මල් පිපුණිද හිම කැළයේ – 35

0
1685

එක් සොඳුරු සවසක සුන්දර ගම්බද  දේවස්ථානයකදී මාලිකා සහ බ්‍රයන් නීත්‍යානුකූලව විවාපත් වූහ.මාලිකා සුදු පැහැ සුන්දර මංගල ගවුමකින් සැරසී සුදු සහ රෝස පැහැ මල් කළඹක් දෝත දරා උන්නාය.බ්‍රයන් සිය මනාලිය ආදරයෙන් සිප ගත්තේය.ඔහු ඇයට බෙහෙවින් ආදරය බව දන්නා මුත් ස්ටීව් අන් අයට නෑසෙන සේ ඔහුට ඉඳහිට විහිලු කළේය.

“චී…බ්‍රයන්…කොල්ලෙක් වගෙ ඉන්නවකො… අඬන්නෙ…කඳුලුත් ආවා නේ මෙලා දැක්ක ගමන්…
මේ බ්‍රෝ …දැන්ම නෙවේ අඬන්න වෙන්නෙ පස්සෙ…පස්සෙ…”
බ්‍රයන් ස්ටීව් ගේ පසට හැරී පහරක් ගැසීය.

“අඩුගානේ මේ මගෙ මගුල..කටවහන් ඉන්නවා ස්ටීව්..වඳින්නම්…”
බ්‍රයන් බොරු නොමනාපයක් පෙන්වීය.

ස්ටීව් නිලංගා වෙතින් දෑස් මුදවා ගත්තේ ඉතා අසීරුවෙනි.ඇය ළා කොළ පැහැයට හුරු ගවුමකින් සැරසී උන්නාය.හිසකේ සැකසූ මෝස්තරයට සුදු,රෝස සහ ළාකොළ පැහැ මල් කිණිත්තක් අමුණා තිබුණි.ඇය චාම්ය සුන්දරය…ඇස ඉවතට ගන්නට අපහසු තරම්ම ඇයගේ ස්වභාවික සුන්දරත්වය රූපලාවණ්‍ය ශිල්පිනිය මතුකොට ගෙන තිබුණි.

“බ්‍රයිඩ් වුණ  මට වඩා බ්‍රයිඩ්ස්මේඩ් වුණ නෙලී දිහායි කට්ටිය බලන්නේ…”
මාලිකා සිය මිතුරියගේ සුන්දරත්වය ගැන හදවතින්ම සතුටු වූවාය.ස්ටීව් ඇය දෙස බලා ඉන්නා ආකාරය බ්‍රයන්හටද ඉඟිකොට පෙන්වූවාය.

“ඔහොම කෙල්ල දිහා ගිලින්න වගෙ බලන් ඉන්න එපා ස්ටීව්.දකින මිනිස්සු හිතාවි අර එස් කේ කම්පැනි ඕනර් ජීවිතේට කෙල්ලෙක් දැකලා නෑ වගෙ බලන් ඉන්නෙ කියලා…”
බ්‍රයන් ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

“කෙල්ලො නම් ඔලුවෙ කෙස් ගාණට දැකලා තියනවා බ්‍රයන්.බට්.. ශී ඉස් එක්සෙප්ෂනල්…”
ස්ටීව් දැන් දැන් නෙලී සම්බන්ධ අදහස් නිර්භයවම අන් අය හා පවසන බව බ්‍රයන් දැන සිටියේය.

“ඒ අතරේ වෙනත් බැල්මක් ද නෙලී වෙතට ඇදී එන බව පෙනෙයි…කිව්ව ගමන් බලන්න එපා…ජෝජ් අංකල්ගේ දූ ලෝරා..කන්න වගේ බලන් ඉන්නේ “
වාර්තාමය ස්වරයකින් බ්‍රයන් පැවසුවේ ඉදිරිය බලාගෙනමය.
ස්ටීව් බ්‍රයන් හා අනුවම කිසිවෙක්ට නොදැනෙන ආකාරයට හාත්පස බැලීය.ලෝරා නෙලී දෙස  බලා සිටිනා ඒ බැල්ම එතරම් සුබදායක නොවන බව ස්ටීව් වටහා ගත්තේය.නෙලී ඒ කිසිවක් නොදැන සිනාමුසු මුහුණින් මෙලාගේ පසෙකට වී හිඳින්නීය.

මඳ වේලාවකට පසු නිලංගා ස්ටීව් වෙත පැමිණියාය.කැමරා ශිල්පියාගේ විවිධාකාර යොමු කිරීම් වලට අනුව මනාල යුවළට සහ ඔවුන් දෙදෙනාට ඡායාරූපවලට පෙනී සිටීමටට සිදුවිය.නිලංගාගේ එක් පාවහනක ගාංචුවක් බුරුල් වීම හේතුවෙන් ඇය ඇවිද ආවේ අපහසුවෙනි.

“අනේ ස්ටීව් මේ මල් එක පොඩ්ඩක් අල්ලගන්නවද? මගේ ෂූ එකක බක්ල් එක බුරුල් වෙලා.මම ඒක පොඩ්ඩක් තද කරගන්නකම් මේ මල් එක අල්ලගන්නකෝ..”
ඒ මොහොතේ මාලිකාගේ මල් පොකුර නිලංගා අත තබා ඔවුන් දෙදෙනා ඡායාරූප සඳහා පෙනී සිටියහ.

“නෑ ඔයා ඔහොම ඉන්න.කෝ…මොන කකුලද?ආ..මේකද ..? ඉන්න මම ඒක තද කරන්නම්.”
ස්ටීව් නිලංගා අසළ දණ නමා ඇයගේ පාවහනේ පටිය සැකසුවේ ඇය එය ප්‍රතිකේෂ්ප කරන්නටද පෙරාතුවය.නිලංගා ස්ටීව්ගේ ඒ කඩිනම් ක්‍රියාව හේතුවෙන් දැඩි අපහසුතාවයකින් පෙළුනාය.ඔහු කරනු ඇතැයි ඇය කිසිවිටෙකත් නොසිතුවාය.ඒ සමගින්ම අකුණක් සේ එතැනට කඩා වැදුනේ ලෝරා සහ සිල්වියාය.

“ස්ටීව් , ඔයාට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද..මේ එක එක කෙල්ලන්ගේ සපත්තු පටි හදන්න…මෙතන ඔක්කොම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලයි relationsලයි ඔක්කොම බලා ඉන්නවා..”
ලෝරා කියවාගෙන ගියේ සිල්වියා ඈ අසල වූ හයිය හිතට ගෙනය.ස්ටීව් ගණනකට නොගෙන නැගී සිටියේය.

“ඉතින්….ලෝරාට ඒකෙන් ඇති ප්‍රශ්නෙ මොකක්ද? මම බෙස්ට්මන්…මේ බ්‍රයිඩ්ස්මේඩ්…අනික නෙලී කියන්නෙ මගෙ හොඳම යාලුවෙක්.ඔයාට මොකක්ද තියන ප්‍රශ්නෙ මම මොනව කළත්..”
ස්ටීව් සෘජුවම විමසුවේය.සිල්වියා හැඬුම්බර මුහුණෙන් ඇය දෙස බැලූ ලෝරාගේ අතකින් අල්ලාගත්තාය.

“නෙලී, දිස් ඉස් නොට් අ ගුඩ් බිහේවියර්…ඔයාට අඩු ගානේ ස්ටීව්ට එපා කියන්න තිබ්බා..”
සිල්වියා සිය වදන් ප්‍රහාරය එල්ල කළේ නිලංගා වෙතය.

“ම්..මම..මම..”
නිලංගා වදන් ගලපා ගත නොහැකිව මොහොතකට පැකිලුනාය.මේ තමා කිසිවිටෙකත් නොසිතූ ගැටලුවකි.ස්ටීව් වහා ඉදිරිපත් වූයේ ඒ මොහොතේය.

“මම නෙළීට වචනයක්වත් කියන්න එපා.මොකද එයා මට කිව්වේ නැහැ එයාගේ ෂූ එක හදන්න කියලා.ඒක මමයි කළේ.අනිත් එක ලෝරා…මමි ඔයා ලෝරාට පැහැදිලිවම කියන්ඩ ඕන එයා ඉන්න තැන.එයා මට කිසිම අදාළ කෙනෙක් නෙමෙයි.අදවත් මේක ජෝර්ජ් අංකල්ටයි ලෝරාටයි පැහැදිලිවම ඔයා කියන්ඩ ඕනේ.ඒක මම කියන්න ගියොත් කියවෙන්නේ එච්චර සොෆ්ට් විදියකට නොවෙන්න පුළුවන්…ඕකේ….යමු නෙළී අපිට තව ෆොටෝස් වගයක් ගන්න කැමරාමන් කතා කරනවා..”
ස්ටීව් ක්ලිෆර්ඩ් සිය සුරත නිලංගාගේ බඳවටා යවා ඇය සමගින් ඉදිරියට ඇවිද ගියේය.

සිල්වියා ක්ලිෆර්ඩ් කෝපයෙන් දැවුණාය.ස්ටීව් හරහා සිය ව්‍යාපාර මිත්‍රයා සමගින් ඇති ව්‍යාපාර සබඳතාවයන් තව තවත් වැඩිදියුණු කරගන්නට ඇය පිඹුරුපත් සකසමින් උන්නාය.පෙනුමෙන් හෝ ගතිගුණ වලින් කිසිසේත්ම ලෝරා ස්ටීව් හට නොගැලපෙන බව ඇයද දැනඋන්නාය.එහෙත් කරන්නට කිසි දෙයක් නැත.මෙවන් අභිප්‍රායයන් වෙනුවෙන් තමා හට ස්ටීව් බිලි දෙන්නට වූයේ ඉතා කුඩා කල පටන්ය.ඉදින් එය දැනටද සිදුවීම සිල්වියා හට ගණනක් නොවීය.

සිල්වියාගේ කෝපය හැරී යන්නට වූයේ නිලංගා වෙතය.ඇය වහා ස්ටීව් ගේ සමාගමයෙන් ඉවත් කළ යුතුය.එයට ඇති එකම බාධකය අම්මාය.නෙලී සිය සේවයෙන් ඉවත් කිරීමට කිසිවිටෙකත් අම්මා ඉඩ නොදෙයි.ඉතින් මේ සියල්ල කළ යුත්තේ අම්මාට හෝ ස්ටීව්ට නොදැනෙන්නටය.

“ඔයා වොරි වෙන්න එපා ලෝරා..මං මේක බලා ගන්නම්..”
තවමත් හැඬුම් මුහුණෙන් මෙන් ස්ටීව් සහ නෙළී ගිය දෙස බලා සිටිනා ලෝරාගේ දෑතින්ම අල්ලා ගත් සිල්වියා පැවසුවාය.

නිලංගා උන්නේ බලවත් සිත් තැවුලකිනි.සිදුවූ සියල්ල තමාගේ අනුදැනුමකින් තොරව සිදුවූ ඒවාය.සිල්වියා ක්ලිෆර්ඩ් ගේ ගිණිකන වැටුණු දෑස කෝපයෙන් තමා වෙත හැරී ඇති ආකාරය ඇය දුටුවේ පළමු වතාවටය.මෙතුවක්කල් මේරි මැඩම්ගේ සියලු වැඩ කටයුතු හමුවේ ඉතා කාරුණිකව තමා හට සැලකූ ඇය දැන් සිටින්නේ හාත්පසින්ම වෙනස් ආකාරයටය.මේ සම්බන්ධව ස්ටීව් සමගින් කතා කරන්නට අවශ්‍ය වුවද එය මේ වේලාව නොවෙයි.නිලංගා සුසුමක් හෙළුවාය.ඒ සුසුම් හඬ ඇය සමගින් සේයාරුවට පෙනී සිටිනා ස්ටීව්ටද දැනුණි.

උදෑසන සිට මලක් සේ පිපී උන් ඇය දැන් මුකුලිත වී හමාරය.විටින් විට සුසුම් හෙලමින් කම්පා වන්නේ අම්මා කියූ දේ ගැන විය යුතුය.ඔහු ඇය සමගින් මොහොතකට හුදෙකලා වූයේ කැමරා ශිල්පියා මනාල යුගල සමඟින් නුදුරේ වූ තුරු සෙවණකට ඇවිද යන අතරේය.

“නෙලී ඔයා හරිම අප්සෙට් වෙලා නේද ඉන්නේ…ටිකකට කලින් සිද්ධ වෙච්ච දේ නිසා..”
ස්ටීව් නිලංගා ඉදිරිපසින් සිටගත්තේය.බිමට හැරුනු දෑසින් යුතුව ඇය හිස සැලුවාය.

“ඔයාට මොකුත්ම ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ.මාව විශ්වාස කරන්න.අම්මටවත් ලෝරාටවත් වෙන කාටවත් ඔයාට ප්‍රශ්නයක් ඇති කරන්න මම ඉඩ තියන්නේ නැහැ..”
ස්ටීව් සිය සුරතින් නිලංගාගේ මුහුණ මඳක් එසවීය.ඇයගේ දෑස් වල කඳුලු පටලයක් ඇතුවා නැතුවා සේය.

“hey girl..මොකද මේ මැලවිලා..ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..මම කිව්වනේ මම ඒක විසඳන්නම්…මේකෙදි ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ.අනික මේක ඔයාට අදාල ප්‍රශ්නෙකුත් නෙමෙයි..හිනා වෙලා ඉන්න..මම එදත් කිව්වනේ ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි කියලා..”
ස්ටීව් සිය දෑතින් ඇයගේ කොපුල් දෙපසින් අල්ලා සෙලවීය. ඔහුගේ මෙවන් චර්යාවන් පසුගිය කාලය තුළ ඇයට නුපුරුදු ඒවා නොවීය. ඉඳහිටක කොපුලක් මිරිකීම…කනින් ඇදීම..කොණ්ඩයෙන් ඇදීම බඳු දඟකාර ක්‍රියාවන් මිතුරු සමාගම අතරේ වුව ඔහු වෙතින් සිදුවීම සාමාන්‍ය ක්‍රියාවක් විය. එහෙත්  මේ මොහොතේදී එය පවා ඇය බිය ගන්වන සුළු විය.නිලංගා එක් පයක් පසෙකට තැබුවාය.සමබරතාවය ගිලිහී යන්නට ආසන්නයේදී ඇය වැටෙන්නට පෙර ස්ටීව් ඇය අල්ලා ගත්තේය.
උනුන් බොහෝ ආසන්නයෙන් එකිනෙකා වෙත සමීප වූයේ මොහොතේදී වෙනදා නොකියවූ කතාවක් දෙදෙනාගේම දෙනෙක් තුළ දෙදෙනා කියවා ගත්තෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here