නිරිත දිග මෝසම සක්‍රිය වී තිබුණෙන් දිගින් දිගට ම වැසි වැටෙමින් පැවතිණ. මෙහෙම වැස්සක මග බැස යනවාට වැඩිය, වැහි පොදක් හෝ නො වැදී ගුලි වී නිදනා එක තරම් සැපතක් අන්තරා ට නැත. නමුත් වෙනදාටත් කලින් යටිහිත විසින් ඈ අළුයම් යාමයේ අවදි කරවනා ලදී. ගෙදර දුවනා හදිසියක් ඇයට විය.
“මේ වැස්සෙ මොකට යනවද ඉතිං… ඔය කරන දෙයක් මෙහෙ ගෙනත් තියාගත්තනං හරිනෙ”
අන්තරා ගේ සූදානම දැක ජිතේන්ද්‍ර කීවේ ය. කිශෝරි ද ඔහු අනුමත කරමින් හිස සැළුවා ය.
“මං කියන්නමයි හිටියෙ. ධාරාට පුළුවන්නෙ අප්පච්චිගෙ සිම්ෆනි එකට ජොයින් වෙලා වැඩ කරන්න. ඔයා හොඳට ඉන්ස්ටෘමන්ට්ස් ප්ලේ කරපු ළමයෙක්නෙ”
ඒ ටික දවසක සිට කිශෝරි ගේ හිතේ පැවති අදහසකි. පියාත් දියණියත් දෙදෙනා ම ඉදිරියේ එය කියාගන්නට ඇය අවස්ථාවක් හොයමින් සිටියා ය.
“අයියෝ අම්ම. සිම්ෆනි එකක් කියන්නෙ සෙල්ලමක්ද… අවුරුදු ගාණකින් මං ඉන්ස්ටෘමන්ට් එකක් අල්ලල නෑ. ඊටත් වැඩිය දැං මං උනන්දු වෙන්න අලුත්ම පර්ෆියුම් එකක් හදන්න අප්පච්චි. උදේ ඉඳං රෑ වෙනකල් මං ඒ වෙනුවෙන් මේ මහන්සි වෙන්නෙ. මගෙ ජීවිතේ ඉතුරුවෙලා තියන එකම හීනෙ ඒක. අප්පච්චි පුළුවන්නං මාව තේරුං ගන්න”
වර්ෂාව නිසා පරිසරයෙහි ආර්ද්‍රතාවය වැඩි වී ඇත්තේ යම් සේ ද ඔවුන් ගේ හදවත් වලත් බරක් විය. මඳ වෙලාවක් මුනිවතින් කල්පනා කළ ජිතේන්ද්‍ර, රියෙහි යතුර අතට ගත්තේ ය.
“හ්ම්. යං. මං දාල එන්නං”
“වැස්සනෙ අප්පච්චි. මට ටැක්සි එකක් දාගන්න පුළුවං”
“හ්ම් හ්ම් යං”
අන්තරා ඊට වැඩිය විරුද්ධ වන්නට ගියේ නැත. වොක්ස් වැගන් රිය තුළ දී, පාසල් ගිය පරණ මතක ඇගේ හිත යටින් නැගී මතුපිටට පැමිණෙන්නට විය. ජීවිතය එහෙම ය. කාලාන්තරයක් පුරා පැතිරෙන සිදුවීම් අතිවිශාල ප්‍රමාණයකින් එය නිර්මිත වේ. ඒ ඒ කාල වලදී ඒ ඒ ජීවිතය තුළ හදවතින් ම ජීවත්වීම පමණක් අපට කළ හැකි වේ. ගත වී ගිය මොහොතක් යළි කෙදිනකවත් උදා කරගත නො හැකි බැවින් ඒ ගැන පසුතැවුම් ඇති කරගෙන පලක් ද නැත.
“දැං ඔය හදන පර්ෆියුම් එක ගැන මොනාද කරන්න පුළුවන්…”
අන්තරා ගේ හදවතේ ක්ෂණික පීඩනයක් ඇති විය. ආදරය වූ කලී අනෙකා ගේ සතුටට හා ඔහු ගේ ජීවිතයට ඉඩ දීමයි. දක්ෂිණ ඈ ලවා ඇය කරන්නට අකමැති ම වූ දේ කරවීමේ උත්සාහයක් ගත්තේ ය. නටනු වෙනුවට එතකොට ඕ තව තවත් දරදඬු වූවා ය. ඔවුන් ට හදවතින් එක ගමනක් යා නො හැකි වූයේ එබැවිනි. නමුත් තාත්තා කියන්නේ අකමැත්තෙන් හෝ දරුවන් ගේ සතුට වෙනුවෙන් කැපවීම් කළ හැකි කෙනෙකි. එදා ඔහු ට එසේ කළ නො හැකි විය. නමුත් අද එසේ කළ යුතු බව ඔහු දැන සිටී.
“මාත් හරියටම දන්නෑ. ඉස්සෙල්ලම පර්ෆියුම් එක හදල පේටන්ට් එක ගන්නෝනෙ. ඊට පස්සෙ පර්ෆියුම් හදන කම්පනි එකකට සුවඳ සූත්‍රය විකුණන්න පුළුවන්. මගෙ යාළුවො දෙන්නෙක් ඉන්නව. එයාලගෙන් උදව් ගන්න පුළුවන් අප්පච්චි”
“හ්ම්. කරන්න පුළුවන් දෙයක් අපි කරමු”
අන්තරා ගේ හිතට හයියක් දැනිණ. “කෑම ගේන්නෙපා මං උයනව” යනුවෙන් පණිවිඩයක් යුගාත්ම වෙත තබා ඈ උයන්නට ගත්තේ පරීක්ෂණ කාමරයට යන්නේවත් නැතිවයි. යුගාත්ම තනිව ජීවත් වෙන නිසා රසවත් හෝ ගුණවත් අහරක් ඔහු ට ලැබෙන්නේ ම නැතිවා විය හැක. ඒ නිසා කඩ කෑමක් කන්න දෙනවාට වඩා සරල යමක් ගෙදර පිස දෙන්නට ඇයට ඕනෑ විය. හිතට දැනෙමින් පවතින සැහැල්ලුව ගැන හැඟීම විශ්ලේෂණය කරන්නට ඈ උත්සාහ කළේ නැත. කාලයකට පස්සේ ඇයට මිතුරු ඇසුරක් හමු වී තිබේ. මේ සතුටට හේතුව එය බව හදවතට දැනුම් දී ඇය වැඩ කරගෙන ගියා ය.
“හරි පණ්ඩිතයිනෙ. උයන්නැතුව ඔයාගෙ වැඩ කරගන්න තිබුණනෙ”
කියා චෝදනා කළා ට එහෙම කෑම වේලකට යුගාන්ත වුව නො සතුටු වූයේ නැත.
එදා ඈ සිය පරීක්ෂණ කාමරය සිය මිතුරන් දෙදෙන වෙනුවෙන් විවර කළා ය. කුඩා සංවෘත්ත පරීක්ෂණ නල රාශියක් තුළ ඇගේ සම්පූර්ණයෙන් සාර්ථක නැති කඳුකර සුවඳ තැන්පත් කොට තිබිණ. ඇය ඒවා විවර කරමින් මිතුරන් ට සුවඳ පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබා දුන්නා ය.
“කොතනක හරි චූටි දෙයක් වෙන්නෝනෙ තව. මගෙම හිත සැටිස් වෙනකල් මං ඒක හොයනව”
ඇගේ දෑස් හි බලාපොරොත්තුවක් දිළිසිණ.
“මන්නං කියන්නෙ මේවත් අසාර්ථක නෑ”
“හන්ඩ්‍රඩ් ප’සෙන්ට් සාර්ථකත් නෑ පාරි. තව ටිකක් එක්ස්පෙරිමන්ට්ස් කරනකොට ඒක අහුවෙයි. මට දවසක ආයෙ යන්නෝනෙ අප් කන්ට්‍රි. ඔය දෙන්නත් එනවද…”
පොදුවේ ඇසුවාට අන්තරා ගේ දෑස් තිබුණේ යුගාත්ම වෙත දැල්වීගෙන ය.
“ඔයාට ඕනම වෙලාවක යමු. මං මේ තාමත් ඉන්නෙ ඔයා ගැන පුදුම වෙලා අන්තරා. මං හිතුවටත් වඩා ඔයා හරිම වටින ගෑනු ළමයෙක්”
“මං දන්නෑ යුගාත්ම”
ඔවුන් ඒ සුවඳ ලෝකයෙන් පිටතට එන විට සුවඳ ඔවුන් පසුපස දැවටී තිබිණ.
“ඒත් දැං මට මේක කරන්නම ඕන කියල හිතෙනව”
“ඔයා ඒක කරන්නම ඕනෙ තමයි”
ඒ දිවා භෝජනය සරල මුත් ප්‍රණීත ය. ඔවුන් ගේ කතා බස් වල රස, කෑම වලට විශේෂ මිහිරක් එක් කළේ ය. හදවත ට අමුතු පිරිපුන් බවක් දැනෙමින් ඇතැයි අන්තරා ට සිතිණ. මේ මෙතෙක් ඇයට විවර වී නො තිබි ලෝකයකි.
“ඕගොල්ලො වැඩනෙ. නැත්තං අපිට මූවි එකක් බලන්න තිබුණ”
කියා ඇය කීවේත් හදවතෙහි වූ ඒ පිරිපුන් බවින් ම ය. ඔවුන් නැත ද තෙළිඟු පෙම් කතාවක් නැරඹීමේ පිපාසයක් ඇයට දැනෙමින් තිබිණ. මේ මොහොත තුළ හදවත කැමති විදිහට ජීවත වන්නට ඇයට ඕනෑ වී තිබිණ. ඒ මෙතෙක් ඇය නො විඳි ස්ත්‍රීත්වයට අදාල හිතුවක්කාරකමකි. තමන් යටපත් කරන, හැඟීම් යටපත් කරන සංස්කෘතික රාමු ඇතුළේ ඇය ඕනෑ තරම් හිර වී දුක් විඳ තිබේ. හුස්ම ගන්නට බැරි තරම් අපහසුතා දරාහිඳ තිබේ.
“ඒකට කමන්නෑ. බලමු”
යුගාත්ම එසැනෙන් යෝජනාව ස්ථිර කළේ ය. නමුත් පාරින්දි ඊට එකඟ වූයේ නැත.
“දැං ෆිල්ම්ස් බල බල ඉන්න බෑනෙ යුගාත්ම. ශොප් එකට යන්න ඕනනෙ”
“ඕරා ඔෆ් ඇරෝමා වෙන කාගෙවත් නෙවේනෙ පාරින්දි. මගෙනෙ. මං කියනවනං ෆිල්ම් එකක් බලලම යමු කියල… ඔයාට අවුලක් නෑනෙ”
ඒ වාගේ හෝරාවක් ඊට පෙර අන්තරා ගේ දිවියට උදා වී තිබුණේ ම නැත. ප්‍රේම කතාවක් ඉදිරියෙහි ඔවුන් තිදෙනා ගේ ම යටිහිත් අවදි වී එහි තමන් වෙමින් නො සිටියා කිව නො හැකි ය. ඇතැම් විට ඔවුන් දිය වී ගොස් යළිත් ඔවුන් වී නිර්මාණය වූවා විය හැක. ඔවුන් ගේ ඇස් වලට තෙතමනය ද හදවතට ප්‍රේමයේ බර ද දැනෙන්නට විය.
පාරින්දි ඒ අතරේ තමන්ව ශල්‍ය යහනක සතපවා සැත් කටු අඬු පිහි ගෙන සිය ආත්මය කපා කොටා විශ්ලේෂණය කරමින් සිටියා ය. අන්තරා ට ඇය බෙහෙවින් ආදරේ ය. යුගාත්ම කියා කෙනෙකු එදා ඔවුන් ට හමු නොවූවා නම් මේ තරම් හෝ කිළිටක් ඇගේ හිත්හි ඇති නොවන්නට තිබිණි. අන්තරා වෙනුවෙන් පණ වුණත් දෙන්නට ඇයට හැකි බව පාරින්දි ට දැනේ. නමුත් මේ යුගාත්ම කෙනෙකු හරස් වූයේ ඇයි?
ඔහු ගේ පිරිමිකම් කෙරේ ඇගේ හිත ඇදෙනා බැඳෙනා එක සිය වරදක් නොවන බව පාරින්දි දනී. නමුත් ඇරඹුමෙහි සිට ම යුගාත්ම උනන්දු වූයේ අන්තරා කෙරේ බව ද ඇය දනී. මුලින් ම ඇය ළඟ දැනුණු සුවඳ කෙරේ ය. සොබා දහම ඔවුන් දෙදෙනා ම සුවඳ ට පෙම් කරනා අය ලෙස මුණගැස්වූයේ සැලසුමක් මත දැයි ඇය සිතයි. දැන හෝ නො දැන ඇය ද සුවඳ ක්ශේත්‍රයට ම පිවිසියා ය.
අන්තරා අවංක ය. අව්‍යාජ ය. ඇගේ ඇස් පිය පවා ඊට සාක්ෂි දරයි. ඈ පාරින්දි කෙරේ දක්වන මිත්‍රත්වය ද හෘදයාංගම ය. වෙනත් ඕනෑ ම දෙයක් දෙවරක් නො සිතා අන්තරා වෙත ලබා දෙන්නට හිත හදාගත හැකි ය. නමුත් යුගාත්ම සම්බන්ධයෙන් පාරින්දි ගේ හිත සැලේ. අන්තරා යුගාත්ම දෙසට වැරදි බැල්මක් හෝ නො හෙළන බව ඇයට සහතික ය. ඇය ඔහු ව පිළිගෙන ඇත්තේ හදවතින් ම මිතුරෙකු ලෙස වන්නට ද පිළිවන. නමුත් යුගාත්ම ගේ පැත්ත ගැන තවමත් ඇයට පැහැදිලි චිත්‍රයක් නොවේ. ඔහු අන්තරා ගැන උමතුවක හිඳින්නේ ද? විහිළුවට හෝ පාරින්දි ගේ පෙම්වතා වන්නට ඔහු කෙතරම් අකමැති වූයේ ද කියා එදා පැහැදිලිව ම පෙන්වූයේ ය. නමුත් ඔවුන් දෙදෙනා අතරේ කල් ගත වෙත්දී හෝ එවන් හැඟීමක් ඇති විය නො හැකි ද?
අන්තරා තවත් කාලයක් සිය මිතුරියක වෙනවාට පාරින්දි කැමති ය. නමුත් ඇය යුගාත්ම වෙනුවෙන් තරග බිමට පිවිසියහොත් වටින්නේ ඒ මිත්‍රත්වය ද? මිත්‍රද්‍රෝහී නොවී ඊට පෙර ඇය සිය සතුරා ගේ තැනට මාරු කළ යුතු ද? එහෙම හිතත්දී පාරින්දි ගේ හිත හිරිවැටේ. ඇය අන්තරා ට තරමට මීට පෙර කිසිදු යෙහෙළියකට ආදරය කොට නැත!
චිත්‍රපටය අවසාන වූ ගමන්, ඒ හැඟීම් වල බරත් එක්ක ම යුගාත්ම හා පාරින්දි නික්ම යාමට සූදානම් වූහ. සැබවින් යාමේ උවමනාවක් තිබුණේ යුගාත්මට වැඩියෙන් පාරින්දිට ය. කෙසේ වෙතත් යා යුතුව තිබිණ.
“පාරිත් එනෝ නේ නුවර යන්න…”
ඔවුන් සමුගන්නට හදත්දී අන්තරා විමසුවා ය. පාරින්දි ඇයව වැළඳගත්තා ය. ඒ වැළඳගැනීම තත්පර කිහිපයක් දිගු වූ දැඩි එකකි.
“ඔයා වෙනුවෙන් අපායට වුණත් එනව සුදූ”
අන්තරා ව මුදාහරින්නට පෙර ඇය මිමිණුවා ය.