මීට අවුරුදු ගානකට කලින් සමන්ගේ අතින් තමන්ගේ නිවසේ තිබුණ පැරණි පිඟානක් බිඳිලා ගිය දවසේ තමන් සමන්ට පහරදුන්න විදිය මතක් වෙලා මුතු මැණිකේගේ ඇස් වලට කඳුලු ආවා.
“ අනේ නෝනා කොල්ලාගේ අත ලිස්සන්න ඇති නෝනා … අනේ නෝනා කොල්ලා උණ හැදිලා ඉඳලා ඔලුව ඉස්සුවා විතරයි යන්තමින් නෝනා … ගහන්න එපා නෝනා ..”
සමන්ගේ අම්මා වුන සුමනාවතී තමන්ගේ දෙපා මුල වැටීගෙන අඬද්දීත් තමන් කොස්සක් කැඩෙනකල්ම සමන්ට ගහපු බවත් මුතු මැණිකේට සිහිපත් වුණා.
“ දැන් බය වෙන්න දෙයක් නෑ . ප්‍රෙශර් නෝර්මල් … බෙහෙත් ටික වෙලාවට ගන්න ඕනි ..හොඳේ..”
වෛද්‍ය සමන් කාරියවසම්ගේ හඬ ආයෙම මුතු මැණිකේව වර්තමානයට ඇදලා දැම්මා. මුතු මැණිකේ හිස සලලා හිනා වුනා.
වෛද්‍ය සමන් පිටවෙලා ගියේ මුතුමැණිකේව බලා කියාගන්න සාත්තු සේවක ආයතනයකින් ඇවිල්ලා උන්න කාන්තාවටත් යම් පැහැදිලි කිරීම් කිහිපයක් කරලා.
“ තව දවස් දෙකක් විතර ඉන්න වෙනවා පේශන්ට .. ගෙදර අයව පොඩ්ඩක් දැනුවත් කරන්න ඒ ගැන …”
“ හොඳයි ඩොක්ටර් ..”
“ ගෙදරින් කවුරු හරි ආවා මාව මුණ ගැහෙන්න කියන්න .. මම අද හවස චැනල් එකේ ඉන්නවා…”
සමන් එහෙමත් කිව්වේ මුතු මැණිකෙගේ සෞඛ්‍ය තත්වය ගැන දරුවන්ට දැනුවත් කරන්න හිතාගෙනමයි.
“ එහෙ මහත්තයලා ඔක්කොම රටනේ ඩොක්ටර් ….අපේ කම්පැනි එකට තමා සල්ලි දාලා මේ වැඩකටයුතු කරන්න කියලා තියෙන්නේ ?..”
“ දරුවෝ හතර දෙනාම ?..”
“ ඔව් . මේ නෝනා කිව්වේ නම් එහෙම , ඒගොල්ලෝ වීඩියෝ කෝල් ගන්නවා නෝනාට …”
සමන් හිස සැලුවා. දැසි දස්සන් පිරිවරාගෙන මුතු මැනිකේ දරුවෝ හතර දෙනා උස් මහත් කල විදිය සමන්ට සිහි වුනා. මුතු මැණිකේ ගේ ස්වාමි පුරුෂයා අකාලේ මැරුනට පස්සේ, මුතුමැණිකේ දරදඬු ගෑණියෙක් වුන බව අම්මයි, අක්කයි කතා කරපු විදිය ත් සමන්ට සිහි වුනා.
“ හරි .. “
සමන් හවස ගෙදර ගිහින් අම්මට මුතු මැණිකේ ගැන කිව්වා.
“ වලව්ව දැන් විකුණලා හෝටලයක් දාන්න පුතේ ..ලොකු බබා බැඳපු නෝනාගේ අයියාලු ඒක කරන්නේ ..වලව්වේ හෝටලයක් දානවාට සුදු බබා විරුද්ධ වුනා කියලා, මුතු මැණිකේ සුදු බබා එක්ක හොඳටම රණ්ඩු කරලා .. ඊට පස්සේ ගිය මාසේ දවසක සුදු බබා ඔක්කොම දාලා ගෙදරින් ගිහිල්ලලු.. අක්කා නම් කිව්වේ ස්වෙච්චා සංවිධානයක්ද මොකද්ද මන්දා එක්ක රට රට වල බෙහෙත් කරන්න යනවලු …. . මං ඔයාට නොකිව්වේ, අක්කා කිව්වා පරණ කුණු ආයේ ආයේ අවුස්සන්න එපා කියලා…”
එහෙම කිව්වම සමන් ගේ හිතේ හංගගනෙ උන්න හැඟීමක් උඩට මහා අකුණක් පහත් වුනා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්හෙමි හෙමින් තිබුණ පොද වැහි වෛද්‍ය විද්‍යාලේදී මහ වැස්සක් වෙලා දෙන්නව තෙමාගෙන ඇද වැටුනාට පස්සේ ඒ වැස්සේ පෙඟෙන්න දෙන්නම ඒකමතිකව තිරණය කල හැටි සිහිවුනා. ඒත් ඒ සැනසීම තිබුණේ සීමාවාසික පත්වීම් ගන්නකල් විතරක් බව සමන්ට අමතක වුනේ නැහැ. දෙන්නාගේ සම්බන්ධතාවය දැනගත්තාට පස්සේ කලණිගේ අම්මයි අයියලයි තමන් දෙදෙනාව වෙන් කරන්න කරන්න පුලුවන් හැමදේම කල බවත් සමන්ට අමතක නැහැ.
“ ආදරේ උසම තැනක, අනෙක් කෙනා වෙනුවෙන් අපිට කරන්න පුලුවන් හොඳම දේ ඒ කෙනාගේ ජීවිතෙන් අයින් වෙලා යන එක සමන් .. මම ඔයා එක්ක හිටියොත් අපේ අයියලා ඔයාව මරනවා… නොමරා මරනවා…. ලොකු අයියාගේ යාලුවෝ පොලිස් ලොක්කෝ… මොකක් හරි නොගැලපෙනම දේකට ඔයාව පටලවන්න තියෙන ඉඩ ගැන මට දැනෙනවා දැන් .. ඔයා මට කියලා දුන්න ජීවිතේ එක්ක මම මෙතන ඉඳන් තනියම ඉස්සරහට යනවා මහත්තයෝ .. ආයේ කවදාවත් අපි මුණ ගැහෙන්නේ නැහැ .. ඒත්, වැරදීමකින් හරි මුන ගැහෙන දවසක, ඔයා ගේ එක අතකින් අල්ලන් ඉන්න ලස්සන නෝනා කෙනෙකුයි, චූටි දූ පැටියෙකුයි දකින්න මම ආසයි …”
තමන් කොච්චරක් නිර්භීත වෙන්න උත්සාහ කලත්, අම්මගෙයි, අක්කගේ පවුලෙයි ජීවිත පරෙස්සම ගැන හිතලා තමන්ට කලණිව නවත්තගන්න බැරි වුන බවත් සමන් කල්පනා කලේ අම්මගෙන් ඉවතට ගිහිල්ලා. පහුගිය මාස දෙක තිස්සේම කලණිගේ අංකය වැඩ නැති වෙන්න හේතුව සමන් වටහා ගත්තා.
පහුවෙනිදා මුතු මැණිකේව පරික්ෂා කරන්න ගිය සමන් ඇගේ විස්තර කතා කරලා අවසන් වෙලා ගැඹුරු හුස්මක් හෙලුවා. ඊට පස්සේ, සූදානම් වෙලා වචන ගලපගත්තා.
“ මට කලණිට කතා කරන්න විදියක් හදලා දෙන්න පුලුවන්ද ?… එයා ඉන්න දිහාවක් යාලුවෝ දන්නේත් නෑ .. “
“ දෝණි ඉන්නේ පකිස්තානේ .. එහෙ වෛද්‍ය කඳවුරක ..”
“ කතා කරන්නේ නැද්ද ?…”
“ කතා කරනවා… අද කතා කරාවි …”
“ හ්ම්ම් ….”
“ මං කියන්නම් දොස්තර මහත්තයා මාව බලන්නේ කියලා….”
“දැන් කලණිලෑ අම්මා ඉන්නෙ කොහෙද ?..”
“ වලවුවේ ලොකූ හෝටලයක් දැම්මා . මම ඉන්නේ දැණ් ගෙවන නිවාසෙක.. ලොකූ සල්ලි එවනවා එහෙට ….”
එහෙම කියන්න උජාරුකමක් ආරූඩ කරගන්න උත්සාහ කලත්, මුතු මැණිකෙගේ ඇස් වලින් කඳුලු වැටුණා. සමන් ඒ කඳුලු නොදැක්ක ගානට ආපහු හැරුණා.
ජීවිතේ කොයි තරම් පුදුමාකාර පාරවල් වල අපිව ගෙනියනවාද කියලා සමන් හිතුවේ රෝහල් වාට්ටුවේ කටයුතු අවසාන කරලා, පෞද්ගලික සායනයට යන්න පිටත් වෙන ගමන්. මුතු මැණිකේ මුදල් බලයෙන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන බව පෙන්නන්න උත්සාහ කලත්, ඒ ඇස් වල තියෙන වේදනාව තමන්ට පෙනුනා නේද කියලා සමන් හිතුවා. අතීතයේ තමන්ට කොයි තරමින් හිත් වේදනා හදලා තියෙනවා වුනත්, මෙවෙලේ ඇය ගැන දැනෙන්නේ මාතෲ සෙනෙහසක් වීම වටහා ගන්න සමන්ට හැකි වුනේ නැහැ.
අන්තිමේදී කලණි දුරකතන තිරයේ උන්නා.
“සතියට වතාවක්වත් මැසේජ් එකක් දාපු ඔයා , එකපාරටම අතුරුදන් වුනාම මම හිත හදාගත්තේ ඔයා ජීවිතේ අලුත් පාරක යන්න ඇති කියලා ..”
සමන් එහෙම කිව්වා.
“ අලුත් පාරක නේන්නම් මේ ..”
කලණි හිනාවෙනවා.
“ කවදාද ඔය වැඩ ඉවරවෙන්නේ ?..”
“ මාස හයකට ආවේ..”
“ එහෙනම් පරෙස්සමින් වැඩ ඉවර කරගෙන එන්න .. අම්මවත් එක්කගෙනම … අපේ ගෙදර, අපි දෙන්නට එහෙමම ඉඩ තියෙනවා…”
සමන් එහෙම කියනකොට, මුතු මැණිකේගේ ඇස් වලින් සතුටු කඳුලු කඩාගෙන වැටුනා.
ReplyForwardAdd reaction |