තරූ උන්නෙ එයාගේ කාමරේ ඇඳ උඩ වැටිලා කම්මැලිකමේ.ඉස්කෝලෙ නිවාඩු හන්දයි, නිවාඩු කාලෙ කරන්න දෙයක් නැති හන්දයි, කොහොමත් තරූ කියන්නෙ ගෙදර වැඩට උදව් වෙන්නෙ නැති, දවසම ෆෝන් එක අතර අරගෙන ටික්ටොක් බලබල, එහෙම නැත්තම් ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් වලට නට නට ඉන්න කෙනෙකුයි හන්ද නිවාඩු දවසක් තරූට කම්මැලි වෙන එක හරිම සාමාන්‍ය දෙයක්.
අපි මේ කතාව කියන වෙලාවෙත් තරූ හිටියෙ ටික්ටොක් බල බල.කම්මැලිකම යන්න මොනවද කරන්න පුලුවන් කියලා කල්පනා කරන ගමන්.තමන් කොච්චර ටික්ටොක්කරල ඒවා පබ්ලිශ් කරත් වෙන මිනිස්සුන්ගෙ ටික්ටොක් වගේ තමන්ගෙ ඒව වයිරල් යන්නෙ නැත්තෙ ඇයි කියන තරූට හරි ප්‍රශ්නයක්. මෙහෙම නිකන්ම කම්මැලියෙක් වගේ ඉන්නවට වඩා ටික්ටොක් එකක් දෙකක් වයිරල් ගිහිල්ලා ට්‍රෙන්ඩ් වෙන්න, ජීවිතේට පොඩි ඩ්‍රාමා එකක් අරන් එන්න පුලුවන් නම් කියන එක තරූගෙ ලයිෆ් ලිස්ට් එකේ තිබ්බ එක ලොකු ගෝල් එකක්.
කම්මැලිකමේ දවසම ඉන්න බැරි හන්ද තමයි තරූ ඇප් ස්ටෝ එකට ගිහිල්ලා එදා දවසෙ කම්මැලිකම නැතිකරගන්න ගේම් එකක් ගහන්න හිතුවෙ. ගේම් එක බාගයක් ගහගෙන යද්දි තමයි ඇඩ් එකක් බලන්න ආවෙ. මුලින් නම් ඔය ආව ඇඩ් එක තරූ ස්කිප් කරාට එකම ඇඩ් එක දෙපාරක් ආවම තරූ නිකමට තමා ඇඩ් එක ස්කිප් කරන්නෙ නැතුව ඉඳලා මොකද්ද මේ ඇඩ් එකක් විකුණන්න හදන ප්‍රඩක්ට් එක කියල බලන්න තීරණේ කරේ. ඉහිරිච්ච තේ කොප්පෙකින් විසිරිච්ච තේ මණ්ඩිවලින් ඇඳිච්ච චිත්‍රයක් වගේ එකක් පින්තූරෙකට තිබුන ඒ ඇඩ් එකෙන් අහලා තිබ්බෙ “The Tea Room – Anonymous gossip. Spill tea. Win fame” කියලා. මේකෙ මොකක් හරි ආතල් එකක් කියලා හිතලා තමයි තරූ නිකමට වගේ ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තෙ. ඩවුන්ලෝඩ් කරගෙන ලොග් වෙන ප්‍රොසෙස් එකේදි තමන්ගෙ විස්තර, පින්තූර අරව මේව ගොඩක් දාන්න උනාට තරූ ඒක භාරගත්තෙ “මෙච්චර දේවල් ඉල්ලන්නෙ මේ app එක සෑහෙන secure එකක් නිසා වෙන්නැති” කියලා හිතන එක. කොහොමහරි ඔක්කොම විස්තර ටික දාලා app එක ලොග් උනාට පස්සෙ තමයි තරූ දැක්කෙ මේකෙ එක එක විදියෙ චැට් රූම්ස් තියෙනව කියන එකත් ඒවායින් එකින් එකට උඩට යන්න දීලා තියෙන එක එක චැලෙන්ජස් තමන් දිනන්න ඕන කියන එකත්.හරියට ගේම් එකක් වගේ. එක එක විදියෙ චැට් රූම්ස් වෙන් කරලා තිබ්බෙ එක එක විදියෙ ගොසිප් වලට. සමහර ඒව influencer ගොසිප්. සමහර ඒව සිංදු කියන අය ගැන. තව සමහර ඒව ක්‍රිකට් ගහන අය ගැන.
මේ එක එක චැට් ගෘප් වලින් උඩට උඩට ගිහිල්ල ඇප් එකේ VIP ROOM එකට යන්න නම් ඔයත් මේ චැට් අස්සෙ ඔය ප්‍රසිද්ධ මිනිස්සු ගැන ඔයා දන්න ගොසිප් ටිකක් හලලා එන්න ඕන. මේ ඇප් එක නිකන් ඉංග්‍රීසියෙන් දේවල් කතාබහ කරන පොශ් තැන විදියට තරූ හිතුවෙ කට්ටිය ගොසිප් ගැන කතා කරා උනත් ඔය වියළි කලාපෙ ඉන්න ගොඩේ හැත්තවල් වගේ ඒව නිකන් ලිඳ ලඟ සංගම් කරගන්නෙ නැතුව ඉංග්‍රීසියෙන් පොශ් ලෙවල් එකකට Maintain කරගෙන ගිය එක.
මුලින් නම් තරූට කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. මොකෝ තමන් කවුරුවත්ම ජනප්‍රිය කෙනෙක්ව දන්නෙ නෑනෙ. එහෙම එකේ මොනවද කියන්න තියෙන්නෙ කියල හිතාගෙන තමයි තරූ ඉස්සෙල්ලා පලවෙනි චැට් රූම් එක අස්සෙ අනිත් මිනිස්සු ශෙයා කරන එක එක ගොසිප් දිහා බලාගෙන හිටියෙ.
“අරයා යාලුවෙලා ඉන්නෙ මෙයා එක්ක නේද?”
“ඒ උනාට එයා බැඳලා නේද?”
“අරයා මෙයාගෙන් ප්‍රෙග්නන්ට් වෙච්ච නිසා එයාව අතෑරලදැම්මලු නේද?”
“එහෙමද අනේ දන්නෙත් නෑනෙ අපි මේව? Please spill more”
“Can’t drop real names from my real account” කියලා එක මනුස්සයෙක් කවුද නිළියක් කසාද බැඳලා ඉන්න ගමන් වෙන සල්ලිකාර මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන යනවා කියන එක ගැන දාපු කතාවකට තරූ ගිහින් පළවෙනි කමෙන්ට් එක විදියට “ඉතින් ෆේක් අකවුන්ට් එකක් හදාගෙන ඇවිත් දාන්න බැරිද?” කියලත් ඇහුවා.ඒ කමෙන්ට් එකට ඉන්පස්සෙ සෑහෙන මිනිස්සු ඇවිල්ල ලයික් කමෙන්ට් කරන අතරෙම සමහරු ඇවිල්ලා ඇහුවත් එක්ක “කොහොමද අනේ මේකෙ ෆේක් අකවුන්ට් එකක් හදන්නෙ?” කියලා. ඒ අතරෙම තමයි එක්කෙනෙක් ඇවිල්ලා තරූව ටැග් කරලා ඇහුවෙ “ඔයා ගාව නැද්ද කවුරු ගැනවත් විස්තර?” කියලා. එහෙම ඇහුවයින් පස්සෙ තමන් ගාව මුකුත් නෑ කියල කිව්වොතින් කවුරුවත් තමන් එක්ක කතාකරන එකක් නෑ ආයෙ කියල හිතල තමයි තරූ හිතුවෙ “බොරුවක් හදලා දාලා හරි මොනවහරි ලියනවා” කියනවා. ඒ විදියට තමයි තරූ මුලින්ම ලිව්වෙ, “අර අවුරුදු කුමාරි වෙලා ආව නිළිය ඉන්නෙ අපේ ගෙවල් ලඟ, එයා තාම කොල්ලෙක් නෑ කියලා ටීවී එකට ඇවිල්ල කිව්වට එයාට ප්‍රඩියුසර් කෙනෙක්ගෙන් හම්බුවෙච්ච ඉස්කෝලෙ යන වයසෙ ළමේක් ඉන්නවා. හැමෝටම කියන්නෙ එයාගෙ නෑයෙක්ගෙ ළමේක් කියලා”.
තරූ හිතුවෙ නැති විදියට තමයි ඒ කමෙන්ට් එකට කට්ටියගෙන් ප්‍රතිචාර ලැබුනෙ.
”මාරයිනෙ අනෙ ඔයා කොහොමද එච්චර දේවල් එයා ගැන දන්නෙ?”
“අනේ spill some tea will you? මේ කවුරු ගැනද කියන්නෙ කියලා පොඩි හින්ට්ස් ටිකක් දෙන්නකො”
“ඔය කියන්නෙ මෙයා ගැන නේද?”
“බබාගෙ තාත්තා කවුද කියලා ඔයා දන්නවද?” කියලා මිනිස්සු එක එක ඒව කමෙන්ට් විදියට ලියාගෙන ලියාගෙන යද්දි තරූ කරේ දිගට හරහට ඒවට එක එක විදියෙ බොරු බොරු දේවල් ලියලා කමෙන්ට් කරගෙන කරගෙන ගිය එක. තරූ උත්තර දුන්නෙ නැතත් මිනිස්සු උන්නෙ තරූ කිව්ව ඒ බොරු මත්තෙ තව එක එක දේවල් හිත හිත ඒව ඇත්ත වෙන්නැති කියලා කමෙන්ට් කර ගෙන ගිය එක.
කම්මැලිකමට ජොයින් වෙච්ච මේ ඇප් එක තමන් හිතුවෙ නැති විදියෙ ආතල් එකක් තමන්ට දෙනවා කියල වගේම තමන් දාපු බොරුව වටේ මිනිස්සු රොද බැඳගෙන එකතු වෙනව කියල දැනගත්තම “මමත් දැන් නිකන් ප්‍රසිද්ධ වීගෙන එන්නෙ” කියල හිතිච්ච හන්දා තමා තරූ තව තව බොරු හද හද කමෙන්ට් කරන්න පටන් ගත්තෙ.
“වතාවක් ලංකාවෙ ප්‍රසිද්ධ නලුවෙක් මට ඉන්බොක්ස් මැසේජ් එකක් එව්වා එයාගෙ පින්තූර දාලා. දන්නවනෙ මොන ජාතියෙ පින්තූරද කියල?”
“ඔය අහිංසක කෙල්ලෙක් වගේ කතාකරන අර ගායිකාව දකින දකින සල්ලිකාර කොල්ල පස්සෙ යනවා”
“ඔය ටුවර් එකකට ඩුබායි යනව කියල ගියාට යන්නෙ වෙන වෙන ටුවර්”
“අර සෙලිබ්‍රිටි ලට කේක් හදල දෙන කෙල්ල තමන්ගෙ වගේ පෙන්නන කේක් ඔක්කොම අරගන්නෙ වෙන එක්කෙනෙක්ගෙන්” වගේ තරූ දාන දාන කමෙන්ට් එක තව ලුණු ඇඹුල් ඇඩ් කරන්න මිනිස්සු ඕන තරම් ඒ ඇප් එක ඇතුලෙ උන්නා. ඒ විදියට තමයි කම්මැලිකමේ ගෙදරට වෙලා උන්න තරූ එක දවසෙන් ලයික් කමෙන්ට්, ශෙයාර්ස් දහස් ගාණක් අස්සෙ පාවි පාවි හිමින් සැරේ හැම සෝශල් මීඩියා එකකම වගේ කතා කරන එක්කෙනෙක් උනේ. “තරූ දාපු පෝස්ට් එක දැක්කද? දැක්කෙ නැත්තම් දැන්ම ගිහින් බලන්න ආස හිතෙයි” කියල ෆේස්බුක් එකෙයි ඉන්ස්ටග්‍රෑම් එකෙයි ටික්ටොක් එකෙයි කට්ටිය තරූ දාපු කමෙන්ට් වලින් කන්ටෙන්ට් හදලා එහෙ මෙහෙ ශෙයා වෙන්න පටන් ගත්තෙ හැම ඇප් එකේම වගේ තරුගේ ෆලෝවර් බේස් එක වැඩි කරගන්න ගමන්. හිතුවෙ නැති විදියට එක දවසකින් තමන් Gossip Queen කෙනෙක් විදියට හරි ප්‍රසිද්ධ වෙච්ච එක ගැන තරූ උන්නෙ මාර සන්තෝසෙක. දාන දාන කමෙන්ට් වලින් තමන්ට ලැබෙන ලයික් කමෙන්ට් ප්‍රමාණෙ වැඩිවෙන හන්දා හිතුවෙ නැති තරම් ඉක්මනට තමන්ට VIP Chat Room එක open කරගන්න පුලුවන්වෙන බව තරූ දැනගෙන හිටියා. එදා රෑ තරූ නිදාගන්න ගියේ පුදුම විදියෙ සන්තෝසෙකින්. පස්සෙන්දට තමන්ට ශුවර් එකටම VIP Chat Room එකට ඇතුලුවෙන්න පුලුවන් කියන එක දන්න එක වගේම තමන් මේ වෙද්දි හැම ගෙදරකම හැමෝම වගේ කතාකරන ටොපික් එකක් කියල දන්න එකම තරූගෙ නින්ද හරිම සුවබර එකක් කරන්න හේතු වුණා.
පස්සෙන්දා උදේ තරූ ෆෝන් එක අතට අරගත්ත ගමන්ම කලෙ මේ ඇප් එකට ලොග් වෙලා තමන්ට VIP Chat Room එකට access හම්බුවෙලාද කියලා බලන එක. නොටිෆිකේශන් දහස් ගාණක් අතරෙ ඇප් එකෙන් ඇවිත් තිබ්බ VIP Chat Room Access හම්බුනා කියන නොටිෆිකේශන් එක එදා දවසෙත් තමන්ව සම්පූර්ණයෙන්ම උදව් කරනවා කියලා දැන දැනම තරූ ඇප් එකට ලොග් උනේ මේ VIP Chat Room එක ඇතුලෙ තමන් කියන්නෙ යන්නෙ කවුරු ගැන මොන වගේ ඕපදූප සෙට් එකක්ද කියල හිතන ගමන්.
ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නැත්තෙ කියන්න ඇත්ත දන්නෙ නැති උනාට බොරු හදන්න ලිමිට් එකක් නැති හන්දා. එක එක අය ගැන මිනිස්සු අහන්න දකින්න බලාපොරොත්තු වෙන විදියෙ එකැක බොරු කතන්දර දාහක් හදන්න තරූට එච්චර මහන්සි වෙන්න උනේ නෑ. ඔය විදියට දවස් පහු උනේ හැම සෝශල් මීඩියා ඇප් එකකම වගේ තරූව Gossip Queen විදියට කිරුළු පලඳවන ගමන්. “Spill some tea” කිය කිය තරූගෙ පස්සෙන් ආව මිනිස්සු තරූ ගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි කරේ “This is the gold standard of tea” කියලා.හැම ප්ලැට්ෆෝම් එකේම වගේ තරූගෙ කතන්දර වල ස්ක්‍රීන් ශොට් වයිරල් ගියා. එළියට බැහැල කොහෙ හරි යද්දි මිනිස්සු ආව තරූ එක්ක ෆොටෝ එහෙම ගන්න. තරූට “Hatsoff” කියලා කට්ටිය කමෙන්ට් කරා. එයා හදපු කතන්දර වලින් එක එක ප්‍රසිද්ධ මිනිස්සුන්ට අපහාස කරලා මීම් පේජස් වලින් මීම් හැදුවා. යූටියුබ් වීඩියෝස් හැදුනා. තරූගෙ නම කොහෙදි හරි දකින්න ලැබුණම ප්‍රසිද්ධ මිනිස්සු, අතීතෙ කලු පැල්ලමක් දෙකක් ගෑවිච්ච මිනිස්සු බය වුණා.
ඔය කතාව දැනගන්න, කවුද මේ තරූ කියන Gossip Queen කියලා දැනගන්න, එයා එක්ක chat කරන්න තියෙන ආසාවට තමයි මේ ඇප් එකට එන්න එන්න මෙම්බර්ස්ලා වැඩිවෙන්න පටන් ගත්තෙ. තරූ එක්ක දැන් කතාකරන්න නම් VIP Chat Room එකට එන්න ඕන හන්දා ජොයින් වෙන ජොයින් වෙන අලුත් අලුත් අයත් කරේ තමන්ගෙ රේටින් වැඩි කරගන්න එක එක බොරු කතන්දර හදලා කමෙන්ට් කරපු එක. හරියට තරූ කරා වගේම. හැබැයි වෙන අය ගැන නෙවෙයි. තරූ ගැන.
මොකද ඒ වෙද්දි මුලු ලංකාව වගේ කතාකරපු ප්‍රසිද්ධම Influencer වුණේ තරූ හන්දා.
“අපෝ ඔය තරූද? අනුන්ගෙ ගොසිප් ගැන විතරක් කියන්නෙ මොකද එයා ගැනත් කියන්න හොඳ හොඳ කතා තියෙනවා”
“එයා දැන් ඔය පත්තිනි අම්මා වගේ රැඟුවට ඉස්සර කොල්ලො පස්සෙ ගිය ඒව එහෙම අනිත් අය දන්නෙ නෑ කියල හිතනව ඇත්තෙ”
“තරූ වතාවක් එයාගෙ හොඳම යාලුවාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව අල්ලගන්න දාපු නැටුම් දන්නෙ එයාගෙ කලින් ඉස්කෝලෙ යාලුවො තමයි”
“එයා කලින් ඉස්කෝලෙන් අස් උනා නෙවෙයි අස් කලා. ක්ලාස් එකක් වෙලාවෙ වොශ් රූම් එකක් අස්සෙ ඉඳල අහුවෙලා. දන්නවනෙ ඉතින් කාත් එක්කද කියලා” වගේ කවදාවත් තමන් කරපු නැති දේවල් ගැන ලියවිච්ච කතන්දර Tea Room ඇප් එක ඇතුලෙ අලුතෙන් එන මිනිස්සු ලිය ලිය යද්දි ඒව වලක්වන්න විදියක් හිතාගන්න ඇත්තටම තරූට පුලුවන් උනේ නෑ. තරූ හිටියෙ බයවෙලා. මොකද්ද කරන්න ඕන කියල හිතාගන්න බැරි එකටත් වඩා “ඇයි මිනිස්සු මෙහෙම බොරු කියන්නෙ?”කියලා හිතාගන්න බැරුව.
තරූ තමන්ගෙ අකවුන්ට් එකඩිලීට් කරන්න, ඇප් එක රිමූව් කරන්න, මොකක් හරි හේතුවක් හන්දා ඒක කරන්න එයාට පුලුවන් උනේ නෑ.අනික එහෙම කරත් මිනිස්සු මේ කතන්දර ඒ වෙද්දිත් අනිත් ප්ලැට්ෆෝම්ස්වල ශෙයා කරන්න පටන් අරගෙන තිබිච්ච හන්දා තමන්ට කොහෙන්වත් බේරුමක් නෑ කියන එක තරූ දැනගෙන හිටියා. තරූ ගැන එක එක ගොසිප් හදන එක ඇප් එකේ උන්නු මිනිස්සුන්ගෙන් නතර උනේ නෑ. තමන් ගැන තරූ කිව්ව බොරුවලට හරියන්න ඉන්ෆ්ලුවන්සර්ස්ලා පවා තරූ ගැන එක එක කතන්දර කියන්න පටන් ගත්තා.
“අනේ ඔයාගෙ මියුසික් වීඩියෝ එකකට මාව ගන්න. ඔයා කියන ඕන දෙයක් මං කරන්නම්” කියල තරූ දාපු ස්ක්‍රීන්ශොට් අරගෙන තරූ කැත කතා කිව්ව ගායකයො, අනිත් ඉන්ෆ්ලුවන්සර්ස්ලා කන්ටෙන්ට් පබ්ලිශ් කරන්න පටන් ගත්තා.
හැබැයි මේ කතන්දර කිසිම එකක් බොරු නෙවෙයි කියල කියන්න පුලුවන්කමක් තරූට තිබ්බෙ නෑ. මොකද ඒ කිසිම දෙයක් කිසිම විදියකින් ඔප්පු කරන්න විදියක් තිබ්බෙ නැති හන්දා. ඒ ඔක්කොම අස්සෙ තමයි තරූ දැක්කෙ තමන් ගැන තමන්ගෙම නෑ වෙන කොල්ලෙක් දාලා තිබ්බ කමෙන්ට් එක.
“එයා කොහොමත් ඉස්සර ඉඳලම අවධානෙ ඉල්ලුවා. පුදුම ඩ්‍රාම තියෙන්නෙ. ජනප්‍රිය වෙනවනම් ඕන බොරුවක් කියාවි. මට හොඳටම ශුවර් මේ එය දාපු හැම කමෙන්ට් එකක්ම බොරු කියලා.එයා ඉස්සර ඉඳල හරියට බොරු කියනවා.” තරූ ඇප් එක වහලා දැම්මෙ ඒ කමෙන්ට් එක දැක්කත් එක්ක.
මාස කීපෙකට පස්සෙ Tea Room App එක සදහටම ඇහිලා ගියා. අනුන්ගෙ ඕපදූප කතාකරන ඇප් එකක් වීම හේතුවෙන් නඩු, ප්‍රශ්න ගොඩකට හේතුවෙලා ඇප් එක වැහිලා ගියත් “මිනිස්සු ගැන බොරු කියල ජනප්‍රිය වෙන්න ගිය තරූ” ගෙ මූණ සෑහෙන කල් යනකම් මීම් පේජ්වල මීම්ස් වල පේන්න තිබ්බා. යන එන තැන්වල මිනිස්සු ඇඟිල්ල දික්කර කර පෙන්න පෙන්න හිනාවුනා. ඉස්කෝලෙ යාලුවො ඈත් උනා. මිස්ලා සර්ලගෙන් බැනුම් ඇහුවා.
දැන් හැමදාම රෑට එයා කරන්නෙ සෝශල් මීඩියා ඇප්ස් වලට ගිහිල්ල මිනිස්සු තාම තමන් ගැන ජරා කතා කියනවද කියල බල බල උඩ පහල යන එක.පුදුම බයකින්, ලැජ්ජාවකින් වගේම තිගැස්මකින්.
හරියට කාලයක් එයා බොරු කිව්ව ඉන්ෆ්ලුවන්සර්ස්ලා එයාගෙ බොරු හන්දා තමන්ගෙ නින්ද නැති කරගත්තා වගේ.
ඒ විදියට තමන් අනුන් වෙනුවෙන් ඉහිරපු තේ, අන්තිමේ තමන් වෙනුවෙන් ඉහිරෙද්දි තමයි තරූ තේරුම්ගත්තෙ “ඇත්ත තිත්තයි” කියන එක!