ගැහැනියකගේ කඳුළු පිස දැමිය හැක්කේ සුන්දර හදවතක් ඇති තවත් ගැහැනියකටම පමණයි.

මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි. එනිසා මගේ ස්වාමි දුව මා කෙරෙහි වූයේ අප්‍රමාණ පැහැදීමකි.

සියල්ල වෙනස් වූයේ මා ගර්භනී වූ බව ඈ දැන ගත් පසු ය.

අද මුළුතැන්ගෙයි ඉඳුල් බඳුන් කිසිවක් දක්නට තිබුණේ නැත.

“නෝනා..වළං ටික කෝ?”

“මම ඒවා හේදුවා. ඒවා ඉඳුල් ගඳයි.”

ඇය මට නොසැලකිලිමත් ලෙස කියා ඉවතට ගියා ය. මා නිවස මොප් කරන්නට සැරසෙන විට ද ඈ පැවසුවේ එය අනවශ්‍ය බව ය.

මට මහත් වේදනාවක් දැනුණේ ඇගේ බිලිඳා අඬන්නට ගත් විට පුරුදු පරිදි නළවන්නට යාමේ දී ය. ස්වාමි දුව වහා දරුවා මගේ අතින් ගත් අතර පසෙකට යන්නට උපදෙස් ලැබිණි. සෑම දිනකම මගේ අතේ නැළවෙන දරුවාට මගේ උණුසුම අහිමි වී ගිය දුක මා පීඩිත කළේ ය.

රෙදි සෝදන යන්ත්‍රයෙන් හරිහැටි නොසේදෙන ඇඳුම් හෝදන්නට ජල බඳුනක් පුරවමින් සිටි මට ඇය නැවත කෑ ගැසුවා ය.

“වොෂින් මැෂින් එක පාවිච්චි කරන්න. ඒක ගෙනාවේ නිකං තියන්න නෙවෙයිනෙ..”

නමුත් සමහර ඇඳුම් අතින් සෝදන්නට එදවස මට සිහි ගැන්වූයේ ද ඈ විසිනි.

අද දවස අමුතු ය.වෙනදාට කලින් සේවය අවසන් කර නිවසට යන්නට මට උපදෙස් ලැබිණි. මේසය මත වූ පළතුරු රැගෙන යාමට ද ඈ අණ කළා ය. හෙට මගේ වැටුප ලබා ගත හැකි බව ද සිහි ගැන්වූවා ය.

දොර සීනුව වැදුණේ ඒ සමඟම ය.නාඳුනන තරුණ ගැහැනියක එහි බලා සිටි අතර නෝනා හමු වීමට අවශ්‍ය බව කියා සිටියා ය. ස්වාමි දුව වහා පැමිණ ඈ කැඳවූවා ය.

“ඔයාට හෙට ඉඳන් එන්න පුලුවන් ද? ” ස්වාමි දුවගේ ඉල්ලීමට ගැහැනිය වහා එකඟ විය. පෙනෙනා අන්දමට ඈ මේ නිවසේ නව සේවිකාව ය.

“මම ඉන්නේ..”

මම ඇසුවේ වේදනාවෙනි.

“ඔයාට වැඩ කරන්න බෑ රාධා. ඔයා දැන් ප්‍රෙග්නන්ට්”

මගේ එරෙහි වීම ගණනකට නොගත් ස්වාමි දුව අනතුරුව නව සේවිකාව රෙදි සේදිය යුතු බවත්, නිවස අස් කළ යුතු බවත් , ඉඳුල් ගඳ එන්නට පෙර භාජන සේදිය යුතු බවත් තවත් කාර්යයන් ගණනාවක් මතක් කළා ය.

“මම කී දෙනෙකුට උයන්න ඕනෑ ද? නව සේවිකාව අසද්දී ස්වාමි දුව සිනාවක් නඟා ගත්තා ය.

“ඒක මටයි රාධාටයි පුලුවන්. නේද රාධා??”

පුදුමය සහ සතුට මිශ්‍රිත හැඟීමකින් මම බලා සිටියෙමි.

“මම ප්‍රෙග්නන්ට් කාලේ පුරාම හිටියේ හරි අමාරුවෙන්. රාධා ඒ කාලේ මට හෙලවෙන්නවත් දුන්නද? හැම තත්පරේකම මාව බලා ගත්තා. ඕනෑවටත් වඩා මං ගැන මහන්සි වුණා.දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා. මගේ වගකීම ඔයා බලා ගන්න එක.”

මගේ දෑසට කඳුළු උනමින් තිබිණ.

“රාධා.. මේ පළතුරුත් අරන් ගෙදර යන්න. හෙට එන්න”

ඈ පවසන්නේ ආදරයෙනි.

ගර්භනී බව හැම ගැහැනියකටම අභියෝගයකි. විවිධ ශාරීරික අපහසුතා මැද දෛනික කාර්යයන්හි යෙදීම ඇයට අපහසුවක් වන තැන් ඕනෑ තරම් ඇත.

ඔබේ නිවසේ සේවිකාවගේ පටන් ආයතනයේ කාර්යාල මිතුරියන් දක්වා ම ගර්භනී කාලයේ ඒ අපහසුකම් විඳින්නියන් ය. ගැහැනියක ලෙස ඔබ ඔබේ ගැබිනි සේවිකාවන්ට කාරුණික වන්නටත් කටයුතු පහසු කරන්නටත් අමතක නොකළ යුතු බව සිහි තබා ගන්න.

ඒ ගර්භනී බව පහසු නොවන නිසා ය.
ඒ හැම ගැහැනියකම ජීවිතයේ සුන්දරම සිහිනය දරා සිටින නිසා ය.

(ඉන්දීය ප්‍රචාරක දැන්වීමක් ඇසුරිනි)

More Stories

Don't Miss


Latest Articles