“මං හැබෑවටම හිතුවෙ නෑ ලාලනී ඔයාලා තාම ඔය කුල මල ගැන හිතනව ඇති කියල”
එයැයි කතා කොරේ බෝම විස්සෝපෙන්. අපි උන්නෙ ගම්මුන්ට පේන කොරන තැනක නොවිලත් වෙනද හේ ලං නොවී ඩිංගක් ඈතට වෙලා එයැයි දෙඩුවෙ එවෙලෙ පරිසරේ තිබිච්ච හිරිස්මෙ හන්දද එහෙම නැත්ත පිච්චිච්ච හිත හන්දද මන්දා.
“අපෙ ගෙදර උදවිය ඔයැයිට එහෙම දොඩපු එක ගැන මං නොසෑහෙන්න විස්සෝප වෙනවා. මං හිතුවෙවත් නෑ එයැයිල එහෙම දෙයක් දොඩාවිය කියල”
“හෙදර අය කුලමල හොයනව කියල ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ?”
එයැයි මං ඉස්සරහෛන් තිබ්බෙ එයැයි මගෙන් අහවිය කියල හිතකවත් තිබ්බෙ නැති පුරස්නයක්. මමත් හිතාන උන්නෙ අපෙ අම්මල බලාන ඉන්නෙ මාව කාගෙහරි ඇඟේ ගහන්නය කියල එයැයිට කියන්න හිතුණත් මට දැනුනෙ මං ගොලුවෙලා හේ. එයැයිගෙ හිතේ එයැයිට විඳින්න වෙච්ච ලැජ්ජාව ගැන වේදනාවක්, විස්සෝපයක්, මාත් එක්ක අමනාපයක් හිතේ තියෙන විත්තිය එයැයිගෙ මූනෙන්, කතාබහෙන්, කට හඬෙන් හොඳාකාරවම අඳුරගන්න ඇහැකි.
ඒත් මං ඒ පුරස්නෙට දෙන උත්තරේ මක්කද?
මං එහෙම වෙයි කියල හිතුවෙ නැතෙයි කියන්නද? මං එහෙම එව්ව ගැන හිතන්න එපාය. නොහිත නොබල එහෙම එයැයිට එන්නය කියල අපෙ ගෙදර, ආවයින් පස්සෙ අපෙ ගෙදර උදවිය මෙහෙම අපහාස උපහාස කොරාවිය කියල මට හිතන්න තිබුන නෙව. එයැයි මෙහෙම අමනාපෙන් ඉන්න එක එහෙම බලද්දි වැරැද්දක් නෑ නෙව.
ඒත්…ඒත් ඇත්තටම උනේ මං අපෙ අම්මල බලාන ඉන්නෙ මාව කාටහරි කාර බන්දල දෙන්නය කියාලා හිතං උන්නු එකනෙ. ඒත් ඒ කාරණාව කියල එයැයිගෙ හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව, විස්සෝපෙ, අමනාපෙ අහක් කොරල දාන්න ඇහැකිද?
ජීවිතේ පලවෙනි වතාවට, මගෙ හිත ගත්ත මනුස්සයෙක් හන්දා ඇස්වලින් දොඹගෙඩි තරමෙ කඳුලු කැට වැක්කෙරෙද්දි තමයි මට තේරුණේ ආදරේට මී පැණි තරමෙ රහ පැත්තක් හේම තිත්තම තිත්ත පැත්තකුත් තියෙන විත්තිය.
වෙනදවසක උනානං බාගදා එයැයි මගෙ කඳුලු පිහදාන්න තිබ්බය කියල මට හිතුනා. ඒත් අද මට දැනුනෙ අපි මින් පෙර කවරදාකවත් මුලිච්චි වෙලා නැතිය කියල. ඒතරං නිස්සද්දයක් එක්ක දුරක් තමයි එයයි මායි අතර තිබ්බෙ.
“මට හරියට හිත රිදුණා ලාලිනී. අපි එහෙම පහතට ඇදල දාල කතා කරන්න ඕන මිනිස්සු නෙවි. ආගං, කුලමල වලින් මිනිස්සුන්ව මනින කාලයක්ද මේක?”
එයැයි ආපහු දොඩන්න පටන් ගත්තෙ මං දිහාව නිකමටවත් නොබල. දවාලෙ ගිරිස්මෙ ඔලුව උඩට පත බෑවිලා තිබ්බට ඒ වගක්වත් අපිට නොතිබ්බෙ අපෙ හිත්වල තිබිච්ච ගින්න හන්ද වෙන්නැති.
අවට තිබිච්ච ගස් කොලං හෙමත් මැලවිල තිබ්බෙ අපෙ හිත්වල තිබිච්ච ගින්නට අහුවෙල කියලයි මට හිතුණෙ
“ඔයාලාගෙ ගෙවල්වල මිනිස්සු මාලු කනව නේද? කන්න හොඳනං ඇයි මාලු අල්ලන මිනිස්සු ආස්‍රය කරන්න නොහොඳ වෙන්නෙ?”
මක්කවත් නොකිය හයියෙන් හුස්ම අතෑර අතෑර උන්නු මං දිහාවත් නොබල එයැයි අව්වෙන් වැහිච්ච ගම දිහාව බලාන එහෙම කිව්වෙ.
ඒ මක්කටවත් කියන්න කිසිම දෙයක් මං ගාව තිබ්බෙ නෑ. එව්වට කියන්නෝන උත්තර තිබ්බෙ කොහෙද කියන්නවත් මං දන්නෙ නෑ.
බාගදා මක්කවත් නොකිය උන්නු මගේ නිස්සද්දෙන් අම්මල තාත්තල කියන එව්වට මං ඔලුව නවන්නැති කියල එයයි හිතන්නැති.
“අපි අනිද්දට යනව ලාලනී. සමහරවිට මේක වෙන්නැති අපේ ලැබීම. සමහර මිනිස්සු ඉන්නව. ටික කාලෙකට හම්බෙනව. සන්තෝසෙන් ඉන්නව. ඊට පස්සෙ දරාගන්න බැරි හිත් වේදනාවක් හිතේ තියාගෙන වෙන්වෙනවා.අපිත් එහෙම වෙන්නැති”
මං දිහාව නොබල, ආපස්සට හැරිල එයැයි යන්න ගියා.
ආපස්සට හැරිල අතීතෙට යන්න ඇහැක් නං මේ හිත් වේදනා, විස්සෝප ඔක්කෝම අහවර කොරලා ආයෙම මගෙ පුරුදු නිස්කලංක, ඇල්මැරිච්ච ජීවිතේට මට යන්න තිබුණා
අම්මල හොයල දෙන අම්මලගෙ හිතට හරියන කා එක්කහරි දීග යන්න තිබ්බා.
ඒත් නොසෑහෙන්න ලංවෙච්ච, හඳපානක් හේ සිහිලසක් දුන්නු අරවින්දව අමතක කොරල මට එහෙම යන්න ඇහැකිද?
ආදරේ කොරන්න පටන් ගත්තට, ඒ ආදරේ පිළිගත්තට හිත තාමත් ගැහෙන්නෙ, ඒ තෝරගත්ත පාර අමාරු හන්ද බව, ඒ පාරෙ කෙලවර මේ වගේ විස්සෝපෙකින් අහවර වෙන විත්තිය එයැයි දැන උන්නු හන්දද?
“කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් – මාලූම් නහී කහාන් හේ මන්සිල්”
-උදතාරී-