මල්සර හී සර – 47

0
3643

“ඔක්කොම ඉතින් විසඳගෙන අන්තිමේ වැරදිකාරයො අල්ලලා දෙන තැනටම ඔක්කොම විස්තර හොයාගෙන තියෙනවනම් මිසක්කා දූ මං ආස නෑ දූව මේ ගෙයින් පිටමං කරන්න” කියලා මේ ගෙදර අම්මා කියද්දි සප්තමී කලේ මෙච්චර වෙලා තෙල් ගාලා හොඳට පීරපු කොණ්ඩෙ තනි කරලකට ගොතලා අග්ගිස්සෙන් කොණ්ඩ පටියක් දැම්ම එක. අම්මලා කවුරු උනත් හැමදේම කියන්නෙ ආදරේට කියල දන්නවා උනාට මොකෝ මේ ගමන හැමදාම මේ විදියට යන්න බෑ කියල දන්න හන්දම අන්තිමේ ටික කාලයක් ගිහිල්ලා හරි මෙහෙම තීරණේකට එන්න ඇහැක් වෙච්ච එක ගැන සප්තමී උන්නේ සන්තෝසෙන්.

“හැමදාම ඉතින් මෙහෙම ඉන්න බෑනෙ අම්මේ. ආයෙ කවදහරි ගෙදර යන්නෝනනෙ” කියල සප්තමී කිව්වාම මෙහෙ අම්මා නම් උත්තර දුන්නේ “මං නම් ආසයි දූ දිගටම මෙහෙ ඉන්නවනම්” කියලා.

අම්මලා තමන් ගෙදරින් ආව එක ගැන දුකෙනුයි වේදනාවෙනුයි ඉන්නවා කියල මතක් වෙද්දි මේ ගෙදරදි මොන අන්දමේ සැපක් සම්පතක් හම්බ උනත් සප්තමී නම් උන්නේ ඒ කිසිම දෙයක් දිරවගන්න පුලුවන් අන්දමේ හිත සැනසිල්ලක නෙවෙයි. තමන්ගෙ ජීවිතේ මේ විදියෙ නොහිතපු ගමනක් එන්න හේතු උනේ ජීවිතේ කවදාවත්ම නොදැක්ක හීනයක් වෙච්ච ටෙලි නාට්‍ය රඟපෑම හින්දා කියන එක සප්තමී ට තේරුම් ගියෙත් කාලයක් ගෙවෙද්දි. තමන් හොඳටම විශ්වාස කරන, හොඳටම දන්න මිනිස්සු උනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වෙනස් වෙන්න පුලුවන් කියන එක තමන් ඉගෙන ගත්තෙත් ඒ හන්දම කියන එක සප්තමී නොදැන උන්නේ නෑ.

මීට සති කීපෙකට කලින් මේ ආව ගමන හන්දා වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනස් උනාද කියන සැකේ හිතේ තිබ්බත් ආව විදියටම මේ ගමන ආයම යන්න සප්තමී තීරණේ කරේ කවදමහරි දවසක මේ හැමදේට දෙන්න ඕන හොඳම උත්තරේ නීතියෙන් වගේම සොබා දහමෙනුත් ලැබේවි කියන බලාපොරොත්තුව එක්ක.

ඔය ඔක්කොම දේවල් අස්සෙ තමයි සප්තමීලගෙ සංසාර පාරමිතා ටෙලි නාට්‍ය හිතපු නැති තරම් ඉක්මනට මිනිස්සුන්ගෙ අවධානෙයි ආදරෙයි දිනාගෙන ට්‍රෙන්ඩින් නම්බර් වන් වලට ආවෙ. ඒ නිසාම තමයි වසන්ත මහත්තය එක්කල කතා කරලා සමුද්‍ර ටෙලි නාට්‍ය වෙනුවෙන් සහභාගි වෙච්ච උදව් කර හැමෝටම පොඩි පාටියක් දෙන්න ලෑස්ති කරමුද කියලා ඇහුවෙ. තමන් ආදරේ කරපු කෙල්ල අන්තරස්දාන වෙලා ඉන්න වෙලාවක සමුද්‍ර පාටියක් දාන්න කතාකරපු එක වසන්තගෙ ඇස් නළලට යන්න හේතුවෙච්ච ලෙවල් එකේ එකක් උනත් සමුද්‍ර දෙයක් කරන්නෙ කියන්නෙ හොඳට හිතලා බලලා කියන දන්න හන්දම තමයි වසන්ත සද්ද නැතුව සමුද්‍ර කිව්ව දේට එකඟ උනේ.

මාලවී මේ අස්සෙ උන්නෙ පදිංචියට යන්න ගෙයක් හොයාගන්න මහන්සි වෙන ගමන්. ඒ හන්දම අම්මා එක්ක උනත් කතාකරන්න ඉස්පාසුවක් නොතිබ්බට එදා නන්දා නැන්දා ඇවිල්ල ගියයින් පස්සෙ නම් මාලවී උන්නෙ අම්මාගෙන් ඒ විස්තර අහගන්න ඉවසිල්ලක් නැතුව.

“සප්තමී කෝල් කරා කියල ඔය නන්දා කියන්නෙ” කියල අම්මම හවස තේක ගෙනත් අතේ තියන ගමන් අහද්දි මාලවී රඟපෑවෙ එහෙම කතාවක් ඇහිච්ච නැති ගාණට.

“ආහ් එහෙමද? මොකද එයා කියන්නෙ? එයාව කිඩ්නැප් කරපු අය සල්ලි ඉල්ලනවද?”

“මොන කිඩ්නැප් ද? ඒකි කියලා තියෙන්නෙ ඒකි එහෙම ගියේ කැමැත්තෙන් ය. කවුද කරදර කරන කෙනෙක්ගෙන් බේරෙන්නය කියලා”

“කැමැත්තෙන් කිව්වේ? කාත් එක්කද? කවුද අනික කරදර කරන්නෙ?”

“අනේ කවුද දන්නෙ? ඔය අර ටෙලි නාට්ටියට සල්ලි දුන්න මනුස්සය එක්කල යාලුයි කිව්වට මං හිතන්නෙ තව කා එක්කහරි සම්බන්ධයක් තියෙන්න ඇති. නැත්තම් කොහොමද බං එකපාර ඔහොම අන්තරස්දාන වෙන්නෙ. අනික මේ ගේ අස්සටම වෙලා උන්න කෙල්ලෙක් එකපාර ඔහොම කැමැත්තෙන් ගිහිල්ලා නතර වෙන්න තැනක් හොයාගන්නෙ කොහොමද?

කපටි කමනෙ. නන්දා නම් ඉතින් රඟපාන්න අම්මේ දෝණියැන්ද නිකන් මලෙන් උපන් කුමාරිකාව වගේ. කපටිකම නැත්තම් ඉතින් ඔහොම කරන්න පුලුවන්ද. ඒ තියා හිතන්නවත් පුලුවන්ද?”

“ඉතින් ඔය කෝල් කරපු වෙලේ ඉන්නෙ කොහෙද කියල නැද්ද?”

“නෑ ඒව කියන්නෙ නැතුව කෝල් කරලා. අර සමුද්‍ර මහත්තය දන්න පොලිසියෙ ලොක්කෙක්ලුනෙ ඔය කේස් එක බලන්නෙ. ඒ මනුස්සය ඒ කෝල් කරපු නම්බර් එක අරගෙන බලලා කියල තියෙනව පාරෙ තියෙන එකකින් අරගෙන තියෙන්නෙ කියලා.

අනේ මන්දා බං. දැන් කාලෙ ඉන්න උන්ගෙ කෙරුවාවල් අපිට තේරෙන්නෙ නෑ” කියලා කාන්ති හිස් තේ කෝප්පෙ අරන් කාමරෙන් එලියට යන්න හදද්දි තමයි මාලවී ආයෙ වතාවක් අම්මට කතා කරේ.

“අම්මෙ මං කියන්න ඉඳියෙ” කියල මාලවී කියද්දි කෙල්ල මේ කියන්න හදන්නෙ ටිකක් අමුතු විදියෙ කතාවක් කියල හිතිච්ච හන්දම තමයි කාන්ති කෝකටත් කියලා ඇවිල්ලා ඇඳෙන් වාඩි උනේ.

“ඔයා නන්දා නැන්දලට උනත් මං කියන්නෙ කියන්න එපා අපි ගෙයක් ගන්න යන කතාවවත් ගේ ගන්නෙ කොහෙන්ද කියලවත්. කාටවත් නිකන් කියන්නෙ මොකටද? අනික ඔය වගේ ප්‍රශ්න තියෙන මිනිස්සු එක්ක අපිට නිකන් සම්බන්ධකම් තියාගන්න ඕන නෑනෙ ඔලුවෙ කරදර පුරවගන්න” කියලා මාලවී කියද්දි කෙල්ල එහෙම දෙයක් කියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ කාන්තිගෙ හිතට ආවෙ නැතුව නෙවෙයි. 

“දන්න අඳුරන මනුස්සයෙක්ට කරදරයක් උනාම කොහොමද ළමයො අපි එහෙම අහක බලන් ඉන්නෙ?” 

“දන්න අඳුරන මිනිස්සුන්ගෙ උනත් කරදර ඕනවට වඩා අපි භාරගන්න ඕන නෑනෙ. ඒ මිනිස්සු දැනගන්න ඕන තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න. එහෙම නැත්තම් ප්‍රශ්න කරදර ඇතිවෙන්නෙ නැති විදියට ජීවත්වෙන්න. අපි ඔය යන එන තැන් ගැන එහෙම කියන්න එපා. එහෙම නැත්තම් ඒ ඒ තැන්වලටත් ඇවිල්ලා ඔය ඕන නැති ප්‍රශ්න ඒව මේව කියන්න තියාගත්තොත් කොලඹ හතෙන් ගෙයක් ගත්තත් අපිට හැමදාම ජීවත්වෙන්න වෙන්නෙ නිවාස සංකීර්ණෙක ඉන්නවා වගේ තමයි. කුකුල් කූඩුවක පොර කුකුල්ලු වගේ. ඒ නිසා දැන් ටික ටික පුරුදු වෙන ඔය අල්ලපු ගෙවල් වලට හොස්ස දාන්න එක නතර කරගන්න.

ඔය අපි ගෙවල් බලන පැතිවල මිනිස්සු එහෙම අරහෙට මෙහෙට ඔලුව දදා එබිකම් කර කර යන්නෙ නෑ”

“හරි හරි මං කාටවත් කියන්න යන්නෙ නෑ අපි යන්නෙ කොහෙද කින්ද මන්දා කියලා. අනේ මන්දන්නෙ නෑ ඉතින් ඔයත් මේ ගහෙන් ගෙඩි එන්න වගේ අරහෙට යන් මෙහෙට යන් කියල කියන කියන විදියට යන්න එන්න මං ඉතින් මෙච්චර අවුරුදු ගාණක් පැලවෙලා උන්නු බිමෙන් මගෙ මුල් ටික උදුරගන්න එක නම් එච්චර ලේසි වෙන්නෙ නෑ. ඔයා කිව්වට ඔය අල්ලපු ගෙවල් වලට එබිකම් කරන්න එපා කියලා අපි එහෙම කරන්නෙ අපෙ තියෙන මනුස්සකමටනෙ. ඔයාලාට පුරුදු උනාට ඔය ෆෝන් එකටම ඔලුව ඔබන් ඉන්න අපේ අපිට නම් එහෙම ඉන්න බෑ ළමයො.

ඒකෙන් වැඩක් නෑ. දැන් අර ටෙලි නාට්ටියෙ මොකද්ද උත්සවේකට යන්න තියෙනවා කියලා කිව්ව නේද? ඒකෙ ඇඳුම් එහෙම ලෑස්තිද?” කියලා කාන්ති අහද්දි තමයි මාලවීටත් මතක් උනේ අද හවස හතරට තමන් අපොයින්ට්මන්ට් එකක් දාගත්තා නේද කියලා ඒ ඇඳුම බලන්න එන වැඩේට.

“ඔව් අද එනවා කියල මම කිව්වා ඒ මල්ලිගෙ තැනට. ගංගාක්කගෙ සැලොන් එකට ගිහිල්ලත් එන්න ඕන ඇඳුම පෙන්නල කොණ්ඩෙ එහෙම දාන විදිය කතාකරගන්න” කියල කියාගෙනම මාලවී නැගිටලා බාතෘම් එකට යද්දි තමයි කාන්තිත් හිස් තේ කෝප්පේ අරගෙන කුස්සිය දිහාවට යන්න ගියේ.

ඔය හැමදේම අස්සෙ සප්තමී උන්නේ ආපහු සැරයක් කොළඹ එන ගමන්.

ගිය විදියටම.

හැබැයි තනියෙම නම් නෙවෙයි.





LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here