වස්සාන කාලයේ දී නිතර ම අහස මන්දාරම් ය. කොයි වෙලේ වැස්සක් ව කඩා වැටේදැයි කිව නො හැකි ය. මීට මඳ වෙලාවකට පෙර හමා ගිය වැස්සක් නිසා තෙත් වූ කාපට් පාර දිග යුගාත්ම රිය පදවමින් සිටියේ වැඩ ගොඩක් හිස තුළ පෙරළි කරත්දී ය. විදේශීය වෙළෙඳ පොළෙන් ඇනවුම් කළ සුවඳ විලවුන් තොගයක් රේගුවට අවතීර්ණ වී තිබේ. ඒවා නිරවුල් කොට නිදහස් කරගත යුතු ය. බැංකු කටයුතු කිහිපයක් වෙනුවෙන් ද වෙලාව වෙන් කරගන්නට ඇත. කැමති ම ක්ශේත්‍රය, වෘත්තිය හෝ ව්‍යාපාරය වෙත්දී සතුටෙන් එහි නියළෙන්නට පිළිවන. නමුත් ව්‍යාපාරයට අදාල වෙනත් කාලය මිඩංගුකිරීම් නම් යුගාත්ම ට නීරස ය.
දුරකතනය හැඬවෙන්නට වූයේ ඔහු ඒ කල්පනා අතරේ පැටලී සිටියදී ය. යාබද අසුන මත වූ දුරකතන තිරයෙහි අන්තරා යන නම සනිටුහන්ව තිබෙනු දුටු විට අනපේක්ෂිත ලෙස ඔහු ගේ අභ්‍යන්තරයේ කැළඹීමක් ඇති විය. යුගාන්ත වහා ම බැලුවේ රිය නතර කරන්නට තැනකි. ඉදිරි මග අයිනෙහි තුරු සෙවණක් දුටු ඔහු එතැන නතර විය. ඒ හෙවණ අයිති කහ පාට මල් පිපෙන මාර ගසකට ය. අතු ඉති සලා, මලක් දෙකක් හලා ගස විසින් යුගාත්ම ගේ රිය සෙවණ ඇකයෙහි හොවාගන්නා ලදී.
“කොහොමද…”
සිනහවකින්, යුගාත්ම දුරකතනය සවනට ගත්තේ කාලයක් තිස්සේ දන්නා හඳුනන කෙනෙකුගෙන් වාගේ එසේ විමසමිනි. ඔහු ගේ සිනහව පුළුල් ව වැඩෙමින් තිබිණ. හිත් අහසේ සුවාසු දහසක් මල් වෙඩි දැල්වෙන්නට වූයේ ය.
“අපිව මතක් වෙලා තියෙන්නෙ ගෑනු ළමයින්ට…”
“ගෑනු ළමය කිව්වටනං තෑන්ක්ස්”
අන්තරා නව යෞවනියක වාගේ කිකිණි හඬින් සිනහ වූවා ය. නමුත් පපුව ඇතුළේ දැල්වෙනා ගිනි ගොඩක රස්නය ද ඇයට දැනෙමින් තිබිණ.
“ඇයි මං ඔයාට කිව්වෙ මං කෝල් එකක් දෙන්නං කියල… කාරණා වගයක් දැනගන්න තියනව කියල…”
“ඔව් කියන්න අන්තරා”
යුගාත්ම රිය අසුනේ හරිබරි ගැහුණේ ය. ඔහු ගේ හඬ ඔහු ට ම සිතාගත නො හැකි තරමට පෙම්වත් ව තිබිණ.
“ඔයා බිසීද… කතා කරන්න පුළුවන්ද…”
වැඩියෙනුත් එක්ක ආචාරශීලී වෙන එක, වැඩිපුර නාඳුනන අය සම්බන්ධයෙන් අන්තරා ගේ පුරුද්දකි.
“ඕනතරං වෙලාවක් පුළුවං. කියන්න”
“නෑ මට චූටි වෙලාවයි ඕනෙ”
“කියන්න අන්තරා”
ඔහු ඒ තරම් මොළොක් ලෙස කතා කරත්දී අන්තරා තුළ බියක් ඇති නොවූවා ම නොවේ. ඒ මෘදු සරින් හදවත් දලු සෙලවෙන්නට හදත්දී ඕ දැඩි බවක් නගාගත්තා ය.
“ඔයා… ඩිවෝස් එකකට ගිහින් තියන නිසා චුට්ටක් විස්තර දැනගන්න ඕනෙ. ඩිවෝස් එකකට යන්න ඕන කෙනෙක් මුලින්ම කරන්න ඕනෙ මොකද්ද…”
ඇගේ ඍජු වදන් සර අතරින් ඉසිහින් වෙව්ලීමක් යුගාත්ම ට දැනිණ. ඔහු මඳක් කාලය ගත්තේ ය. ඇගේ ප්‍රශ්නය තමන් තුළ ම දෙතුන් වරක් නින්නාද වන්නට හැරියේ ය. අනතරුව මුව විවර කළේ සීරුවට පරිස්සමෙනි.
“කාටද ඩිවෝස් එක…”
අන්තරා ගේ හකු තද විය. පසුගිය කාලය පුරාවට ඈ ගත කළේ තනි ජීවිතයකි. හැම දේම කරගන්නට සිදුවූයේත් ගමන් බිමන් යන්නට සිදු වූයේත් තනිව ය. ඕනෑතරම් පිරිමින් සමග ගනුදෙනු කරන්නට ඇයට සිදු වී තිබේ. තනි ගැහැනියක යනු තමන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කළ හැකි ගැහැනියක සේ බොහෝ පිරිමි සිතති. විශ්වාස කරති. කිසියම් කාරියකට තමන් වෙත එන ස්ත්‍රියක ඒ වෙනුවෙන් ලිංගික අල්ලසක් ලබා දිය යුතු යයි ඔවුහු සිතති. දොස්තරලාද නීතිවේදීන් ද විදුහල්පතිවරුන් ද ගුරුවරුන් ද පොලිස් නිලධාරීන් ද එකී නොකී වෙනත් නිලධාරීන් ද කියා වෙනසක් නැත. රාජකාරිය කරගන්නට සිදු වන්නේ දත් තිස් දෙක මැද දිව තබාගෙන ඉන්නවා වාගේ පරිස්සමට ය. අඩු තරමින් දක්ෂිණ විතානගේ නීත්‍යානුකූල සැමියා වීම නිසා එහැම තැනෙකදී ම අන්තරා ට යම් ආරක්ෂාවක් හෝ ගැලවීමක් තිබිණ. ඒ මිනිසාගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා තවත් පිරිමියෙකු ගේ සහය පතනා එක කෙතරම් අනුවණකමක් විය හැකි දැයි යටිහිත අනතුරු ඇඟවූයේ ඒ වෙලාවේ ය.
යුගාත්ම සමග කතාබහ කරන්නට ලැබුණ අවස්ථා දෙක තුනේදී ම අන්තරා ට ඔහු පිළිබඳව එහෙව් අවිශ්වාසී හැඟීමක් දැනී නැත. දින කිහිපයක හැඳිනුම්කමක් ඇති පුරුෂයෙකුගෙන් දික්කසාදයකට උපදෙස් ගන්නට තරම් ඈ ඉක්මන් වූයේත් ඔහු ළඟ දැනුණා වූ ඒ සුවපහසු බව නිසා ම විය හැක. නමුත් ඇය යළිත් පියවරක් පසුපසට ගත්තා ය.
“ම්… මගෙ යාළුවෙක්ට”
ඒ වචන දෙක පිටවීමෙන් පසු ඕ පපුව අල්වාගෙන සැනසුමක් වින්දා ය.
හදිසියේ දැනුණ ශුන්‍යත්වය කුමක්දැයි යුගාත්ම දන්නේ නැත.ඒ ගැන දුරට දිගට හිතන්නට ද ඒ අවස්ථාව නොවී ය.
“මේ… මාත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නැති නිසා… ඔයා ඩිවෝස් වෙලයි ඉන්නෙ කියල කියපු නිසයි මං හිතුවෙ ඔයාගෙන් ඒක කෙරෙන පිළිවෙළ දැනගන්න”
රිය අසුන මත ඔහු දිය වී යනවා වාගේ, ක්ශුද්‍ර වී යනවා වාගේ, හැකිළී යනවා වාගේ යුගාත්මට දැනිණ. නමුත් එහෙම වෙන්නේ කිම දැයි ඔහු නො දත්තේ ය. ඒ මානසික ඛාදනය වලකා නැගී සිටිනු වස් ඔහු වහා රියදොර හැරගෙන ඉන් බැසගත්තේ ය.
“මං දන්න ටික ඉතිං කියන්නං. මුලින්ම කරන්න ඕනෙ ලෝයර් කෙනෙක්ට කතාකරන එක”
තද කොළ පාට පත්‍ර සහිත කහ මල් දරනා මාර ගස යන්තම් සෙලැවී යුගාත්ම ට පවන් සැලී ය. ඔහු රියට හේත්තු වී චිත්ත ධෛර්යය වඩවාගත්තේ ය.
“ඩිවෝස් කේස් වලට නමගිය ලෝයර් කෙනෙක්ව අල්ලන්න බලනව ගොඩක් අය. එහෙම ඕනවෙන්නෙ ඉතිං අනිත් පැත්ත ඩිවෝස් එකට විරුද්ධනං තමයි. එහෙම වුණාම ඩිවෝස් එක ඉල්ලන කෙනාට ඒකට සාධාරණ හේතු තියනව කියල ඔප්පු කරන්න වෙනව. ඒ කියන්නෙ පාට්නර් අනාචාරේ හැසිරිලා හරි… ද්වේශ සහගතව අත්ඇරල ගිහිංහරි… ඉන්කෙයරබල් ඉම්පටන්සි එකක් තියනව කියල හරි…ඔප්පු කරන්න ඕනෙ. ඔය ගැන ලෝයර් පැහැදිලි කරල දෙනව. හැබැයි ඒ මොකක් වුණත් ඔප්පු කරන්න එවිඩන්ස් ඕනෙ. දෙපැත්තම කැමතිනං දැං එච්චර ඕක ඇදෙන වැඩක් නෙවෙයි. ශේප් එකේ ඉවර කරගන්න පුළුවන්”
අන්තරා ගේ පපුවේ තදවීමක් ඇතිවෙමින් තිබිණ. දෙයක් කරන්නට යත්දී ඒ ගැන හිතනවාට වැඩිය අසීරුතා පැන නගිනා එක සාමාන්‍ය ය. නමුත් දික්කසාදය වනාහි මේ තරම් හුස්ම හිරකරනා ක්‍රියාදාමයක් වෙතැයි සිතීමත් බියකරු ය.
“ඔයා මට ඒ ලෝයර්ගෙ කන්ටැක්ට් ඩීටේල්ස් දෙනවද තියනවනං…”
“ඕකේ. මං ටික කාලෙකිං කතා කළේනං නෑ. හැබැයි ඒ කන්ටැක්ය් නම්බර් එක වැඩ ඇති”
“ෆ්‍රී වෙලාවක මට එවල තියන්න”
සුහද පිළිසඳරකට ඉඩ නොතියා අන්තරා ඉක්මනින් ඒ සංවාදය නිමා කළා ය. යුගාත්ම ලා හසරැල්ලකින් රියට ගොඩවූයේ ය.
“ටිකක් අහංකාර ගෑනු ඉස්සරහ පිරිමි කොර වෙලා යනව කියල ඔයා දන්නැද්ද දැනගෙනම අපිව කොරවෙන්න අරිනවද කියල මන්දන්නෑ අන්තරා”
ඔහු ගේ හිත මුමුණමින් තිබිණ. යුගාන්ත ඒ වෙලාවේ ම නීතීඥවරයා සම්බන්ධ කරගත හැකි තොරතුරු ඇයට වට්සැප් කළා ය. නමුත් හෝරා කිහිපයක් ගත වන තුරු ම ඇය ඒ දැක තිබුණේ නැත.
අන්තරා එවෙලේ ම නාන කාමරයට වැදී උණු දියෙන් ස්නානය කළා ය. හිතේ අසහනකාරී බව වතුරෙන් සෝදා හල හැකි බැව් ඈ අත්දැකීමෙන් දනී. ඉක්මන් සන්සුන් බවක් ඇයට අවැසි වී තිබිණ. සම්පතී ට කිසිත් කළ නො හැකි සේ පෙනුණාට ඇය අන්තරා ගේ අභ්‍යන්තරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු කොට තිබිණ. මේ කැළඹීම හුදු ගැහැනුකම නිසා යයි සිතන්නට අන්තරා කැමති වූවා ය. උදා වෙමින් තිබෙනුයේ ඇය බලාපොරොත්තු වෙමින් හා සැලසු් කරමින් සිටි අනාගතයයි. මානසික වශයෙන් කාලයක් තිස්සේ ම ඈ ඊට හුරු වෙමින් සිටියා ය. නමුත් න්‍යායික වශයෙන් උගත් කාරණා පවා ප්‍රායෝගිකව අත්හදා බලත්දී ගැටළු මතු වේ!
අන්තරා හිස ගල්වන්නේ අහිතකර රසායනිකයන් බහුල නොවන, ඇය විසින් ගෙදරදී ම සකසා ගන්නා ශැම්පූ ය. බොඩි වොශ්, හෑන්ඩ් වොශ් පවා ඇය විසින් අත්හදා බලනු ලබන ඒවා ය. හිත සනසුන් කරගනු වස් ඕ කස්තුරි කහ, වැල්මී කුඩු හා කඩල පිටි, යෝගට් සහ මීපැණි වලින් අනා මුහුණේත් දෑත් දෙපා වලත් ගල්වා මඳ වෙලාවක් පිරිමදිමින් පරණ සම ඉවත් වෙන්නට සැලැස්වූවා ය. ඇගේ නාන කාමරයෙහි කෘතිම ආලේපන අඩු ය. කෝමාරිකා, සුදු හඳුන්, තක්කාලි, අර්තාපල් අල, පිපිඤ්ඤා, අයිස් කැට ආදී මුළුතැන්ගෙයින් හා ගෙවත්තෙන් සපයාගත හැකි සරල සංයෝග ඈ සිය රූපාලංකරණ අමුද්‍රව්‍ය ලෙස බහුලව යොදාගනී.
කැඩපත ඉදිරියෙහි දී සම දීප්තිමත් ව පෙනිණ. ඈ සිය රුව දෙස නිවීසැනසිල්ලේ බලා සිටියා ය. වරලේ තෙත පිසදැමීමෙන් අනතුරුව කවිච්චිය කොනක වාඩි වී ගෘහස්ථ දුරකතනයෙන් මහගෙදර දුරකතනය අංකනය කළා ය. ප්‍රාර්ථනා කළා සේ ම රිසීවරය එසවූයේ කිශෝරි රායි ය.
“අම්මා”
ගෙදර සිටි බාල බොළඳ දැරිය වාගේමය අන්තරා අම්මා ඇමතූයේ.
“ගාන්ධාරා”
හාන්සි පුටුවේ දිගා වී පපුව පිරිමදිමින් කල්පනා ලෝකයෙහි නිමග්නව සිටි භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි ගේ අතැඟිලි වල චලනය නතර විය. ඔහු නිකමට හෝ නෙතු හරවා බිරිඳ දෙස බැලුවේ නැත. නමුත් ඔහු ගේ දෙසවන් මුළුමනින් ඇය දෙසට යොමු වී තිබිණ.
“අම්මයි අප්පච්චියි හොඳින් නේද…”
“හොඳින් ධාරා… අප්පච්චි සිම්ෆනි එකකට ළමයි ප්‍රැක්ටිස් කරනව මේ දවස්වල. ඒකට එයාගෙ මුළු ශක්තියම යොදවනවද කියල හිතෙන තරං. මියුසික් ගැන අප්පච්චිගෙ ඇඟේ ලේ බින්දුවක් ගානෙ දිය වෙලා තියන දැනීමයි ආදරෙයි… එයාගෙ අලුත් හොයාගැනීමුයි ඔක්කොම මහ ශක්තියක් කරල මේකෙන් එළියට දාන්න හදනව කියල මට හිතෙනව. එයා කියනව මේක කළාට පස්සෙ ආයෙ මියුසික් නොකළත් කමක් නෑ කියලත්. මට බය මේ මහන්සි වෙන තරමට අප්පච්චි අසනීප වෙයි කියලයි”
කිශෝරි කියාගෙන ගියේ මන්ද්‍ර ස්වරයෙන්, පැහැදිලිව යමක් සැමියාට නෑසෙන සේ ය. නමුත් ඇගේ හින්දි ආරට උසුරවන සිංහල වචන අතරේ බියමුසු ගැස්මක් වන බව හැඳිනගන්නට අන්තරා අපොහොසත් වූවා නොවේ.
“අම්ම බයවෙන්න එපා”
ඇය පිරිත් සජ්ජායනයක් වන් සන්සුන් සරකින් කීවා ය.
“ජීවිතේ තරමටම ආදරෙන් ආසාවෙන් කරණ දෙයක් නිසා කෙනෙක් ලෙඩ වෙන්න විදිහක් නෑ. ඒ ආසාව තමයි නිදුක් නිරෝගී චිරජීවනය දෙන්නෙ. අප්පච්චි මේ සිම්ෆනි එක ලස්සනටම කරල… ටික කාලෙකින් ඊටත් වැඩිය ලස්සන එකක් කරයි”
භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි කියන්නේ ම සංගීත සංධ්වනියකි. ඔහු ගේ ගී තනුවකට මුහු කොට ඇති සංගීතයේ තිබෙන්නා වූ මිහිර, සංගීත භාණ්ඩ වලින් නගනා හඬ මුසුවක් හා මිනිස් ගායනය ඉක්මවූ, ස්වභාව ධර්මයේ හඬක් ලෙස හදවත වැළඳගනී. ජීවිතයේ බොහෝ ළතැවුල් අමතක කරන්නට අන්තරා එක කාලයකදී පියා ගේ සංගීතමය තනු ඖෂධයක් සේ භාවිතා කළා ය. සංගීත සංධ්වනි සේ ම සුවඳ සංධ්වනි ද විශ්වීය ය. මහා ඖෂධීය ය.
“මං හරිම තෘප්තිමත් ගෑනියෙක් ධාරා. හරිම පිරිපුන් ගෑනියෙක්. ජීවිතේ මට තියන එකම එක පසුතැවීම ඔයාගෙ අත අප්පච්චිගෙ අතින් අතෑරුණ එක විතරයි. ඔයා කොච්චර දක්ෂ ගෑනු ළමයෙක්ද… ඒත් ඒ දක්ෂතා කොහේ හැංගිලා ගියාද… අඩුම ගානෙ ඔයා දක්ෂිණ එක්ක එකතුවෙලා රටට ලෝකෙට පේන්න නැටුවනං…”
අන්තරා ගේ හුස්ම හිරවෙන්නට ආවේ ය. ඇය තානම් වන්නම් කස්තිරම් සේ ම රාග තාල ද අමතක ම කොට දැමුවේ අපපච්චි ට කළ වරදට දීගන්නා ස්වයං දඬුවමක් ලෙස බව මේ වෙලාවේත් ඕ කිශෝරි ට නො කියා සිටියා ය.
“අම්ම. මං දෙයක් කියන්න යනව. ඒක අහල කලබල වෙන්නෙපා”
අන්තරා කතා කළේ පරිස්සමෙන් ජිතේන්ද්‍ර විසින් තාල නගනා ලද ස්වර සංයුතියක් සේ ය. නමුත් කිශෝරි වැඩියෙන් කලබල වූවා ය.
“ඔයා ඔහොම කියනකොට කලබල නොවී ඉන්නෙ කොහොමද ධාරා…”
නො දැනී ම කිශෝරි ගේ හඬ උස් වන්නට ඇත. ජිතේන්ද්‍ර වහා හැරී බැලූයේ ය. කිශෝරි අතකින් මුව වසාගෙන බිම බලාගත්තා ය.
“කියන්න ධාරා ඉතිං”
“මං දක්ෂිණගෙන් ඩිවෝස් වෙනව අම්ම”
කිශෝරි ට හුස්ම හිර වූයේ ය. අතින් මුව වසාගත් වන ඇයට ‘හීක්’ ගෑවිණි. ඇදෙස බලාගෙන ම භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි හාන්සි පුටුවෙන් නැගී සිටියේ ය.