“ඔය ළමයගෙ නම හෙම මක්කද කිව්වෙ?”
බුලත් විඩේ හපන ගමන්, කට දෙපැත්තට ඇඟිලි දෙකක් තියල පුටුව අද්දර තිබිච්ච පඩික්කමට බුලත් කෙල පාරක් විදපු තාත්තා එහෙම ඇහුවෙ එයැයිගෙන්.
මෙච්චර කාලෙකට අම්මල හොයල දුන්නු කා හරි සිරිත් විරිත් සලකල මාව බලන්න මනමාලයෙක් ආහම බුලත් හෙප්පු, තේ මේස ලෑස්ති කොරාට මොකෝ මං හොයාගත්ත මනමාලය එද්දිනං එහෙම සිරිත් විරිත් කොරන්න අපෙ අම්මට උවමනාවක් තිබ්බෙ නෑ.
මං මැහුං කාමරේට වෙලා එයැයි දිහාව බලාගෙනයි කතාව අහගෙනයි උන්නෙ අර එහෙම අම්මල තාත්තල එක්කල එයැයි දොඩද්දි මට ඉස්සරහට ගොහිල්ල පේන්න කොකම් පාන්න බැරි හන්දා.
මං කාමරේ අස්සට වෙලා උන්නට මොකෝ අපෙ නංගි නං සාලෙ ඉඳගෙනම ඒ කතාබහට හොටයි මූණයි දාං උන්නෙ.
බාගදා එයැයිට ඉරිසියාද මන්දා හිච්චි මහත්තයට වඩා රූප ලස්සන තියෙන මනුස්සයෙක් එක්කල මට පෑහෙන්න ඇහැක් වෙච්ච එක ගැන. වෙනදටත් වඩා අපූරුවට එයැයි අද ඇඳ පැලඳල ඇවිත් උන්නෙ මයි හිතේ මගුල් ගෙදරකට යන්නැහේ.
දුඹුරු පාට කලිසමට, සුදු කමිසෙ යට කොරල ආව එයැයි පන්සලේ කවි මඩුවෙ කවි කියෙව්ව හාදයවත්, ගැරෑජියක වැඩ කොරන හාදයෙක්වත් කියල නෙවි මට නං හිතුනෙ.
නලුවෙක් හේ.
එයැයිගෙ රූප ලස්සන හන්දා, මගෙ එහෙමකට ලස්සනක් නැති හන්දා එයැයි මේ කොරන්නෙ මක්කහරි බොරුවක් ය කියල හිතිවිල්ලක් හිතේ තිබ්බට මොකෝ එහෙම බොරුවක් කොරනවනං එයැයිට මේ තකහනියෙ පණිවිඩේ යවපු ඉස්මනට මෙහෙ එන්න කාරණාවක් නැති විත්තිය තේරිච්ච හන්දා අර කළින් තිබ්බ හිතිවිල්ල ඩිංග ඩිංග හේදිලා යනව කියල තමා මට නං හිතුනෙ.
මෙලෝ ලස්සනක් නැති මං වගේ ගෑණියෙක්ව කාර බැඳගන්න එන්න එයැයි තරං ලස්සන මනුස්සයෙක්ට ආදරේ ඇරෙන්න වෙන මක්කවත් කාරණාවක් තියෙන්න විදිහක් නෑ නෙව.
“අරවින්ද”
“වාසගං හෙම කොහොමද යන්නෙ”
“වීරක්කොඩි, පෙළපත් නාමෙ යන්නෙ වීරක්කොඩි මුදලිගේ කියල”
එයැයි එහෙම කිව්වයින් පස්සෙ නං අම්මයි තාත්තයි මූණ නොරොක් කොරගෙන මූණට මූණ බලාගත්තෙ නං එච්චර හොඳකට නෙවි කියලයි මට හිතුනෙ.
“මූද පැත්තෙ වෙන්නැති ගෙවල් මයි හිතේ” කියල අපෙ අම්ම නාහෙ වහන් කිව්වෙ හරියට පිලී ගඳ මේ දැන් දැන් දැනෙනව හේ
“මීගමුවෙ ගෙවල්”
“තාත්තා මක්කද කොරන්නෙ?”
“තාත්තා මූදු යනවා. මාලු බෝට්ටු දෙකක් තියෙනව. මීගමුවෙ වීරක්කොඩි මුදලාලි කිව්වම හැමෝම දන්නව”
එයැයි හිනාවෙලා කිව්වට මොකෝ අපෙ අම්මලගෙනං මූණුවල හිනාවක් තියා මක්කවත් හැඟීමක් ගෑවිලාවත් තිබ්බෙ නැති ගාණයි.
අම්මල උන්නෙ හරියකට මේ ලෝකෙ නෙවි හේ. වෙනද නං මනමාලයෙක් ආහම අම්මල තාත්තල ඒ කාන්ඩෙ එක්කල අව්ව ගැනයි වැස්ස ගැනයි දොඩන්නෙ හරියට උපන්දා ඉඳල උන්දැව දන්නව හේ උනාට මේ ඇත්ත ගැනනං මක්කවත් හිත් හොඳක් තිබ්බෙ නැති විත්තිය මට හොඳාකාරවම තේරුණා.
“දැන් ඔය ලමයා මක්කද කොරන්නෙ? කවි මඩුවල කවි කියෝ කියෝ යන එක ඉතින් ගෑණියෙක්ට හරිහමනැක්කෙ කන්න අඳින්න දෙන්න ඇහැක් රස්සාවක් නෙවිනෙ ලමයො” කියල තාත්තා දෙඩුවමනං මට ඉස්සරහට ගොහිල්ල කියන්නම හිතුනා එයැයි ගැරෑජියක වැඩ කොරන විත්තිය. ඔහොම පාච්චල් කොරන එක හරිද මං අහන්නෙ අම්ම අප්ප උනත් ගෙදරට ආ මනුස්සයෙක්ව?
ඒ බව දැනගෙන හේ තමා මයි හිතේ එයැයි හීන් හිනාවක් මූනෙ තියාන තාත්තට උත්තර දුන්නෙ.
“මේ කවි මඩුව කොරන්නෙ මගෙ යාලුවෙක්. ඒ හන්දා ආව මිසක්ක මං කවි කියන එක නෙවෙයි කරන්නෙ. ඔරුගොඩවත්තෙ පීරිස් ගරාජියෙ තමයි මං වැඩ කොරන්නෙ. මුලින් තාත්තගෙ මාලු බිස්නොස් බලාගෙන උන්නට මට හිත දුන්නෙ නෑ දිගටම ඒක කොරන්න. ඉන්පස්සෙ තමා ගැරෑජියෙ වැඩ ඉගෙනගන්න කොලඹ ආවෙ. දැන් එතන අවුරුදු දෙකහමාරක් වෙනව ඇවිත්”
“පවුල් බරක් හෙම තියෙනවද?”
“නංගිල දෙන්නෙක් ඉන්නව. ඒත් එහෙම බරක් කියල දෙයක් නං නෑ. තාත්ත දන්න කාලෙ ඉඳම කරේ මාලු බිස්නොස් තමයි. ඒකෙන් හම්බ කරපු ඉතින් මගෙයි නංගිලගෙයි පාස් පොත්වල තමයි දාලා තියෙන්නෙ. මං හමබකරගන්න එකක් ඉතින් මට තමයි” කියල එයැයි වැඩිමනත් කියන්නැත්තෙ අපෙ තාත්තල ඒ විත්තිය ගැනත් සලකල බලයි කියල හිතල වෙන්නැති.
“ඔය ලමය දැන් මේ අපේ ලමය එක්කල ඇයි හොඳයි කියන්නෙ හැබෑවටම මනාප හන්දද එහෙම නැත්තං මේ කාලෙ ඇරගන්නද?” කියල තාත්තා ඇහැව්ව එක හරිද වැරදිද කියන පුරස්නෙට වඩා මට දැනගන්න ඕන උනේ එයැයි ඒ පුරස්නෙට දෙන උත්තරේ මක්කද කියන එක.
බාගදා මං මොනතරං හීන හිතෙන් හිතුවත් එයැයි මේ කොරන්නෙ කාලෙ ඇරගන්න එකක් නං? අර කිව්ව වගේම ආදරේ කියන්නෙ අමාරුවෙන් යන්න වෙන පාරක්ද?
හිතෙන් මොනතරං ආදරේ කොරත් ඒ හිතම ඒ ආදරේ ගැනම ආය ආය පුරස්න කොරන්නෙ මක්කටද?
“ප්‍යාර් හුආ ඉකරාර් හුආ හේ – ප්‍යාර් සෙ පිර් ක්‍යුන් ඩර්තා හේ දිල්
කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් – මාලූම් නහී කහාන් හේ මන්සිල්”
-උදතාරී-