සමුද්ර දිහාවට අත දික්කරපු ජයබාහු සමුද්රගෙ කර වටේට අත දාගන්න ගමන් “මෙමෙච්චර දෙයක් කතා කරපු එකේ හදිසියේ යන්නෙ මොකටද? රෑට කාලම” යන් කියල නන්දා දිහාවට ආපහු බැල්මක් දාලා “නේද නෝනේ?” කියලා අහද්දි නන්දා කලෙත් හිනාවෙලා ඔලුව වනලා ඔව් කිව්ව එක.
“අනේ කරදර වෙන්න එපා අංකල්. අනික දැන් ආන්ටිත් බැරි එකේ සප්තමීට නේද කෑම හදන්න වෙන්නෙ?”
“එයා හදන ඒව කැවොත් නම් අපිත් ලෙඩ වෙයිද දන්නෙ නෑ. එහෙම නෙවෙයි මං ගිහින් පාන් අරන් එන්නම්, පොල් සම්බෝලෙකුයි පරිප්පුයි ඔය සැමන් හොද්දකුයි වගේ හදාගෙන වාන් පාටියක් දාමුකො”
“මං ඇවිත් අංකල්ලට නැති කරදර නේද? මාත් එන්නම් අංකල් පාන් ගේන්න යන්න”
“ආහ් මං මේ බබෙක් කියලද පුතා හිතන් ඉන්නේ? මං පාන් ගේන්නම් ඔයා අපේ පුංචි නෝනට කියන්නකො මොනවහරි කරියක් දෙකක් හදලා ගන්න කියල පාන් එක්කල කන්න” කියාගෙනම ශර්ට් එකේ උඩ බොත්තමත් දාගන්න ගමන් ජයබාහු අංකල් ගෙයින් පිටවෙද්දි සාලෙට ඇවිදගෙන ආව සප්තමීව ඇස් දෙකෙන් ඉඹින්න සමුද්ර හදිස්සි උනා.
“පුතේ මං පාන් අරන් එන්න අපිට කන්න පොල් සම්බෝලෙකුයි තව මොනවහරි කරියක් දෙකක් හදන්න පුලුවන් නේ?” කියාගෙන තාත්තා පිටවෙලා යද්දිත් සප්තමීගේ හිතේ තිබ්බ එකම දේ සමුද්රයි තාත්තයි අම්මයි අතර වෙච්ච කතාව මොකක් වෙන්න ඇතිද කියන එක. ඒත් ගෙදර අනිත් මිනිස්සු ඉන්න තැනක ඒ විත්තිය අහන්න විදියක් නැති හන්දා සප්තමී ඔලුව වනලා කුස්සිය පැත්තට ගියේ ඇස් දෙකෙන් සමුද්රට තමන් පස්සෙ එන්න කියාගෙන.
පුංචි කුස්සියෙ සප්තමී තමන්ට පිටිපස්ස හැරිලා සම්බෝලෙටද කොහෙද ලූණු කප කප ඉන්නවා දැක්කම සමුද්රට ඒත් කල්පනා උනා කවදහරි දවසක තමන්ගෙ ගෙදර කුස්සියෙත් සප්තමී මේ විදියට උය උය ඉන්නව දකින්න අවස්තාවක් තමන්ට එනවා නේද කියන එක.
“උදව්වක් ඕනද?” කියල සමුද්ර හිමින් සැරේ තමන්ට ලංවෙද්දි සප්තමී ඔලුව ඩිංගිත්තක් විතර හරවල බලලා හිනාඋනා.
“එහෙම ගෙදරට ආව මනුස්සයෙක්ට කියල උයන් කන සිරිතක් නෑනේ”
“මං ඉතින් අමුත්තෙක් කියල හිතන්න එපා නේද?”
“ඇයි ඒ? අමුත්තෙක් නේන්නම්”
“එදා අර කිස් එක දුන්නට පස්සෙත් ඔයා තාම මාව දකින්නෙ අමුත්තෙක් විදියටද? ඔය කියන විදියට කසාද බැන්ද දවසකට පස්සෙ විතරයි නේද මං අමුත්තෙක් නෙවෙන්නෙ”
“ඇයි ඒ?”
“නෑ ඉතින් කිස් එහෙකට එහා දෙයක් කරොත් විතරක් වෙන්නැතිනෙ ඔය අමුත්ත නැතිවෙන්නෙ” කියල සමුද්ර හිනාවෙවී කියද්දි සප්තමී කටට ඇඟිල්ල තියලා “ස්ස්ස්” කියල සද්ද කරන්න එපා කියල කිව්වෙ මොක උනත් කාමරේ ඉන්න අම්මට මේ කතන්දර ඇහේවි කියන බයට.
“මං ඔයාගෙ අම්මටයි තාත්තටයි විස්තරේ කිව්වා” කියල සමුද්ර හීන් සැරේ කියද්දි මෙච්චර වෙලා කප කප උන්නු ලූණු ගෙඩිය එලවලු ලෑල්ල උඩම තියල සමුද්ර දිහාවට හැරිච්ච සප්තමී බලන් හිටියෙ සමුද්ර ඊලඟට මොකක් කියාවිද කියලා.
“අම්මයි තාත්තයි බැන්නද ඔයාට?” කියල සප්තමි ඇහුවෙ ඒ බයත් එක්ක. හැබැයි එහෙම බණින සීන් එකක් ආවනම් කීයටවත් තාත්තා සමුද්රට රෑට කන්න ඉන්න කියන්නෙ නෑ කියන එකත් සප්තමීට මතක් උනේ නැත්තෙ නෑ.
“අනේ නෑ, මං හිතන්නෙ නෑ එහෙම බැණලා ඉතින් මේව කතාකරන්න පුලුවන් වෙයි කියලා. මං ඒත් ඔකොම කියල ඔයාගෙ අම්මටයි තාත්තටයි කිව්වා අංකල්ලා අකමැති උනත් මම මේක නවත්තන්නෙ නෑ. මේක නතරවෙන්නෙ කවදහරි සප්තමීම එයා මට අකමැති කියල තීරණේ කරොත් විතරයි කියලා”
“ඔයා ඇයි එහෙම කිව්වේ? අම්මලට තරහ ගියාද දන්නෙ නෑ. අම්මල මොකද ඊටපස්සෙ කිව්වේ?”
“රෑට කන්න ඉන්න කිව්වා”
“රෑට කන්න ඉන්න කිව්වා? එච්චරද කිව්වේ? ඔයා අරහෙම කිව්වට පස්සෙත්?” කියල සප්තමී ඇෂ් ගෙඩි දෙකත් ලොකු කරගෙන අහද්දි සමුද්ර කලේ ඔලුව වනලා “ඔව් මාත් ඒත් කල්පනා කරා එච්චර දෙයක් කිව්වට පස්සෙත් ඇයි අංකල් මුකුත්ම කිව්වෙ නැත්තෙ කියලා. සමහරවිට රෑට කෑම කන ගමන් මොනවහරි කියන්න ඉන්නවද දන්නෙ නෑ. මං සැමන් එක කඩලා දෙන්නද? ඔයාගෙ අත තුවාල වෙයි” කියලා සප්තමී ලඟට ඇවිල්ලා මේසෙ උඩ තිබිච්ච සැමන් ටින් එක අරින ගමන් තමයි සමුද්ර ඒ කතාව එතනින් ඉවර කලේ.
රෑට කද්දි සප්තමීලගෙ තාත්තා මොන මොනවහරි විස්තර මේ ගැන කතා කරාවි කියල හිතුවට වැඩපලේ විස්තරයි, ඉස්සර කාලෙ කතන්දරයි, විහිලු තහලුයි කරා ඇරෙන්න වෙන නම් දෙයක් කියන්න හිතුවෙ නෑ. හිත අස්සෙ කොච්චර ප්‍රශ්න තිබ්බත් සප්තමීගෙ ගෙදර මිනිස්සු එක්කල ගෙව්ව ඒ වෙලාව ඇත්තටම ඒ මිනිස්සුන්ව තමන්ගෙ මිනිස්සු විදියට පිලිගන්න පුලුවන් තරම් ලං උනා කියන එක නම් සමුද්රට හිතුනා. එදා රෑ කැම කාලා සමුද්ර ගෙදරින් පිටවෙද්දි තමයි ජයබාහු අංකල් සමුද්ර එක්කම වාහනේ තියෙන දිහාවට ඇවිදගෙන යන්න ආවේ. වෙන්න මාමන්ඩි සීන් එක ගැන කතාකරන්න යන්නෙ කියල තේරිච්ච හන්ද සප්‍තමීටත් ඉක්මනට ගුඩ් නයිට් කියල සමුද්ර අංකල් එක්කම හවුසින් ස්කීම් එකේ පඩිපෙල පල්ලෙහට බැහැගෙන බැහැගෙන ආවා.
“පුතා ඒත් කල්පනා කරනවා ඇති අර වෙලේ පුතා කිව්ව දේට අපි මුකුත් කිව්වේ නැත්තෙ ඇයි කියලා” ජයබාහු අංකල් හිනා උනාට මොකෝ ඒකට දෙන්න උත්තරයක් නැති හන්දා සමුද්ර කරේ හිනාවෙලා බිම බලාගන්න එක.
“මං කැමතියි පුතා නිකන් අපිට හොරෙන් මේක ඉස්සරහට කරගෙන යන්න අපෙ දරුවව පොළඹවාගන්නෙ නැතුව මෙහෙම අපි එක්කල ඇවිල්ල කතා කර එක. ඒකම අපිට පොඩි පහෙ විශ්වාසයක්නෙ පුතා මේක මේ බොරුවට කරන්න හදන දෙයක් නෙවෙයි කියන එක. මේ ටෙලි නාට්ටි කරන උදවිය ගැනයි රඟපාන නලු නිලියො ගැනයි අහන්න වෙන කතන්දර එක්ක සප්තමීලගෙ අම්මා මුලින් පුතාට අකමැතිවෙච්ච එක ගැන වරදක් මං හිතන්නෙ නෑ. පුතා හිතන්නත් එපා. අනික පුතා අද ඇත්ත විස්තරේ කියනකම් අපි අර මාලවී ලමයගෙ කතාව දැනගෙන හිටියෙ නෑනෙ පුතේ.ඒ නිසා තමයි අපිත් පොඩ්ඩක් විතර හිත කරදර කරගත්තෙ.
හැබැයි අපි මේ වයසක මිනිස්සු උනාට ඔය ආදි කාලෙ වගේ කෙල්ලන්ට කොල්ලො එක්ක යාලුවෙන්න දෙන්නෙ නෑ. බඳ්ඉන්න කලින් කොහෙවත් යන්න දෙන්නෙ නෑ වගේ බොරු වැඩ නම් අපි දෙන්නම හිතන්නෙ නෑ. අනික ඉතින් මේ අවුරුදු විසි පහ පැනපු කොල්ලො කෙල්ලන්ට මුණ ගැහෙන්න ඕන නම් ඒවටද කාරණා හදාගන්න බැරි කියල අපි නොදන්නවද?
මට කියන්න ඕන උනේ පුතේ අපේ අකමැත්තක් නෑ. සප්තමී කොහොමත් පුතාට කැමති නම් පුතා අපේ කෙල්ලට කැමති නම් ආය අපි දෙන්න නිකන් මේ උදලු දෙකක් දාන්න ඕන නෑනෙ ඒක මැද්දට. ඔය දෙන්නම වයස හරි ගිය ළමයි නෙ. ඔය දෙන්නට තමයි තේරුම්ගන්න පුලුවන් ඔය දෙන්නට දෙන්නා ගැලපෙනවද ඉස්සරහට එකට ජීවත්වෙන්න පුලුවන්කමක් තියෙනවද කියන එක. ඒක දැනගන්න ඉතින් දෙන්නා ආශ්‍රය කරලා බලන්න ඕනනෙ. අපි නිකන් තහංචි දාන එකෙන් වෙන්නෙ ඔය දෙන්නට දෙන්න ගැලපෙනවද නැද්ද කියල හිතාගන්න බැරුව අන්තිමේ වැරදි තීරණයක් අරගන්න තියෙන ඉඩ වැඩියි.
අපේ පැත්තෙන් මේකට විරුද්ධත්වයක් නෑ කියන එකේ අදහස හිතුමනාපෙ ඕනම දෙයක් කරන්න පුලුවන්කමක් තියෙනවා කියන එක නෙවෙයි. පුතාට කවදහරි දුවෙක් ඉන්න දවසක තේරේවි මං මේ කියන දේ මොකද්ද කියන එක. ඒ නිසා පුතාගෙ නම්බුව වගේම අපේ දරුවගෙ නමටත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති විදියට මේ සම්බන්ධෙ ඉස්සරහට කරගෙන ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ” කියල ජයබාහු අංකල් කතාව කියල ඉවර කරලා උරහිසට අත තියලා හිනාවෙද්දි තමයි සමුද්ර පහත්වෙලා නැවිලා ජයබාහු අංකල්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා යන්න අවසර ගත්තේ.
මේ සිද්දි මේ විදියට වෙද්දි හවුසින් ස්කීම් එකේ උඩ ඉඳගෙන මාලවී කලේ මේ හැමදේම දිහා බලාගෙන කල්පනා කරන එක. ඒ හැම දෙයක්ම ඇහෙන් දකින ගමන් මාලවී කල්පනා කරපු එකම එක දෙයක් තිබ්බා.
“මං ආස කරන දෙයක්, මට අයිතිවෙන්න ඕන දෙයක් වෙන එකෙක් ලබාගන්න නම් මේ පාර නම් මං බලාගෙන ඉන්නෙ නෑ”