අලුත් බබාලා දෙන්නාව ගෙදරට එක්කගෙන ආවාට පස්සේ මිහිරිලාගේ මුලු ගෙදරට හඳ පෑවුවා වගේ ආලෝකයක් ලැබුණා. මිහිරියි සංකල්පයි දෙන්නත් උන්නේ හරිම සතුටින්. බබාලා ලැබෙන්න යනකොට මතු වුන යම් සංකූලතා නිසා අන්තිම දවස් කිහිපයේ පවුල් දෙකේම අය යම් කලබලයකට පත් වෙලා උන්නත්, දැන් හැමෝම ඉන්නේ සතුටින්.
සංකල්ප දරුවෝ දෙන්නා දිහා බල බල හිනාවෙන එකේ ඉවරයක් තිබුණේ නෑ. සංකල්පගෙයි, මිහිරිගෙයි දෙන්නාගේම අම්මලා තාත්තලා මිහිරිලාගේ ගෙදර නැවතුනේ අලුත් දෙමාපියන්ට උදව් කරන්නත් එක්ක. ඒ හතර දෙනාම අඩු පාඩුවක් නොවෙන්න දරුවෝ දෙන්නාගේ වැඩ කටයුතු හොයලා බැලුවා.
” සංකල්ප … බබාලා නිදිනේ… අපි දෙන්නා ටිකක් බැල්කනියට යමුකෝ…”
සති තුනකට විතර පස්සේ, හිතේ තිබුන යම් නොසන්සුන්කමක් ලිහා ගන්න බැරුව මිහිරි එහෙම කිව්වා.
” අනේ මිහිරි .. දැන් මේ බැල්කනියට යන්න හොඳ වෙලාවක්ද ?… රෑ එකොලහට කිට්ටුයු… ඔයාට පිනි බාලා හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් එහෙම බබාලාට ෆීඩ් කරනකොට ඒක ඒ දෙන්නටත් බලපානවානේ… තවම එයාලා ඒ වගේ දේවල් වලට නිරාවරනය වෙන්න හොඳ නෑනේ… පිස්සු නැතුව දැන් නිදාගන්න … මං මේ දෙන්නාව බලාගන්නම් …”
මිහිරි ඇඳේ එහා පැත්තට හැරුණා. සංකල්ප ඒ කියපු ස්වරය ආයෙම කල්පනා කරලා බැලුවහම ඇයට වැටහුනේ යම් නොරිස්සුමක්. ඇය ඒ නොරිස්සුම තමන්ගේ හිත ඇතුලේ අලවගත්තා.
පහුවෙනිදා හවස මිහිරි සංකල්පට කතා කලා එලියට ගිහින් ඇවිදලා එන්න.
” අනේ පුතේ. මේ හවස වෝකින් පාත් එකට ගියා වගේ නෙවෙයි.. ඔයාට මොකක් හරි අසනීපයක් බෝ වුනොත් එහෙම දරු පැටවු දෙන්නාත් අනතුරේ නේ.. අනෙක අද ඉරිදා.. මේ වෙලාවට සෙනඟ කට කපලා ඇති …. ඔය වත්තෙන් ටිකක් ඇවිදින්නකෝ ..”
මිහිරිගේ අම්මා එකපාරටම එහෙම කිව්වා.
” එලියට බහින්නෙපා මිහිරි … මදුරුවෝ ඉන්නවා…”
සාංකල්ප එහෙම කියාගෙන දරුවන්ගේ සෝදපු රෙදි වගයක් වනන්න ඉහල බැලකනියට ගෙනිච්චා.
” සංකල්ප අයිස් ක්‍රීම් තිබුනා නේද … අනේ ටිකක් කමුකෝ …”
” දවල් කන්නෙපැයි මිහිරි .. මේ රෑ අයිස් ක්‍රීම් කන්නෙපා… සෙම හැදෙනවානේ ඔයාට සටස් ගාලා….”
දරුවන්ගේ ඇඩ කටයුතු කරගන්න ඇති තරම් සහයෝගයේ දෑත් තිබුනත්, මිහිරිගේ හිතේ ඇලවුණු සංකල්පගේ නොරිස්සුම් හඬ තව පැතිරුන එක නවත්තගන්න මිහිරිට පුලුවන් වුනේ නැහැ. කිසි දෙක එක ඇරුනම මිහිරිට තිබුණේ ඉදලා හිටලා ඇහැරෙන දරුවෙක් නිදි කරවගන්න විතරයි. අනෙක් හැමදේම අම්මලා දෙන්නයි, තාත්තලා දෙන්නයි, සංකල්පයි අඩු පාඩු නැතුවම බලාගත්තා. ජීවිතේ හැමදේම තියෙන වෙලාවට පවා මොකක්ම හරි අඩුයි කියලා දැනෙන හැඟීමට කියන්න ඕනි කොහොමද කියලා මිහිරිට වැටහුනේ නැහැ.
ඒත් දවසින් දවස මිහිරිගේ හිත වහගෙන ඇයට නොදැනෙන හැඟීමක් පැතිරෙන්න ගත්තා.
” මිහිරි ..මිහිරි ..මේ දරුවා අඬනවා.ඔයා මොන ලෝකෙද ළමයෝ ඉන්නේ…ඔයාට සිහියෙන් ඉඳලා මේ පොඩි වෙලාවටවත් දරුවෝ බලාගන්න බැරිද ?.. මම කියලානේ ගියේ මම වොශ් දාගෙන එනකල් පොඩ්ඩක් බලාගන්න කියලා …ඔයාට අතට පයට මෙච්චර දේවල් කරලා දීලත්, ඇයි අප්පා මේ පොඩි වෙලාවකට සිහියෙන් ඉන්න බැරි ?… වෙන අම්මලාට මෙහෙම සැප තියෙනවාද ?.. ළමයි හම්බෙලා ඊළඟ දවසේ ඉඳන් අනෙක් ළමයින්ගේ වැඩයි, මහත්තයගේ වැඩයි, ගෙදර වැඩයි සේරමත් කරනවා… අනේ මට තේරෙන්නේ නෑ ඔයාව…”
සංකල්ප එහෙම කිය කියා දරුවාව අතට අරගෙන නැළෙව්වා. වෙනදාට තමන්ව වැලඳගෙන ආදරේ කරන සංකල්ප දැන් මාසෙක වෙලේ ඉඳන් හාදුවක්වත් නොදුන්න බව මිහිරිට මතක් වුනා. මිහිරි ඇඳේ අනෙක් පැත්තට හැරුනා. එහෙම සංකල්පට පිටුපාගන්න වාරයක් ගානේම, මිහිරිගේ හිතේ ඇලවුන නොරිස්සුමේ පැල්ලම ටික ටික වැඩි වෙලා ගිහින් තිබුනේ ඇයටත් නොදැනීම. අන්තිමේදී හිත ඇගේ පාලනයෙන් නැතුවම ගියා.
අම්මලා එක්ක යම් කාරනා වගයක් කතා කරගෙන ඉහල මාලයට එමින් උන්න සංකල්ප මිහිරි කාමරේ නැති බව දැකලා කලබලෙන් වටපිට බැලුවා. බැල්කනියට යන දොර ඇරලා තියෙනවා දැක්කේ ඉන් පස්සේ. සංකල්ප නොදැණුන හේතුවක් නිසා අඩියට දෙකට ඒ දිහාවට ගියා. දැක්ක දසුනෙන් සංකල්පට දැනුනෙ මහා අකුණක් තමන්ගේ හිස මතට කඩාගෙන වැටුනා වගේ.
” මිහිරි .. මැණිකේ…”
සංකල්ප වහාම අඩි දෙක තුනට මිහිරි ළැඟට පැන්නා. බැල්කනියේ යකඩ බාර් එක දිගේ අඩි තුනක් විතර ඉහලට නැගලා උන්න මිහිරිව උස්සලා තමන් වෙතට නතු කරගත්තා. මිහිරි ඉන්නේ සීතල වෙලා ගිහින් බව සංකල්පට වැටහුනා. ඔහු වහාම මිහිරිව බැල්කනියේ තියෙන දෙන්නාගේ වේවැල් පුටුවේ හාන්සි කෙරෙව්වා. දෑත් දෙපා පිරිමැද්දා. මිහිරි උන්නේ පියවි සිහියක් නැති ගානට. අම්මාලාට කතා කරගෙන සංකල්ප මිහිරිව ඉතා ඉක්මනින් රෝහල් ගත කලා.
” කලබල වෙන්න එපා මිස්ටර් සංකල්ප … දැන් ඔක්කොම හරි …”
සංකල්පයි මිහිරිවයි දෙන්නා කාලෙක ඉඳන් දන්න වෛද්‍යවරයා එහෙම කිව්වාට සංකල්පගේ හිත සන්සුන් වුනේ නැහැ.
” මිහිරිට පොඩි ඩිප්‍රෙශන් තත්වයක් ඇවිල්ලා තියෙන්නේ… පෝස්ට් ප්‍රෙග්නන්සි එකේ එහෙම තත්ව එන්න පුලුවන්.. අනෙක බබලා දෙන්නෙක්ට එයාගේ ඇඟ වෙහෙසිලා තියෙන නිසා හෝර්මෝන් චේන්ගස් වගෙම , එනර්ජි ඉශූස්නුත් තියෙනවානේ… අනෙක් පැත්තට ඔයාලා දෙන්නාගේ රිලේශන්ශිප් එකත් බබාලා නිසා එහෙ මෙහෙ වෙන්න ඇතිනේ … “
සංකල්පට දැනුනේ තමන්ව උස්සලා පොලවේ ගහනවා වගේ. මිහිරි විටින් විට ඉතා තදින් වගේම යන්තමින් තමන්ගේ අවධානය සහ යම් සහයෝගයක් ඉල්ලපු හැටි සංකල්පට මතක් වුනා. ඒ හැම වෙලාවකම තමන් හැසිරුනේ කොහොමද කියලත් මතක් වුනා. ඇයට ඇයව දරාගන්න නොහැකි වීම කාලයක් තිස්සේ දිග් ගැස්සෙද්දී පවා තමන්ට ඇයව මඟ හැරීම ගැන ඔහුට දැනුනේ කෝපයක්.
” දැන් කලබල වෙන්න එපා.. ඔයාල එයාට සපෝර්ට් කරන්න .අපි පොඩිවට බෙහෙත් කෝස් එකත් කරමු …”
සංකල්ප හිස සැලුවා. අම්මලාටත් ඒ ගැන පැහැදිලි කරා.
එදා රෑ දරුවෝ දෙන්නා නිදාගත්තාට පස්සේ සංකල්ප බලෙන්ම මිහිරිවත් එක්කගෙන බැල්කනියේ වේවැල් අසුනේ ඉඳගත්තා.
මිහිරි සංකල්පගේ උරිස්සෙන් ඔලුව තියාගත්තා.
” මට සමාවෙන්න සංකල්ප.. මම දන්නේ නෑ මොකක්ද වුනේ කියලා… මට තේරුනේ හැමදේම කලු පාටයි කියලා….”
සංකල්ප මිහිරිගේ කම්මුල් දෙක දෙපාරගානේ ඉම්බා.
” මට සමාවෙන්න මැණිකේ … මෙච්චර ඔයාව තේරුම් අරගෙන උන්න මට ඔයා කියන්න ගිය දේ තේරුම් ගන්න බැරි උනා.. දැන් ඔක්කොම හරි.. අපි හෙමින් මේක හදාගමූ …”
මිහිරි සැනසීමෙන් හුස්මක් හෙලුවා. අර හිතේ ඇලවුන පැල්ලම ටික ටික ක්ශය වෙන බව ඇයටම දැනුනා.
ReplyForwardAdd reaction |