මේ ඒ වසන්තයයි – 34

0
2204

පැහැසරා අතීත දවස් එකින් එක අදිමින් උන්නාය. එනිසාම ධනුක කලේ නිහඬව අසා සිටීමය. තමා අමතක කර දැමූ දුක්බර දවස් පවා පැහැසරාගේ මතකයේ වීම ධනුක ඇය ගැන අදහා ගන්නට නොහැකි තරමේ දයාබරත්වයකින් පිරුනේය. තම බිරිඳ වූවා පමනක් නොව, අම්මලාට දියණියක්ද, සොයුරාට සොයුරියක්ද වීම ඇගේ තෝරාගැනීම්‍ ය. විවාහයකින් දෙදෙනෙකු පමණක් එක්වේයැයි සිතා හුදෙකලාවී ජීවත් වීමද කල හැක. එලෙසින්ම, විවාහයකින් පවුල් දෙකක් එක්වේයැයි සිතා පවුල් දෙකේම බර දෙවුර මත තබා ගනිමින් ජීවත් වීමද එක් තෝරාගැනීමකි. පැහැසරා තෝරාගත්තේ දෙවැන්නය. ඇගේ ඒ තෝරාගැනීම ඇරඹුමේදී කෙතරම් කටුක වුවද දැන් ඉන් සැන්අසිල්ලේ ජීවත් වන පාර්ශව ගණන කිහිපයක් බව ධනුක දන්නේය.

” ඔයා දන්නවානේ මල්ලී.. තාත්තා කියන්නේ පන්සල් වල වඳින කියන බාර හාර වෙන කෙනෙක් නෙවෙයි …. එක දවසක් ඔයා හොඳටම අසනීප වුනා කන්නේ නැතුව ඉඳලා, එදා අපි කවුරුත් එහෙ ගෙදර උන්නේ නෑ.. තාත්තා තමයි ඔයාව උස්සලා වීල් එකේ දාගෙන හොස්පිට්ල් ගිහින් තිබුණේ…. එදා හවස තාත්තා පන්සල් ගිහින් ඔයාට බාර වෙලා… ඔයා සනීප වෙලා ගෙදර එනකල් සති දෙකක්ද කොහේද උදේ හවස තාත්තා  තනියම බෝධි පුජා තිව්වා… තනියම කිරි ආහාර හදාගෙන, ගිලන්පස පිළියෙල කරගෙන ගියා… හාමුදුරුවෝ අම්මට කියලා තිබුනා උපාසක මහත්තයා දන් ගෙයි අතුපතු ගාලා, බෝ මලුවත් අමදිනවා දවසේ පූජා කටයුතු වලට පස්සේ කියලා … තාත්තාගේ ජීවිතේ එච්චර වෙනස් වුනේ ඔයාගේ යහපත වෙන්වෙන් මල්ලී .. එච්චර වෙනස් වුනා කිව්වාටත් වඩා එච්චර කැපකිරීමක් කලේ ඒ නිසා ….”

පැහැසරා  කඳුලු පිස ගත්තාය. අක්කා මෙලෙසින් වන වචන ආයුධ අමෝරා ගන්නට හපනියක බව නුරාන් කොහොමටත් දැන උන්නේය. එහෙත්, අම්මා සහ තාත්තාගේ කැපකිරීම් හා ගැටෙන වචන කියන්නට හැකියාවක් තමාට නැති බව නුරාන් දැන උන්නේ නැත. ඔහු පැහසරාට ඉඩ දී උන්නේය. එහෙත්, ඒ වචන වලින් ඉසිනි තම සීමාවෙන් ඉවතට විසි නොවන බව ඔහු තමාටම සපත කරගත්තේය.

” අම්මා නොකා නොබී අඬ අඬා උන්න දවස් කොච්චරක් කියලාද ඔයා හිතන්නේ මල්ලී … ඔයා කැම්පස් ගිහින් ජොබ් එකක් කරලා එයාලාව බලාගන්නකල් බලන් උන්න අම්මලට වුනේ, ඔයා පිස්සෙක් නොවී පොළවේ අඩිය ගහගන්නකල් බලාගෙන ඉන්න .. ඒක ලේසියි කියලා හිතනවාද ?…”

පැහැසරාගේ වචන නුරාන් පාරවන තරම ධනුක කියවාගත්තේ නුරාන්ගේ වත මත වන අඳුරෙනි. එහෙත් ධනුක තම බිරිඳව වැලැක්වූයේ නැත.

” ඔයා ගල් ගිලලා වගේ තව කොච්චර කල් බලාගෙන ඉන්නද මල්ලී ?..”

” ඔයා කතා කරලා ඉවර වෙන්න අක්කේ … එතකල් මම මෙහෙම බලාගෙන ඉන්නේ …”

නුරාන් එතෙක් වෙලා තමා රැකි නිහඬ පිළිවෙත බින්දේය. පැහැසරා ඉන් කෝප වූවාය. ඔහු කඩා පනින්නේ අමුතු තාලයකටය.

” හරි.. මං කොච්චර කියෙව්වත් ඔයා කතා නොකර ඉන්නකල් එව්වා මුනින් හරවපු මුට්ටියකට වතුර පුරවනවා ගානයි … කියන්න … ඔයා මොකද්ද කරන්න යන්නේ ….”

පැහැසරා ලෙහී තිබූ හිසකේ එක් කර ගෙල පාමුලට බැඳගනිමින් කීවාය. ධනුක නුරාන් දෙස බලා උන්නේය.

” අක්කේ … මං තමුසේට මාර ආදරෙයි … මේ කියන වචන වලින් තමුසේට පොඩි හරි රිදීමක් වුනොත්, ඒ රිදුම සිය දහස් වාරෙකින් ආයෙ මට ලැබේවි ..මොකෝ, අක්කා මං වෙනුවෙන් කරපු කියපු දේවල් වලටම මම අක්කාට කල්ප ගානකට ඉවර කරන්න බැරි තරම් ණයයි .. ආයේ මට ඉඩ නෑ ඔයාව රිදවන්නවත් …”

” අනේ මේ උබේ සාහිත්‍ය පැත්තකට දාලා මාතෘ කාවට වරෙං නුරාන් …”

ධනුක කෝපයෙන් කඩා පැන්නේය. එහෙත් නුරාන් කලබල වූයේ නැත.

” මට ඉසිනිව මුණ ගැහුනේ මහ වැස්සක … මං ඒකිව ෆලෝ කලෙත් වැස්ස දවස් බල බල … මාස හය හතක් ඇතුලත අපි යාලු උනා .. ඒ වෙද්දී මම දන්නේ ඉසිනිගේ අම්මලා බිස්නස් කරන සල්ලිකාරයෝ කියලා … අපි යාලු වෙලා ටික දවසකින් ඉසිනිගේ අම්මලා ආවා කැම්පස් එකට … ඒගොල්ලන්ගේ තාත්තා අපේ ඉවෙන්ට් එකක් ස්පොන්සර් කරලා තිබුනා .. ඒ ආව වාහම, ඒ අය එක්ක උදව්වට ආව මිනිස්සු  ඉසිනිගේ අම්මලට සලකපු විදිය, අපේ ලෙක්චර්ස්ලා එක්ක ඒ අම්මලා හැසිරුන විදිය දැක්කට පස්සේ මට මං ගැන දැනුනේ වචනෙන් කියාගන්න  බැරි හීනමානයක්… ඒත් මම ඒක කාගෙන  හිටියා .. දවස් යනකොට මට දැනුනේම ඉසිනියි මායි පෑහෙන්නේ නෑ කියලා .. ඒත් මට ඉසිනිව අතාරින්න බැරි ලෝබකමක් තිබුනා .. ඒ නිසා , මං … රඟපෑවා … සහ අනාගතේ ගැන හොඳ බලාපොරොත්තු හදාගන්න උත්සාහ කලා….”

ධනුක නුරාන් දෙස බලා උන්නේ එතරම් විශ්වාසයක් නැතිවය.

” රඟපෑවා කියන්නේ ?…”

පැහැසරාද සැකය දවටා ඇසුවාය.

” අක්කට මතකනේ මීට අවුරුදු දහයකට දොලහකට එහා අපේ ජීවිත තිබුන විදිය ..මං ඒ ගැන ඉසිනිට කිසිම දෙයක් කිව්වේ නෑ … මං කිව්වේ අපි තේ වතු කරන්නේ කියලා.. අපි තේ වත්තක් බලාගන්නවා කියලා මං හැංගුවා…. මම හිතුවා, ඩිග්‍රී එක ඉවර වෙලා ජොබ් එකක් අරගෙන පොඩි ගෙයක් හදාගන්නකල් ඉසිනිට මගේ ඇත්ත ජීවිතේ නොපෙන්වාම ඉන්න …

ඉසිනි ඇස් දෙක පියාගෙන මාව විශ්වාස කල කෙල්ලක් අක්කේ… ,මං කිව්ව එක එයා විශ්වාස කලා.. ඒය එයාගේ නොදැනුවත්කම එක අතකට .. එයා සමාජෙට ඕපන් වෙලා තිබුන කෙල්ලෙක් නෙවෙයි .. එයා දුක දැනගෙන උන්න කෙනෙකුත් නෙවෙයි … එයා දැනගෙන උන්නේ හැමදාම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න …

අයියේ තමුසේ දන්නවා, අපි පොඩි කාලේ අපි හැමදාම හිටියේ කොච්චර පීඩනේකින්ද කියලා.. ඉගෙනගත්තා ..කැම්පස් ආවා තමයි .. ඒත්, අපි විහින්ම අපේ තටු කඩාගෙන උන්නේ ..අපේ අම්මලා දුක් වින්දේ වේලක් හොයාගන්න ….

මං නොකිව්වට, ඇඟෙව්වේ නැතාට… කල් යනකොට ඉසිනි දේවල් තේරුම් ගත්තා … ඒත් එයා කවදාවත් ඒ ගැන මගෙන් ඇහුවේ නෑ .. ඒ වෙනුවට එයා එයාගේ සුව පහසු ජීවිතේ සීමා කලා… එලියෙන් ඕර්ඩර් කරලා කන්න පුරුදු වෙලා උන්න එයා, යාලුවෝ එක්ක බෝඩිමෙයි, හොස්ටල් එකෙයි උයාගෙන කන්න පුරුදු වුනා.. සල්ලි ඉතුරු කරලා මට දුන්නා … මට දුන්නාම නෙවෙයි, අපි කඩේ ගියාම මට හාල්, පොල් , එලවලු පොත් අනන්  මනන් අරගන්නවා ඒකි … මම මුලදී ඒකට හරි ලැජ්ජ වුනා ….

එතකොට ඉසිනි කිව්වේ එක දෙයයි,

… මේ සල්ලි අද මෙතන, හෙට අතන නුරාන්.. ඔයා හොඳට ඉගෙනගෙන දේවල් හදාගත්තොත් සල්ලි ඔයා පස්සෙන් එයි .. අනෙක, මේ අපි දෙන්නා, අපිට ජීවිතේ බෙදගන්න තරම්  හයියක් තියෙන එකේ සල්ලි බෙදාගන්න බැරි නෑනේ කියලා….

ඉසිනි මගේ තත්වේ නරක බව හිතන්න, තේරුම් ගන්න ඇති අයියේ.. ඒත් අපි  ඇත්තටම උන්න විදිය එයා හීනෙකින්වත් හිතපු විදියක් නෙවෙයි .. ඒ නිසයි, ඉසිනිගේ අම්මලාට ඉසිනිගේ ඔලුවට හරි ඉක්මනින් මගෙන් ඈත් වෙන්න ඕනි කියන අදහස ඔබ්බවන්න පුලුවන් වුනේ.. “

පැහැසරා මුව අයා බලා උන්නාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here