කඳුලු මැණික් – පළවෙනි කොටස

මාලව රාජ්‍යය පිහිටල තිබ්බේ ඉන්දියන් සාගරයේ ඈත කෙළවරක. මේ කතාව අපිට ඇහෙන්නෙ මාලව රාජධානියෙන්. හැබැයි අද ඊයෙ දවසක නෙවෙයි. මීට අවුරුදු ගාණකට කලින් දවසක. මේ අපි කියන රටේ මිනිස්සු මාරෙට ඔය මැජික්, අද්භූත දේවල්, ඉරණම, දෙයියො ගැන එහෙම විශ්වාස කරා. මිනිස්සු විතරක් නෙවෙයි ඉතින් ඒ රටේ රජතුමාත් ඕව විශ්වාස කරලා. මිනිස්සු නෙවෙයි කිව්වට ඉතින් රජතුමාත් මිනිහෙක්නෙ නේද? කොහොමහරි ඒ රටේ මිනිස්සුන්ට අනුව අව්ව පෑව්වෙ, වැස්සේ වැටුනෙ,ගස්වල මල් පිපුණෙ, ගෙඩි හැදුනෙ ඔක්කොම උනේ දෙයියන්ගෙ උවමනාවට එපාවට.

“මේ හැමදේම වෙන්නෙ අපේ කරුමෙ හන්දා. දෙයියො අපි දිහා ඇහැක් ඇරලා බැලුවනම් මේ වගේ පෑවිල්ලකට මූණ දෙන්න අපිට සිද්ද වෙන්නෙ නෑ” කියන කතාව මේ මිනිස්සු විශ්වාස කරා. එහෙම විශ්වාසයක් අහන්න ලැබිච්ච වෙලාවට කවුරුහරි “හැමදේම කරුමෙ කියල කියන්නෙ මොකටද?” කියල ඇහුවත් තමන් හිතන දේ සාධාරණීකරණය කරන්න “කරුමෙ නෙවෙයිනම් වෙන මොකක් හන්දද මෙහෙම වෙන්නෙ? අපි හැමදේම කරුමෙ කියලා කියන්නෙ එතකොට ලේසියිනෙ. නැත්තම් කාගෙ මතද අපි මේ වරද පටවන්නෙ? වැස්ස ගෙනල්ල දෙන්නෙ දෙයියො. ඉතින් දේවල් ලබාගන්න දෙයියන්ට කන්නලව් කරන්නෙ නැතුව කාටද අපි මේ ගැන කියන්නෙ?” කියලා කිව්වා.

පොළොවෙ තියෙන සමහර ගල්වලට වාසනාව ගෙනැල්ල දෙන්න පුලුවන් කියන එක, අහසෙ තියෙන තාරකා තමන්ගෙ ජීවිතේ ඉස්සර දවස් තීරණේ කරනවා කියන එක, තමන් දකින සමහර හීන ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන දෙයියො අරගෙන එන පණිවිඩයක් කියලා මේ මිනිස්සු විශ්වාස කරා. මාලව රාජ්‍යයේ ඕන පාරක් අයිනෙ, ඕන පඳුරකට ගැහුවම අනාවැකි කියන, සාස්තර කියන, නයි නටවන, කේන්දර බලන උදවිය ඕන තරම් හොයාගන්න පුලුවන්කම තිබ්බා.හැම හවසකම ගම්වල, community එකට එක්කහු වෙන්න හදලා තිබ්බ තැන්වලට එක්කහු වෙච්ච මිනිස්සු ගමේ උන්නු පරණ මිනිස්සු කිව්වා “අතීත ශ්‍රී විභූතිය, සංස්කෘතිය” ගැන පට්ටන්දර ඇහුවා. 

“ඔය කියන නාග මාණික්‍යයට ඉස්සර අපේ මී මුත්තල එහෙම සෑහෙන වැඳුම් පිඳුම් කරා. ඒ මැණික හැදිල තියෙන්නෙ දරුවො අහිමිවෙච්ච හැපින්නක් ඒ වේදනාව හන්දා වැක්කුරුව කඳුලුවලින් ලු”

“මං අහලා නෑනෙ කවදාවත් සර්පයො අඬනවා කියලා. උන්ට එහෙම ඇස් තිබ්බට, කඳුලු ආවට ඒ කඳුලු අපේ මිනිස්සුන්ගෙ කඳුලුවගේ එලියට වැටෙන්නෙ නෑ කියල තමයි අපේ ඉස්කෝලේ මහත්තය කියල දුන්නේ. උන්ගෙ කඳුලු ඇස් අස්සෙම හිරවෙල තියෙනව මිසක්කා බිමට වැක්කෙරෙන්නෙ නෑලු”

“අනේ බං ඔය අද ඊයෙ විශ්ව විද්‍යාල වලින් එලියට බැහැලා තමන් මේ හෙන පණ්ඩිතයො කියල හිතාගෙන ඉන්න උඹලගෙ ඉස්කෝල ගුරුවරු මොනවද දන්නෙ කියපංකො මේ අපි කියන අපේ අතීත කතන්දර ගැන. උඹලගෙ ගුරුවරු හැමදේම දැනගත්තෙ පොත්පත් කියවල. අපේ ආච්චිල සීයල එහෙම නෙවෙයි. උන් හැමදේම දැනගත්තෙ ජීවත්වෙලා. උඹල හිතන්නෙ පොතෙන් පතෙන් ඉගෙන ගත්ත ඒවට වඩා ඇස්වලින් දේවල් දැක්ක මිනිස්සු කියන ඒව විශ්වාස කරන්න බෑ කියලද?” කියල ඔය අතීත කතා ඇත්තමද කියලා question කරන තරුණ හාදයින්ගෙ කතා නිකන් පාච්චල් කරලා දැම්මට පස්සෙ ඔය community center එක මැද්දෙ වාඩිවෙලා පට්ටන්දර ඇදබාන මනුස්සයා ආයෙම වතාවක් තමන්ගෙ කතාව ඉස්සරහට කියාගෙන ගියා. 

“ඔය නාග මාණික්‍යයට පුලුවන්ලු ඕනම රටක රජෙක්ව සක්විති රජෙක් කරන්න. මැණික අතට ගන්න මනුස්සයට පුලුවන්කම තියෙනවලු මේ ලෝකෙ ඉන්න ඕන මනුස්සයෙක්ගෙ ඉරණම පාලනය කරන්න. ඒ මනුස්සය ජීවත්වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒක නිකන්ම නිකන් වරමක් නෙවෙයි දෙයියන්ගෙන් ලැබිච්ච වරමක්ලු”

මේ මාලව රාජ්‍යයේ ලොක්කා එහෙම නැත්තම් රජ්ජුරුවො උනේ වික්‍රමාධිත්‍ය. රත්තරන්ද ගෑණුද සොල්දාදුවොද කෑම බීමද කොච්චර තිබ්බත් මේ රජතුමා ඉතින් ඔය ලෝකෙ අනිත් රටවල රජ්ජුරුවො වගේම මෙලෝ සන්තෝසෙකින් නෙවෙයි ඉඳියෙ. “මාව මත්කරන්න පුලුවන් එහෙම අවුසදේ power” එක කියල කියන ගමන් මිනිස්සු දාස් ගානක් විතර මැරුවත්, අන්තප්පුරේට හිතිච්ච හිතිච්ච ගෑණිව add කරගත්තත් රජ්ජුරුවො පොඩ්ඩක්වත් සන්තෝස උනේ නෑ. තව තව දේවල් එකතුකරගන්න පුදුම උවමනාවක් තමයි මේ රජ්ජුරුවන්ට තිබ්බෙ. 

“මට ඕන මැරුණට පස්සෙත් මිනිස්සුන්ට මාව මතක හිටින විදියෙ කෙනෙක් වෙන්න. මාව කාටවත් අමතක වෙන්නෙ නැතිවෙන්න. මං ජීවත්වෙලා ඉන්න කාලෙ වගේම මැරිච්ච කාලෙකත් මිනිස්සු මං ජීවත්වෙනවා කියල හිතල වැඳුම් පිදුම් කරනවා බලන්න” කියලා රජ්ජුරුවො කියද්දි රජ්ජුරුවොට එහා පැත්ත වාඩිවෙලා උන්න කේන්දර බලන වීරභද්‍ර කරේ හිනාවෙන එක. 

“කඳුලු මාණික්‍යය හොයාගත්තොත් නම් ඒක කරගන්න පුලුවන් වෙයි රජ්ජුරුවොන්ට”

“තියෙන්නෙ කොහෙද අරගන්නෙ කොහොමද කියලවත් නොදන්න අවුරුදු ගාණක් රජවරු දාස් ගානක් පහුකරගෙන ආව ඔය නාග මාණික්‍ය කතාව උඹ වගේ ඉගෙන ගත්ත මිනිහෙක් ඔය වගේ බොරු බේගල් පට්ටන්දර විශ්වාස කරන එක මට මහ පුදුමයක්” වික්‍රමාධිත්‍ය රජතුමා එහෙම කියලා කිණ්ඩි හිනාවක් දැම්මට වීරභද්‍ර ඒකෙන් අවුල් උනේ නෑ. මිනිහා දිගටම හිනාවෙලා රජ්ජුරුවො දිහා බලන් උන්නෙ හරියට “රජ්ජුරුවො දන්නෙ නැති ගොඩක් දේවල්” මම දන්නවා කියල කියන්න වගේ. 

“මෙහෙමනෙ රජ්ජුරුවො, ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ කියනවනෙ.මාත් ඉස්සර හිතන් උන්නෙ ඔය කතා ඔක්කොම බොරු කියල. ඒ උනාට රජ්ජුරුවො දන්නවනෙ මං මේ සාස්තරේ ඉගෙන ගත්තෙ පරම්පරාවෙන් කියලා. අපේ පරම්පරා අටක් දහයක්ම මේ රටේ රජ්ජුරුවන්ගෙ කේන්දර බලන රාජකාරිය කරපු උදවිය. ඒ විදියට ආව පුස්කොල පොත අටෝරාසියක් අපෙ ගෙදර තියෙනව. එහෙම තිබිච්ච පරණම පොතක තමා ඔය නාග මාණික්‍යයේ කතාව තිබ්බෙ”

“ඉතින් ඒ පුස්කොල පොත තමුසෙලගෙ ගෙදර තිබ්බනම් තමුසෙලගෙ පරම්පරාවෙ කලින් උදවිය මොකද ඒක අරගෙන නැත්තෙ? උන්ට තිබ්බානෙ පොතේ කියන විදියට ඔය නිදන් වදුල හොයන් ගිහිල්ලා මැණික ගන්න”

“අන්න ඒකයි රජ්ජුරුවො ප්‍රශ්නෙ?”

“මොකද්ද ප්‍රශ්නෙ?”

“එහෙම පොත හම්බුනා කියල හැමෝටම ඒ මැණික හොයාගන්න බැරි එක”

“ඇයි ඒ?”

“මැණික ලබන්න නම් ඒ ලබන මනුස්සයගෙ කේන්දරේ ඒ ලැබීම සඳහන් වෙලා තියෙන්න ඕන” කියල විරභද්‍ර අමුතුම look එකක් දාගෙන තමන් දිහා බලද්දි රජ්ජුරුවො ඒත් කල්පනා කරා “this seems interesting” කියලා.

“තමුසෙ දැන් කියන්නෙ මගෙ කේන්දරේ එහෙම එකක් තියනව කියලද?” කියල බාගෙට කිණ්ඩියටයි බාගෙට සිරාවටයි රජ්ජුරුවො අහද්දි වීරභද්‍ර කලේ ඔලුව වනන එක.

“තමුසෙ මාව ආතල් එකට ගත්තෙ නෑ නේද?” කියල රජ්ජුරුවො අහද්දි වීරභද්‍ර කරේ මෙච්චර වෙලා වාඩිවෙලා උන්න තැනින් නැගිටල ඇවිල්ලා රජ්ජුරුවො ළඟට ළංවෙච්ච එක.

“මේ වගේ බොරුවක් රජ්ජුරුවන්ට කියල මට මොනවා ලබාගන්නද? අනික මං නොදන්නවය මේක ඔබතුමාට හම්බුවෙනව කියන්නෙ මටත් ඉතින් උඩට යන්න පුලුවන් වෙන විත්තිය. එහෙම එකේ මොකටද මං බොරු කියන්නෙ මේ මැණිකක් ගැන. මිනිස්සු කියන කතන්දර හන්දා විතරක් නෙවෙයි අපෙ පවුලෙ උදවිය පවා ඔය මැණීක ගැන කතන්දර මට කියල තියෙනවනෙ. සිරා සිද්ධි මේවා. මං නම් කියන්නෙ අපිට නැතිවෙන්න දෙයක් නැති එකේ ඕක හෙව්ව කියල පොඩි try එකක් දීලා බලන්න තියෙන්නෙ”

“කොහොමද දැන් ඕක හොයාගන්නේ?” කියල රජ්ජුරුවො අහපු කතාව තමයි වැඩේ සද්ද නැතුව කෙරෙන්න ඕන හන්දා වීරභද්‍රම තමා මේ වැඩේ කරන්න පුලුවන් කෙනෙක්ව හොයන රාජකාරිය පටන් ගත්තෙ. ආන් ඒ විදියට දවසක් කාටවත් කියන්නෙ නැතුව රජ්ජුරුවන්ට විතරක් දැනුම් දීලා leave එකක් අරගෙන මිනිහ රජ මාළිගෙන් පිටවෙලා ගියා.මේ වැඩේ serious කියල මිනිහ දැනන් උන්නා. “එකිනෙකාව දන්න අඳුරන සෙට් එකක් මේ වැඩේට ගත්තොත් ඕකුන් අපිට කෙලවලා මැණික අරන් පනී” කියල රජ්ජුරුවන්ට කියලම තමයි මිනිහා තමන්ම මේකට ගැලපෙන අයව හොයාගෙන එන්න ගියේ. 

ආන් ඒ විදියට හම්බුවෙච්ච එකෙක් තමා වාසුකී. මිනිහට නයි නටවන්න වගේම නයි පටවන්නත් පුලුවන්කම තිබ්බා. ඔය පොළවල්, මිනිස්සු එක්කහු වෙලා ඉන්න තැන්වලට දවාලෙ ගිහිල්ලා නයි නටවන එක තමා මිනිහ කරේ. රෑට ඉතින් නයාව නැටෙව්වෙ මිනිස්සු වැඩිය ගැවසෙන්නෙ නැති තැන්වල. මේ නයාට ඔය පූජනීය දේවල් හංගලා, නිධන් කරලා එහෙම තියෙන තැන් ඉවෙන් අඳුරගන්න පුලුවන් විත්තිය තමා වාසුකී කිව්වෙ. “නයින්ට ඉව කියල දෙයක් තියෙනවද?” කියල හිතන්න, අහන්න කරන්න කවුරුවත්  උන්නෙ නැති හන්දා ඉතින් වාසුකීකියන ඒව මිනිස්සු ලොකුවටම විශ්වාස කරා. 

ඊලඟට හොයාගත්ත එකා උනේ මැණික්. මිනිහා රත්තරන් බඩු විකුණන වෙළෙන්දක් ළඟ කාලාන්තරයක් වැඩ කරලා අන්තිමේ “මගේම දෙයක් කරගන්න ඕන” කියල හිතලා ඒ රස්සාවෙන් අයින් වෙලා මැණික් ගැන හොයන මනුස්සයෙක් වෙච්ච එක. තමන් ඔය කියන කඳුළු මාණික්‍යය හීනෙන් එහෙම දැකලා තියෙන විත්තිය මිනිහා මිනිස්සුන්ට කියපු කතන්දර වීරහද්‍රටත් අහන්න ලැබිලා තිබ්බා. “මං මැණික් දාස් ගාණක් දැකලා තියෙනව. හැබැයි ඒ හීනෙන් දැක්ක කඳුලු මාණික්‍යය වගේ එකක් නම් මං උපන්තේකට දැකලා නෑ. ඒක මට හීනෙන් පෙනුනෙ ඒකෙ උරුම්මක්කාරය මං හන්දා නෙවෙයි. ඒක උරුමක්කාරයගෙ අතට ගෙනියන්න පුලුවන් මනුස්සයා මං හන්දා” 

තුන්වෙනියට මේකට සෙට් උනේ ජානු. මිනිහා ඉස්සර දේවාලෙක වැඩ කල ඩයල් එකක්.දේවාලෙන් බඩු හොරකම් කරල අහුවෙලා හිඟමනට එන්න වෙච්ච වෙලාවෙ මිනිහා කිව්වේ “හිඟමනේට උනත් වැටුනෙ දෙයියන්ගේ බඩු හොරකම් කරලා” කියන එක. ඒ කතාවම නිකන් මිනිහව සුපිරි ඩයල් එකක් කරපු හන්දා හිඟා කන්න උනාත් ඩයල් එක උන්නෙ රජෙක් වගේ. වීරභද්‍ර වෙන වෙනම මුන් තුන්දෙනා එක්කම කතා කරා. අන්තිමේ තුන්දෙනාවම එක්කහු කරගෙන රජ මාළිගාවට එක්කරගෙන ආවා. අනිත් කාගෙවත් ඇහැ ගැටෙන්නෙ නැති විදියට මුන් තුන්දෙනාව රජ්ජුරුවො ළඟට එක්කරගෙන ගියා. 

“මුන් එකාට එකාව දන්නෙ නෑ. එකාට එකා ඇත්තෙත් නෑ. ඒ හන්ද අපිට බයවෙන්න දේකුත් නෑ” කියල රජ්ජුරුවන්ට කියද්දි රජ්ජුරුවො කලේ වීරභද්‍ර දිහා බලන හීනි හිනාවක් දාන එක.

“උන් එකාට එකා දන්නෙ නැත්තෙ දැන් නෙ. ඔය වැඩේ පටන් ගත්තම උන් සෙට් වෙයි. ඒක නිසා උන්ව ඈත්කරල තියන විදියක් කල්පනා කරහං”

“නෑ රජ්ජුරුවො අපි කරන්න ඕන උන්ව ඈත් කරල තියන එක නෙවෙයි. ළං වෙලා ඉද්දි උනත් උන් අනිකව විශ්වාස කරන්නෙ නැති ලෙවල් එකකට උන්ගෙ ඔලුව හදන එක”

More Stories

Don't Miss


Latest Articles