මල්සර හී සර – 20

0
1842

“ඔන්න පුතේ ලියාගන්න අද අරගෙන එන්න ඕන එලවලු ටික”කියල අම්මා කියද්දි උනත් සප්තමී උන්නෙ වෙනදා වගේ උනන්දුවෙන් ඒක අහගෙන නෙවෙයි. හිත අස්සෙ මුලු හිත පුරාම එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නෙ සමුද්‍ර. 

“ඔයාලා දියතට කිට්ටු වෙද්දි මට මැසේජ් එකක් දාන්න” කියලා සමුද්‍ර එව්ව මැසේජ් එකට රිප්ලයි කරද්දිත් ඉන්පස්සෙ සමුද්‍ර එන බව හොඳටම දැන දැන අම්මයි තාත්තයි එක්ක ටුක් එකේ නැගල දියත පැත්තට යද්දිත් සප්තමිගෙ හිත ගැහුණෙ මීට කලින් කවදාවමත් ගැහිච්ච නැති විදියෙ රිදම් එකකට. මීට කලින් අම්මටයි තාත්තටයි බොරු කියල මේ වගේ දෙයක් කරලව්ටහ්, මේ වගේ ගමනක් ගිහිල්ලත් නැති හන්දා මේ වගේ බයක් හිතට දැනෙන එක සාමාන්‍ය බව සාධාරණ බව තේරුම්ගන්න තරම් ඉස්පාසුවක් ඒ වෙලාවෙ නම් සප්තමීගේ හිතට තිබ්බෙ නෑ. අම්මයි තාත්තයි මේ විත්තිය දැනගත්තොත් තමන්ට මොන විදියෙ දෙයක් කියාවිද කියල දන්නෙ නැති උනාට ජීවිතේ පලවෙනි වතාවට කරන මේ වගේ දෙයක් හන්ද අමුතුම විදියෙ ආතල් එකක් හිත අස්සට දැනෙන විත්තිය සප්තමී හිතුවා.

ටුක් එක දියත ලඟ නතර කරලා තුන් දෙනාම බැහැගෙන තාත්තා ටුක් එකට සල්ලි දෙද්දිත් සප්තමි කලේ වටපිට බල බල තමන් වටේ ඉන්න දහසක් නොදන්න පිරිමි මූණු අස්සෙ තමන්ගෙ හිත හොඳින්ම අඳුරන ඇස් දෙකට හොඳට දැකල පුරුදු වගේ දකින්න බලාපොරොත්තු වෙච්ච ඒ ලස්සන කලු ඇස් තියෙන මූණ දකින්න ලැබේවිද කියල. වෙනදට නම් අම්මයි තාත්තයි එක්ක එක පෙලට දෙපැත්තෙ තියෙන මල් කඩ ද එලවලු කඩ ද අරව මේවා දිහා බල බල ගියාට අද සප්තමීට ඒ කිසිම මලක කොලේක ලස්සන පෙනුනෙ නෑ. හිත තිබ්බෙ එච්චරටම කලබල වෙලා.

“මේ උඹ දැන් ඔය කාට මල් පැල අරගන්නද දියතට යන්නෙ කියපංකො?” කියල සුමල් අහද්දි තාම වතුර බිංදු ගලාගෙන යන නිරුවත් පපුව උඩින් ශර්ට් එක ඇඳගන්න ගමන් සමුද්‍ර කලේ හිනාවෙන එක.

“කාට මල් පැල ගත්තත් උඹට ප්‍රශ්නයක් නෑනෙ. උඹ වරෙංකො මාත් එක්ක යන්න. අනික මේ වතාවෙ නම් උඹට බෑ මට එන්න බෑ කියන්න. ගිය පාරත් උඹ එන්නෙ නැතුව උඹ කිව්ව මගුලක් හන්ද මට ලොකු ටොපියක් සෙට් උනානෙ. ඒ නිසා මේ වතාවෙ මොන ජාතියක ටොපියක් කන්න යන්න හරි උඹ එන්න ඕන මාත් එක්ක මේ ගමන යන්න”

“මේ මේ උඹ හරියට කතාකරන්නෙ නිකන් උඹ කන්න යන ටොපිය මාත් බෙදාගන්න ඕන වගේනේ? දැන් සප්තමීව සෙට් වෙනවනම් වෙන්නෙ උඹටයි මටයි දෙන්නටමද? නෑනෙ උඹට විතරනෙ. එහෙම එකේ මං මොකටද බං උඹ කන ටොපි කන්න එන්නෙ” කියල සුමල් බැනගෙන බැනගෙන යද්දි උනත් සමුද්‍ර කරේ කිණ්ඩියට වගේ හිනාවෙන එක.

“අම්මෝ උඹ නිකන් කතාකරන්නෙ මේ හරියට මම උඹේ ලව් සින් වලට් සපෝට් කරන්න ආවෙම නෑ වගේනේ. අනේ යකෝ උඹට අමතක උනාට ඒව මට තාම මතකයි උඹ හින්දා මට කන්න වෙච්ච කටු. ගෙදර ඉන්නවා නේද පස්සෙන් ගිහිල්ල සෙට් කරගත්ත ප්‍රියම්බිකාව? ගිහින් අහපංකො සමුද්‍ර කරපු උදව් මතකද කියල ඒකිව උඹ වගේ ගෝතයෙක්ට සෙට් කරගන්න? රණ්ඩු වෙද්දි මන්දාරා මටත් බණීනව තාම උඹල දෙන්නට කපුකං කරා කියල උඹමනෙ මට කිව්වේ” කියල සමුද්‍ර නෝණ්ඩි දාද්දි සුමල් ඇඳ උඩ තිබිච්ච තෙත තුවාය අරන් සමුද්‍ර දිහාවට විසික් කරේ “අනේ පලයං යකෝ යන්න” කියන ගමන්.

“අපි අද මචං ජිප් එකේ නැතුව කාර් එකෙ යන්. මොකෝ දන්නවද මම ප්ලෑන් කරගෙන ඉන්නෙ ඒ තුන්දෙනාම ගෙවල් ලඟටම ඩ්‍රොප් කරන්න. එහෙම එකේ ජිප් එකෙ ගියොත් අර මල සක්කරවට්ටම ඕක දැකල අන්තිමේ වෙන කේස් එකක් වේවි. ඒ හන්දා කාරෙකේ යනවා” කියාගෙනම කාර් එකෙයි ජ්ප් එකෙයි යතුරු තියලා තියෙන තැනින් කාර් එකේ යතුර අරගත්ත සමුද්‍ර ගෙදරින් එලියට යද්දි සුමලුත් ඒ එක්කම සමුද්‍ර පිටිපස්සෙන් එලියට ගියා.

සමුද්‍ර තාම ඇවිල්ල නැද්ද? එහෙම නැත්තම් එන්නෙ නැද්ද කියල අහල මැසේජ් එකක් දාන්න හිත කොච්චර කිව්වත් සප්තමී ඒ සිතුවිල්ලට ඕනවට වඩා උඩට ඇවිල්ලා මැසේජ් එකක් විදියට සමුද්‍රගෙ ෆෝන් එකට යන්න ඉඩ දුන්නෙ නෑ. “එයාටමනෙ එන්න ඕන කිව්වෙ. එයා දැනගන්න එපාය මං ආවද නැද්ද කියල හොයලා බලන්න” කියල තමන්ටම කියාගත්තට මොකෝ හිත අස්සෙන් ලොකුවටම සමුද්‍රව දකින්න ඕන කියන හැඟීමක් උඩට පොඩ්ඩ පොඩ්ඩ මතුවෙනවා කියන එක සප්තමීට අකමැත්තෙන් උනත් පිළිගන්න උනා.

“මේ මම ඇවිත් ඉන්නෙ, කෝල් ගන්න බෑනෙ අම්මල ලඟ ඉන්නවා ඇති නේද? ඔයාලා කොයි හරියෙද ඉන්නෙ?” කියලා සමුද්‍රගෙන් ආව ඒ මැසේජ් එක ෆෝ න් එකේ ස්ක්‍රීන් එක උඩ ලියවිල තියෙනව දැක්කම හිත අස්සෙන් මූණ දිහාවට ඇවිල්ල දෙතොල් උඩ ඇඳිච්ච ඒ හිනාව සමුද්‍ර එනකම් තමන් බලාගෙන උන්නා කියන එක සප්තමීට ආයෙ වතාවක් ඔප්පු කරලා පෙන්නුවා.

“අපි ඉන්නෙ අර එලවලු කඩවල් තියෙන හරියෙ. අම්මයි තාත්තයිත් ඉන්නවා” කියල සප්තමී එව්ව මැසේජ් එක සුමල්ට පෙන්නල සමුද්‍ර හිනාවෙද්දි සුමල් “යමං යමං, ඉස්කෝලෙ යන පොඩි කොල්ලො වගේ බං අපි. මේ අවුරුදු තිස් ගණන්වල පිරිමි ලව් කරන්නෙ මෙහෙමද කියපංකො? උඹ මහ ලොකුවට ඉස්සර කිව්වෙ කොහොමද? ආදරේ බොලඳ නෑ. වියපත් ආදරේ මාර ලස්සනයි. අරක මේක කියනවා ටීවි ප්‍රෝග්‍රෑම් වලට එහෙම ගිහිල්ලා. ඒ උනාට ඇත්ත ජීවිතේ උඹ කරන ඒව බලපංකො” කිව්වා. ඒ උනාට සමුද්‍ර එවෙලෙ සප්තමී නිසා හිත ඇතුලෙ ඉපදිච්ච අලුත් ආදරෙයි, ආසාවයි දෙක එක්කහු වෙච්ච අලුත් සන්තෝස ගංගාවක් අස්සෙ කිමිදි කිමිදි උන්නු හන්දා සුමල් කිව්ව වචන එච්චර සිරා විදියට භාරගත්තෙ නෑ.

සමුද්‍රයි සුමලුයි එලවලු කඩ පැත්තට ඇවිදගෙන එනවත් එක්කම වගේ තමයි සප්තමීගේ අම්මයි තාත්තයි දෙන්න ඉදිරි සතියට ඕන කරන එලවලු අරවා මේව අරගෙන එලවලු කඩ තියෙන පැත්ත එලියට යන්න ගියේ. අම්මයි තාත්තයි ඉස්සරහට ඇවිදගෙන එන සමුද්‍රවයි සමුද්‍රගෙ යාලුවා වෙච්ච සුමල්වයි දැක්කම හිත අස්සට ආව කෝඩුකාර ලැජ්ජාව හන්ද සප්තමී කලේ අහක බලාගෙන ඒ කඩවල් වල තිබිච්ච එලවලුයි එලවලු පැලයි පලතුරුයි අරව මේව දිහා බලන එක. තාත්තයි අම්මයි දෙන්න සමුද්‍රව දකින එකකුත් නෑ අඳුරගන්න එකකුත් නෑ කියල සප්තමී හිතුවට අම්ම ටක්ගාලා සමුද්‍රව අඳුරගත්තා.

“ඔය ඉස්සරහට ඇවිදගෙන එන්නෙ මේ අපේ පුතාලගෙ ටෙලි නාට්ටිය කරන මහත්තය නේද?” කියල අම්මා කියල සප්තමී දිහා බලද්දි මෙච්චර වෙලා බොරුවට අහල බලාගෙන උන්නු එකෙන් ඇස් දෙක මුදාගෙන සමුද්‍රව හරියට ජීවිතේ පලවෙනි වතාවට දකිනව වගේ තමයි සප්තමී ඒ දිහාව බැලුවේ. තාත්තත් ඒ එක්කම වගේ තමයි ඒ දිහාව බැලුවෙ.

“හැබෑ නේන්නම්, කතා කරමු නේද නෝනා” කියලා තාත්තා මාරුවෙන් මාරුවට අම්මගෙයි තමන්ගෙයි මූණ බලද්දි සප්තමී හිත ඇතුලෙන් මොක කිව්වත් බොරුවට නිකන් “අනේ ඕන නැ තාත්තෙ, ඒ මනුස්සයට අපිව මතකත් නැතුව ඇති” කියලා කිව්වා.

“එහෙම අමතක වෙනවද ළමයො තමන් සල්ලි දාන ටෙලි නාට්‍යයේ රඟපාන නිලියෙක්ව? අනික අපි එහෙම නොදැක්ක වගේ ගියොත් ඒ මනුස්සය හිතාවි මේ රඟපාන්න ගත්තයින් පස්සෙ අපි නිකන් උඩින් යනව කියල. මනුස්සකමට හොඳ නෑනෙ. අමතක නම් අපිට බැරිය මතක් කරල දෙන්න” කියාගෙන තාත්තා හිනාවීගෙන ඉස්සරහට යද්දිම තමයි සමුද්‍ර තාත්තව දැන් දැක්කා වගේ හිනාවෙලා “හලෝ අංකල්, මෙහෙ කොහෙද?” කියල කතා කරේ.

ඒ වෙලාවෙත් සප්තමීට එක එල්ලේ සමුද්‍ර දිහා බලන්න පුලුවන්කමක් නැති උනාට අම්මයි තාත්තයි දෙන්න මොනවහරි සැක හිතාවි කියල හිතලා තමයි සප්තමී හීනියට වගේ සමුද්‍ර දිහාව බලල හිනා උනේ.

ඒ උනාට ඒ හිනාව තව තප්පරයක්වත් කෙල්ලට මුණෙ තියාගන්න බැරිඋනේ සමුද්‍රගෙ ඇස් අස්සෙන් මිදිල ආව අම්මටයි තාත්තටයි එතන උන්න වෙන කිසිම කෙනෙක්ටවත් තේරුනේ නැති හරිම රොමාන්තික හැඟීමක් සප්තමීගෙ හිත අස්ස කිතිකවලා ඇස් දෙක බිමට බරකර හන්දා.

“අපේ දූ ඒත් කිව්ව මහත්තය අඳුරගන්න එකක් නෑ කියල කතා නොකර යන් කියලා. ඒ උනාට මං කිව්ව එහෙම හොඳ නැනෙ කියල. මං ඒත් හිතුවෙ නෑ මහත්තය අපිව අඳුරගනී කියල”

“අනේ එහෙම අඳුරගන්න බැරිවෙනවද අංකල්? ඔහොම තමා ඉතින් දැන් කාලෙ ඉන්න කෙල්ලො, නිලියො උනාම පොඩ්ඩක් ගණන් උස්සනවනෙ” දන්නෙ නැද්ද කියල හිනාවෙන ගමන් සමුද්‍ර තමන් දිහාවට ආයෙම වතාවක් ආදරේ පිරිච්ච බැල්මක් පා කරලා එවද්දි සප්තමී බිම බලාගත්තෙ හීන් සැරේ දෙතොල හපාගන්න ගමන්.

“Don’t bite your own lips, let me do it” කියලා එදා සමුද්‍ර ශූට් එක අතරවාරෙදි ආණමඩුවෙදි කිව්ව ඒ කතාව දෙතොල හපාගන්න ගමන් සප්තමීටත් සප්තමි දෙතොල් හපාගන්නව දැකපු සමුද්‍රටත් මතක් කරලා දුන්නා.

දෙන්නටම එක වගේම හිනාවක් එකම වෙලාවෙ ආවෙ ආන් ඒ හන්දා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here