සුසුවඳ සූත්‍ර – 10

0
3994

උදෑසන සෞම්‍ය වූයේ ය. විශේෂ වැඩක් තිබුණත් නැතත් උදේ හයට යහනෙන් බහිනා එක අන්තරා ගේ පුරුද්දකි. නූපුර ගේ පාසල් සමයේදීත්, ඉන් අනතුරුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක ලංකාව තුළදී ම මුල් දෙවසර තුළ උපාධිය හදාරත්දීත්, ඇය සිතුවේ අළුයම අවදි වෙන එක දඬුවමක් කියා ය. නූපුර සිය උපාධියේ ඉතිරි දෙවසර සඳහා විදෙස්ගත වෙත්දී, දවල් වනතුරු ම නිදාගන්නට ඇය සිතා සිටියා ය. නමුත් වසර ගණනාවක් තිස්සේ පුරුද්දට ගොස් ඇති නිසාදෝ උදෑසන හයෙන් පසු නින්ද යන්නේ ම නැත. අලාම් එකක් වදිනවා වාගේ ඕ හය වන විට යහනෙන් බහින්නී ය.

පිරිසිඳු වී විත් වතුර කේතලය ළිප තබා, ඒ අතරේ ඕ මල් පහන් සූදානම් කරන්නී ය. ගිලන්පස තනා හඳුන්කූරු දල්වා, සුවඳ දුම් අල්ලන ඇලඩින් පහන ගේ පුරා ගෙන ගොස් දුම් අල්ලා ආලින්දයෙහි කනප්පුවක් මත තැබූ විට උදේ වරුව ම ගෙදර සුවඳවත් ය. ඒ සුවඳ අතරින්, මනා කොට ගණ පිහිටුවා සුගායනීයව දෙසනා පිරිත් අනුවාදනය නිසා ගෙදර භාවනා අසපුවක ශාන්තිය තුළ කිමිදෙයි. අන්තරා තේ බොන්නේ දියක ගැඹුරු ම තැනක් සේ නිශ්චල වූ හදවතක් දරාගෙනයි.

දක්ෂිණ පමා වෙමින් සිටියේ ය. පිරිත් හඬ, සුවඳ දුම් වල හා අලුත් මල් වල සුවඳ, අන්තරා ගේ අතින් පිරිසිඳු වෙන- හැඩ වෙන ගෙදර හැම අංශුවක ම වන සෞන්දර්යය, ඔවුන් දෙදෙනාගේ ම ආශාව පරිදි නිම වූ මේ සරල සුවදායී මන්දිරයේ වන හද සනහනා චමත්කාරය තුළ මොහොතක්- තවත් මොහොතක් රැඳෙන්නට ඔහු ගේ හදවත ඉල්ලා සිටී. අද කලායතනයට නොයා, දවල් දවස පුරා අන්තරා ගේ සුවඳ පිරි මේ ගෙදර කල් මරන්නට ඇත්නම්! අන්තරාගෙන් එක බැල්මක අනුබලයක් ලැබෙනවා නම් ලෝකය පෙරළුණත් එහෙම කරන්නට දක්ෂිණ සූදානම් ය. ඔහු කිහිප වතාවක් ම ඇගේ මුහුණ දෙස බැලුවේ ය. අන්තරා ස්වරාවී ගාන්ධාරා සමාධියක් සේ දවස ආරම්භ කරමින් සිටී. ඇය වැඩ කරන්නේ ඒ තුළින් තෘප්තියක් විඳිමිනි. ඒ බව ඇගේ මුව මත නළියන ඉසිහින් මඳහස් රැල්ල නො කියා කියයි. වෙනදා වාගේ උදේ කෑමවත් නො ගෙන දක්ෂිණ නික්මෙන්නට සූදානම් නැති බව පෙනෙන නිසා ඇය සරල උදේ අහරක් පිසුවා ය. සුදුහාලේ බත පිසෙනා විට සුවඳ ය. අල තෙම්පරාදුවක් දමා, බිත්තර කහ මදයේ තැඹිලි පාටත් මෙළෙක් බවත් ඉතිරි වෙන සේ තම්බා, කලින් තනා තිබූ සිංහල අච්චාරු මැටි හට්ටියත් සමග ම ඕ මේසයට කෑම යැව්වා ය. දක්ෂිණ කල්පනාබර බලාපොරොත්තුවකින් කෑම කෑවේ ය. අන්තරා බලා සිටියේ පර්යේෂණ කාමරයට වැදෙන්නටයි.

අවසන දක්ෂිණ ගෙදරින් පිටත් වීමට සූදානම් වූයේ ය. ඔහු ගේ      හදවත තුළින් දිගට ම බෙර හඬ නැගේ. ඒ මංගල බෙර හඬ ද අවමංගල බෙර හඬ ද කියා වෙන්කොට හැඳිනගන්නට ඔහු බිය වූයේ ය.

“දක්ෂිණ”

අන්තරා මුදු ලෙස තෙපළා ය. නතර වී මොහොතක් ඇගේ මුහුණ දෙස බලා උන් හෙතෙම, ඇය වෙතට ලං වී දෙකොපුලින් අල්වා අන්තරා ගේ නළල් තලාව සිපගත්තේ ය. ඕ දේවතා පිළිමයක් සේ නො සෙල්වී සිටියා ය. දක්ෂිණ ගේ ස්පර්ශයක් ඇයට මේ දැනෙනුයේ වසර ගණනාවකට පසුයි. ඇය ඒ බලාපොරොත්තු වූ එකල්හි, ඔහු අමානුෂික ලෙස ඇයව ප්‍රතික්ශේප කළේ ය. සිය අහිංසක දරු පවුල රැක දෙන ලෙස හැඬූ කඳුලින් ඇය අයැද සිටියදී, මෙළෙක් නොවූ හදකින් පිටුපෑවේ ය. ඒ වෙකස්කම් දරාගන්නට අන්තරා සොබා දහමෙන් ශක්තිය ඉල්ලා සිටියා ය. සිය වරක් ජීවිතය අතැර දමන්නට සිතෙත්දී, පුත් නූපුර තුරුලු කරගෙන දහස් වරක් ජීවිතය වෙනුවෙන් නැගී සිටියා ය.

“අරක බලල ඉවරයක් කරමු දක්ෂිණ”

රිදෙන උගුරක් අතරින් ඇය කියාගත්තා ය.

“මොකද්ද…”

“ඩිවෝස් එක…”

“ඔයාට ඒක කරන්නම ඕනද…”

අන්තරා යන්තමින් හිස ඉහළ පහළ සැළුවා ය. ඒ වෙලාවේ ඇගේ නෙළුම්පෙති ඇස් පියන් පහළට හැරී තිබිණ. දක්ෂිණ ඈ විනිවිද දකිමින් සිටියේ ය. එකල නව යෞවනයේදී තරමට ම දැනුත් ඇය සියුමැළි මොළකැටි ස්ත්‍රියකි. හදවත පමණක් සවිමත් වී තිබේ!

“ඔව්. අපි  ඒක කරන එක තමයි හොඳම”

අනතුරුව ඇය ස්ථිර සරකින් මිමිණුවා ය. දක්ෂිණ මුණිවතින් ගොස් රියට නැගුණේ ය.

මුළු දවසේ ම ඔහු ගේ හදවතෙහි වූයේ බරකි. ඒ බරින් නිදහස් වනු වස්  නූපුර ට දුරකතන ඇමතුමක් ගන්නට දක්ෂිණ ට සිතුණේ දවස අවසානයේ සම්පතී ගේ ගෙදරදී ය. නූපුර හිටියේ නින්දකට අවතීර්ණ වෙමිනි. අම්මා වාගේ තාත්තා දුරකතන ඇමතුම් දෙත්දී රටවල් දෙකෙහි කාලයේ වෙනස ගැන නො සලකන බව ඔහු දනී.

“කියන්න තාත්තෙ”

“ඔයා නිදාගෙනද හිටියෙ…”

“ඔව්. කමන්නෑ කියන්න”

“අම්ම මොකද්ද මේ කියෝන විකාර කතාව… ඩිවෝස් එකක් ඕනයි කියන්නෙ”

නූපුර හරියට අවදි වූයේ ඒ වෙලාවේ ය. හෙතෙම යහන මත එරමිණියා ගොතාගනිමින් හිඳගත්තේ ය.

“අම්ම මටත් කිව්ව”

“ඔයා එයාට පැහැදිලි කරල කියන්න නූපුර”

“මං මොනා කියන්නද…”

ඒ නම් චෝදනාවකි. නූපුර ගේ ස්වරයේ වූයේ අභියෝගයකි.

“අම්ම විඳෙව්ව හොඳටම ඇති. ඇති නෙවෙයි වැඩිත් එක්ක. ඒ මනුස්සයට සැනසීමක් කියල දෙයක් විඳින්න ඕනම නැද්ද… අඩුම ගානෙ එයා කැමතිනං ඩිවෝස් වෙන්නවත් අයිතියක් නැද්ද… අනුං මත්තෙම දුක් විඳල දවසක ඒ මනුස්සය තනියම මැරිල යන්න ඕනද… කසාදෙයි දික්කසාදෙයි කියන දෙකම අයිති ඔයාට විතරද… අම්මට ඒ එකක්වත් අයිති වෙන්න ඕන්නෑ කියලද ඔයා හිතං ඉන්නෙ… අම්මට ඩිවෝස් එක ඕන කියනවනං කරුණාකරල ඒක දෙන්න තාත්තෙ. ඔයා එහෙම කළේ නැත්තං ලංකාවට ආපු දාක මං නඩු දානව”

වක්කඩ කැඩුවා සේ ඒ විදිහේ වචන පෙළක් එළියට පනීවීයි නූපුර සිතුවේ ම නැත. දක්ෂිණ වුව එවැන්නක් බලාපොරොත්තුවෙන් නො සිටියේ ය. පුතු ගේ වදන් ප්‍රහාරය හමුවේ පසුබා ගිය පියා මඳ නිහැඬියාවකට එළඹියේ ය.

“හ්ම්. නූපුර නිදියන්නකො එහෙනං. අපි පස්සෙ කතාකරමු”

පුතාගේ ප්‍රතිචාර ලැබෙන්නට පෙර ම තාත්තා දුරකතන සම්බන්ධය බිඳ දමා අවසන් ය. නූපුර කොට්ටය බදාගත්තේ දැන් ඉතින් පහන් වන තුරාවට නින්දක් නො ලැබෙන බව දැන ය.

සිය ළමා වියෙහි පටන් ඇසූ දුටු අත්විඳි සියල්ල නූපුර ගේ හිතට බර වැඩි ය. ඔහු හැමදාමත් දුටුවේ ජීවිතයකට උරුම විය හැකි නරක ම දේවල් පවා ඔහු වෙනුවෙන් සිනහවකින් උහුලා ගන්නා අම්මා කෙනෙකි. ඒ අම්මා තරම් බරක්                                  ඔහු ගේ පපුවට වෙන දැනී නැත. වෙනත් ගැහැනියක සමගින් දරුවන් ද තනාගෙන පවුල් ජීවිතයක් ගෙවනා තාත්තාගෙන් අම්මා නීත්‍යානුකූලව වෙන්  නොවන්නේ මන්දැයි නූපුර ඕනෑ තරම් සිතා තිබේ. ලෝකයට රහසක් නොවූ තාත්තා ගේ දරු පවුල් දෙක, පාසල් සමයේ දී නූපුර ට ලැජ්ජාවක් ද අවමානයක් ද වී තිබේ.

“ඇයි අපි තාත්ත කියන මනුස්සයගෙන් අයින් වෙන්නැත්තෙ…”

සාමාන්‍ය පෙළ පන්තියේ දී දවසක් දක්ෂිණ ගැන කොල්ලෙකු කළ විහිළුවක් දුර දිග ගොස් ඔහු සමග ගුටි හුවමාරුවක් කරගෙන ගෙදර පැමිණි නූපුර අම්මා ගේ ඇඟට කඩං පැන්නේ ය. ඉවසිලිවන්ත අන්තරා ගේ ඇස් මත ඇඳී ගියේ බියකි.

“පුතා. එහෙම කතා කරන්නෙපා. ඒ ඔයාගෙ තාත්ත. කොච්චර වැරදි තිබුණත් දරුවො දෙමව්පියන්ට එහෙම කතා කරන්නෑ”

“මගුලක් කියනව”

නූපුර තොල් මතුළේ අන්තරා ට නෑසෙන ලෙසයි.

“තාත්ත වැරදියි තමයි. මට කොහොම වුණත්… ඔයාට ලැජ්ජාවක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් විදිහට එයාට වැඩ කරන්න තිබුණ. ඒත් වැරදි කරන එක මනුස්ස ගතියක් කියල දන්න නිසා අපි එයාට වෛර නොකර ඉමු. අනික පුතා… මට තාත්ගෙන් වෙන් නොවෙන්න තියන හේතුව ඔයා. පුතාට තාත්තෙක් ඉන්න ඕනෙ. අඩු ගානෙ ඔය විදිහට හරි ඔයාට තාත්ත කෙනෙක් හිටපු එක ලොකු දෙයක් කියල අද නැතත් දවසක ඔයාට තේරෙයි. ඔයා අහනවනං ඇයි මං තාත්තගෙන් වෙන් නොවී ඉන්නෙ කියල… ඒ ඔයාගෙ අනාගතේ වෙනුවෙනුයි පුතේ”

අම්මා නො හඬා සිටියේ කෙසේ ද කියා නූපුර දන්නේ නැත. නමුත් මේ මොහොතේ ඔහු ගේ ඇස් කඳුළු වලින් පිරීගොස් තිබේ. කාගේවත් බාධාවකින් තොරව හැඬිය හැකි වී ද ඔහු ඇස් පිය සලා කඳුළු ගබ් සා කළේ ය. ඔහු අම්මාගෙන් ටික ටික දුරස් වන්නට පටන් ගත්තේ එදා පටන් කියා නූපුර ට සිහි කරගත හැක. සියල් පීඩනයන්ගෙන් ඈ නිදහස් කළ යුතු යයි ඔහු ගේ හදවත මොර දී කීවේ ය. ඔහු අම්මා ට බැඳී සිටිනා තුරු ඇයට ඒ පවුල බන්ධනයකි. බන්ධනයේ වරපට ලිහිල් කරනට නම් මුල් පියවර තැබිය යුත්තේ ඔහුයි. ඔහු ද දුරස් වෙත්දී ඇය පවුල කියනා ව්‍යාජ ඒකකයට තවදුරටත් නො බැඳී එය අත්හැර දමනු ඇති බව නූපුර විශ්වාස කළේ ය.

නමුත් පෙකණිවැල කඩාගෙන උපන් ලේ බැම්ම එහෙම බිඳලිය නො හැකි ය. ගෙදර දී කතා බහ අඩු කළා ට අම්මා නැති ජීවිතයක් ඔහු ට නැත. අම්මා සිහි නොවන හුස්මක් ඔහු ගෙන නැත. අම්මා ශක්තිමත් ගැහැනියක වන හැටි නූපුර දුරින් හිඳ බලා සිටියේ ය. හිත සවිමත් කොටගෙන ඔහු ලංකාවෙන් පැමිණියේ ද ඇය සියල් බර වලින් නිදහස් විය යුතු ය යන පැතුමෙනි. තවමත් ඇය අවුරුදු හතළිස් ගණනක තරුණ ගැහැනියකි. නූපුර අම්මාව ලස්සනට ම දකින්නේ මේ කාලයේ ය. ඇය පිරිපුන්, තරුණකම් වෑහෙන, සන්සුන් ස්ත්‍රියකි. නමුත් ජීවිතයෙහි සතුටක් නො ලද ගැහැනියකි. තාත්තා සමග වන නීති බැඳීමෙන් මිදුණු කල ඇය සැබෑ නිදහසත් ශාන්තියත් අත්පත් කරගනු ඇත.

නූපුර එහෙම ම අම්මා ට ඇමතුමක් ගත්තේ ය. අන්තරා රාත්‍රී ආහාරයක් ගැන සිතමින් මුළුතැන්ගෙට යමින් සිටියා ය. ‘පුතා’ යන ඉංග්‍රීසි අකුරු පෙළ දුටු ඇගේ හදගැස්ම තීව්‍ර විය.

“පුතා…”

ජීවිතයේ වැඩි ම වාර ගණනක් කියා ඇති වචනය වුව වෙව්ලා ගියේ ය.

“අම්ම”

“ඔයා හොඳින් නේද බබා… මේ වෙලාවෙ ඔයා කතා කළේ හදිස්සියක්ද…”

නූපුර ගේ දෙතොල් පෙති ළිහී සිනහවක් පිපිණි.

“අසයිමන්ට් එකක් කරල ඉවරවුණේ දැං. ඉතිං අම්මට කතා කරලම නිදියන්න හිතුණ”

අන්තරා ට නිදහස් හුස්මක් හෙළුණේ ඒ වෙලාවේ ය.

“අනේ… මහන්සියි නිදිමතයි දෙකම

 ඇතිනෙ… එහෙනං ඔයා දැං දොයියන්න මැණික. නැගිට්ටහම අම්ම කෝල් එකක් ගන්නං”

“අම්ම සතුටෙන් ඉන්න ඕනෙ”

“මං සතුටෙන් තමයි පැටියො”

“අම්මට සතුටෙන් ඉන්න පුළුවන් ඕනම තීරණයක් ගන්න… ඒ මොන දේ වුණත් මං අම්ම එක්ක ඉන්නව”

අන්තරා ගේ පපුව රිදුණේ ය. ඇස් කෙවෙනි දැවී කඳුළක් රූටා ආවේ ය. ඈ එහෙම ම උරහිසකින් නෙත තෙත මාත්තු කළා ය. කිසිත් කියාගත නො හැකි තරමට ඇගේ උගුර අගුලු වැටී තිබිණ.

“අම්මට මං ආදරෙයි අම්මෙ”

නැගී ආ ඉකිය, මුව අතින් තද කොට ඕ හිර කරගත්තා ය.

“මගෙ පණ… දැං දොයියන්න. අපි උදේට කතාකරමු… හොඳේ. අනං මනං හිතන්නැතුව වැඩ ටික හරියට කරගන්න. අම්ම හොඳින්. ඔයා වගේ රත්තරං කොලු පැටියෙක් ඉද්දි අම්ම කොහොමත් සතුටෙන්. ඉක්මනට මේ දවස් ටික ගෙවිල යයිනෙ. එතකොට ආයි ඔයා අම්ම ළඟනෙ. එහෙනං දැං හොඳ නින්දක් දාන්න හොඳේ. බුදු සරණයි”

දුරකතන සම්බන්ධය බිඳී ගිය පසු අන්තරා ගේ හිත ළඟ ප්‍රශ්න ගණනාවක් ඇවිත් නතර විය. කොල්ලා ට කුමක් සිදු වී ද? ඔහු හීනයක් දැක අවදි වී ද? පසුගිය කාලයේ ඈ ආදරෙයි කිය කියා පස්සෙන් ගියත් ගණන් නො ගෙන සිටි ඔහු මේ හදිසියේ එහෙම කීවේ සාදයකට ගොස් බීර පොදක්වත් තොල ගා ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here