ඉසිනි එදිනද නිවාඩු අවශ්‍ය බව පවසා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට පණිවිඩයක් තැබුවාය. මෙතෙක් වෙලා ඕ උන්නේ සමාජය ඉදිරියට යෑමේ බියෙනි. එහෙත් දැන් ඇයට වඩා විශ්වසනීය සවිමත් බවක් ලැබි ඇත. මිනිසුන් කුමක් පැවසුවද තම නිවැරදි බව වෙනුවෙන් තම අභ්‍යන්තරය හා සටන් නොවැදී සැඟවීමේ බියඟුලුකම තමා නොකරමියි ඕ සිතාගත්තාය. නුරාන් මතට මේ කඩා වැටී ඇත්තේ සුලු පටු කරදරයක් නොවන වග ඇයට වැටහෙයි. නුරාන් තනි කර ධනුක වත්සලාගේ පසින් සිට ගැනීම නුරාන්ට දැනෙන්නේ කෙලෙසින්ද කියාද ඇයට වැටහෙයි. තමාගේම බව සිතා උන් මිනිසුන්ගේ ද්‍රෝහි වීම දරාගැනීම කිසිලෙසකින්වත් පහසු අත්දැකීමක් නොවන බවද වැටහෙයි. නුරාන් දැන් සිටින්නේ ඒ සිදුවූ දෙය දරා ගැනීමට වඩා තමාගේ යැයි උන් මිනිසුන්ගේ ද්‍රෝහි වීම දරා ගන්නට නොහැකිව බවද ඇයට වැටහෙයි.
කුමක් සිදු කරන්නත්, නුරාන් සිටින්නේ කොහිදැයි සොයා ගත යුතුය. ලෝකයම ඔහුට එරෙහිව නැඟී ආවත් තමා ඔහු සමඟ සිටින බව ඔහුට පැවසිය යුතුය. ඉතා මෘ දුව අරඹා දැඩිව ඔහු සිපගෙන වැලඳගත යුතුය.
ඉසිනි ඔවුන් මිලදී ගැනීම් සිදු කරන්නට නියමිතව තිබූ අවන්හල් පරිශ්‍රය වෙත ගියාය. එහෙත් නුරාන් එහි පැමිණි සලකුනක්වත් තිබුනේ නැත. ඉන් ඇගේ සිත තුල ඔබා මතුවන්නට ඉඩ නොදෙමින් තිබූ බියපත් හැඟීම මතු වූයේය.
ඕ සිතා උන්නේ නුරාන් මෙහි ඇති බවය. තමා සියල්ල අත් හැර දැමූ මොහොතේ මෙහි පැමිණි සෙයියාවෙන්ම නුරාන්ද මෙහි පැමිණෙන්නට ඇති බවය. එහෙත්, යම් පැටලීමක හැඟීමක් දැනෙන්නේය. ඔහු වෙන ඛෙක ගියාදැයි සිතාගන්නටවත් නොහැක.
ඉසිනි මෝටර් රිය හරවාගත්තාය. දහවල් දොලහද පසුවී ඇත. යළි නුරාන්ගේ නිවසටම යෑම හැරෙන්නට අන් විකල්පයක් නැත.
” නුරාන් එහෙත් නෑ.. මම හිතාගෙන හිටියේ එයා එහෙ කියලා…”
ඕ සියලු දෙනාටම ඇසෙන සේ කීවාය. පැහැසරා ඉසිනි වෙත ඇවිද ආවාය.
” මල්ලි එයි මිස් .. එයාගේ යාලුවෝ ඉන්නවා නේ එහෙ මෙහෙ .තව ටිකක් බලලා අපි පොලිසියට කියමු බලන්න.. දන්න දන්න යාලුවොන්ට කතා කර කර අපි බලන ගමන් ඉන්නේ……”
” මට බයයි …”
ඉසිනි පිරිස අතර තම ස්වභාවය සඟවා නොගන්නට උත්සාහ කලාය. නුරාන්ගේ මව ඉතා ගැඹුරු සුසුමක් හෙලුවාය. ඇයගේ සිතටද ඒ බයම දැනෙන්නේය.
එක්වරම වාහනයක් ගේට්ටුවෙන් ඇතුලු විය. සියලු දෙනාම ඉදිරිපසට දිව ගියේ ඒ නුරාන්ගේ කැබ් රියේ හඬ නොවන බව දැන දැනමය. පැමින ඇති ජිප් රිය කුමක්දැයි හඳුනාගත් පස් දෙනාගේම හුස්ම මොහොතකට හිර විය.
” නුරාන් මන්දිනු සමරකෝන්ගේ ගෙදරද ?…”
පොලිස් නිළධාරියා විමසද්දී නුරාන්ගේ පියා අඩි කිහිපයක් ඉදිරියට ඇවිද ගියේය.
” ඔව් සර් .. මෙහෙ .. මගේ පොඩි පුතා…”
” කලබල වෙන්න දෙයක් නෑ .. ඒ මහත්තයාගේ කැබ් එක පොඩි අනතුරකට මුහුණ දිලා කියලා අපිට සියබලාණ්ඩුව පොලිසියෙන් දැනුම් දීලා තියෙනවා.. මේ වෙනකොට රෝගියාව වැල්ලවාය රෝහලට මාරු කරලා, එතනින් හම්බන්තොට රෝහලට මාරු කරන බව කිව්වා… මේ වැල්ලවාය රෝහල් පොලිසියේ අංකේ.. මේකට කතා කරලා වැඩි විස්තර දැනගන්න …”
ඉසිනි බිත්තිය අල්ලා ගත්තාය. එලෙස නම් බියෙන් උන් යමක් සිදුව ඇත. ඔහු කෙතරම් කල්පනාකාරීව රිය පදවන්නෙක් වුවද, ගෙවුණු රය ඔහුට කල්පනාවන් සමඟ සිටින්නට නොහැකි වන්නට ඇත.
ඉසිනිට නුරාන්ගේ මවගේ හැඬුම් හඬ ඇසුණි. ධනුක නිළධාරීන් සමඟ යම් කතාබහක නියැලෙන බව පෙනුණි. තමා අඩපනව , සිහි විසඟව යන්නට තනන බවද දැනුණි. ඉසිනි දෑස් පියා ගත්තාය. මෙවෙලෙහි සියල් බර තම කර මතට ගත යුතුය යන ශක්තිය ආවේ ඒ අඳුරු තත්පරයේය. ඕ දෑස් විවර කලාය.
ඉසිනි පැහැසරාගේ අතින් අල් ගත්තාය.
” යමු….”
ඕ කීවේ එපමනකි.
පැය භාගයක් තුළ පිරිස වැල්ලවාය බලා පිටත්ව යන්නට සූදානම් වූහ. ඉසිනි මෝට රිය වෙත ඇවිද ගියාය.
” ඒඩී මිස් … මේකෙම යමු..”
ධනුක මිතුරෙකුගේ වෑන් රියක් ගෙන්වාගෙන තිබුණි.
පැහැසරා කීවාය. ඉසිනි හිස සැලුවාය. ධනුක සමඟ එක මඟ යන්නට නොහැකි බවක් දැනෙන්නේය.
” කමක් නෑ .. මම එන්නම්…”
” මෙවෙලේ තව එක්කෙනෙක්ට සාත්තු කරන්න කවුරුත් නෑ ඒඩී මිස්.. පාරවල හුරු නැතුව , හිතේ තෝන්තුවෙන් මෙවෙලේ කාර් එක ගෙනියන එක සේෆ් නෑ.. හිතුවක්කාර වෙන්න එපා…! “
ධනුක උස් හඬින් කීවේය. ඉසිනි එය නෑසුනා සේ මෝටර් රියේ දොර විවෘත කලාය.
” මං ධනුක මහත්තයලාගේ වගකීමක් නෙවෙයි නේ.. ඒ නිසා මං ගැන කරදර වෙන්න එපා… වත්සලාව නේ නුරාන්ට බන්දන්න සැලැස්ම තිබුණේ… අන්න එයාව නග්ගගන්න ගිහින්…”
ධනුක උන් නොසන්සුන්කම නිසාම තවත් ඉවසුවේ නැත. ඔහු ඉසිනි වෙත ඇවිද ගියේය. ඇගේ උඩු බාහුවෙන් අල්ලාගෙන රිදෙන්නටම ඇය වෑන් රිය වෙත ඇදගෙන ආවේය.ඉන් පසුව බලෙන්ම ඇයව වෑන් රියට නැංවූයේය
” ඔෆිස් එක නෙවෙයි කියන එක අහලා කරබාගන්න…. ඔය හිතුවක්කාරකම් මාත් එක්ක තියාගන්න එපා ඉසිනි… “
” ඔයා නුරාන්ගේ ඔලුව කෑවා.. එයා ඒ නිසයි පිස්සුවෙන් එලියට ගියේ…! “
ඉසිනිද කඩා පැන්නාය.
” මං උගේ ජීවිතේ වෙනුවෙන් ඒ කෑ ගැහුවේ.. ඒක නොතේරෙන්න පොඩි එකෙක්නෙවෙයිනේ ඉසිනි… වත්සලා පොලිසි ගියොත්, එහෙම නැත්නම් ඒකි ඔය ඔක්කොම ලියලා තියලා එල්ලිලා මලොත්, එහෙමත් නැත්නම් ගමේ උන් මේවා දැනගෙන මල්ලිව නැත්තටන නැති කලොත් කියන බය විතරයි මට තිබුණේ..”
“එහෙම වෙන්න නුරාන් ඒ කෙල්ල එක්ක ඔය කියන මඟුල කරලා තියෙන්න එපැයි ධනුක මහත්තයා…”
“නිකං බබා කතන්දර කියන්නෙපා ඒඩී මිස්.. මොන සුරංගනා කතාද මේ . ඒ වීඩියො එක නොදැක්කා නෙවෙයි නේ….”
නුරාන්ගේ පියා දෙදෙනාටම බැණ වැදුනේය. සිදු විය යුත්තක් සොයා බලා කල නොහැකි නම් නිවසට වී සිටින්නයැයි කීවේය.
ධනුක වෑන් රියේ රියැදුරු අසුනට යාබද අසුනේ හිඳ ගත්තේ මෝටර් රිය අඟුලු දමා යළි එමිනි. නුරාධ්‍යා උන්නේ වෙහෙසිනි. පසුදින රැයේද ඇයට හරි හමන් නින්දක් ලැබී තිබුණේ නැත. එනිසාම ගමන අරඹන්නටත් පෙර ඕ උන්නේ නින්දකය.
ඉසිනි කවුලුවෙන් පිටත බැලුවාය.
” මගේ නුරාන්ව පරෙස්සම්මට බලාගන්න දෙයියනේ මම එනකල්… කිසිම බරපතල තත්වේකට කොල්ලාව ඇදලා දාන්න ණම එපා… මම කරපු කුසලයක් කොහේ හරි විශ්වයේ තැනක තියෙනවා නම්, ඒ ඔක්කොම නුරාන් ට අනුමෝදන් වෙලා සුව වෙලා ඇස් ඇරන් බලාගෙන ඉන්න අපි යනකොට…”
ඉසිනි සිතින් බාර වූවාය. දැන් නුරාන්ගේ ජීවිතය අතැර යන්නට නොහැකි බව ඇයට දැනෙන්නේය. හුස්ම පිඹ රැක ගන් මිසෙක, අත් හැර සැඟවෙන්නට හැකි ප්‍රේමයක් දැන් ඇය දන්නේ නැත.