සීතා

මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුදු ගාණකට කළින් අතීතෙ ගැන කියන තැනකින්. ඒ අතීත කතාවේ එක තැනක ජීවත්වුනා ගෑණියෙක්. අපි වගේම ගෑණියෙක්. එයාගෙ නම සීතා. හැබැයි අපි දැනගෙන උන්න රාමා ආදරේ කළ, රාවණා Kidnap කරගෙන ලංකාවට අරගෙන ගිය සීතා නෙවෙයි.

එයා තමයි හැබැයි එයාම නෙවෙයි. මේ සීතාට හැමදේම මතක තිබ්බා. 

තමන්ව රාවණා කියනා ලංකාවේ පාලකයා දඬු මොණරෙන් පැහැරගෙන ගිය විත්තිය.

තමන්ව සීතා එළියෙ හංගලා තිබ්බා කියන එක.

රාමා ඇවිත් තමන්ව බේරගත්තා කියන එක විතරක් නෙවෙයි රාමා ඇවිත් තමන්ව බේරගත්තෙ එහෙම කලේ නැත්තම් සමාජෙ රාමගෙන් ප්‍රශ්න කරාවි කියන එක හන්දා විත්තිය, තමන්ට තමන් නිර්දෝශී කියල ඔප්පු කරන්න ගින්දරට පනින්න වෙච්ච විත්තිය, මේ ඔක්කොම සීතාට මතක තිබ්බා.

ඒත් ඒ හැමදේටම වඩා සීතාට තව දෙයක් මතක තිබ්බා. ඒ මෙච්චර දේවල් වුණාට පස්සෙත් කාටවත් කිසිම වෙලාවක තමන්ගෙන් “ඔයාට මොකද්ද ඕන?” කියලා අහන්න මතක් වුණේ නෑ කියන එක. මේ කතාව ආයෙම වතාවක් සිද්ද වෙන්න පටන් ගත්තෙ අන්න ඒ මතකයක් එක්ක.

එක රාත්‍රියකට පස්සෙ සීතා ආයෙ ඉපදුණේ ඒ තමන්ට හොඳටම පුරුදු පරණ අශෝක ගහ යටදිමයි. හුලඟ තිබ්බෙ සීතලෙන් ගල්වෙලා. හරියට ආයෙම වතාවක් සිද්ද වෙන්න යන්නෙ අවුරුදු ගණනාවක් පුරාවට ආයෙ ආයෙ ආයෙම වෙමින් පැවතුණ දේද කියලා බලාගන්න වගේ කාලය තිබුණෙත් එකම තැනක නතර වෙලා වගේ. තමන්ගෙ ඇහිපිය සෙලවීම ඇරෙන්න වෙන කිසිම දෙයක් හෙලවෙන්නෙ නෑ කියල හිතෙන තරම් සීතා අවට තිබිච්ච පරිසරය තිබ්බෙ නිහඬව වගේම ගල්වෙලා. 

තමන් ඉඳගෙන ඉන්න ගල් පොත්ත උඩ වාඩිවෙලා ඉද්දි නාහෙට දැනිච්ච සුවඳ අවුරුදු ගණනාවකට පස්සෙත් සීතාට අඳුරගන්න පුලුවන් වුණා. ඒ සුවඳ මේ අවුරුදු ගාණටම වෙනස් වෙලා නෑ. මේ හුළඟ මේ අවූරුදු ගාණටම වෙනස් වෙලා නෑ. මේ වටපිටාව, මේ ගහ කොල, මල්, අහස, පොළොව කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. ඒ කියන්නෙ මමත් ආයෙ වෙනස් වෙන්න බෑ කියන එකමද මේ කියන්නේ? කියන ප්‍රශ්නෙ හිතට ආවට ඒ ප්‍රශ්නෙ තමන්ගෙන්ම වුණත් අහන්න ලොකු බයක් සීතාගෙ හිතේ තිබ්බා. මේක හරියට Test එකක් වගේ, එකම ජාතියේ ප්‍රශ්න අහන, එකම උත්තරේ හැමදාම දෙන්න වෙන. එහෙමත් නැත්තම් මොකක් හරි චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක rerun එකක් වගේ. ඒ කියන්නෙ ending එකත් වෙනස් වෙන්න බෑ නේද? මිනිස්සු ආයෙ ආයෙම ටෙලිනාට්‍යයක rerun එකක් බලන්නෙ ending එක හොඳටම දැන දැන නේද? මේ ප්‍රශ්නවලට උත්තර සීතා ලඟ තිබුණෙ නෑ.

ඒ අන්ධකාර රාත්‍රියේ සීතා තමන්ගේ වටේට තනිය මකන්න වගේ උන්න අන්ධකාරෙ දිහා බලාගෙන තමන්ගෙන්ම එකම එක ප්‍රශ්නයක් ඇහුවා. “ඇයි මටම ආයෙ ආයෙ මෙහෙම වෙන්නෙ? මගේ කතාව කියවල මිනිස්සුන්ට එපා වෙලා නැද්ද?” 

තමන් ඉන්නෙ තනියම කියල හිතන් උන්නු එක වැරදියි කියල සීතා තේරුම් ගත්තෙ ඒ අන්ධකාරෙ අස්සෙ ඉඳලා ආව රූපේ දැකලා. ඒ තමන්ට හොඳට හුරු පුරුදුයි කියලා හිතෙන ඒත් එක්කම පුරුදු නෑ කියලා හිතෙන රූපයක්. 

“රාවණා” දැක්කම හරිනම් තමන් බය වෙන්න ඕන විත්තිය මේ වෙලාවෙ තමන් දිහාව බලාගෙන ඉන්න මිනිස්සු හිතන බව දැනගෙන උන්නත් මේ ඉන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින් එකම කතාවෙ මුල්ම කාලෙදි තමන්ව බය කරන්න හේතුවෙච්ච රාවණා නොවන බව තේරුම්ගන්න පුලුවන් වුණේ සීතාට විතරයි. ඔලු දහයක් තිබ්බෙ නැති, මහන්සි පාට, හැමදේම එපා වෙච්ච පාටක් මූණෙ ඇඳගත්ත මේ රාවණා කියන්නෙත් මේ කතාව පුරාවටම තමන් වගේම අසරණ වෙච්ච තව එක්කෙනෙක් විතරයි කියන එක සීතා තේරුම් ගත්තෙත් මෙන්න මේ වෙලාවෙ. රාවණාව “මාර බලසම්පන්න මනුස්සයෙක්” කල එයාගෙ ඔලුගෙඩි දහය තව දුරටත් රාවණා ළඟ තිබ්බෙ නෑ. ඒත් ඒ මහන්සි පාට, හැමදේම ගැන කලකිරිච්ච ඇස් අස්සෙ දහසක් කතා ඕනවටත් වඩා හොඳට ලියවිල තිබිච්ච විත්තිය තේරුම් ගන්න සීතාට රාවණා දිහා බලපු එකම එක බැල්මකින් තේරුම්ගන්න පුලුවන් වුණා.

“ඇයි අපි ආයෙ මෙතනට මේ විදියට ඇවිල්ල ඉන්නෙ? මේ කතාව කීප සැරයක්ම අපි ඉවර කරලා දැම්ම එකේ ඇයි ආයෙ ආයෙ මේ කතාව මේ විදියට එකම විදියට ලියන්න අපි උත්සහ කරන්නේ?”

“කතාව දහස් පාරක් කිව්වත් ඒ කතාව තේරුම් ගන්න පුලුවන් වෙච්ච එකම එක මනුස්සයෙක්වත් උන්නෙ නැති හන්දා සීතා. ඔයාව කවුරුවත් තේරුම් ගත්තෙ නැති හන්දා. ඒකයි මේ කතාව ආයෙ ආයෙ වෙන්නෙ”

“ඔයා එහෙම කිව්ව පමණින් මම ආයෙ ආයෙ ඒක විශ්වාස කරන්න ඕන ඇයි? කවුද දන්නෙ ඔයා එදා කිව්වට ඔයා ආවෙ මාව බේරගන්න කියල අන්තිමේ කතාව ඉවර වුණේ ඔයා ලෝකෙ මිනිස්සු ඉස්සරහ අනුන්ගෙ ගෑණියෙක්ව පන්නගෙන ආව මිනිහෙක් කරලා. මම පිරිසිඳු ගෑණියෙක්ද කියන කුතුහලේ රාමාගෙ හිතට ඇතුලු කරලා. කී වතාවක් නම් මගේ වරදක් නෑ කියන එක ඔප්පු කරන්න ගින්දර උඩින් ඇවිද්දද රාවණා? එහෙම එකේ මේකත් මම දන්නෙ නැති විදියෙ ඒ වුණාට එකම විදියෙ ending එකක් තියෙන තව කතාවක්ද කියන්න කවුද දන්නෙ? එහෙම එකේ මම කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ?”

“ඔයා මාව විශ්වාස කරන්න ඕන වෙන කිසිම හේතුවක් හන්දා නෙවෙයි. ඔයාව වෙන කවුරුවත් විශ්වාස කලේ නැති හන්දා. අඩුම තරමෙ රාමාවත්. අන්තිමේ කිසිම වරදක් නොකරත් ඔයාට ගෑණියෙක් වෙච්ච හන්දා විතරක්ම ගින්දරට පනින්න වෙච්ච හන්දා”

සීතා වාඩිවෙලා උන්නෙ කිසිම සද්දයක් නැතුව. අහස තිබ්බෙ අන්ධකාර රෙද්දක් පොරවගෙන උනාට කැඩිච්ච tv එකකින් මතුවෙන glitch එකක් වගේ පොඩි පොඩි වෙනස්කම් වෙන විත්තිය සීතා දැක්කා. කාලය තිබ්බෙත් ඒ glitch එකටම අහුවෙල වෙලාවකට හිමින්, වෙලාවකට හයියෙන්, වෙලාවකට නතරවෙලා යන ගමන්.

රාමා ආවේ ඒ වෙලාවේ. පුරුදු විදියටම අඳින්න පුලුවන් හොඳම ඇඳුම් ඇඳලා, රැවුල ගාණට neat එකට shave කරලා, පුරුදු වීර ලීලාවෙන් සීතාව “බේරගන්න” හිතාගෙන. ඒත් රාමාගෙ ඇස්වල ආදරේක කිසිම සේයාවක් ඇඳිල තිබ්බෙ නෑ. අඩුම තරමෙ සීතා ඉන්නෙ මොන වගේ තැනකද, මොන වගේ situation එකකද මොන වගේ mind එකකද කියලා තේරුම් ගන්නවත් උවමනාවක් රාමාට තිබ්බෙ නෑ. රාමාට සීතාගෙන් අහන්න තිබුණෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.

“ඔයා Virgin ද?”

“මෙච්චර දේවල් වුණාට පස්සෙත්, මට විඳදරාගන්න දාහක් දේවත් තිබ්බට පස්සෙත්, මම දාහක් ප්‍රශ්නවලට මූණ දුන්න කියලා දැනගත්තට පස්සෙත් ඔයාට මගෙන් අහන්න තිබිච්ච එකම ප්‍රශ්නෙ ඒකද?” 

ඒත් රාමා උන්නේ සීතා කියන කිසිම දෙයක් අහන බලාපොරොත්තුවක් නෙවෙයි. හරියට programme කරපු robot කෙනෙක් වගේ රාමා එකම එක order එකකින් සීතා වටේට ආයෙම වතාවක් ගින්න පත්තු කලා. දැන් සීතා හරිනම් කරන්න ඕන ඒ ගින්නට පැනලා තමන් virgin කෙනෙක් කියන එක ඔප්පු කරන එක විතරයි.

ඒත් පළවෙනි වතාවට පළවෙනි වතාවට සීතාට ඇහුනා ඒ ගින්න අස්සෙ ඉඳන් කවුරුහරි කතා කරනවා. 

“සීතා මොකටද ගින්නට පනින්නෙ? මෙච්චර දේවල් උනාට පස්සෙත්, මෙච්චර කාලයක් ගෙවිල ගියාට පස්සෙත් අපි තාම test කරන්නෙ ගෑණුන්ව විතරමද?”

රාමා උන්නෙ ඊලඟට කරන්න ඕන මොකද්ද කියල හිතාගන්න බැරුව. හරිනම් වෙන්න ඕන සීතා ගින්නට පනින එක. සීතා කවදාවත් තමන්ගෙ වචනෙට එහා ගිය, තමන්ගෙ වචනෙට විරුද්ධව දෙයක් කිව්ව ගෑණියෙක් නෙවෙයි. එහෙම එකේ අද විතරක් මේ කතාව මෙහෙම වෙනස් වුනේ කොහොමද? වෙන්න තිබුණෙ මෙහෙම නෙවෙයි නේද?

ගින්න තව තව හයියෙන් පත්තු වෙද්දි පොළොව පැලීගෙන පැලීගෙන ගියේ රාමාව බයකරගෙන. හරියට “උඹේ වැරදි ඔක්කොම අපි දන්නවා, දැන් යන් අපි අපායට” කියල කියන්න ආව යමපල්ලො වගේ ඒ පැල්මෙන් මතුවුණේ දහස් ගාණක් සීතලා. සමහරුන්ගෙ අතේ තිබ්බේ ලැප්ටොප්. සමහරුන්ගෙ අතේ තිබ්බෙ යුද්ධෙට අරගෙන යන අවි ආයුධ, තව සමහරුන්ගෙ අතේ උයන පිහන බඩු, තව අයගෙ අතේ කොසු ඉදල්.එක්කෙනෙක්ගෙ අතේ උන්නෙ පොඩි දරුවෙක්. තව එක්කෙනෙක්ගෙ අතේ තිබුනේ දික්කසාද ලියවිල්ලක්. තව කෙනෙක් අතේ තියාගෙන උන්නෙ සුදු රෙද්දක්. 

එක එක ලෝකවලින් ආව එක එක ජාතියෙ සීතලා. හැබැයි එකම එක ප්‍රශ්නෙකින් නිහඬ කරවල දාපු සීතලා. ඒ හැම සීතා කෙනෙක්ම උන්නෙ රාමායි රාවණායි වටේ හිටගෙන එකම කතාව කියන ගමන්.

“අපිට ඔයාලව ඕන නෑ අපිව බේරගන්න, අපිට පුලුවන් අපි ගැන බලාගන්න” ඒ හැම සීතෙක්ම මැද හිටගෙන උන්නෙ අපේ කතාවෙ ඉන්න සීතා. එකම කතාවෙ දහස් වරක් “තමන්ගෙ කරගන්න” කියලා kidnap කරගත්ත, “බේරගන්න” කියලා පුච්චලා දාපු සීතා. සීතා බලන් උන්නෙ තමන්ව දෙවිදියකට හිරකරපු ඒ පිරිමි දෙන්නම දිහා බලාගෙන. රාවණ – තමන්ගෙ නිදහස නැති කරලා කුඩූවක හිර කර “තමන් තරම් කෙනෙක් නෑ” කියලා හිතන් උන්න narcissistic පිරිමියා. රාමා – තමන් උමතුවෙන් වගේ ආදරය කල, ඒත් තමන්ව සත පහකට විස්වාස නොකල Obsessive-Compulsive පිරිමියා.

“මම ඔයාලා දෙන්නගෙම කතාවල කොච්චර නම් චරිත රඟපෑවද නේද? ඒත් ඒ හැම චරිතයක් අස්සෙම මට රඟපාන්න අමතක වෙච්ච චරිතයක් තිබුණා. ඒ මම කියන චරිතෙ. මමත් ආස දේවල් තියෙනවා කියන චරිතෙ. මමත් නිදහස බලාපොරොත්තු වෙන බව, මමත් මම වෙනුවෙන් දෙයක් කරන්න ආස බව කියන චරිතෙ” 

මෙච්චර කාලයක් හිත අස්සෙ හංගගෙන උන්න දුක, ලැජ්ජාව, වේදනාව, හිත් බිඳීම කියන හැමදේම කඳුලු විදියට සීතාගෙ ඇස් වලින් එළියට පැනලා කම්මුල් දිගේ ගලාගෙන ගිහින් බිමට වැටුණා. ඒ කඳුලු වල සීතලට සීතා වටේ පත්තු වෙවී තිබිච්ච ගින්න නිවුණා.

ඒ එක්කම රාමායනයේ පිටු එකින් එක මැකිලා ගියා. ඒ දහසක් සීතාලව නිදහස් කරන ගමන්. ඒ හැමදෙයක්ම මැද්දෙ රාමාව, රාවණාව, හනුමන්ව, අශෝක ගස ඒ හැමදේම මැකීගෙන මැකීගෙන ගියා. එකම එක දෙයක් විතරක් පොළොව උඩ ඉතුරු කරලා.

එකම එක හිස් පොතක්. සීතා පල්ලෙහට නැවිලා ඒ පොත අතට අරගත්තා.

“අපි මේ කතාව අලුතෙන් ලියමු…

ගෑණියෙක්ගෙ අතින්…

Let the women write the epic!”

More Stories

Don't Miss


Latest Articles