සුසුවඳ සූත්‍ර – 11

0
2503

නූපුර ට නිදන්නැයි කීවාට, ඒ දුරකතන ඇමතුමෙන් පස්සේ අන්තරා ට නම් ඇහැ පියවුණේ නැත. ඇස් පියාගෙන නිදන්නට උත්සාහ කරත්දීත් ඇගේ දෙතොල් සිනහවකට පොපියමින් තිබිණ. නූපුර ඒ “අම්මට මං ආදරෙයි” කියා කීවේ සැලකිය යුතු කාලයකට පස්සේ ය. ඇත්තට ම ඔහු එහෙම කීවා ද නැත්නම් වැරදියට ඇහුණා ද කියාත් අන්තරා කිහිප විට සිතුවා ය. නමුත් ඒ තරම් වරදක් සිදුවෙන්නට විදිහක් නැත.

අම්මා ට සිය හදවත විවර කිරීමෙන් පස්සේ නූපුර ට සැහැල්ලුවෙන් නින්ද ගියේ ය. අම්මා කිසි ම දාක තාත්තා ව දික්කසාද නො කරනු ඇත යන අපේක්ෂා භංගත්වයට පත්ව, බැඳීම් වලින් ඈ ලිහිල් කොට එය සිදු කරගන්නට යත්න දැරූ ඔහු අවසන ජයග්‍රහණය අත්පත් කරගෙන සිටියේ ය. තාත්තා- දක්ෂිණ ගේ පරාජිත ස්වරය නූපුර ට සිය ජයග්‍රහණය සේ දැනේ!

නූපුර අවදි වෙන්නට නියමිත වෙලාවට- පිනිබර හිමිදිරි පාන්දර ම අන්තරා යහනෙන් පිබිදියා ය. පිරිසිඳු වී ඇඳුම් මාරු කොට, සුදු හාල් හෝදා වතුර වැඩියෙන් දමා මුට්ටිය ළිප මත තබා, දෑත් එක්කොට වැන්දා ය. ඊලඟට පොල් ගා උකු කිරෙන් කිරිබතක් පිසුවා ය. හොඳ දවසක කිරිබතක් පිසිනා එක සුබ නිමිත්තකැයි ඇය විශ්වාස කරයි. ආදරෙයි කිය කියා සිප සිප ළඟින් උන් පුත් කුමරා ටික ටික මව් තුරුලෙන් ඈත් වී ගොස්, අහඹු නිමේශයක පැමිණි සංචාරක කුරුල්ලෙකු සේ කිචි බිචි ගා ආදරෙයි කියා යත්දී උණුහුම් මව්වත් හදවතකට ඒ ලොව්තුරු ප්‍රීතියක් ම ය. ලෑලි බන්දේසියෙහි කිරිබත වඩවා, කපා, කට්ට සම්බල හා කෝලිකුට්ටු කෙසෙල් සමග මේසයට තබා, පිච්චමල් ඇසිරූ පිත්තල පහන දල්වා මේසය සරසා ඕ නූපුර ට වීඩියෝ ඇමතුමක් ගත්තා ය.

“අම්ම ඇහැරල මොනා කරනවද මේ වෙලාවෙ…”

නූපුර හිටියේ හා පැටවෙකු සේ සීත ඇඳුම් තුළ ගුළි වී ය. අන්තරා ගේ පපුව හෝස් ගා දෑවේ ය.

“සීතල හොඳට වැහෙන්න ඇඳගන්න පුතා. බෙල්ලටයි යටිපතුල් වලටයි සීතල වදින්න දෙන්නෙපා. උණුවතුරම බොන්න හොඳේ”

හදිසියේ මතක් වී ඇය කියවාගෙන ගියේ නූපුර කුඩා කල පටන් සෙම ගුලියක් වූ බැවිනි. හතියට, පීණසට ඈ ඔහු ව දොස්තරලා වෙත ගෙන ගිය වාර ගණන නො ගිනිය හැකි තරම් ය.

“ඔයා යුනි එකට යන්න කලින් කතා කරන්න හිතුව. නැත්තං ලෙක්චර්ස් ඉවර වෙනකල් ඉන්නෙපැයි”

“අයියෝ… අම්මත් පොඩි ළමයෙක් වගේනෙ”

“මං කිරිබත් ඉව්ව”

නූපුර තිරය ඔස්සේ අම්මා ගේ කෑම මේසය දුටුවේ ය.

“අම්මට අවුරුදුද…”

“පුතා මගෙ ළඟ ඉන්නවනං අම්මට හැමදාම අවුරුදු තමයි”

“තාත්ත මට කතාකළා. එයා හිතං ඉන්නෙ එයා නිසා අපි හැමදාම රිදෝගත්තට කමක් නෑ… හැබැයි එයා තමයි අපේ ගෝඩ් ෆාදර් කියල”

“තාත්ත ගැන වැරදි කියන්න එපා බබා. මොනා වුණත් ඒ ඔයාගෙ තාත්ත. මං දැං මගෙ තීරණේ තාත්තට කියලනෙ තියෙන්නෙ. හැබැයි ඔයා හැමදාම එයාගෙ පුතා. ඔයාට ඉන්නෙ එක තාත්තයි. හැමදාම ඒ එයා. අපි වෙන්වුණා කියල ඒක වෙනස් වෙන්නෑ හොඳද… ඔයා කවදාවත් එයාගෙ හිත රිද්දන්න ඔට්ටු නෑ. දේවල් වෙන්නෙ වෙන්න තියන විදිහට. ඒ ගැන අපි කාත් එක්කවත් රණ්ඩු කරල තරහ වෙලා තේරුමක් නෑ. අපි රණ්ඩු වුණත් නොවුණත් ඒව අනිවාර්යෙන් වෙනව. ඉතිං වෙන දේවලට වෙන්න ඇරල අපි අපේ ජීවිතවල සාමය හොයාගමු. අන්තිමට එච්චරයි අපිට ඉතුරු වෙන්නෙ”

ලංකාවේ සිටි අවසාන කාලයේ දී අම්මා ගේ මේ බණ දේශනා නූපුර ඉවසුවේ ම නැත. ඈ යමක් කියන්නට තනත්දී ම ඔහු ඇහෙන නෑහෙන ගාණට නො රිස්සුමෙන් යමක් මුමුණා එතැනින් නික්මෙන්නට පුරුදු වූයේ ය. එහෙම වෙලාවට අම්මලාගේ පපු රිදෙනා බැව් පුතාලා දන්නේ නැත. දැනගන්නට ඕනෑත් නැත.

“මට තමයි ඔක්කොම බණ කියන්නෙ. තාත්තව හදාගන්න බැරි වුණා”

නූපුර එහෙම කියනු අන්තරා ගේ සවන් වලට ඇසී තිබේ. පුතා ලොකු වෙන්නේ ම නැතිව හිටියා නම් මොන දුකක් විඳගෙන හෝ ඔහු හුරතල් කරමින් ඉන්නට තිබුණා යි ඒ වෙලාවේ ඇයට සිතිණ.

නමුත් මේ වෙලාවේ ඔහු අම්මා ගේ හිත රිදවන්නට ගියේ නැත. ඇගේ දේශනය දිග වැඩි වූවා කියා නො රිස්සුමක් දැනුණේ ද නැත. අම්මා කියන්නේ තනි හිතකින් හැම දුකක් උහුලාගත් ධෛර්යවත් හදවතක් කියා පමණක් දැන් ඔහු ට දැනේ.

“ඕඩිකොලෝන් ටිකක් දාගන්න”

ඔහු අතින් කොණ්ඩය සකසත්දී අන්තරා කීවා ය. නූපුර ඒ නෑසුණා සේ සිටියේ ය.

“ඕඩිකොලෝන් ඉවරද…”

“හ්ම්”

ඔහු හ්ම් කීවේ ඒ ප්‍රශ්නය එතැනින් නිමා කරන්නටයි. නමුත් අන්තරා එතැනින් අල්වාගත්තා ය.

“කියන්නෙපැයි ඉවරයි කියල. ඒත් එච්චර ඉක්මනට ඉවර වුණේ කොහොමද…”

“යාළුවෙක්ට ටිකක් දුන්න”

“කවුරුහරි එනකොට මං එවන්නං”

වෙලාවකට අම්මා ගේ මේ සොයා බැලීම් අනවශ්‍ය තරම් යයි නූපුර ට සිතේ. ඔහු දැන් ඉලන්දාරියෙකු කියා ඈ සිතන්නේ ම නැත. ඇයට ඔහු තවමත් කිරි සප්පයෙකි.

සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම අත්හදාබලන්නට පටන් ගත්තාට පස්සේ අන්තරා නූපුර ට වෙළෙඳපළෙන් ඕඩිකොලෝන් මිල දී ගෙන ම නැත. ඕඩිකොලෝන් වල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය අවම වීම ඒවා නිෂ්පාදනයෙහි විශේෂත්වයයි. සුවඳ ඉතිරි වී පවත්නේ පැය දෙකක පමණ කෙටි කාලයක් වූවාට, ළමයින්     සඳහා හා හිසට ගල්වන බැවින් අඩු ඇල්කොහොල් මාත්‍රාවන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය. නූපුර වෙනුවෙන් ඕ ලැවැන්ඩර් තෙල්, රෝස තෙල්, පිච්ච තෙල් ආදිය යොදාගෙන විවිධ සුවඳ ඕඩිකොලෝන් පෙළක් ම නිර්මාණය කළා ය. ඕඩි කොලෝන්, ඕඩි ටොයිලට් හා ඕඩි පර්ෆියුම්, ඇල්කොහොල් මාත්‍රාවන් වැඩිවීම මත සුවඳ පවත්නා කාලය වෙනස් වන්නා වූ විලවුන් ප්‍රභේද වේ. අන්තරා ට නූපුර යනු සුවඳ සූත්‍රයන් වාගේ ම වටහාගත නො හැකි චමත්කාරයකි. ළමා වියේ දී ඕඩි කොලෝන් සේ සෞම්‍ය වූ ඔහු, දැන් එහි අධි මාත්‍රාවන් සේ හැසිරෙයි.

දහසක් බුදුවරුන් බුදුවෙන ඒ පිනිබර හිමිදිරි පාන්දර, පාරින්දි ඕරා ඔෆ් ඇරෝමා හි ප්‍රථම වරට සේවයට යාම සඳහා අවදි වී සූදානම් වූවා ය. යන්නට පෙර ඈ අන්තරා ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“සුබ ම වෙන්න ඕනෙ. ඕරා ඔෆ් ඇරෝමා වගේ ම ඔයාගෙ අනාගතේ ලස්සන සුවඳ එකක් වෙන්න ඕනෙ”

අන්තරා හදවතින් ම සුබ ප්‍රාර්ථනා කළා ය. බුද්ධ පූජාව තබා එහි ඡායාරූපයක් ගත් ඕ එය පාරින්දිට වට්සැප් කළා ය.

“අද හොඳ දවසක්. මං කිරිබතකුත් ඉව්ව. සුබ පෙරනිමිති ඔයාගෙ ගමන පුරාම හම්බවෙන්න ඕනෙ”

“මට ඒ කිරිබත් වල සුවඳ දැනෙනව වගේ. කිරි දාල කෙසෙල් කොළෙන් තවනකොට එන සුවඳ…”

“ළඟපාත හිටියනං කිරිබත් කෑල්ලක් කවලම යවනව ඉතිං”

“ඔයාගෙ ආශිර්වාදය විතරක් වුණත් ඇති. ඒක මුළු හදවතින්ම අවංකව කරපු එකක් කියල මට දැනෙනව”

මල් පොකුරක් දී පාරින්දිව ඕරා ඔෆ් ඇරෝමා වෙත පිළිගැනිණි. එදා අහම්බෙන් වට වැස්සත්, ඒ හින්දා ම මහජන පුස්තකාලය අසල කෝපි හලට ගොඩවීමත්, අන්තරා හා යුගාත්ම යන චරිත ද්විත්වය එහිදී හමු වීමත් යන සියල්ල දෛවයේ සැලැසුමක් සේ පාරින්දි ට දැනිණ. නො එසේ වී නම් ඇයට මේ බලාපොරොත්තු නොවූ රැකියාව ලැබෙන්නේ නැත.

යුගාත්ම කොල්ලුපිටියේ ශාකාවට පැමිණියේ තරමක් දවල් වී ය. ඔහු පාරින්දිව සිය කුටියට ගෙන්වා එහි වැඩකටයුතු පිළිබඳව සැලකිය යුතු දැනුවත්කිරීමක් කළේ ය.

“ඔන්න යාළුවට කියන්න ඔන්න ඔයාට ජොබ් එක දුන්න කියල”

වෘත්තීය මට්ටමේ කතා බහ නිමා වී පාරින්දි අසුනෙන් නැගිටින්නට ගිය විට යුගාත්ම කීවේ අඩ සිනහවකිනි. නැගිටින්නට ගිය පාරින්දි අනිච්ඡානුගව ම යළි අසුනේ හිඳවිණ. ඒ කියන්නේ මේ පත්වීම අන්තරා ගේ නාමයෙන් බවට කිසිදු සැකයක් නැත්තේ ය.

“කෝල් එකක් ගමු එයාට”

ඇය කටහඬට ද ඇස් වලට ද ක්ෂණික ප්‍රබෝධයක් එක්කොට ගත්තා ය.

“මොකද මේ… ගෑනු ළමයින්ට අලුත් පොසිශන් එකේ වැඩ නැද්ද කෝල් කරකර ඉන්නෙ…”

අන්තරා ගේ ආදරබර හඬ මතුව ආයේ ය.

“මේ ඉන්නකො. යාළුවෙකුත් ඉන්නව”

කියමින් ඕ යුගාත්ම ට සිය දුරකතනය පෑවා ය. ඔහු ගේ මුහුණට ලස්සන සිනහවක් ඇවිත් තිබිණ.

“ඔන්න යාළුවට අපි ජොබ් එක දුන්න හොඳේ”

ඔහු ගේ හඬ පවා ප්‍රහර්ශයේ කැළතුනක් විය.

“අනේ ඒක හරිම සතුටක්. සමහර වෙලාවට අපි නොහිතුවට හරි පුදුම දේවල් වෙනව නේද… එදා කොෆී ශොප් එකේදි කෝපි එකක් බොන්න නතර වෙනකොට අපේ තුන් හිතකවත් තිබුණෙ නෑනෙ මෙහෙම හිතවත්කමක් ගැන. ඒක ශෝයි”

ඇගේ වදන් තෝරාගැනීම හා ඉසිරවීම, පොඩි ළමයෙකුගේ වාගේයි යුගාත්ම ට සිතිණ.

“සමහර වෙලාවට වයසට යනකොට තමයි අන්තරා අපිට හරියට දේවල පේන්න ගන්නෙ. දැනෙන්න ගන්නෙ. නිවීසැනසිල්ලෙ හිතවත්කම් පවත්තන්න පුළුවන් මිනිස්සු කියල… සමහර මුණගැහීම් වලදි හිතෙන්න ගන්නෙ”

“දැං ඔයා ඔය කියන්නෙ මං වයසට යමින් ගමන් කියලද… මන්දන්නෑ ඔය දෙන්න ගැන හොඳේ. මන්නං තාම වයසට යන අදහසක්වත් නෑ”

යුගාත්ම හඬ නැගෙන සේ සිනහ වූයේ උද්‍යෝගයෙනි. අන්තරා මඳහසකික් ඒ සිනහව විඳගනිමින් සිටියා ය. ඇය ප්‍රතිචාර දැක්වූයේ ඔහු මුලින් කී දේට වුණත්, ඇත්ත ම ඇත්ත නම්, ඇගේ මනසේ පිළිරැව් දෙමින් තිබුණේ ඔහු පසුව කී දේ ගැන ය. නිවීසැනසිල්ලේ හිතවත්කම් පවත්වන්නට පුළුවන් මිනිසුන්! ඔහු එවැන්නක් කීවේ ඇයි? ඇයට ද ඔහු ගේ සමාගමයෙහි කිසියම් සුවපහසුවක් දැනෙනා බව අන්තරා ගේ උඩුසිත කෙසේ වතුදු යටිසිත නම් පිළිගනිමින් තිබේ. සාමාන්‍යයෙන් ඇය පහසුවෙන් හිතවත්කම් ඇතිකරගන්නියක නොවේ. වැඩි කතාබහකින් තොර වීම නිසා එවැන්නකට අවස්ථාවන් උදාවන්නේ ද නැත. නමුත් මේ අහඹු තුන් කොන් ඇසුර එවන් විරල සිදුවීමකි.

“ඔයා වයසට යන කෙනෙක් නෙවේ කියල කොහොමත් අපි දන්නව. අවුරුදු විස්සක පුතෙක් ඉන්නව කිව්ව වෙලේ ඇත්තටම පුදුමත් හිතුණ. ඔයත් තාම විසි ගාණක ගෑනු ළමයෙක් වගේනෙ. වැඩිම තිහක් කියන්න පුළුවන්”

“ඒකනං මාව මුරුංගා අත්තට නග්ගන කියපු ලොකූ බොරුවක් කියල මං දන්නව”

“බොරු නෙවේ… සීරියස්ලි…”

ඒ සිනහ කැබලිති ඉසිර විසිර යනතුරු අන්තරා මඳක් නෙතු පියාගෙන සිටියා ය.

“මාත් ඔයාට කෝල් එකක් දෙන්නයි හිටියෙ”

කියා ඈ කීවේත් ඇස් පියවී තිබියදී ම ය. ඇතැම් විට ආලෝකය දකිමින් සිටියේ වී නම් ඈ එසේ නො කියන්නට ද තිබිණ.

“කියන්න අන්තරා. මොකද්ද වෙන්න ඕනෙ…”

“ම්… ඔයාගෙන් දැනගන්න කාරණා ටිකක් තියනව. මං හිතනව ඔයාගෙන් ඒ ගැටළු වලට සාධාරණ විසඳුම් ලැබෙයි කියල”

“කියන්න අන්තරා”

“දැන් නෙවෙයි. හෙමිහිට කතා කරන්නං. ඔෆිස් ටයිම් එකනෙ. ඔයාල වැඩ කරගන්න. මට හදිස්සියක් නෑ”

නමුත් යුගාත්ම ගේ ඇතුළාන්තයෙහි පුදුම නො ඉවසිල්ලක් විය. ගොරතර වනාන්තරයක් මැද්දට ඔහු ගෙන ගොස් අතැර ඇවිත්, ඒ ගැන කිසිදු වගක් නැතිව වාගේ ඈ නිවීසැනසිල්ලේ දුරකතනය තැබුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here