මුතු බෙලි හදවත – 19 වන කොටස

දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ සඳහා වැය වන මුදල ගැන වගක් නොවන බව ද විශේෂයෙන් ම කීවේ ය.

ඒ සියල්ල අවසානයේ ඔහු බැංකුවේ සහකාර කලමණාකාර තැනට හිමි විධායක අසුනේ හරි බරි ගැහී, අත් දෙක ඉහළට ගෙන පුටු වත ද අල්ලා ගනිමින් මඳක් අසුනේ පැද්දෙන්නට වූයේ ය. දුමාල් ගේ මුහුණේ වූයේ තෘප්තිමත් බවකි.

මේ ඔහු මෙවන් අත්දැකීමකට මුහුණ දෙන ප්‍රථම වතාව ය. විශ්ව විද්‍යාලයේ ත් ප්‍රේමයට නම් ඕනෑ තරම් ඉඩ තිබිණි. ඔහු ගැන විශේෂ උනන්දුවක් දැක්වූ තරුණියන් කිහිප දෙනෙකු ගැන ද දුමාල් ට මතක ය. නමුත් ප්‍රේමය විෂයේ ඔහු අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියකි. වැඩි දෙනෙකු සිතුවේ ප්‍රේමය හා තරුණියන් විෂයේ ඔහු අනවශ්‍ය තරම් ලැජ්ජාශීලී බව ය. නමුත් සත්‍යය එය නොවේ.

ඔහු ප්‍රාර්ථනා කරන්නා වූ යමක් ඒ ඉසව්වේ තිබී හොයා ගන්නට දුමාල් ට හැකි වූයේ නැත!

ඒ දිනය ඇගේ උපන් දිනය බව ආදිත්‍යා ට මතක තිබුණේ නැත. ඔටිසම් රෝගී දරුවෙකු සමග තනිව ඔට්ටු වන ගැහැනියකට ඒ වාගේ සරල කාරණා අමතක වීම ගැන පුදුම විය යුතු ද නැත. උදේ ඇය ආමන්තා සමගින් මින්දුල ව කථන චිකිත්සක සායනය සඳහා ගෙන ගියා ය. ආමන්තා ට පත්වීම ලැබෙන තුරු දැන් ඉතින් ඇයට පාළුවක් නැත්තේ ය. දවල් කාලය විකුම් පායෙහි ගත කළ ආමන්තා, හැන්දෑවේ සිය යෙහෙළියක හමු වන්නට ය කියා ආදිත්‍යා ට පිටතට යන්නට කතා කළා ය.

“හැබැයි හොඳට ඇඳල එනව හරිද…දැන් ඔයා ඔයා ගැන කිසිම සැලකිල්ලක් නෑ අක්කෙ”

ඒ ආමන්තා ට විශේෂයෙන් කිව යුතු වූ කාරණයකි. ගෙදර සිටියදී ආර්ථික වශයෙන් අඩු පාඩු තිබුණ ද ආදිත්‍යා ඇඳුම් තෝරා ගත්තේ පිළිවෙලකට ය. පෙර පාසලේ උගන්වන්නට යන්න ගත්තා ට පස්සේ, ඔසරිය හැඳ, හවඩියක් දමා, පබළු වැලක් ගෙල බැඳ ඈ මග බැස ගියේ උඩරට මැණිකේ කෙනෙක් වාගේ බව මේ දැනුත් ආමන්තා ට සිහි කළ හැක. නමුත් මින්දුල ගේ රෝගී තත්වය ගැන අනාවරණය වූවායින් පස්සේ අක්කා ගේ තත්වය මුළුමනින් වෙනස් වූ බව ආමන්තා දනී. ඇය ඇන්දේ අතට අහු වෙන ඇඳුමකි. ඉස්සර වාගේ රැල්ලක් නො හිටින සේ මැද, වර්ණ ගලපා අඳින්නට ආදිත්‍යා අමතක කර දැමුවා ය. ඇගේ හිතේ හැම තත්පරයක ම ක්‍රියා කළේ පුතා ගේ අසනීපය සුව කර ගැනීම පිළිබඳ කාරණා ය.  අම්මා ට නංගී ට වුව ලොකුවට නො පෙන්වා හිතේ හිර කර ගෙන සිටියා ට, බිඳ වැටීමක රතු එළි දල්වමින් තිබෙන්නා වූ ඇගේ යුග දිවිය පිළිබඳ භීතිකාමය කාරණා ය.

නංගිගේ කතාව ගැන යළිත් සිහි කළ ආදිත්‍යා, ඇගේ යෙහෙළියක හමු වන්නට යන එකේ හුඟක් කාලෙකින් ඇන්දේ නැති දිග ගවුමක් තෝරා ගත්තා ය.

“මං අයන් කරල දෙන්නං”

ආමන්තා එය ස්ව නැමැත්තෙන් ම මදින්නට ගත්තේ, රෝහල් සායන වලට පවා පහු ගිය කාලයේ ආදිත්‍යා ඇඳ ගෙන ගියේ හොඳට ම පොඩි වූ ඇඳුම් බව මතක තිබුණ නිසා ය.

“එහෙම තමයි නංගි. ජීවිතේ එක එක කාල වලදි එක එක විදිහට අපි ඉස්සරහට එනව. වසන්තය හැම දාම තියෙන්නෙ නෑ. ගිම්හාන හේමන්ත වුණත් අපිට මගඇරල යන්න බෑ. ඒ ඒ වෙලාවල් වලදි අපි රිඇක්ට් කරන්නෙ ඒ ඒ තත්ව වල හැටියට. බැඳපු නැති කෙල්ලෙක් විදිහට…වයිෆ් කෙනෙක් ට ජීවිතේ දකින්න බෑ. දරුවො ඉන්න අම්ම කෙනෙකුයි ඔටිසම් දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුයි අතරෙ වුණත් ලොකු වෙනසක් තියෙනව. අපිට ඒ ප්‍රශ්න වලට ෆේස් කරන්න වෙන්නෙ වෙන වෙන විදිහවල් වලට. අපේ හිත් වුණත් ඒ පවතින තත්වයත් එක්ක සම්පූර්ණයෙන් ම වෙනස් වෙනව. මං මේ ගාණක් නෑ වගේ හිනා වෙලා හිටියට…කවුරුවත් ම නොදන්න ගින්දරක් හිතේ පත්තු වෙනව නංගි”

ආදිත්‍යා විවාහයෙන් පසු සිය හදවත යම් තාක් දුරකට හෝ හෙළි කළ ප්‍රථම වතාව මේ ය. මුකුත් කියා ගන්නට බැරි තරම්  හිත් බරක් ආමන්තා ට දැනිණ. ඇය ගවුම මැද්දේ කල්පනා බර ව ය. ඒ නිහඬ බර අතරින් එක ම එක දෙයක් ඇය ට පැහැදිළිව ම පසක් විය. එනම් ආදිත්‍යා අනුන් නිසාවෙන් දුක් වින්දා ඇති ය කියා ය. ඇය ඈ නිසාවෙන් තුටින් සිටිත යුතු ය.

ඒ අවන් හල දිය මත පිහිටි එකකි. ලෑලි පාලමෙන් එතෙර වෙමින් අවන් හලට ගොඩ වෙත්දී දැනුණ පාවෙන හැඟීම අතරින් ආදිත්‍යා සිතුවේ,’මෙච්චර පොෂ් තැනක මීට් වෙන මෙයාගෙ යාළුව කව්ද’ කියා ය. නමුත් දුරට දිගට ඒ ගැන සිතත නො හැකි වූයේ, මේ නුහුරු පරිසරය හා හෙලවෙන ස්වභාවයක් දරනා පාලම ගැන මින්දුල තරමක් කලබල වෙන්නට පටන් ගෙන සිටි නිසා ය. ඔහු කෑ ගසා හඬන්නට පෙර පාලම තරණය කොට නිම කිරීම ආදිත්‍යා ගේ අරමුණ විය.

ආමන්තා අවන්හල් සේවකයෙකු ට මුමුණා ඔවුන් ට හිමි තැන දැන ගත්තා ය.

“ඇයි මේ..”

ආදිත්‍යා නැගණිය ගේ සවනට මිමිණුවේ ඇය ට යම් වෙනසක් දැනෙමින් තිබි නිසා ය.

“ෆැමිලි රූම් එකක්”

ආමන්තා වීදුරු දොර ඇරියා ය. කඳුකර මල් හා සයිප්‍රස් කොළ වල මිශ්‍ර සුවඳ හමා ආවේ ය.

“හැපි බර්ත් ඩේ ආදිත්‍යා”

යනුවෙන් රත්තරං පාට ඉංග්‍රීසි අකුරෙන් ලියූ සැරසිල්ලක් බිත්තියේ තිබෙනු දුටු ආදිත්‍යා ගේ ඇස් උඩ ගියේ ය.

“නං…ගි…අද බර්ත් ඩේ එක කියල මට මතක් වුණෙත් නෑ”

ඇගේ මුහුණේ මල් යායක් පිපිණි. ආමන්තා මෙිහොතක් අක්කා ගේ හදවතින් නැගුණ ඒ සිනහව දෙස බලා සිටියා ය. ඇය කෙතරම් නම් අවිහිංක ද?

දුමාල් ඕකීඩ් මල් කළඹක් ද ගෙන ඈ වෙත ආවේ ආදිත්‍යා තිගස්සවමිනි.

“හැපි බර්ත් ඩේ…”

ඔහු මල් කළඹ ආදිත්‍යා ට දෙමින් සිනහ වූයේ ය. නමුත් ඇයට සිනහ වීමට තරම් හිත් නිරවුල් බවක් වූයේ නැත.

“රවන්නෙ…බර්ත් ඩේ එකට විශ් කළාම”

ඔහු ගේ සිනහව ගැහැනු හිතක් වසඟ කරවනා එකකි. ආමන්තා ඉවත බලා ගත්තා ය. දුමාල් ආදිත්‍යා දෙස විනාඩි කිහිපයක් වෙනස් නො කර ගත් බැල්මෙන් සිටියේ ය. අද ඈ වෙනදා ට වඩා පියකරු ය.

“මොනාද නංගි මේ කරන විකාර වැඩ…”

ආදිත්‍යා ආමන්තා දෙසට හැරුණා ය.

“නංගිට බණින්නෙපා. එයා මට බර්ත් ඩේ එක අද කියල කිව්ව විතරයි”

දුමාල් ආදිත්‍යා අතින් මින්දුල ව ගත්තේ ය. ලොකු ප්‍රතික්ෂේප කිරීමකින් තොර ව දරුවා ඔහු අතට ගියේ ය. ආදිත්‍යා මල් කළඹ ළය ට තුරුලු කර ගත්තා ය. දම් පාට හා කහ පාට ඕකීඩ් මල් වලින් හමා ආවේ තුනී සුවඳකි. ආදිත්‍යා මල් පෙත්තක් ඇඟිලි තුඩගින් පිරිමැද්දා ය. මේ වගේ මොහොතක් ඕනෑ ම හදවතක තිගැස්මක් ජනිත කරන්නේ ය. ජීවිතය පිළිබඳව අලුත් අපේක්ෂාවක් දල්වන්නේ ය.

ආදිත්‍යා ප්‍රීතිමත් ව හැසිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ඇගේ ඇස් වල දීප්තියක් දැල්විණි. තමන් ව අගයනවාට සතුටු කරවනවාට අකමැති කෙනෙකු මෙලොව ඉන්නට විදිහක් නැත. ආදිත්‍යා ද සාමාන්‍ය තරුණියක මිස විශේෂිත ගැහැනියක් නො වූවා ය. විශේෂයකට විණි නම් මින්දුල විසා උපන් අම්මා යන පදවිය පමණකි.

ඒ රාත්‍රිය මනරම් වූයේ ය. හාත්පස වූයේ ජලාශයයි. දිය මතට විදුලි එළි වැදී, රිදී පැහැති කඩ රේඛා මවා තිබිණ. ඒවා දිය මත ගිලෙමින් ද මතු වෙමින් ද නැටුවේ ය. ආදිත්‍යා වීදුරු බිත්තියේ ඇස් ඔබා ගෙන ඒ දර්ශනයෙන් වසඟ වී ගෙන බලා සිටියා ය.

“මට ලොකු පගාවක් දෙන්න වෙනව”

ආමන්තා හෙමිහිට දුමාල් වෙත මිමිණුවා ය.

“එක්කං ආවට. ගෙදර ගියාට පස්සෙ මාව ඉතුරු කරයිද දන්නෙත් නෑ”

“පගා ඉල්ලනව කියල අල්ලස් අංශෙට පැමිණිලි කරනව හරිද…”

දෙදෙන ම හඬ නගා සිනහ වූහ. ආදිත්‍යා හැරී බැලුවා ය. ආමන්තා වහා සිනහව ගිල ගත්තා ය.

කෙසේ වෙතත් ඒ භෝජන සංග්‍රහය පැවති කාලය පුරා ආදිත්‍යා දුමාල් සමගින් එක වදනක් හෝ කතා නො කළා විය යුතු ය. විකුම් එවැනි ප්‍රිය ජනක අවස්ථාවන් ඈ අභිමුවට පමුණුවන්නට කවදාවත් උත්සාහ කර නැති එක ගැන ආදිත්‍යා කිසිත් නො සිතුවා ය. ඇය දුමාල් ට වුව ස්තූති කළේ නෑ නේද කියා සිහිපත් වූයේ කුළී රියෙහි නැගී මග එමින් සිටියදී ය.

“තෑන්ක් යූ”

කියා ඕ ඉක්මන් කෙටි පණිවිඩයක් ඔහු වෙත යොමු කළා ය. දුමාල් රිය පදවන ගමන් ම හාදුවක් දෙන ඉමෝජියක් එව්වේ දෙතොල් මත වන දඩබ්බර සිනහවෙනි. ඒ දුටු ආදිත්‍යා වහා දුරකතනය අත් බෑගයට එබුවා ය..

එදා විකුම් තරමක් වේලාසන ගෙදර ඇවිත් තිබිණි. ඔහු ආවේ විවාහ මංගල උත්සවය ගැන ආදිත්‍යා ට නැවත මතක් කිරීමක් කරන්නට ම ය. ඇය යන්න බෑ කීවොත් ඔහු ගේ තත්වය ට එය මරු පහරක් වන බව විකුම් ඉඳුරා දැන සිටියේ ය.

“කොහෙද මෙච්චර වෙලා ගියේ…”

රූපවාහිනී ශාලාවේ හිඳ සිටි විකුම්, ඔහු පසු කොට යමින් සිටි ආදිත්‍යා විමසුවේ ය. ඇය නතර වී, උරහිස මත නිදමින් සිටි මින්දුල ව ද යළි සකසමින් අඩියක් දෙකක් විකුම් වෙතට ආවා ය.

“ඩිනර් එකකට”

“මොකක්…”

යක්ෂාවේෂයෙන් සේ විකුම් අසුනෙන් නැගිට ගත්තේ ය.

“දැං මේ ගෙදර තමුන්ට ඕන ඕන දේවල් කරන්න පුළුවන් කියලද හිතං ඉන්නෙ…ඕන වෙලාවට ගෙදරිං යනව…ඕන වෙලාවට ගෙදර එනව”

“ඉතිං ඔයත් එහෙමනෙ විකුම්”

“ආදිත්‍යා මේ…මං කරන විදිහටද එතකොට තමුනුත් වැඩ කරන්න හිතං ඉන්නෙ…”

“අපෝ නෑ. මං එච්චර පහළට  වැටෙන්නනං කැමති නෑ”

ඒ වගේ යක්ෂාවේෂ වූ පිරිමියෙකු ඉදිරියේ ඒ තරම් සන්සුන් ව හා ඍජු ව කතා කරන්නට හැම ස්ත්‍රියකට ම හැකි වන්නේ නැත. ඈ ඒ ශක්තිය ලද්දේ කොහෙන්දැයි ආදිත්‍යා ට වුව සිතා ගත නො හැකි වූ තරමි..

“ඩිනර්! මොකා එක්කද දන්නෑ දැං ඔය ඩිනර් වලට ගියේ නේ…”

විකුම් ගේ ගෝරනාඩුව ඇසී සඳසීලී එතැනට කර පෙව්වේ ඒ වෙලාවේ ය..

“මාත් එක්ක ගියේ අයියෙ”

ආමන්තා ඉදිරියට ආවා ය. නංගී ඈ සේ ඉවසනා තැනැත්තියක නො වන බව දන්නා ආදිත්‍යා ගේ හිතේ බියක් ඇති නො වූවා කීවොත් මුසාවකි.

“අද අක්කගෙ උපන් දිනේ. අයියට නිකමටවත් මතක් වුණාද…හරිනං අයියයි අක්කව ඩිනර් අවුට් එකකට එක්කං යන්න ඕන. මේ කෙල්ල තනියම පොඩි දුකක්ද අයියෙ විඳින්නෙ. මටනං කේන්තිත් යනව දකිනකොට. අපේ අම්මලත් හවුල් වෙලයි අක්කට මේක කළේ. මං හරි අක්කව ටිකක් එළියට එක්කගෙන ගිය එක ගැන ඔයා හරිනං සතුටු වෙන්නයි ඕනෙ”

අන්තිම ටික කියත්දී ආමන්තා ගේ හඬ බිඳිණි. ආදිත්‍යා කාමරය දෙසට යන්නට හැරුණා ය. කියන්නට සිටි කාරණය කියා ගන්නට විකුම් ට ඉඩක් සැලසුණේ නැත.

“සොරි දුව”

සඳසීලී ආදිත්‍යා පසු පස කාමරයට ඇවිත් තිබුණා ය.

“මටත් මතක් වුණෙ නෑ ඔයාගෙ බර්ත් ඩේ එක කියල”

ඇය බලයෙන් ම වගේ ආදිත්‍යා ගේ මුහුණ සිම්බා ය.

“අනේ ඒකට මොකද අම්මෙ…මගෙ උපන් දිනේ කියල මටත් මතක නැති වෙලා තිබුණ එකේ..මෙන්න මේ පිස්සිට තමයි ඒක මතක තිබිල තියෙන්නෙ. අනිත් එක දැං මේ මට මොන උපන් දිනද අම්මෙ. මේ දරුව ගැන කල්පනාවෙං මගෙ මුළු හිතම පිරිල තියෙන්නෙ”

ආමන්තා සඳසීලී දෙස බැලුවේ හෝ නැත. පුතා හදා ගන්නට කියා අහිංසක ආදිත්‍යා ගේ ජීවිතය බිල්ලට ගත්තේ ඇය ය යන සිතිවිල්ල ඇගේ හිත නො රිස්සුම් කොට තිබිණි. සඳසීලී ද ඉක්මනින් කාමරයෙන් නික්ම ගියේ ආමන්තා ගෙන් සුහද බවක් පළ නො කෙරුණ නිසා ය.

ආදිත්‍යා වීදුරු මල් බඳුනකට වතුර පුරවා, දුමාල් ගෙන් තිලිණ ලද මල් පොකුර එහි දැමුවා ය. ඊළඟට එය බෙඩ් සයිඩ් කබඩ් එක මත තැබුවා ය. ආමන්තා කට කොනකින් සිනහ වෙනු ඇය දුටුවා ය.

“මොකද…”

“අර කොල්ලට අච්චර ගෑස් දදා හිටියෙ…මොකද දන්නෑ දැං මල් ටික කල් තියා ගන්න හදන්නෙ…”

“මල්නෙ…මං එයාව තියා ගත්ත නෙවෙයිනෙ”

“එයත් ඇති…ඔයාටත් නොදැනි දැං හිතේ. නැත්තං ඔය මල් ටික පරිස්සං කරන්න ඔයාට හිතෙන්නෑ. එහෙනං ඔයා ඔය මල් ටික අර රෙස්ටොරන්ට් එකේ ඩස්පින් එකකට ඔබලයි එන්නෙ”

ආදිත්‍යා පාෂාණිභූත ව බලා සිටියා ය. ආමන්තා වෙත වූයේ අභියෝගාත්මක මුව මඳහසකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles