අනුන්ගෙ ප්‍රශ්න

මේ කතාව ඇහෙන්නෙ ඔයාලා හොඳටම දන්න අඳුරන පලාතකින්. ආයෙ මං මොකටද ඒ පළාතෙ නම කියන්නෙ. කතාව කියවගෙන යද්දි ඔයාලාටම තේරෙවි කොහේ ගැන, කවුරු ගැනද මේ කියන්නෙ කියන එක.

මේ කතාවෙ කතා නායිකාවගෙ නම උමා. උමා ජීවත්වෙච්ච පලාතෙ මිනිස්සු එක දෙයක් හොඳටම දැනගෙන හිටියා. ඒ තමයි “ඔයාගෙ ප්‍රශ්නෙ ඔයාට කළින් උමා දන්නවා” කියන එක. කතාවට එහෙම කිව්වට මොකෝ ඒ කතාව එක පැත්තකින් ඇත්තක් වෙන්න සාධාරණ හේතු හෙන තොගයක් තිබ්බා.උමා දොස්තර කෙනෙක්වත්, තෙරපිස්ට් කෙනෙක්වත්, මන්තර ගුරුකම් දන්න කෙනෙක්වත් නෙවෙයි.

හැබැයි “තමන් එහෙමයි” කියල හිතාගෙන උමා ඒ හැම විදියටම පෙනී හිටියා හැමතිස්සෙම. උමා රස්සාවක් කලේ නෑ. ඒ එයාට රස්සාවක් හම්බ උනේ නැති හන්දා නෙවෙයි. හම්බුවෙච්ච හැම රස්සාවටම වඩා ඔය අනුන්ගෙ ඕපදුප හොයන එක, රස්සාවෙ ප්‍රශ්න විසඳනවට වඩා අනුන්ගෙ ප්‍රශ්න විසඳන එකට උමා කාලෙ වෙන් කර හන්දා. ඒ නිසා උමාට කිසිම තැනක රස්සාවක් කාලාන්තරයක් කරගෙන යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඕන් ඔය විදියට අන්තිමට කර කර උන්නු රස්සාවෙනුත් දොට්ට දැම්මයින් පස්සෙ උමා හැමදාම කලේ තමන්ගෙ ගෙයි ඉස්තෝප්පුවට වෙලා අල්ලපු ගෙවල්වල මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලාගෙන උන්නු එක.

“හරි කම්මැලි ඇති” කියල ඕක දකින මිනිස්සු හිතුවට මොකෝ එහෙම කරලා උමා ජීවිතේට අරගත්ත ආතල් එක ඒ කවුරුවත් දැනගෙන උන්නෙ නෑ. තමන් ජීවත්වෙන ගම් පලාතෙ හැම මනුස්සයෙක්ගෙම ගෙදර, ජීවිතේ වෙන්නෙ මොනවද කියන එක උමා සහසුද්දෙන් දැනගෙන හිටියා. එහෙම නැත්තම් දැනගත්ත කෙන්ද කන්දක් කරගෙන තව අයට එක එක කතන්දර කිව්වා.

උමා දැනන් උන්නා ප්‍රඩක්ශන් හවුස් එකක වැඩ කරන මාලිනීගෙ දූ ගෙදර එන්න පරක්කු වෙන්නෙ ඇයි කියලා.

උමා දැනගෙන උන්නා සුරාජ් මලීශාගෙන් ඩිවෝස් උනේ ඇයි කියන එක.

උමා හොයාගෙන තිබ්බා කවුන්සලර් කෙනෙක් කියල කියන ඉස්සරහ ගෙදර ලේලි කවුන්සලින් සහතිකේ අරගත්තෙ ඔන්ලයින් මොකද්ද පොඩි විබාගයක් කරලා. ඩිග්‍රියක් තියෙනව කිව්වට තියෙන්නෙ ඩිප්ලෝමා එකක් කියලා.

ඒ වගේම “ඔය කවුන්සලින් කියාගන්න අයට වඩා මම උදව් කරලා තියෙනවා ඩිවෝස් වෙන්න ගිය මිනිස්සුන්ව ඒකෙන් වලක්වාගන්න” කියල උමා කට්ටිය එක්ක උජාරුවට කිව්වා.

“මං ඔය අනිත් අය වගේ ඕනවට වඩා නාහෙ ඔබන්න එන්නෙ නෑ අනුන්ගෙ ජීවිතවලට. මං කරන්නෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල තියෙන පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න උදව් වෙන එක. මොකෝ අපේ ප්‍රශ්න විසඳලා දෙන්න අපිට කියල කවුරුවත් උන්නද? නෑනෙ. අන්න ඒකයි මං පුලු පුලුවන් විදියට අනිත් අයගෙ ප්‍රශ්න විසඳලා දෙන්නෙ” කියලා උමා කට්ටිය එක්ක කතාකරද්දි කිව්වා. 

කොච්චර කිව්වත් වැඩක් නෑ කියල දන්න හන්දම උමාගෙ හස්බන්ඩ් උමා එක්ක ඔය ගැන කතාකරන එක නතර කරල තිබ්බේ. උමාගෙ දරුවො තාම පොඩි හන්දා ඒ ළමයින්ට නම් අම්මා කරන මල විකාර ගැන ලොකු තේරුමක් තිබ්බෙ නෑනෙ. උමාව දකින පමාවට අහල පහල ගෙවල්වල මිනිස්සු ජනෙල් රෙදි හනික පහලට දැම්මා. වැරදිලාවත් ගමේ අය තමන්ගෙ ෆේස්බුක් වලට එහෙම උමාව ඇඩ් කරගත්තෙ නෑ. මොකෝ ඒක ලෝක විනාසයක් වෙන විත්තිය දන්න හන්දා.

උමාට තිබිච්ච ලොකුම උවමනාව තමයි “අනුන්ගෙ ජීවිත, අනුන්ගෙ ප්‍රශ්න ෆික්ස් කරන එක” උමා හිතන් උන්නේ එහෙම දේවල් කරන්න පුලුවන් හැකියාවක් තමන් පොඩි කාලෙ ඉඳලම අරන් ඇවිත් තියෙනවා කියලා.

ඔන්න ඔහොම ඉද්දි තමයි උමාගෙ ගෙවල් පැත්තෙ ගෙදරකට අලුත් කපල් එකක් ආවේ. කොල්ලගෙ නම රවී, කෙල්ලගෙ නම රෝශිනී. අලුත බැඳපු, හොඳට ඉගෙන ගත්ත, හොඳ රස්සා කරන, අනුන්ගෙ ඕපදුප හොයන්නෙ නැති වැදගත් ජෝඩුවක්.

ඒ උනාට උමා නම් උන්නෙ මේ දෙන්නා දිහාවටත් ඇන්ටනාව දාගෙන. තමන්ගෙ ගෙදර ඉඳන් ඒ කපල් එකට අත වනන්න උමා try කරා. ඒ උනාට ඒ ජෝඩුව නෙවෙයි උමාව ගනන් ගත්තෙ.ගෙදර හදපු කිරි ටොපි යවන විදියක් හිතුවා, ඒත් ඒ ජෝඩුව නෙවෙයි ඒවා වැඩිය ගනන් ගත්තෙ.අන්තිමේ ඔය කිසිම විදියක් හරි ගියෙ නැති තැන උමා ඒ ජෝඩුවගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ බොරුවට කැරකි කැරකි උන්නා කතාවට අල්ලගන්න කියලා. ඒ උනාට ඒ එකක්වත් හරි ගියේ නෑ.

ඕකෙන් පස්සෙ තමයි උමා “මෙතන මොකක් හරි හොරයක් තියෙනවා” කියලා assume කරන්න ගත්තෙ. 

“රෝශිනී ටිකක් අමුතුයි නේද?” කියල තමයි උමා මුලින්ම කට්ටිය එක්ක ඔය ගැන කතාකරන්න පටන් ගත්තෙ.

“රෝශිනී පුදුම ලොකුකමකින් ඉන්නෙ, එයා හිනාවෙන්නෙවත් නෑ” කියල උමා මුලින්ම කිව්වෙ තමන්ගෙ හස්බන්ඩ් ට. ඒ උනාට ඒ මනුස්සය සුපුරුදු විදියට ඒක ඇහිච්ච නැති ගානට ඉද්දි උමා ඉන්පස්සෙ අහල පහල අය එක්ක ඔය විත්තිය කතාකරන්න ගත්තා.

“මොකක් හරි හොරයක් තියෙනව ඔතන”

“හොරෙන් පැනල ආව දෙන්නෙක්ද දන්නෙ නෑ”

“කවුද දන්නෙ කලින් උන්නු තැන මොනව වෙලා මෙහෙට ආවද කියලා”

“ප්‍රපෝසල් එකකින් බැඳපු දෙන්නෙක් ද දන්නෙ නෑ. කසාදෙ එපා වෙච්ච” කියල හිතලා උමා ඊලඟට කරේ මොකද්ද දන්නවද රවීලගෙ ගෙදර ලියුම් පෙට්ටියට එක එක ඒව ලියල දාන එක.

“ප්‍රශ්නෙක ඉන්න බව තේරෙනව. උදව්වක් ඕන නම් කියන්න. මං ඉන්නවා ඔයාලට”

“රෝශිනී, ඔයාට ඕන දෙයක් මාත් එක්ක කියන්න පුලුවන්” වගේ ලියුම් කෑලිවලින් පිරෙද්දි මුලින් රවීටයි රෝශිනීටයි හිතාගන්න බැරි උනා කවුද මේව දාන්නෙ කියල. අහල පහල අයගෙන් අහද්දි තමා ඒ දෙන්න දැනගත්තෙ මේව මේ උමා කියන ඇවිදින ඇන්ටනාවෙ වැඩ විත්තිය. ඒ මදිවට උමා තැන් තැන්වල කියල තිබ්බා “ඔය රවීට වෙන අෆෙයාර්ස් තියෙනවලු. රෝශිනී හිනාවෙන්නෙවත් නැත්තෙ ඒ ප්‍රශ්න හන්දා” කියල කිව්ව කතන්දර තමන්ගෙ කණට වැටෙද්දි මේව මේ අඬල රණ්ඩුවෙලා උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි කියලා රෝශිනි වගේම රවී තේරුම්ගත්තා.

සමහර ප්‍රශ්න විසඳන්න ඕන වෙනම විදියකට කියල දෙන්නම කතාකරගත්තා.අන්න එහෙම හිතල තමයි රෝශිනී දවසක් උමාගෙ ගෙදර ගියේ. රෝශිනී ඇවිල්ලා තමන්ගෙ ගෙදර දොරට තට්ටු කරද්දි උමා හිතුවෙ එක දෙයයි.

“It’s finally happening,” කියල හිතන ගමන් තමයි උමා ගිහින් දොර ඇරියෙ. රෝශිනී මහ දෙයක් කිව්වෙ නෑ. මේක ආන්ටිට කියල උමා අතේ එන්විලොප් එකක් තියලා “කවුරුත් නැතිවෙලාවෙ කියවන්නකො” කියලා එයා යන්න ගියා. මේ මොකද්ද කියල හිතාගන්න බැරිවෙච්ච උමා හීන්සැරේ ඒ එන්විලොප් එක ඕපන් කරලා බැලුවා. 

“Worry & Co. හා සම්බන්ධ වීමට ආරාධනා — ඔබ වෙනුවෙන්ම අලුත් රැකියාවක්! 

අපගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වීමට, දුක් වීමට, විසඳීමට අපි ඔබට සතියකට රුපියල් 500ක් ගෙවන්නෙමු. සුදුසුකම් අනවශ්‍යයි –  අපි ගැන worry වීම පමණක් සෑහේ.

 Feedback ඇත, ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.

ප.ලි. ඔබ නීත්‍යානුකූලව මෙම රැකියාව පිළිගත් පසු, ඔබට වැඩ කරන වේලාවෙන් පිටත අනවශ්‍ය උපදෙස් ලබා දිය නොහැක. ” මේක දැක්කට පස්සෙ උමාට හිතුනෙ එකම එක දෙයක් විතරයි.

“අන්තිමේ කවුරුහරි මං වගේ මිනිස්සුන්ගෙ වටිනකම තේරුම් අරගෙන තියෙනවා” කියන එක. ඒකෙන් පස්සෙ සතියකට 500 ගානෙ හම්බ කරන්න උමා පටන් ගත්තා. මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න කරදර උමා ළඟට අරගෙන ආවා.

දවසෙ වෙන කිසිම වැඩක් කරන්න බැරි තරමට උමා ළඟට මිනිස්සු ප්‍රශ්න කරදර අරගෙන ආවා. එක එක ඩෙඩ්ලයින් වලට ඒවට උත්තර හොයල දෙන්න උමා කැපවුනා. ගෙදර වැඩ, හස්බන්ඩ්ව, දරුවන්ව උමාට ඈත් වුනා. බැංකු පොත් පිරෙන්න සල්ලි හම්බු උනා. උමාගෙ නම රට පුරාම ප්‍රසිද්ධ උනා. උමාගෙ ගෙදර ගේට්ටුව ඇරලමයි තිබ්බ. මොකද එච්චරට මිනිස්සු ප්‍රශ්න අරගෙන ආවා.

හැබැයි ඒ ගේට්ටුවෙන් හිතවතෙක්, යාලුවෙක් කියල කෙනෙක් ආවෙ නෑ. වෙඩින්ස් වලට, පාටිවලට උමාට ආරාධනා ආවෙ නෑ. 

හැබැයි අනුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න දවසෙ පැය 24ම ගෙව්ව හන්ද වෙනද වගේ එලියට ගිහින් අනුන්ගෙ ඕපදූප හොයන්න උමාට වෙලාව හම්බුනේ නෑ. ඒ නිසාම උමාව මිනිස්සු දැක්කෙත් නෑ. මිනිස්සු උන්නෙ සන්තෝසෙන්. 

මොකද ඉස්සර වගේ උමා ඇවිත් තමන්ගෙ ජීවිත අස්සට නාහෙ දාන්නෙ නෑ, ඒ වගේම තමන්ගෙ ප්‍රශ්න ගැන worry වෙන්න කෙනෙක් දැන් ඉන්න හන්දා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles