මුළු පරිසරයම සංගීතයෙන් ගීතවත් වෙලා තියෙද්දි චාපා තමන්ගේ හොඳම මිතුරිය වුන දසුනි එක්ක ඒ සංගීතය රස වින්දා. කොළඹ ඉපදුන දසුනි මාතලේ ජීවත් වන තමන්ගේ මිතුරිය වුන චාපා ගේ ආරාධනාවකට අනුව මාතලේට ආවේ කෙටි නිවාඩුවකට යි. ඒ නිවාඩුව අතරතුර මාතලේ පැවැත්වුණු සංගීත සාදයකට චාපා දසුනි වත් එක්ක ගෙන ආවේ ඇගේ සැමියාත් තවත් මිතුරන් කිහිප දෙනෙකුත් එක්කමයි.
කාලෙකින් මුණ ගැහුන නිසා චාපාට දසුනිත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තිබුනා. තමන්ව හැර ගිය පෙම්වතා ගැන වගේම රැකියාවේ තොරතුරුත් දසුනි චාපාත් එක්ක බෙදා ගත්තා.
ගෙවී ගිය දුක්බර අතීතය මොහොතකට අමතක කරලා හුඟ කාලෙකට පස්සේ තමන්ට තමන් වෙලා විනෝද වෙන්න අවස්ථාව දසුනිට ලැබුණේ චාපා නිසායි
” මේ කෙල්ල කවුද බන් ? ”
චාපා ගේ සැමියා වුන අශේන්ගෙන් එහෙම ඇහුවේ අශේන් ගෙ හොඳම යහළුවෙක් උන තිවංක. මීට කලින් දැකල නැති සුන්දර තරුණියක් සංගීත සාදය අතරමැද ඇගේම ලෝකයක අතරමං වෙලා ගීත රස විඳින හැටි සෑහෙන වෙලාවක ඉඳලා බලාගෙන ඉඳලයි තිවංක අශේන් ගෙන් ඒ ප්රශ්නය ඇහුවේ.
” අපේ චාපා ගේ යාලුවෙක්. කොළඹ ඉඳලා ආවේ ”
තිවංක කියන්නේ කෙලිලොල් තරුණයෙක්. මිතුරන් එක්ක විනෝද වෙන අතරේ වරින් වර දසුනි දිහා බලන්නත් තිවන්ත අමතක කළේ නැහැ.
” හායි. මං තිවංක ”
අවස්ථාවක් එනකල් බලාගෙන ඉඳලා තිවංක දසුනි ළඟට ගිහින් කතා කළා.
” මං දසුනි ”
දසුනි හිනා වෙලා උත්තර දුන්නේ බොහොම සාමාන්‍ය විදිහට.
” මං අශේන් ගේ යාලුවෙක්. ඔයාව කලින් දැකලා නැති නිසා බැලුවේ ”
ඒ වචන කීපය ඇරෙන්න දසුනිත් තිවංකත් අතර වෙන වචන හුවමාරුවක් ඒ රාත්‍රියේ දී සිදු වුණේ නැහැ.
ඊළඟ දවසේ හවස දසුනි චාපා ගේ ගෙදර මිදුලේ ගහක් යට වාඩි වෙලා නිවාඩු පාඩුවේ පොතක් කියවමින් ඉන්න අතරේ තිවංක ආවා.
” හායි දසුනි ”
දසුනි පොත වහලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා.
” හායි ”
” මං අශේන්ව පොඩ්ඩක් හම්බ වෙන්න ආවෙ ”
” යන්න. අශේන් අයියයි චාපා යි ඇතුලේ ඉන්නවා ”
දසුනි උත්තර දුන්නේ හරිම සුහදශීලී විදිහට. තිවංක හිනා වෙලා ගේ ඇතුළට ගියේ ආපහු වතාවක් හැරිලා දසුනි දිහා බලන ගමන්.
චාපා හිටියේ කුස්සියේ තේ හදන ගමන්. කුස්සියේ තියෙන කෑම මේසයේ වාඩි වෙලා අශේන් චාප එක්ක ආ ගිය තොරතුරු කතා කරමින් හිටියා.
” ආ. දෙන්නා දෙමහල්ලෝ තේ බොන්න ලෑස්ති වෙනවා වගේ ”
තිවංක කුස්සියට ගොඩ වුණේ එහෙම කියන ගමන්.
” ආ.. උඹ මොකද මේ පැත්තෙ ? එනවා කියලා කිව්වෙ වත් නෑනේ ”
අශේන් මේසය උඩ තිබුන කේක් තසිම තිවංක දිහාවට තල්ලු කලා.
” ඇත්තටම මං ආවේ පොඩි වැඩකට බං ”
තිවංක කේක් කෑල්ලක් අතට ගන්න ගමන් වාඩි වුණා.
” මොකද්ද ? ”
” චාපා ගේ යාළුව ගැන අහන්න ”
තිවංක එහෙම කියනකොට තේ හදමින් හිටපු චාපා එක පාරටම තිවංක දිහාවට හැරුණේ පුදුමයෙන්
” මේ අපේ දසුනි ගැන ද ? ”
” ඔව් ”
තිවංක කෙලින්ම උත්තර දුන්නා. දසුනි අශේන් දිහාත් බලලා ආයෙමත් තිවංක දිහා බැලුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව
” ඔයාට මොනවද එයා ගැන අහන්න තියෙන්නේ තිවංක ? “
චාපා තිවංක ගේ අතට තේ එකක් දෙන ගමන් ඇහුවා.
” එයා හොඳ කෙල්ලෙක් වගේ නේද? මං ඊයේ රෑත් බලා ගෙන හිටියේ. මට කියන්නකො චාපා එයා ගැන විස්තර ? ”
” එයාට එෆෙයාර් එකක් තිබිලා බ්‍රේකප් උනා අවුරුදු දෙකකට කලින් වගේ. හරිම අමාරුවෙන් ගොඩ ආවේ. ඊට පස්සේ නම් එයා වෙන දෙයක් ගැන හිතුවේ නෑ ”
චාපා ඇත්තම කිව්වා. මීට කලින් තිබුන ප්‍රේම සම්බන්ධය නිසා දසුනි මොනතරම් වේදනාවක් වින්දද කියලා චාපා තිවංකට කිව්වා
” ඔයා ඔය එයා ගැන අහන්නේ ඇත්තටම නං , මං දසුනි ට ඒ ගැන කියන්නම්. හැබැයි තිවංක මේක සෙල්ලමකට නං ගන්නන එපා ”
චාපා එහෙම කිව්වේ තිවංක කියන්නේ විනෝදකාමී සහ කෙලිලොල් තරුණයෙක් නිසා. තමන්ගේ මිතුරිය ආපහු දුකට වැටෙනවා බලන්න චාපා ට ඕන වුණේ නැහැ.
” උඹ මේක අහන්නෙ ඇත්තටම නං අපි උඹට ඕන සපෝට් එකක් දෙන්නං ”
අශේනුත් කිව්වේ තිවංක ඉන්නේ ඇත්තටම දසුනි ගැන බලාපොරොත්තුවකින් කියල දැනුන නිසා.
” මං අහන්නේ ඇත්තටමයි. එයාව දැක්ක පළවෙනි පාරමයි මට එයා ගැන හිතුණේ ”
චාපා මේ ගැන දසුනි එක්ක කතා කළේ රෑ කෑමෙන් පස්සේ. ඒත් දසුනි ඒ ගැන පුදුම වුණේ නැහැ. මොකද කලින් දවසේ තිවංක කීප සැරයක් ම තමන් දිහා බලනවා දසුනි දැකලා තිබුණා.
ඊට පස්සේ දවසෙත් හවස් වරුවේ තිවංක දසුනිව බලන්න ආවට පස්සේ දෙන්නා අතරේ වචන හුවමාරුවක් වගේම දුරකථන අංකත් හුවමාරු උනා.
” මට එකපාරටම හා කියන්න බැහැ. මොකද මං ඔයාව දැන ගෙන තාම දවස් දෙකයි නේ. අපි කතා කරලා බලමු.”
දසුනි දුන්නේ ඒ වගේ උත්තරයක්. ඒත් කතා බහෙන් තිවංක හොඳ කෙනෙක් කියලා ඇයට දැනුනා.
දසුනි ආපහු කොළඹ ආවට පස්සෙත් තිවංක දිගින් දිගටම දසුනි ගැන හොයලා බැලුවා.
” ආපහු එන්නේ කවද්ද දසුනි? ”
ඊට පස්සේ තිවංක ගේ ප්රශ්නය වුණේ ඒක
” මේ ටිකේ වැඩ ටිකක් වැඩියි. ඉතින් ඔයා එන්නකො කොළඹ ”
” මටත් වැඩ වගයක් තියෙනවා. ඒ ටික එහෙ මෙහෙ වුණාම නිවාඩුවක් දාගෙන එන්නම් ”
දුරකථනයෙන් ගලාගෙන ගිය මේ හිතවත්කම දසුනිගේ හිතේ ආදරයක් බවට පෙරලෙන්න තවත් ටික කාලයක් ගියා. තිවංකව මුණගැහිලම ඒ ගැන කියන්න උවමනාව තිබුනත් රැකියාවේ කාර්යබහුලකම නිසා ඒක කරන්න දසුනිට බැරි උනා.
” තිවංක කතා කරාද ? ”
චාපා එහෙම ඇහුවේ දසුනිට දුරකථන ඇමතුමක් දුන්න වෙලාවක.
” උදේ මැසේජ් එකක් දාලා තිබුණා. මට තාම කෝල් කරන්න බැරි වුණා ”
දසුනි දුන්නේ එහෙම උත්තරයක්.
” මිනිහා දවස් දෙක තුනකින් මේ පැත්තෙ ආවේ නෑ. ඒකයි මං ඇහුවේ ”
දසුනිට ඒක දැනෙන බොහොම සාමාන්‍ය විදිහට.මොකද තිවංක ටිකක් කාර්යබහුලයි කියලා පහුගිය දවස් කීපයම කියපු නිසා දසුනි ඒ ගැන වැඩිපුර හිතන්න ගියේ නැහැ.
චාපා ගේ දුරකථන ඇමතුමෙන් පස්සේ දසුනි ඊළඟ ඇමතුම ගත්තේ තිවංකට. ඒත් ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. තවත් කීප සැරයක්ම දසුනි ඔහු අමතන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ.
” මං ටිකක් බිසී ”
තිවංක ඒ වගේ කෙටි පණිවිඩයක් එවලා තිබුණා. මහා ලොකු මතක නොතිබුණ ආදරයක් වුණත් මොකක්දෝ හේතුවක් නිසා දසුනිගේ හිත රිදෙන්න පටන් අරගෙන තිබුණා.ඒ හවස් වෙනකනුත් තිවංක ගෙන් දුරකථන ඇමතුමක් නැති නිසා.
” ඇයි තිවංක ඔයා මට කතා කරන්නේ නැත්තේ? “
දසුනි බැරිම තැන තිවංකට එහෙම කෙටි පණිවිඩයක් යැව්වා.
” මං කැමති නෑ මගේ නිදහස නැතිවෙනවට. මට ඕනේ නිදහසේ ඉන්න ”
තිවංකගේ පිළිතුර වුණේ ඒක. ඊට පස්සේ ගෙවුනේ තිවංක ගේ මගහැරීම් සහ වෙනස්කම් වලින් පිරුණු කාලයක්. ඒ ඇයි කියලා හිතා ගන්න බැරුව දසුනි දිවා රෑ නොබලා කල්පනා කලා.
” ඕක අත ඇරලා දාන්න දසුනි. මහා කාලයක් නැති එකේ ඔයාට අමාරු වෙන එකක් නැහැ ”
චාපා එහෙම කිව්වා. තිවංක වචනයක්වත් කතා නොකර නිහඬ වෙද්දී ඒකෙ බර හුඟක්ම දැනුනේ දසුනි ට. චාපා කිව්වා වගේ තිවංකව මුණගැහිලා ඒ තරම් කාලයක් නොවුනත් මතක වල බර හිතටට දැනෙද්දී දසුනිට ඒක දරාගන්න හුඟක් අමාරු උනා. හේතුවක් වත් නොකියා තිවංක තමන්ව අත ඇරලා දාද්දී තමන්ගෙන් වුන වැරැද්ද මොකක්ද කියලා හිතාගන්න බැරුව දසුනි දින ගණනාවක් ගත කලා
” තිවංකට මෙහෙ වෙන කෙල්ලෙක් ඉන්නවාලු “
තවත් සතියකට විතර පස්සේ චාපා ඒ පණිවිඩය අරගෙන ආවා.
” ඔයා මාර බේරිල්ලක් බේරුනේ ”
චාපා එහෙම කිව්වත් ආදරය කියන්න මග බලාගෙන හිටපු දසුනිට මතක වල බර වැඩිපුර දැනුනා.
ReplyForwardAdd reaction |