තටු

0
986

අමන්දාගේ පලවෙනි රැකියාව අත් හරින්න සිදු වුනේ අමන්දාගේ අම්මාගේ විරෝධය නිසා. අම්මාට ඕනි වුනේ අමන්දාව ඉක්මනට විවාහ කරලා දෙන්න. අමන්දාගේ හීනේ තිබුනේ ඉගෙනගත්ත දේවල් වලින් රැකියාවක යෙදිලා ඉහලටම යන්න. ඒත් අමන්දාගේ අම්මා කිව්වේම ගැහැණු ළමයින්‍ට රැකියාවල් ඕනි නැති බව. අමන්දා ඊට පස්සේ ආයෙම රැකියාවකට ගියා. දැන් අම්මා නොකා නොබී ඉඳලා ඒ රැකියාවෙනුත් අයින් වෙලා එන්නම කියලා මන්දාට බල කරනවා.

” මේ වතාවේ ආයේ ආයේ ජොබ් හොය හොයා යන්න ගත්තොත්  ඔයා  ඇත්තමයි අමන්දා මම යනවා යන්න ඔලුව හැරුණ අතක .. අපේ අම්මලා මාව ඔයාගේ අප්පච්චීට  බන්දලා දෙනකොට මට යන්තම් දහ නවය පිරුනා විතරයි … මම එදා ඉඳන් අවුරුදු හතලිහක් ජීවත් වුනා .. මට අඩුපාඩුවක් තිබුනාද මොකෝ … මට මොකද්ද වෙලා තියෙන අඩුව… අප්පච්චි ඔයාටයි මටයි අඩුවක් කරලා තියෙනවාද ?..”

අමන්දාව කොහොමම හරි  ගෙදර ගෙන්නගත්තාට පස්සේ අම්මා අමන්දාගේ අම්මා මහ හඬින් කියව කියවා එහෙ මෙහෙ ඇවිද්දා. කරගන්න දෙයක් නැති  කමට සතියකට නිවාඩු දාලා ආවාට අමන්දා රැකියාවෙන් ඉවත් වෙන්න  නම් හිතුවේවත් නෑ.

” අප්පච්චි හොඳ කෙනෙක් නිසා අම්මට අඩුපාඩුවක් කලේ නැති එක හරි කියමුකෝ අම්මේ.. ඒත් මට අප්පච්චී වගෙම හොඳ කෙනෙක් හමුවෙයිද කියලා අපි කොහොමද දන්නේ?… අම්මට ඒක තේරෙනවානේ අම්මේ ?.. මං හැමදාම ජොබ් එකක් නොකරන්න පුලුවන් .. ඒත් මේ කාලේ මට ජොබ් එකක් කරන්න පුලුවන් නේ …”

” ඔය පණ්ඩිතකම් වලින් වැඩක් නෑ.. ලොකු අම්මලා ලබන සතියේ මනමාලයෙක් එක්ක එනවා කිව්වා… ඒ කටයුතු එකලාසයක් කරන්න ලෑස්ති වෙමු ..”

අම්මා එහෙම කියනකොට, අමන්දාට දැනුනේ මුලු ජීවිතේම නැවතුනා වගේ. අම්ම එක්ක ගැටෙන්න බැරුව අමන්දා ගල් වෙලා බලාගෙන හිටියා.

” දරුවා කැමති නම් ටික කාලයක්  ජොබ් එකක් කරන්න දෙන්න  නිර්මලා .. එයා ඉගෙනගත්ත දේවල් නිකන් නිරපරාදේ තියෙනවාට වඩා ප්‍රයෝජනයක් ගන්න එක හොඳයි .. අනෙක ඔයාගේ කාලේට වඩා දැන් ලෝකේ වෙනස් නේ…”

අමන්දාගෙයි අම්මාගෙයි කතා බහ කිහිප වතාවක්ම අහගෙන හිටියාට පස්සේ අමන්දාගේ තාත්තා එහෙම කිව්වා. ඒත් අමන්දාගේ අම්මාට ඒ පැහැදිලි කිරීම් කනකට ගන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ වෙනුවට අම්මාගේ පැහැදිලි කිරීම් වලට සවන් දෙන්න අමන්දාටයි, තාත්තාටයි දෙන්නාටම සිදු වුනා.

” ඔයා මොනවද මහත්තයා මේ  ගෑණු ළමයින් ගැන දන්නේ.. මුලින් යන්නේ ජොබ් කරන්නෝනි.. ජොබ් කරන්නෝනි කියලා තමා.. මෙයාම අවුරුදු කීයක් අපේ ඇස් වලට වැලි ගහ ගහ එක එක ජොබ් කර  කර උන්නාද ?.. ඊටපස්සේ අම්මා  අප්පච්චී මතක නෑ.. ඒගොල්ලන්ගේ ලෝක වලට ඕනි විදියට වැඩ… කොළබ, නුවර ජොබ් කරන්න ගිය අපේ කට්ටියගේ කෙල්ලෝ කීයක් නම් කොල්ලෝ එක්ක එකට කාමර අරගෙන ඉඳලා අහු උනාද අන්තිමේදි .. ඔයාට ඕනි මෙයත් ඒක කරගන්නවා දකින්නද ?..”

” අපිට අපේ දරුවා විශ්වාසයිනේ නිර්මලා…”

” දැනට නම් විශ්වාසයි තමා මහත්තයා .., ඒත් කල් යනකොට කොහෙන් කොහාට වෙනස් වේවිද කියලා, මහත්තයා දන්නේත් නෑ. මම දන්නේත් නෑ.. ඒ නිසා ඒ ගැන ආයේ ආයෙම කතා කරන්න එපා … දැන් අර ලමයා එන වැඩේට සූදානම් වෙමුකෝ…”

  අමන්දා තමන්ගේ ආයතන ප්‍රධානියා අමතලා ඇයට මුහුණ  දෙන්න වෙලා තියෙන තත්වය පැහැදිලි කරා. වසර දෙකක් ඇතුලත අමන්දා සෑහෙන්නම විදියට ආයතනය වෙනුවෙන් කැපකිරීම් සහ වගකීම් දරලා තිබුන නිසාම ආයතන ප්‍රධානියා අමන්දාට  තව අවස්තාවක් දුන්නා.

” අමන්දා තව සති දෙකක් විතර ලීව් ගන්න … අරගෙන ඔය ප්‍රශ්නේ විසඳගන්න බලන්න .. අපි ඊට පස්සේ බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා …”

අමන්දා ඊට පස්සේ කලේ තාත්තාට මේ ගැන පැහැදිලි කරපු එක.

” ඉස්සෙල්ලම ඔය එන මනමාලයාව බලලා ඉමුකෝ ….”

තාත්තා එහෙම කිව්වෙ, අමන්දාව  අනිවාර්‍යෙන්ම ඇගේ හීන වලට යවනවාම කියන අදහස හිතේ තියාගෙන.

” අනේ අප්පච්චී .. මට තවම විසි හතයි .. තව කල් තියෙනවානේ බඳින්න .. අනෙක ..  කාගේ කවුද කියලාවත් දන්නේ නැති කෙනෙක් …”

එකපාරටම අමන්දාගේ අම්මා කතාවට කඩාගෙන පැන්නේ අහම්බෙන් කතාව ඇහිලා.

” ලොකු අම්මලා හොඳටම දන්න තැනක් ඒ.. ලොකු අම්මා ඔයාට නරකක් කරන්නේ නෑනේ අමන්දා … ඒ  හින්දා අප්පච්චිගෙ ප්‍රෙශර් වැඩි නොකර අර ඔසරිය හදාගන්න බලන්න …”

අම්මා තමන් සතු හැම තුරුම්පුවම අමන්දාව තමන්ට අවනත කරගන්න පාවිච්චි කලා.

”  මගෙ  කොහොම වුනත් ඔයා දරුවාට නම් ප්‍රෙශර් හදලා තමා නවතින්නේ ….”

අමන්දාගේ තාත්තා එහෙම කියාගෙන එතැනින් නැගිටලා ගියේ අම්මට අප්‍රසාදය පෙන්නගෙන.

සෙනසුරාදා උදේ අමන්දාව බලන්න මනමාලයා එන උත්සවේට මුලු ගෙදරම පිරිලා තිබුනේ. ලොකු අම්මලයි, නැන්දලයි,  බාප්පලයි පවුල් පිටින් ඇවිල්ලා උන්නා.

” අමන්දාගේ මඟුල දවස් හතක් කන්නෝනි ..”

බාප්පා එහෙම කියනකොට අමන්දා බාප්පාට හොරැහින් රැවුවා.

” කලබල නොවී ඉන්නවාකෝ.. කවුද දන්නේ මනමාලයා තමුසේට එයාගේ ඔෆිස් එකේම ජොබ් එකක් ඔෆර් කරාවිද කියලා…”

ලොකු අම්මාගේ ලොකු පුතා එහෙම කියනකොට අමන්දාගේ අම්මා ආයෙම කතාවට  එකතු වුනා.

” අන්න ඉතින් එව්වා නම් කමක් නෑ..  නෝනා මහත්තුරු එකතු වෙලා ඕනි එකක් …”

එහෙම කියනකොට අමන්දාට ගැඹුරු හුස්මක් හෙලුනා. ඒ විදියට නෑදෑකම් වලට කරන රැකියා  ගැන අමන්දාට තිබුනේ අකමැත්තක්. 

” එතකොට ඒක  ටූ මච් වෙනවා…”

අමන්දා හිතුවේ එහෙමයි.

කොහොමහරි මනමාලයා ආවා.

මනමාලයාව දැකපු අමන්දාගේ ඇස් විසල් වුනා. මනමාලයා ඇහැක් ගහලා සන්සුන් වෙන්න කිව්වම අමන්දා යන්තම් හිර වුන හුස්ම පහලට දාගත්තා.

” සර් ..කොහෙද මෙහෙ ?..”

පැය බාගෙකට විතර පස්සේ ජෝඩුවට කතා බහ කරන්න ඉඩ ලැබුන ගමන් අමන්දා හෙමින් සීරුවේ ඇහුවේ ඒක. මෙච්චර කාලයක් එකට වැඩ කරලත්, අමන්දාගේ හිත හූරන්න පුලුවන් හිනාවක් තමන්ගේ ආයතන ප්‍රධානියාට තිබුන බව අමන්දා දැනගත්තේ ඒ වෙලාවේ. ඔහු මූන පිරිලා යන හිනාවක් හදාගත්තා.

” අපේ අම්මාගේ යාලුවෙක් ඔයාගේ ලොකු අම්මා… මට ප්‍රපෝසල් කිහිපයක්ම ගෙනල්ලා තිබුනා.. මල කරදරේ කියලා ඒ ටික  ඩස්බින් දාලා තියෙද්දී අහම්බෙන් ඔයාගේ ෆොටො එක දැක්කේ .. පස්සේ නිකන් මොකක්ද මොකද වගේ හිතුනා … ඒ නිසා ආවා…”

 අමන්දා වචන හිර වෙලා බලාගෙන හිටියා.

” අපි බඳිමු ….”

ආයතන ප්‍රධානියා එක පාරටම එහෙම කියනකොට අමන්දා ගල් වුනා.

” සර් ?…”

” හරි .. එහෙනම් ඉස්සෙල්ලම යාලුවෝ වෙමු ..ඊට පස්සේ බඳිමු ..”

” සර් මගේ ජොබ් එක ?…”

” මං ළඟ ටික කාලයක් වැඩ කරන්න .. ඊට පස්සේ අර ඔයාගේ ඩ්‍රීම් බිස්නස් එක පටන් ගන්න.. ඒකට ඔයා එක්ස්පීරියන්ස් ගන්නෝනි …”

දවසක් තම තමන්ගේ අනාගත සැළසුම් ගැන කියපු වැඩසටහනක අමන්දාගේ හීනේ මතක තියාගෙන උන්න ආයතන ප්‍රධානියා එහෙම කියනකොට අමන්දා අහස දිහායි , අවට කොළ පාට දිහායි බලාගෙන අතරමං වෙන්න හැදුවා.

” ඔයාගේ අම්මට පෙන්නමු … ඔයා කොච්චරක් උඩට පියාඹන්න තටු හයිය කිරිල්ලියෙක්ද කියලා…”

අමන්දා ඒ ඇස් වලින් ඇත්තටම ජීවිතේ හයිය අල්ල ගත්තා. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here