යුගාත්ම කාශ්මීර අමුණුගම ශීතකරණයේ දොර විවර කරගෙන ඊට එබීගෙන සිටියේ ය. රාත්‍රියට කන්නට ය කියා දෙයක් එහි නැති තරමි. පිටතට ගොස් කොත්තුවක්වත් ගෙන පැමිණිය යුතු යයි සිතෙත්දී ම ඔහු ගේ නෙතු නතර වූයේ වසා තිබූ සුදු පාට කෑම පෙට්ටියක් ළඟ ය. දෙතුන් දිනකට පෙර නුවර ගොස් එත්දී අම්මා වෙන වෙන ම බත් ද ව්‍යාංජන ද භාජන වලට දමා දුන් අතර, ඉතිරි වූ බත් ටික ද කුකුළු මස් කරිය ද ඔහු ශීතකරණයෙහි දැමුවේ ය. නමුත් එය රත්කරගෙන නැවත කන්නට අමතක වී තිබේ. මේ වෙලාවේ හැටියට එයත් ලොකු දෙයකැයි සිතමින් යුගාත්ම කෑම බඳුන් දෙක පැන්ට්‍රි මේසය මතින් තැබුවේ ය.
මේ තනිකඩ ජීවිතයට දැන් ඔහු හුරු වී අවසාන ය. සිය පියාණන් ගේ කැමැත්ත මත සිදු වූ විවාහය නීතියෙන් අවළංගු කොට දමන්නට සිදු වූයේ හිටපු බිරිඳ කවින්ද්‍යා ගේ අවශ්‍යතාවය මතයි. සැබවින් ඒ විවාහය ඇයට පමණකුදු නොව ඔහුට පවා නීරස උගුලක් සේ දැනෙමින් තිබිණ. විවාහයෙන් බිහි වූ දියණියන් දෙදෙනා ම බිරිඳ සිය තනි අයිතියට යටත් කොට ගත්තා ය. කුඩා කල පටන් ම දැරියන් ගේ හිත් වලට පියා ගැන අපැහැදීමක් එන්නත් කරන්නට සමත් වූ ඕ තොමෝ, දික්කසාදයෙන් අනතුරුව පියෙකුට දරුවන් කෙරේ වන අයිතිය පවා නොසලකා හැරියා ය. ඇගේ හිතින් හිතන්නට පුරුදු වූ දියණිවරු, ඔවුන් එක වහලක් යටින් දෙපැත්තකට විසිර ගිය ඉක්බිති පියා හමුවීමට ද වැඩි මනාපයක් දැක්වූයේ නැත. පහු වෙත්දී විවිධ නිදහසට කාරණා කියමින් තාත්තා හමු වීම ප්‍රතික්ෂේප කරන්නට වූහ. ඔවුන්ගේ අකමැත්ත තේරුම් යාමෙන් පසු යුගාත්ම ඒ සඳහා බලපෑමක් එල්ල කරන්නේ නැතිව ම පසෙකට වූයේ ය.
එහෙම වුණේ ඇයි දැයි ඉඳහිට ඔහු හිතයි. සැබවින් ඔවුන් ට එක ජීවන ගමනක් යන්නට තරම් එකාත්මික බවක් වූයේ නැතිය කියා වැටහෙන්නේ දැන් ය. ඒ වූ කලී නැටුම් පරපුරක අනාගතය වෙනුවෙන් පරපුරේ ඇත්තන් විසින් ඔවුන්ගේ උවමනාවට ඇති කළා වූ බන්ධනයකි. නමුත් එයින් හදවත් අතරේ බැඳීමක් ඇති වූයේ නැත. ටික කාලයක් ආයාසයෙන් රඳවාගෙන සිටි සම්බන්ධයක්, දෙපාර්ශවයට ම උහුලා දරාගත නො හැකි වෙහෙසක් දැනෙත්දී අත්හැරී ගියේ ය. එපමණකි.
“බත් උයන්න විතරක් ගෙදර ගෑනියෙක් ඉඳල වැඩක් නෑ. හිනාවකට හේතුවක් වෙන්න ඒ ගෑනිට බැරිනං…”
තමන්ට ම මුමුණා ගත් යුගාත්ම දිගු සුසුමකින් ශීතකරණය වසා දැමූයේ තක්කාලි ගෙඩියක් හා අමුමිරිස් කරල් දෙකක් අතට ගැනීමෙන් පසු යි.
වසර ගණනාවක් විදේශ රටක උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගත කළ යුගාත්ම ට, කන්නට හැකි තරමින් යමක් උයාපිහා ගැනීමේ හැකියාව තිබේ. නමුත් ඔහු ඊට අතිශය කම්මැළි ය. එබැවින් වැඩි වේල් ගණනක් පිටතින් කෑම ගන්නට පෙළඹෙයි. ඉඳහිට යමක් රත්කර ගන්නා නිසා අවශ්‍ය අඩුම කුඩුම ටිකක් නිතර ම ශීතකරණයේ තබාගෙන හිඳී.
සුදු ලූණු, රතු ලූණු, අමු මිරිස් හා තක්කාලි කපා සෝස්පෑන් එකක් ළිප තැබූ යුගාත්ම, තෙල් රත් වෙත්දී ඒ සියල්ල සෝස්පෑනයට දමා බිත්තර දෙකක් ද කඩා දැමුවේ ය. ඊලඟට අම්මා හදා දුන් කුකුළු මස් බඳුනෙහි ඉතිරි වී තිබි කැබලි දෙක තුන කුඩා කැබලිති වලට කඩා තෙම්පරාදුවට දැමුවේ ය. ශීත ගැන්වී තිබි බත් ටිකට කුකුළු මස් බොරය එක් කොට එය සෝස්පෑනයට දැමුවේ ය. තෙම්පරාදු සුවඳින් නූතන මුළුතැන්ගෙය පිරිණි.
අන්තරා ස්වරාවී ගාන්ධාරා, කුඩා ලී වංගෙඩියෙහි තලාගත් ඉඟුරු සුදු ලූණු තලපය තෙලට දැමුවා ය. සුවඳ ඉහිරෙමින් ඒ රන්වන් පාටට හැරෙත්දී, රම්පේ කරපිංචා දමා, අනතුරුව ලස්සනට පිළිවෙළට කපා කැපුම් ලෑල්ල මත තැබූ ලොකු ලූණු, බෙල් පෙපර්, තක්කාලි ඇතුළු අඩුවැඩිය සෝස්පෑන් එකට දැමුවා ය. සූ හඬ නගමින් සුදු පාට දුමක් නැඟිණි. පරෙස්සමට රස මතු වන සේ සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, වියළි මිරිස් කැබලි හා ලුණු ආදිය පදමට එක් කළා ය. පදම නිවැරදි නම් සුවඳින් ඇයට හඳුනාගත හැකි ය. ලුණු මදි වූවත් දිවට කලින් සුවඳ සංවේදී ඉන්ද්‍රිය වලින් ඈ ඒ බැව් හැඳිනගනී. අන්තරා ට තිබෙනුයේ ඒ තරමට ම සුවඳ ට සංවේදී ආඝ්‍රාණ ඉන්ද්‍රියකි.
රෑට කන්නේ මොනවාද කියා ළතැවෙමින් සිටියදී, තෙම්පරාදු බතක් තනන්නට ඇයට සිත් විය. අන්තරා වූ කලී කුස්සිය බදාගෙන සම්‍ප්‍රදායික ආහාර පිසීම් රටාවෙහි යෙදෙනා ස්ත්‍රියක නොවේ. නමුත් සැමියා දක්ෂිණ හා පුත් නූපුර වෙනුවෙන්, පෝෂණ ගුණය ගැන සිතමින් ඇය අහර පිසුවා ය. ඔවුන් දෙදෙනා ම ගෙදර නැති වූවාට පස්සේ ඇගේ ආහාර වේල් බෙහෙවින් සරල වී තිබේ. කුසගිනි දැනෙන්නට ගත් විට මුළුතැන්ගෙට ගොස් ඉක්මනින් පිස ගත හැකි යමක් උයාගෙන ගන්නට තරම් ඈ කම්මැළි වී තිබේ. නමුත් පිලියෙල කරගන්නා ඕනෑ ම ආහාරයක සුවඳ හා පෙනුම ගැන ඈ වඩාත් සැලකිලිමත් වන්නී ය. පෙනුම හා සුවඳ හොඳ නම් අනිවාර්යයෙන් ම රස ඉහළ වන බව ඇය විශ්වාස කරයි.
තෙම්පරාදු බත පිඟානකට දමාගෙන හැන්දක් ද සමගින් මේසය ළඟ අසුන්ගත්දී යුගාත්ම ගේ ලවන් අතරෙහි සිනහ රැල්ලක් පායා ආවේ ය. ඔහු සිය ජංගම දුරකතනයෙන් පාරින්දි ට ඇමතුමක් ගත්තේ ය.
“අනේ සොරි අයිය. මට මුකූත් හොයාගන්න බැරි වුණා. මං එයාගෙන් ඇහුව ඒ සුවඳ ගැන. හැබැයි එයා එක වචනයක්වත් කතා කළේ නෑ ඒ ගැන. එතකොට මට ඉතිං තව මුකුත් අහන්න බෑනෙ. අහනවනං කෙළින්ම අහන්න වෙනව ඒ පර්ෆියුම් එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල”
පාරින්දි කියවාගෙන ගියේ පශ්චත්තාපයට පත් ස්වරයකිනි.
“එපා එපා. එහෙම අහන්නෙපා”
ඔහු වහා කීවේ ය. නමුත් ඒ අතරේත් ඔහු ගේ සිත්හි යමක් කැළතෙමින් තිබිණි.
“බැරිද දන්නෑ ඔය කෙල්ලව සෙට් කරගන්න නේ…”
පාරින්දි ගේ හද ගැස්ම මොහොතකට නතර වූවා සේ ය. ඇය පපුව මත අත තබාගත්තා ය.
“එයාගෙ පුතා මට වැඩිය අවුරුදු කීපයක් බාල ඇති කියලයි එයා කිව්වෙ”
“ඉතිං හොඳයිනෙ”
“ඒ කිව්වෙ…”
“අඹු සම්පතුයි දරු සම්පතුයි දෙකම එකපාර ලැබෙන එක…”
යුගාත්ම උස් හඬින් සිනහ වී අවසන හැන්දෙන් බත් පිඬක් මුවෙහි ලා ගත්තේ ය. උණු උණුවෙන් ම තෙම්පරාදු බත් රස ය.
“හම්මෝහ්… මාර කතා තමයි ඔයත් කියන්නෙ”
යුගාත්ම ගේ විහිළුව පාරින්දි ගේ හිතට ගැස්මක් එක් කරමින් මඳක් බරට දැනුණේ ය.
“මේ… මං සීරියස්ලි අහන්නෙ. බැරිද මට එයාව මීට් කරවන්න… අයි මීන්… ප්ලෑන් කරල කරන දෙයක් විදිහට නෙවෙයි… ඇක්සිඩන්ට්ලි… අහම්බෙන් වෙනව වගේ…”
“ම්… බ… ලමු”
පාරින්දි ගේ පිළිතුරෙහි දෙගිඩියාවක් මුහු වී තිබිණි.
“මං දැං අන්තරාට කෝල් එකක් ගන්නයි හිටියෙ. ඕන්නං ඔයා ලයින් එකේ ඉද්දිම එයාවත් ජොයින් කරගන්නං. හැබැයි රජෝ හුස්ම ගන්න සද්දයක්වත් ඇහෙන්න දෙන්න බෑ හරිද…”
“වාව්… නියමයිනෙ. ශුවර් ප්‍රොමිස්”
“අහු වුණොත්නං ආයි කවදාවත් මට එයාගෙ මූණ බලන්න වෙන එකකුත් නෑ”
“බිලීව් මී. කිසිම අවුලක් වෙන්නෑ”
පාරින්දි අන්තරා ගේ දුරකතනය අංකනය කළා ය. මුළුතැන්ගෙයි කුඩා පැන්ට්‍රි මේසය ළඟ උස් ස්ටූලයෙහි හිඳගෙන, වීදුරු තලාව අතරින් පෙනෙනා අඩඳුරු ගෙඋයන දෙස බලාගෙන ක්ෂණික තෙම්පරාදු බතෙහි රස විඳිමින් සිටි අන්තරා මඳහසකින් පිළිතරු දුන්නා ය.
“කොහොමද ගෑනු ළමයා…”
“කනව කියල කටහඬින්ම දැනුණ. නිකං සුවඳකුත් ආව වගේ”
අන්තරා බත් පිඬ ගිල සිනහවූවා ය.
“සුවඳ ආවනං හරි”
“මොනාද කන්නෙ…”
“උයන්න කම්මැළී අනේ. දවල් බත් ටිකක් ඉතුරු වෙලා තිබුණ. ඒකට තෙම්පරාදුවක් දාගත්ත”
“කොල්ල කනවද එහෙම…”
“කොල්ල කොහෙද මං ළඟ දැන්… එයා ඔසී වල ඩීකින් යුනි එකේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරනව. එයා ආයෙ එනකල් මට ලෝකෙ කැරකෙන එක නතර වෙලා වගේ. ඉර පායන්නෙ බහින්නෙ නෑ වගේ. මල් පිපෙන්නෙ හුළං හමන්නෙ නෑ වගේ. ඉස්සර වගේ බඩගිනි හැදෙන්නෙත් නෑ වගේ”
ඈ කතා කරන්නේ මිහිරිව ය. තාලයට ය. නැවතිල්ලේ හැඟුම් වෙන්කොට දක්වමිනි. යුගාත්ම ගේ සිත්හි මැවුණු ස්ත්‍රී රුව සියුමැළි ය. කම්මුල් දෙපසින් සේද කියුඹු වැල් එල්ලා හැලෙන, බුරුලට තනි කරලට කොණ්ඩය ගෙතූ ගෑනුකම් උතුරනා ගැහැනු රුවක් ඔහු ගේ හදවතේ තැන්පත් වී තිබේ. එදා ඔහු හොඳින් දුටුවේ ඈ පටුපා උන් දර්ශනයයි. ස්ට්‍රේට් කොට කෝපි දුඹුරු පැහැගැන්වූ, පිට මැදට ගොතා තිබි කොණ්ඩා කරලයි. කම්මුල් දෙපසින් ගලා හැලෙන අක්බඹර රොද සහිත සුදු සඳ මුහුණ දුටුවේ යන්තමට ඈ හැරෙත්දී ය. අඩ සඳක් වාගේ ය.
“අනේ…”
පාරින්දි ට කියවී තිබිණ.
“එහෙම තමයි පාරි. අපි දරුවො හදනව. එයාල දිහා බලාගෙන අපේ ජීවිත පවා අත්ඇරෙන්න දෙනව. ළඟට වෙලා ඉඳන් අතපත ගගා එයාලගෙ තටු හයිය කරනව. ඒ හයිය තටු වලින් එයාල ඈත අහසෙ ඉගිළෙනකොට ආඩම්බරෙයි දුකයි දෙකම හිතේ හිරකරගෙන බලං ඉන්නව”
අන්තරා ගේ ඇස් වල මීදුම් කඳුළු පටළයක් බැඳී තිබිණ. ඇය ඒ අතරින් සිනහ වූවා ය.
“ඔයාට දුකයි නේද…”
පාරින්දි ගේ බොළඳ හුරතල් හඬෙහි ද දුකක් විසිරිණි.
“කාපු බීපු කෝප්පෙ පිඟාන පවා ඔහේ තැන් තැන් වල දාද්දි… ඇඳපු ඇඳුං ඔහේ එහෙ මෙහෙ ගලෝල දාල තියෙද්දි… ගත්තු දේවල් ගත්තු තැන් වල නොතියා ගේ හැඩි කරද්දි බැණ බැණ ඒව අස් කළා තමයි. මං නැති දවසක තේරෙයි කියල… ඒත් එයාට එහෙම ලොකු ගාණක් නැතුව එයා දැන් වැඩ ටික තනියම කරගන්නව. හැබැයි මාව අහසින් පොළොවට වැටිල වගේ. දැන් මං කාගෙ වැඩද කරන්නෙ… කාවද කෑගගහ පිළිවෙළට හදන්නෙ… කාටද බැණ බැණ තුන්වේල කවන්නෙ… නාල ඇවිත් ටවල් එක මගෙ අතට දාන්නෙ කවුද… මං කාගෙ කොණ්ඩෙද පිහිදාල ඕඩිකොලෝන් දාන්නෙ… ඔක්කෝම වැඩ මංම කරන්නෝනෙ කියල කෑගගහ හිටිය මං දැං කාගෙ වැඩ කරන්නද… මේ නිකාංම ගෙවිල යන කාලය කවුරු වෙනුවෙන් දෙන්නද… එහෙම හිතද්දි හරි දුකයි පාරි. තනියම මුකුත් කරගන්න බැරිවෙයි කියල හිතපු එයා නෙවෙයි මායි දැන් අසරණ වෙලා ඉන්නෙ…”
බලාපොරොත්තු නොවූ කඳුළු දෙපේළියක් අන්තරා ගේ කොපුල් තලා දිග රූටා යමින් තිබිණ. ඇය එක් අතකින් කම්මුල් පිසදමා ටිෂූ එකක් ගත්තා ය.
“මං ඔයාට පස්සෙ ගන්නං පාරි”
පාරින්දි යමක් කියන්නටත් පෙර අන්තරා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. එතෙක් සිර කරගෙන උන් බරැති සුසුම, යුගාත්ම හඬ නැගෙන සේ පිට කොට දැමුවේ ය.
“මාත් තියන්නං පාරින්දි”
ඔවුන් තිදෙනා ගේ ම හිත් බර වී තිබිණ. නාස් පුඬු වල බුරුලක් ද ඇස් කෙවෙනි වල දැවීමක් ද සංවේදනය වන්නට විය.