තං මීට කලිනුත් අපි හම්බ වෙලා තියෙනවද කියල. හැබැයි මට එයා පුරුදුයි. මං එයාව දන්නව. සමහර මිනිස්සු සංසාරගත ආදරයක් ගැන කියනව මං අහල තියෙනව. මට ආදරයක් දැනිච්ච පළවෙනි පාර කිසා ඒ ගැන ලොකු දේවල් මං දන්නෑ. එක පාරටම මනුස්සයෙක් දැක්ක ගමං ආදරයක් ඇති වෙන්න පුළුවන් කියල මීට කලිං මං හිතුවෙ නෑ. හැබැයි එහෙම වෙන්න පුළුවන් කියල මං දැන් දන්නව”

“සනූ…මං ඔයාගෙ ආදරේට සුබ පතනව”

සුනෙත් කොඳුරනවා ඇසිණ. මම අඩ සිනහවකින් දිගට ම කතා කරගෙන ගියෙමි.

“ආදරයක් හිතක ඇති වෙන්නෙ කිසිම කිසි දෙයක් හොයල බලල නෙවෙයි සුනෙත්. ඒ මනුස්සය කළු ද සුදු ද…උගත් ද නූගත් ද…උස ද කොට ද…පවුලරලපෙනවද නැද්ද…කොටිංම ඒ මනුස්සය කසාද බැඳලද නැද්ද කියලවත් ආදරේ හොයන්නෙ නෑ..ඒ හැම දේම හොයන්නෙ ආදරේට වඩා ටිකක් එහාට ගිය දෙයක්. ඒක සම්බන්දයක්. මැරේජ් එකක්. නැතුව ආදරේ නෙවෙයි. ආදරේට ඔය කිසි දෙයක් අදාල නෑ. ඒක ආදරේම විතරයි. දැං මං ඒක විඳිනව සුනෙත්.මේ මොහොතෙත් විඳිනව. හැබැයි ප්‍රැක්ටිකලි…ඒ ෆීලින් එකට මේ ලෝකෙං කොහොම වටිනාකමක් ලැබෙයිද කියල මං දන්නෑ”

“හ්ම්…”

සුනෙත් දිගු සුසුමක් හෙළුවේ ය. මලක් කොළයක් එක්ක හිතෙන් දුර ගමනක් යන සනුකි වාගේ කෙල්ලකට ආදරය ගැන මේ වගේ දර්ශනයක් තිබුණා ය කියා හෝ ඇය ඒ ගැන මෙහෙව් විවරණයක් කළා ය කියා ඔහු ට හිතා ගන්නට බැරි වෙන්නට ඇත..

“අඩු තරමින් මං එයාට ආදරෙයි කියල එයාවත් දන්නෙ නැතුව මේ කතාව ඉවර වෙන්න තියෙන ඉඩ වැඩියි”

“පිස්සුද….එයා දැනටමත් දන්නව ඔයා එයා ගැන හිතනව කියල”

“මොකද්ද…කවුද කිව්වෙ…”

මගේ ඇස් විසල් වන්නට ඇත. හුස්ම පවා එක මොහොතකට නැවතුන සෙයකි. සුනෙත් හඬ නගා හිනැහුණේ ය. මම තව දුරටත් විදා ගත් නෙතින් ඔහු දෙස බලා සිටියෙමි. 

“එදා හොස්පිට්ල් එක ළඟදි ඔයාගෙ ඇස් වලින් මං ඒ ආදරේ දැක්කා. ඉතින් රවීන් දකින්නෙ නැද්ද…ඔයාගෙ ඇස් එයා ළඟදි දිළිසෙනව. බැබළෙනව. එහෙම එළියක් මීට කලින් මං ඔයාගෙ ඇස් වල දැකලම නෑ. ඉතින් රවීන් පොඩි බබෙක්ද ඒ වගේ හැඟීමක් නොතේරෙන්න…”

“ඒත් එයාට නොතේරුණා වගේ ඉන්න සිද්ද වෙයි”

“ඇයි…”

“එයා දැනටමත් මැරි කරපු කෙනෙක් සුනෙත්”

“මොකක්…පිස්සුද උඹට…කසාද බැඳපු මිනිහෙක්ට මෙහෙම පිස්සුවෙන් ලව් කරන්නෙ…”

“මං ඔයාට කිව්වෙ…ආදරේට ඔය කිසි දෙයක් වලංගු නෑ කියල”

“සනූ මේ…ඇති හොඳේ. ඔය හොඳටම ඇති. මං උඹට ඕන සපෝට් එකක් දෙන්න හිතං තමයි කෙළිංම මේ ගැන කතා කළේ. යකෝ උඹගෙ තාත්ත උඹව හම ගහයි. සනූ…ඕක ඔතනම ඉවර කරමු. තව අඩියක් තරංවත් ඕක දුරට ඇදං යන්න ඕන නෑ. තේරුණා නේද…ඔයා හිතෙං දැනටමත් ගිහිං තියෙන දුර නිසා ටිකක් අමාරු වෙයි. ඒත් අපි මේක කරන්නම වෙනව. විහිං අමාරුවෙ වැටෙන්න හදන්න එපා. යකෝ කසාද බැඳපු මිනිහෙක්ට ලං වෙලා මොන අනාගතයක් ගැන හිතන්නද…ලෝකෙං නරක නම විතරයි. හරි හරි. අපි ඕක අමතක කරමු”

එපමණකි. ඉනික්බිති සුනෙත් රවීන් ගැන වචන මාත්‍රයක් හෝ කතා නො කළේ ය.

ඔහු කී සියලු දේවල් මම දැන සිටියෙමි. ඒවා මට අමුතුවෙන් ඔහු ගෙන් ඉගෙන ගන්නට ඕනෑ වූවා නොවේ. නමුත් මුළු ලෝකය ම එකතු වී කීවත් ආදරයක් හදවතින් මුලිනුපුටා දැමීම කළ හැකි දෙයක් නොවේ!

ලොකු මාමා ගිලන් වූ වෙලාවේ නයනා නැන්දා කිරි අම්මාවරුන් ට දානයක් දෙන්නට බාර වී තිබුණා ය. මාමා සුව වී ගෙදර විත් දෙසතියක් තුළ කිරි දානය ලබා දිය යුතු විය. ඉතින් එළඹි සෙනසුරාදා පාන්දරට දානයේ කටයුතු යොදා ගෙන තිබිණි. 

මෙහෙම අවස්ථාවක දී අපේ මහා පවුලට පිටස්තරයන් ගේ ආධාර උපකාර අවශ්‍ය වන්නේ නැත. පවුලේ සාමාජිකයන් එක් වූ විට විශාල පිරිසකි. දානයේ වැඩ කටයුතු පවුලේ අය එක් වීමෙන් කර ගත හැකි ය. ඉතින් මෙවන් අවස්ථා වලට පිට අයට ආරාධනා නො කිරීම සාමාන්‍ය සිරිතකි. 

සිකුරාදා රාත්‍රිය නිදි වරන්නට ඇති රැයයි. පාන්දර හය වන විට දානය ගෙන කිරි අම්මාවරු නික්ම යන්නට ද ඕනෑ ය. ඉතින් මෙහෙව් දවසක් වෙනුවෙන් සාමූහික ව නිදි වැරීම වැඩිහිටියන් ට සේ ම ළමයින්ට ද විනෝදයකි. 

නිදි වරනා රැයෙහි සංග්‍රහ කටයුතු සඳහා තාත්තා පෙති කළ පාන් ගෙඩි දහයක් ගෙන ආවේ ය. සැන්ඩ්විචස් සෑදීම මට සහ නංගී ට භාර විය.

“හාපෝ…ඒක මාර කෝස් එකක්නෙ. පාන් දහයක දොළහක අර පේස්ට් එක අතුල්ලනව කියන්නෙ…අත කැඩෙන වැඩක්. කන එවුන්නං කයි හොඳට”

නංගී කන්කෙඳිරි ගාන්නට වූවා ය. 

“මොන දේද ඉතිං ඔයා කන්කෙඳිරි නොගා කළේ”

අම්මා නෝක්කාඩු කියවූවා ය.

“ඇයි අර රංචුවත් එක්ක වට වෙලා කතා කර කර ඉන්න කියන්නකො. මෙයා කිසි කෙඳිරියක් නැතුව එළි වෙනකල්ම ඒකනං කරයි”

මම ද අම්මා ගේ පැත්තට පොහොර දැමුවෙමි. 

“ඔව් ඉතිං….ඔයාට වගේ මට මිනිස්සු ඇලජික් නෑනෙ. ඉතිං මං මනුස්සයො ආශ්‍රය කරනව…කතා බහ කරනව…ඔයා වගේ අලි ඔළුවෙන් නෙවෙයිනෙ මං ඉන්නෙ”

නංගී ඒ කීවේ පවුලේ ළමයින් මා ගැන කියනා කතාවයි. මා අලි ඔළුවෙන් ඉන්නා බවක් ඔවුහු සිතති. කියති. නමුත් මගේ ඇති අලි ඔළුවක් නැති බව දන්නේ මා ය. වැඩි කතා බහකට නො යාම මගේ ස්වභාවයකි. ඇතැම් විට ඒ තාත්තා ගේ ජාන වලින් ම ආ ලක්ෂණයක් වන්නට පුළුවන. නමුත් නංගී අම්මා සේ ය. ඕනෑම කෙනෙකු සමග කතා බහට සිනහවට යයි. මා කතා කරන්නේ අත්‍යවශ්‍ය දෙයක් පමණි. නංගී කතා කරන්නේ සිය හදවත ගලවා අතට දෙන්නට සූදානම් ගතියකිනි. මා ලැජ්ජාශීලී ය. නංගී තුළ කිසිවෙකු ගැන කිසිදු සබකෝලයක් නැත. මා මිතුරන් ඇති කර ගන්නේ ඉතා හෙමිහිට ය. ඒ නිසා මට ඉන්නේ අතේ ඇඟිලි ගණනට අල්පයක් මිතුරන් ය. නමුත් නංගී ට යන යන තැන ලොකු මිතුරු සමාගමයක් වේ. පවුල තුළ ද නංගී ක්‍රියාකාරී සාමාජිකාවකි. මම නිහඬ චරිතයක් වෙමි. නමුත් කාට හෝ උදව්වක් අවශ්‍ය කරන වෙලාවකදී මම කවරාකාරයෙන් හෝ ඒ උදව්ව කරමි. නෑ බෑ නො කියමි. 

අපේ වත්ත පුරා විදුලි එළි දැල්වී තිබිණි. පාරේ තැන් තැන් වල පිරිමි කිහිප දෙනා බැගින් එක් ව කතා කරමින් සිටියහ. ළමයින්, තමන් ගේ වයස් ඛාණ්ඩ වලට හා අදහස් වලට ගැලපෙන අය කල්ලි ගැසුණහ. කවදත් මා ඒ එකදු කල්ලියකට හෝ අයිති වූයේ නැත. මා සිටියේ තනි පුද්ගලයෙකු වශයෙනි. කොයි කාණ්ඩය සමගත් සිනහ වී වචනයක් දෙකක් හුවමාරු කොට ගතිමි. මගෙන් සිදු වන්නට ඇති වැඩක් වේ නම් සොයා බලා එය ඉටු කළෙමි.

මේ රාත්‍රිය මට සුවිශේෂ ය. ඒ මුළු රැයක් පුරා රවීන් ගේ කාන්දම් ඇස් වල චුම්බක ක්ෂේත්‍රය තුළ ගැවසිය හැකි වීම නිසා ය. ලොකු මාමලා ගේ ගෙදරත් අපේ ගෙදරත් අතරේ යන එන ගමන් කිහිප වතාවක් ම මම ඒ චුම්බක ක්ෂේත්‍රය තුළ මගේ පාලනයකින් තොර ව හැසිරුණෙමි. කාන්දම් බලයකට විරුද්ධ අතට ක්‍රියා කරන්නට පහසු නැත. ඒ සඳහා ලොකු බලයක් යෙදිය යුතු ය. 

“ලෙච්චමී…මොකද ඔය පිහියකුත් අරං..”

වරක් මා වඩා හොඳින් කැපෙන පිහියක් සොයා ගෙන ගෙවල් වලට ගොස් එන ගමන්, අපේ ගේ ඉදිරිපිට දී ලොකු අයියා ට හසු විය. ලොකු අය්යා රවීන් සමගින් පාර පැත්තේ සිට එමින් සිටියේ ය.

“බලන්න අප්ප. මට තමයි අමාරුම වැඩේ දීල තියෙන්නෙ. රතු ළුූණු ගොඩාක් සුද්ද කරන්න තියෙනව…සැන්ඩ්විච් පේස්ට් එකට…මතක් වෙනකොටත් ඇඬෙන්න එනව වගේ”

“තමුසෙ සැන්ඩ්විචස් හදන්නද යන්නෙ…මාරයිනෙ”

“හ්ම්”

“කෝ දෙනවකො එහෙනං ලූණු ටික සුද්ද කරල දෙන්න”

කියමින් අයියා රවීන් සමගින් ම අපේ ගෙදර දෙසට හැරිණි. මගේ උදරයේ කැළඹීමක් සිදු විය. අතුණුබහන් පෙරළී යනවා දැනිණ. ඒ කුණාටුවේ බලපෑම හදවත පැත්තටත් දැනී තිබිණ. මම එක වර සතුටක් ද බියක් ද යන දෙක ම අත් වින්දෙමි. සතුට රවීන් ගේ ඇස් මානයේ ටික වෙලාවක් නිදහසේ සිටිය හැකි වීමට අදාල එකකි. බිය තාත්තා ය. තාත්තා වූ කලී මිහි මත සිටින වැඩියෙන් ම අවබෝධ කර ගත් තැනැත්තා ය. මට ආදරය කරන තැනැත්තා ය. ඔහු ඒ ආදරය කිසි සේත් වචන වලින් පෙන්වා ඇති බවට මතකයක් මට නැත. ඔහු ඒ දැනෙන්නට හරින්නේ ක්‍රියාවෙන් ය.

“එයා විතරනෙ ඉතිං තාත්තගෙ.මේ අපි එයාගෙ නෙවෙයිනෙ”

එවන් විටෙක නංගී නෝක්කාඩු කියන්නී ය. 

“කට කට..දන්නවද ඔය මොනාද කියවන්නෙ කියල…”

අම්මා එතකොට ඇය ට තරවටු කරයි. 

“ඉතිං ඇත්තනෙ මං කියන්නෙ. එයා තමයි දුව. අපි දුවල නෙවෙයි”

“අපිට ඔයා මුල ඉඳලම පුතෙක් වගේනෙ දැනුණෙ. තාත්තා ඔයාට මොන්ටිසෝරි යනකල්ම කරාබු දාන්න දුන්නෙත් නෑනෙ..ඇන්දුනෙත් කලිසං ශර්ට්”

“අපරාදෙ. සර්ජරි එකත් කළානං ඉවරයි”

අම්මා දෙතොල් තද කර ගෙන කර බා ගනී. නංගී ගැලපෙන්නේ උසාවියට ම ය!

“ආ…මලිත්නෙ”

තාත්තා ආලින්දයට ආවේ ය. ලොකු අයියා ලූණු වට්ටිය මේසය මැද තබමින් කතා කළේ ය.

“අයියෝ දුනුකේ මාමෙ ඔයාගෙ දුවනං…මේ ලූණු ටික සුද්ද කරගන්න බෑ කියල කංකෙඳිරි ගානව”

මගේත් ලොකු අයියා ගේත් ළෙංතුකම ගැන තාත්තා හොඳින් දනී. පවුලේ ළමයින් ගෙන් මා වඩාත් සමීප ලොකු අයියාට ය. ඒ අපේ ළමා වියේ පටන් වූ බැඳීමකි.

“වරෙන් රවීන් මේක සුද්ද කරල දීල යන්න. මේ කෙල්ලො කසාද බැඳපු කාලෙක මිනිහගෙං කන්න වෙනව අම්බානක ආ…බලපංකො”

මගේ ඇස් මා නො දන්නා බලයක් විසින් රවීන් ගේ ඇස් වෙතට ඇද ගන්නා ලදී. අභ්‍යන්තර ගැස්මකින් යුතු ව මම ඉක්මන් කොට බිම බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content