ජීවිතයේ කිසි දාක නොවූ විරූ සෙයින් දක්ෂිණ ට අඩි පැටළිණි. නැටුම් පන්තිය සම්පතී ට භාර දී හෙතෙම විවේක කාමරයට වී නළල මිරිකා ඇස් පියාගෙන සිටියේ ය. සම්පතී කේන්තියට වේදනා නාශක පෙති දෙකක් හෝ නොදී සිටියා ය.
“ආයෙමත් කුළප්පුව හැදිලද කොහෙද…කවුරුහරි නැට්ටිච්චියක් පටලෝගෙන වගෙයි. මං හොයාගන්නංකො ඔය මොකීද කියල”
ගෙදරට ගොඩ වූ ගමන් සම්පතී කස්තිරම ඇල්ලුවා ය. දක්ෂිණ කතා නොකර ගොස් කාමරයේ යහන මත වැතිරගත්තේ ය.
“මං දන්නවනෙ ඔය මූඩ් ගැහිල්ලයි ඔළුවෙ කැක්කුමයි එන්නෙ මොන හේතුවකටද කියල. මොකද මාත් ඇස් පනාපිටම දැක්කනෙ ඉස්සර ඕව. මගෙ වටේ කැරකෙන කාලෙ. හැබැයි මන්නං ලේසියෙන් අතාරියි කියල හිතන්නෙපා. මොකක්හරි නැටුමක් නටල තිබුණොත් බෙල්ල මිරිකල ම ර න් නෙ”
දක්ෂිණ හී ගසක් සේ නැගී සිටියේ ය. ඔහු කාමරයට පිවිසියේ මඳක් විවේක ගන්නට හා ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන කල්පනා කරන්නට වී ද සම්පතී ඊට ඉඩක් නොදී කාමරයට ද විත් කියවන්නට වූවා ය.
“යකෝ… කට වහගෙන මට ටිකක් නිදහසේ ඉන්න දීපංකො ගෑනියෙ”
සම්පතී තිගැස්සුනා ය. දක්ෂිණ මේ විදිහට දත්මිටි කාගෙන මීට පෙර කිසි දාක ඇගේ ඇඟට කඩා පැන ඇති බවට මතකයක් ඇයට නැත. නමුත් ඒ බවක් නො පෙන්වා ඈ හිතට දිරිය ගත්තේ දක්ෂිණ ට යටත් නො වන්නෙමැයි දැඩි බවකිනි.
“කට වහන්න… හිතුවද මාත් අන්තරා වගේ කට වහගෙන පැත්තකට වෙයි කියල… මාත් එක්ක ඒ සෙල්ලං වලටනං එන්න හදන්නෙපා දක්ෂිණ”
“යකෝ මේ ගෑනිගෙ බෙල්ල මිරිකල මරන්නයි මට හිතෙන්නෙ”
කියමින්, කෝපය තමන් තුළ ම දරාගත් දක්ෂිණ යළිදු යහන මතට වැටුණේ ය. හිසරදය තවත් වැඩි වී ඇති බවක් ඔහු ට දැනෙයි.
“උඹේ බොරු පූචානං වලට මං අහු වුණා. ඒකයි යකෝ මට මෙහෙම වුණේ”
හිත එහෙම කෑගසා කීවාට දක්ෂිණ ගේ මුව මුනිවත රැක්කේ ය. යළි නිවැරදි කළ නො හැකි එක් වරදක් මිනිසෙකු ගේ ජීවිත කාලය තුළ සිදු වීම ප්‍රමාණවත් ය. ඔහු ට සදාකාලිකව ජීවත් වන්නට සිදු වනුයේ ඒ වරද ගැන පසුතැවිලි වෙමින් හදවතින් නරාවළක ය.
“මං බලාගෙන හිටියෙ. අද දවසම වෙන ලෝකෙක හිටියෙ. මට ගහන්න ඕනෙ බූවල්ලෙං. කසාද බැඳපු මිනිහෙක්ට රැවටිලා ඒ මිනිහ එක්ක ඇවිත් ළමයිනුත් හදාගත්තට. මට මොනායි කියලද තියෙන්නෙ… අඩු ගානෙ කසාද සහතිකයක්වත් තියනවද… එහෙම එකක් තියන නිසා අන්තරාගෙ ළමයට යුතුකං ඉෂ්ට කළා. ඒත් තමුසෙ මගෙ ළමයින්ට එහෙම කරයි කියල විශ්වාස කරන්න පුළුවන්ද… වෙන සම්බන්ධයක් තියනව කියල අතට අහුකරගත්ත දවසට මං නරක ගෑනි කියන්නෙපා. දෙයියම්ප තොපි ඉස්සරහට ඇවිත් භූමිතෙල් වක්කරං ගිනි තියාගන්නව මං”
දක්ෂිණ ට දැනුණේ බඩ දඟලනා අප්පිරියාවකි. සම්පතී කියන්නේ කුඩා දෙයක් පවා අනවශ්‍ය තැනකින් අල්වාගෙන බොරුවට කලබල වන ගැහැනියක බව ඔහු දැනගෙන බෝ කලකි. එබැවින් මේ වගේ කාරණයකට ඇයත් සමගින් බහින්බස් වීම යනු අපුල් සහගත අත්දැකීමකි.
“මං දන්නවනෙ මිනිහගෙ හැටි. මං ඔය කලායතනෙ නිකං ඉන්නව නෙවෙයිනෙ. හොඳට ඇස් කන් ඇරගෙන ඉන්නෙ. මං නොදන්නව නෙවෙයි කෙල්ලොන්ට දාන මනමාල බැල්මවල්. ඉස්සර මං දිහා බලපු පැණි බැල්මවල් කොහොමද කියලත් මං දන්නවනෙ. කෙල්ලංගෙ ඇඟවල් අත පත ගාන ජරා මිනිහ. මහ ලොකු නැට්ටුව…”
නිහඬ වීම එක ම පිළියම බව දක්ෂිණ දත්තේ ය. සම්පතී ඔය පිහි තුඩු වන් වචන ඔස්සේ පිටකළේ ඈ තුළ කැකෑරෙන වේදනා සාගරයයි. දක්ෂිණ ව දිනුවා කියන ජයග්‍රහණයේ වෙස් මුහුණ පැළඳ සිටියාට, ඊට මුවහ වී සිටින සැබෑ සම්පතී වූ කලී ආත්මීය වශයෙන් ඉරිතලා ගිය, නිරන්තර අවිනිශ්චිත බවේ භීතිය විසින් යටහත් කරගනු ලැබූ ගැහැනියකි. ඈ හැම මොහොතක ම හුස්ම ගනුයේ දක්ෂිණ කෙරේ සැකයෙනි. ඔහු නැටුම් උගන්වන හැම ගෑනු ළමයෙකු ම ඇයට සැක ය. ඔවුන්ට ලංව නටත්දී දක්ෂිණ ඔවුන්ගේ ශරීර ස්පර්ශ කරන්නේ ද යන සැක මුසු විමසිල්ලෙන් ඇය ගිනිගන්නී ය. ඒ අනවශ්‍ය සැකය අසාමාන්‍යයි කියා දක්ෂිණ ට නො සිතෙනවා නොවේ. ඔහු ඒ ගැන සම්පතී සමගින් ඇල්ලූ රණ්ඩු මෙපමණකැයි කිව නො හැකි තරමි. සම්පතී පමණකුදු නොව මේ පවුල් ජීවිතය ද දමා ගසා යන්නට ඔහු ට ඕනෑ තරම් සිතී තිබේ. නමුත් දැන් ඔහු සමාජයට බිය ය. විවාහ බැඳීමක් තිබියදී නැටුම් පන්ති පැමිණි ශිෂ්‍යාවක අඹුකමට ගත්තා මදිවාට දැන් ඇයත් අතැර ගියෝතින් සමාජය ඔහු ට ගල්ගසා මරාදමන බව දක්ෂිණ ඉඳුරා දනී.
ගෙදරට වී නො සිට සම්පතී නැටුම් පන්තියේ උගන්වන්නට එන්නේත් දක්ෂිණ ගේ හොර අල්ලන්නට ය. නමුත් ඔහු පසෙකින් කාලයක් තිස්සේ ඇය මෙලෙසින් රැඳී හිඳීම ම දක්ෂිණ ගේ නර්තන ජීවිතය හිණිපෙත්ත තෙක් ඉහළ නැංවූ හේතුව යයි නො පිළිගන්නේ කෙසේ ද?
අන්තරාව රහසේ සඟවාගෙන පැමිණීමෙන් පසු දක්ෂිණ ට ඕනෑ වූයේ ඇය සමගින් අලුත් කලායතනයකට පදනම දමන්නටයි. තරුමුතු කලායතනය අභිබවා යන සිසු ගඟක් ගලනා සරසවි උයනක් නිර්මාණය කරන්නටයි. දක්ෂිණාන්තරා කලායතනය ලෙස එය නම් කරන්නට ද ඔහු සිහිනයක් දුටුවේ ය. නමුත් අන්තරා ඊට එකහෙළා විරෝධය පෑවා ය.
“ඔයාට ආදරේ නිසා මං ඔයා එක්ක ආව තමයි. හැබැයි මට බෑ අම්මටයි අප්පච්චිටයි විරුද්ධව කලායතනෙකුත් පටංගන්න. එහෙම කළොත් මං මොනවගේ දුවෙක් වෙයිද දක්ෂිණ… එච්චර පහළට වැටෙන්න මට බෑ. මං එක වරදක් කළා. හැබැයි තව තව වැරදි කරන්නෑ. ඔයා කලායතනයක් කරන්න. හැබැයි මං ඒකෙ කොටසක් වෙන්නෑ. මින් මනතට මං නටන්න දන්න ගෑනියෙක් නෙවෙයි දක්ෂිණ. මං ගයන්න වයන්න දන්න ගෑනියෙකුත් නෙවෙයි. ඔයා මාව අරං ආවෙ මට ආදරේ නිසානං… නටන්න කියලවත් සින්දු කියන්න කියලවත් කවදාවත් මගෙන් ඉල්ලීමක් කරන්නෙපා. අම්මටයි අප්පච්චිටයි එච්චර ද්‍රෝහිකමක් කරන්න මට බෑ”
අද තව වෙන තුරා අන්තරා දක්ෂිණ ගේ කලායතනයට පැමිණ නැත. මේ ගැන මුල දී ඔවුන් අතරේ අපමණ බහින්බස් වීම් සිදු වී ද, දක්ෂිණ ඉදිරියේ වැරදිකාරියක වී ද, සිය හෘද සාක්ෂිය ඉදිරියේ අන්තරා සියුම් හෝ සැනසිල්ලක් විඳියි. එදා ගෙදරට රහසේ දක්ෂිණ සමග පැමිණීමෙන් පස්සේ අද අද වනතුරා ඈ නැටුවේ ගැයුවේ නැත. දක්ෂිණත් අන්තරාත් අතරේ ඇති වූ මුල් ම බිඳීම එයයි. ඒ ඉරිතලා යාම කාලයත් සමග වඩා පුළුල් හා ගැඹුරු වෙමින් ඔවුන් දෙදෙනා වඩ වඩාත් දෙපසට කරනා ලදී. මුලින් දක්ෂිණ සම්පතී ට ලං වූයේ අන්තරාගෙන් පළිගන්නටත් එක්ක ය. නමුත් ඈ ගලවා දැමිය නො හැකි ලෙස ඔහු ගේ සිරුරෙහි එල්ලීගෙන සිටියා ය. කලායතනය වෙනවෙන් අන්තරාගෙන් ඉටු නොවූ යුතුකම් සම්පතීගෙන් ඉටු වන්නට ද වූයෙන් දක්ෂිණ නො දැන ම වාගේ ඔහු ඈ වෙතට වඩ වඩාත් නැඹුරු වෙමින් සිටියේ ය.
“අන්තරා ඩිවෝස් එක ඉල්ලනව”
කියා සම්පතී ඉදිරියේ කියාගන්නා ලොකු ඕනෑකමක් මුලින් දක්ෂිණ ට විය. නමුත් සම්පතී ගේ හැසිරීම ඉදිරියේ ඔහු ඒ අවශ්‍යතාවය තමන් තුළ ම ගිල ගත්තේ ය. එතැන්හිදී දක්ෂිණ ගේ ස්වරූපය සම්පතී සැකයෙන් පුරවන්නට සමත් විය.
දක්ෂිණ සමග ස්ථිර වෙන්වීමක් ගැන කතා කළාට පස්සේ අන්තරා ද හෝරා ගණනාවක කැළඹීමක් අත්වින්දා ය. හිත එක්තැන් කරගත නොහැකි වූ තැන ඕ පර්යේෂණ කාමරයෙන් පිටතට විත් වැරැන්ඩාවත් මිදුලත් වෙන් කරනා දිගු පියගැට පෙළෙහි හිඳගත්තා ය. එතකොට ඈ අභියස වන්නේ අතිවිශාල වපසරියකින් යුත් අහසත් කොළ පාටින් දිළෙන උද්‍යානයත් ය. මේ දර්ශනය දෙස ඈ මෙලෙස නෙතු යොමා හිඳ ඇති හෝරා ගණන මෙතෙකැයි කිව නො හැකි ය. කන්දක් වාගේ බරකින් යුතුව පඩිය පත හිඳගන්නා ඕ, අවසන නැගී සිටින්නේ ඒ කන්ද බිමට ම සමතලා වී, ඈ කුඩා සැහැල්ලු බිම්මලක් සේ දැනෙත්දී ය.
බෝ වෙලාවක් නිසංසලේ හිඳ, ගැඹුරු සන්සුන් ජල තලාවක් සේ දැනෙනා මොහොතක ඕ තොමෝ නූපුර ට දුරකතන ඇමතුමක් ගත්තා ය.
“පුතාට මේ වෙලාවෙ කතා කරන්න පුළුවන්ද…”
නූපුර විදේශ ගත වූවාට පස්සේ ඔහු ට කතා කළ හැම වතාවක ම අවසර ඉල්ලන්නා වැනි ඒ වාක්‍යය එකතු කරන්නට ඇය අමතක නොකළා ය. අවසාන කාලයේ ලංකාවේ සිටියදීත් ඔහු ඇගෙන් ඈත් වෙන බවක් ඇයට දැනෙමින් තිබිණ. ළමයින් ලොකු වන විට අම්මලාගේ තුරුලේ ම හිඳින්නේ නැතය යන සත්‍යය හදවත පහුරු ගාන්නේ වී ද ඊට උපේක්ෂාවෙන් මුහුණ දිය යුතු බව තේරුම් ගන්නට ඇයට උවමනා විය.
“කියන්න අම්ම”
“ලෙක්චර්ස් එහෙම ඉවර ඇති නේද… මට ටිකක් වැදගත් දෙයක් කියන්න තියනව පුතා”
“කියන්න”
“ඔයත් දැන් මෙහෙ නැති නිසා මං හිතුව පුතා තාත්තව නිදහස් කරන්න. බොරුවට තේරුමක් නැති බැඳීමක් තියං ඉන්න ඕන නෑනෙ. එතකොට ඒ පවුලවත් පිළිවෙළක් වෙයිනෙ. දැන් මේව රටේ ලෝකෙ මිනිස්සු නොදන්න රහසුත් නෙවෙයිනෙ අනිත් එක. පුතයි තාත්තයි අතරෙ තියෙන සම්බන්ධෙ කොහොමත් තියනවනෙ. නැති වෙන්නෙ මායි තාත්තයි අතරෙ නීතියෙන් ඉතුරු වෙලා තියන බැඳීමනෙ. ඇත්තටම ඒකෙන් එයාටවත් මටවත් ලැබෙන දෙයක් නෑනෙ පුතා. මේ දූපතෙන් එළියට ගියාට පස්සෙ පුතාට පේනව ඇතිනෙ ලෝකෙ කියන්නෙ මොකද්ද කියල. මං අද තාත්තට කිව්ව මෙහෙ එන්න ඕන නෑ මං ගැන බලාගන්න මට පුළුවන් කියල. ඔයත් මගෙ ළඟ නැති එකේ… දැං මට ඒ වැඩකට නැති නීති බැඳීමක් මොකටද පුතා…”
ඒ අන්තිම ටික කියත්දී අන්තරා ගේ පපුව යටින් හිරවීමක් ඇති වී හඬ බිඳී ගියේ ය. ඇය වමතින් උගුර අල්වාගෙන අහස දෙස බැලුවා ය.
“අම්… ම”
නූපුර ගේ හඬ පවා නැගුණ නො නැගුණ තරම ය.
“අම්ම කැමති තීරණයක් ගන්න. අම්මට හිතෙනවනං මෙහෙට එනව කියල… එහෙම හරි කරන්න”
“පුතා මේ අවුරුදු දෙකේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්නකො. පුතාට වුණත් මාව බරක් විදිහට දැනෙනවට මං කැමති නෑ. ඔහෙට ඇවිත්… අන්තිමට පුරුදු රට පුරුදු මිනිස්සුත් නැතුව තනි වෙන්න වුණොත්… අපි බලමු ඉස්සරහට මොනාද වෙන්නෙ කියල”
“අම්ම දේවල් හිතනව වැඩියි”
“හ්ම්. සමහර විට. මටත් ඕනෙ කිසි දෙයක් හිතන්නැතුව ඉන්න. කාටවත් වදයක් බරක් නොවී ඉන්න. පුතාගෙ ෆැමිලි ලයිෆ් එකකට වුණත් දවසක බරක් වෙන්නෙ නැතුව ඉන්න. ඒක නිසා තනිකම කියන්නෙ කොහොමත් මං පුරුදු වෙන්න ඕන දෙයක්”
නූපුර දුරකතන සම්බන්ධය බිඳ දැමුවාට පස්සේත් අන්තරා අහස දෙස ම බලා සිටියා ය. ජීවිතයත් අහස වාගේ නිරන්තර වෙනස් වන දෙයකි. අද මහ මිනිහෙකු සේ තනිව විදේශ අධ්‍යාපනයට නික්ම ගොස් හිඳිනා නූපුර, මීට වසර කිහිපයකට පෙර අම්මා නැතිව බැරි වූ දරුවෙකි. ඔහු ට ඈ දමා දෙවසරකට වුව මෙහෙම යා හැකි වනු ඇතැයි එකල අන්තරා සිතුවේවත් නැත. නමුත් ජීවිතය එහෙම ය. ඒ මත්තේ සිදුවිය නො හැකි ය කියා දෙයක් නැත. ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයක් සිදු විය හැකි ය. ඊළඟ මොහොතේ කුමක් සිදු වන්නට නියමිත දැයි කාට නම් අනුමාන කළ හැකි ද? අන්තරා පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය.