කඳුලු මැණික් – දෙවෙනි කොටස

වික්‍රමාධිත්‍ය රජ්ජුරුවො වාඩිවෙලා උන්නෙ තමන්ගෙ සඳුන් ලීයෙන් කරපු සිංහාසනේ උඩ. මිනිස්සු ඒක මාර සැප පහසුයි කියල හිතන් උන්නට ලීයක් උඩ ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එක එච්චර ලේසි නෑ ඉතින්. ඒ කාලෙ cushion එහෙම තිබ්බෙ නැති හන්දා කොට්ටයක් වගේ දාලා උන්නට ඒක එහෙ මෙහෙ ගිහින් තට්ටම් ලීයෙ වැදෙන්න ලොකු චාන්ස් එකක් තියෙන හන්දා රජෙක් උනත් පස්ස පරිස්සම් කරගන්න දැනගන්න ඕන. ආන්න ඒ වෙලාවෙ තමා රජ්ජුරුවො හිතුවෙ ඔක්කොටම කලින් “මැණික හම්බුනාම හොඳ පුටුවක්” ගන්නවා කියලා.

මුලින්ම මාළිගාවට enter නේ වාසුකී. මිනිහගෙ අතේ තිබ්බා සර්ප කූඩුව. “මැණික හොයාගනී මේ උන්නාන්සෙ නැත්තම්” කියල වාසුකී උන්නෙ කොහොමත් මේ වැඩේ කරපු එකට තමන්ට කොහොමත් හොඳ ගතමන්ට් එකක් ලැබෙනවා කියල දන්න හන්දමයි.

මිනිහගෙ පස්සෙන් මැණික් ආවේ “මැණික හොයාගත්තෙ නයා උනාට ඒක ඇත්ත එකද බොරු එකද කියල හොයාගන්න පුලුවන් උනේ මං හින්දනෙ” කියලා.

ඉන්පස්සෙ ආවෙ ජානු. මිනිහා ඉතින් කොහොමත් ලෝඩ් පකීර් ලෙවල් එකෙන් උන්නෙ. “ඒ උණාට දෙයියො කෝප නොවෙන ලෙවල් එකෙන් ඕක අතට ගන්න පුලුවන් උනේ මට විතරනෙ” කියලා. 

සර්ප කූඩුව රජ්ජුරුවන්ගෙ කකුල් දෙක අද්දර තිබ්බ වාසුකී කූඩුව ඇරියම රජ්ජුරුවො බය උනා මූ මේ සර්පය එළියට අරගෙන මට කෙළින්න හදන්නෙ කියලා. ඒ උනාට කූඩුව අස්සෙන් අත් දෙකෙන්ම වාසුකී එළියට අරගත්ත ලේ රතු පාට කඳුලක හැඩේට තිබ්බ ගල දැක්කම බයට ඉස්සිච්ච කකුල් දෙක බිමට පාත්වෙලා ඇහි බැම ඉස්සුණේ “අම්මටසිරි මේකනෙ ගල” කියල කියන්න වගේ.

“කඳුලු මාණික්‍ය හාංදුරුව නේ” කියල වාසුකී මැණික අතටම දෙද්දි රජ්ජුරුවන්ගෙ ඇස් දෙක තිබ්බෙ ඒ මැණික උඩම විතරයි. 

“මේක මෙහෙම පරණ රෙදි කෑල්ලක ඔතන් ආව එකට උදහස් වෙන්න එපා හාංදුරුවනේ. අපිට මේක අතෙන් අල්ලන්න බෑනෙ. අල්ලන්න ඇහැකි ඉරණම්කාරයට විතරයි” කියල වාසුකී කියද්දි රජ්ජුරුවො මැණික අල්ලන්න දික්කරපු අත ආපස්සට ගත්තෙ “මං ඉරණං කාරයා නෙවෙයිනම් මොකක් වෙයිද?” කියල සැකෙන් වගේ.

මැණික් ගැන දන්න මැණික් උන්නට හැමෝම එක්කහු වෙලා තමන්ව රවට්ටයිද කියල කියන්න වගේ තමයි රජ්ජුරුවො මේක ඇත්ත මැණිකද කියල බලන්න රාජ මාළිගාවෙ රත්තරන් බඩු හදන මනුස්සයටත් එන්න කියල තිබ්බෙ. උන්දැ ඇවිල්ලා මැණික රජ්ජුරුවො අතේ තියෙද්දිම ඉර එළියට අල්ලල බලලා, රේඛා ගණන් කරලා, මොන මොනවද මුමුණද්දි අනිත් උන් තුන්දෙනා උන්නෙ තක්බීර් වෙලා. “හදිසියේ හරි මේක බොරු එකක් උනොත්?” කියන බය හිත ඇතුලෙ තිබ්බෙ නෑ කියන එක නම් බොරුවක්. ඒ උනාට මක්කහරි හේතුවකට ඔක්කොම ඒව බැලුවට පස්සෙ “මේක නම් හැබෑම ආස්චර්‍ය්‍යක්. මේක හැබෑ මැණිකක්. මගෙ නේත්‍රා දෙකට මෙයාකාර මැණිකක් ඇහැ ගැටිලම නෑ” කියල කියද්දි උන් තුන්දෙනාගෙ ඇස් ලොකු උනෙත්, රජ්ජුරුවොන්ගෙ ඇස් ලොකු උනෙත් හේතු දෙහෙකට.

“නිකන්ම රජෙක් වෙච්ච මාව ඕන මිනිහෙක්ගෙ ඉරණම තීරණේ කරන්න පුලුවන් රජෙක් කළ හන්දම මං උඹලට ඇතෙක් බර වස්තු දෙනවා. උඹලා කැමති විදියට ඒව වියහියදම් කරල ඉඳපල්ලා” කිව්වයින් පස්සෙ රජ්ජුරුවො භාණ්ඩාගාරෙන් ගත්ත රත්තරන් පෙට්ටි තුනකට දාලා මැණික්, වාසුකී, ජානුට දෙන්න කියල කිව්වා. ඉඩම් දුන්නා. මෙයාකාර දෙයක් කල විත්තිය ලෝකෙටම කියන්න ගල් ටැඹක නම් කෙටුවා. ගම්වර දුන්නා. 

කතාව එතනින් ඉවර වුනාද?

නෑ. ආන්න ඒකයි ප්‍රශ්නෙ.

ඔය විදියට රජෙක් සක්තිවි රජෙක් කරවන මැණික වික්‍රමාධිත්‍ය රජ්ජුරුවො අතට ආව සන්තෝසෙට රජ්ජුරුවො ප්‍රීතිය සමරන්න මුලු නගරෙම අයට party vibes දුන්නා.. “මට ඕන මිනිහෙක්ගෙ ඉරණම තීරණේ කරන්න ඇහැකි” කියලා හිත හිත හොඳට බිව්වා. කෑවා.

ඔය ඔක්කොම වෙද්දි වීරභද්‍ර උන්නේ හැමෝම සන්තෝස වෙන party area එකෙන් එළියට ඇවිත් කලුවරෙන් වැහිච්ච බිල්ඩිමක් අස්සට වටපිට බල බල කවුරුහරි තමන් දිහා බලාගෙන ඉන්නවද කියලා හිත හිත යන ගමන්. එතන තමයි සෙට් එකම සෙට් වෙලා උන්නු හරිම පාටිය තිබ්බේ. කාලා බීලා අහවර වෙනවත් එක්ක තමා මෙච්චර වෙලා හැමෝගෙම ඔලුව අස්සෙ තිබිච්ච ප්‍රශ්නෙ එළියට ආවේ.

“ඒක ඇත්ත මැණිකද?” කියල අහන ගමන් වාසුකී කලේ වීරභද්‍රගෙ plate එකට barbecue කරපු මස් කෑල්ලක් දාපු එක. මස් කෑල්ල හපන ගමන් වීරභද්‍ර කලේ නොණ්ඩි හිනාවක් දාපු එක.

“උඹලත් තාම ඔය පුස්කොල පොත්වල ලියවිච්ච මගුල් විශ්වාස කරනවද?”

“විශ්වාස කරන්නෙ නෑ අර මාළිගාවෙ රත්තරන් බඩු හදන එකා ඕක ඇත්ත එකක් කියල කිව්වෙ නැත්තම්. මං හිතුවෙ මට චූ යයි කියල ඌ එනවා දැක්කම මැණික චෙක් කරන්න” කියල කිව්වේ මැණික්.

“මොකටද චූ යන්නේ?”

“බොරුවක් කරනව කියල රජ්ජුරුවො දැනගනී කියලනෙ දෙයියනේ”

“ඒක වෙන්නෙ මැණික් කාරයා ඇත්ත කිව්ව නම් නේ. මං ඌට කලින්ම කියල තිබ්බේ ඕක බොරුවක්. ඒ උනාට ඇත්ත වගේ රඟපාහං කියල” වීරභද්‍ර තව මස් කෑල්ලකට පිඟාන දික්කරද්දි වාසුකී, ජානු, මැණික් කරේ මූණට මූණ බලාගත්ත එක.

“එතකොට මේ මුළු කතාවම බොරුවක් නේද?” කියලා ඇහුවෙ වාසුකී.

“බොරුවකට පුළුවන් නම් පිස්සු රජෙක්ව සන්තෝස කරන්න, සල්ලි නැති උඹල වගේ උන්ට සුර සැප දෙන්න, ඒක බොරුවක්ම වෙන්න බෑ නේද?” කියල ගමන් ඉඳන් උන්නු තැනින් නැගිටපු වීරභද්‍ර ඔලුව උස්සල අන්ධකාර අහස දිහා බැලුවා. ආයෙම හිනාවෙලා පිටිපස්ස හැරිලා වාසුකී, ජානු, මැණික් දිහා බැලුවා.

“ඔය මැණිකට සිරාවටම වටිනකමක් නැති එක අපි දන්නවනෙ. වටිනකමක් නැති රතු පාට ගලකට නැති වටිනකමක් දුන්නෙ අපි බවත් දන්නවනෙ. බොරු වේවා ඇත්ත වේවා ඔය ගලට ඇත්ත වටිනකමක් නෑ. 

හැබැයි ඒ ගල හින්දා ඇතිවෙච්ච කතාව තියෙනවා නේද?

අන්න ඒකෙ වටිනකම කියල ඉවරකරන්න බෑ. උඹලට ඕන ඕක ඇත්තද කියල දැනගන්නේ. ඕක ඇත්ත බං. මොකද අද රජ්ජුරුවො තව අවුරුදු දහස් ගාණකින් මිනිස්සු ඕකට දණ ගහල වඳින්නෙ ඔය ගලේ වටිනකමට නෙවෙයි ඒ ගල ගැන අපි ගොතපු කතාවෙ වටිනකමට”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles