ආදර කතාවක් ඇඟ කිළිපොලා යන එකක් වෙන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් ආදර කතාවක් කිව්වම අපිට මතක් වෙන හරි ලස්සන, ආස හිතෙන දේවල්නෙ. ආදරේ කියන්නෙ ඕනම කෙනෙක්ගෙ හිතට සතුටත්, සැනසීමත් ලඟා කරවන්න හේතුවෙන දෙයක්. ඉඳලා හිටලා ඔය ආදරේ කරන මිනිස්සු අතරෙ වෙන ප්‍රශ්න නිසා විරහව වගේ දේවල් ඇතිවෙලා දුක්බර සිතුවිලි පහල උනාට ආදරය කියන දේ කවදාවත් ඇඟ කිලිපොලා යන අත්දැකීමකට හේතුවෙන්න පුලුවන් දෙයක් කියලා අපි හිතන්නෙ නෑ.
හැබැයි අද අපි කියන්න යන්නෙ ඇත්තටම කිලිපොලා යන විදියෙ ආදර කතාවක් ගැන. ඊයෙ පෙරේදා වෙච්ච දෙයක් නෙවෙයි. මීට අවුරුදු බර ගානකට කලින් 17 වන සියවසේ වෙච්ච එකක් ගැන. හැබැයි මේ කතාව එදා අහපු මිනිස්සුන්ට ඇතිවෙච්ච ඇඟ කිලිපොලා යන හැඟීමම අද මේ ලිපිය කියවන ඔයාලටත් ඇතිවෙන්න පුලුවන් කියලා අපි හිතනවා.
අපි එක එක අයට එක එක විදියෙ විනෝදාංශ තියෙනවා. මේ ආදර කතාවත් අන්න ඒ වගේ විනෝදාංශයක් මුල් කරගත්ත එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේ ආදර කතාව කියලා.
කාල් වොන් කොසෙල් කියන්නෙ ජර්මන් ජාතික කොල්ලෙක්. මෙයා ටිකක් විතර අමුතු පහේ කොලෙක්. මොකද මෙයා ඉස්සර කියනවා මෙයාගෙ මැරිච්ච මුතුන් මිත්තො එහෙම මෙයාව නිතරම බලන්න එනවා, හීනෙන් ඇවිල්ල එක එක ඒවා කියනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ කාල් කාලයක් තිස්සෙ කියලා තියෙනව එයාගෙ සංසාරගත ප්‍රේමවන්තියගෙ මූණ එයා හීනෙන් වගේ දකිනවා කියලා. ඒ ප්‍රේමවන්තියට තිබිලා තියෙන්නෙ කලු හිසකෙස් වගේම විදේශීය කාන්තාවකගෙ මූණුවරක්.ඔන්න ඔය වගේ කතන්දර කීපයක් එක්ක කාලෙ ගෙවිලා යනවා.
කාල් ටික ටික ලොකුවෙනවා. මේ කියන්නෙ 1930 ගණන්වල කාලෙ. මේ කාලෙ කාල් වැඩකරන්නෙ ෆ්ලොරිඩාවේ කී වෙස්ට් හි වෛද්‍යවරයෙක් විදියට. දවසක් මේ ඉස්පිරිතාලෙට මාරියා එලේනා මිලාග්‍රෝ ඩි හොයෝස් කියන කියුබානු-ඇමරිකානු කාන්තාවක් එනවා. මේ කාන්තාව දැක්ක ගමන් කාල් අඳුරගන්නවා මේ තමයි අර එයාගෙ මුතුන් මිත්තො ඇවිල්ලා කිව්ව සංසාරගත ප්‍රේමවන්තිය කියලා. හැබැයි මේ හිත ඇතුලෙ තිබිච්ච සංසාරගත ආදරේ කාල්ගෙ පැත්තෙන් “I love you” කියලා එලියට දාන්න කලින් එලේනා කියනවා “මට ක්ශය රෝගය” තියෙනවා කියලා.
ඔයාලා හිතන්නෙ ඒ කතාව ඇහුවට පස්සෙ කාල් තමන්ගෙ ආදරේ හංගගනීවි කියලද? ම්ම් නෑ එහෙම වෙන්නෙ නම් නෑ.
කාල් විශ්වාස කරනවා වෛද්‍ය විද්‍යාවෙ තියෙන මොකක් හරිම දෙයක් උපයෝගී කරගෙන තමන්ට එලේනාව සනීප කරගන්න පුලුවන් වෙනවා කියලා.එයා එක එක යන්ත්‍ර උපකරණ, බෙහෙත් එහෙම ගෙනල්ලා එලේනාව සනීප කරන්න බලනවා. ඒ අතරෙම කාල් එලේනට ඇඳුම් පැලඳුම්, රත්තරන් බඩු එහෙම ගෙනත් දීලා තමන්ගෙ ආදරයත් ප්‍රකාශ කරනවා.
හැබැයි කොච්චර කරත් කාල්ට පුලුවන් වෙන්නෙ නෑ එලේනාව බේරගන්න. ඒ වෙනුවට අවුරුදු 22දි එලේනා ක්ශය රෝගය නිසාවෙන් මරණයට පත්වෙනවා. මේ වෙද්දි කාල්ට වයස අවුරුදු පනහක් වගේ. කාල්ට මේ වියෝව දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ. කාල් එලේනාගෙ පවුලෙ අයට කතාකරනවා. කතාකරලා එයාලගෙ පවුලෙ අයගෙ approval එකත් අරගෙන එයා එලේනා වෙනුවෙන් death mask එකක් හදනවා. ඒ වගේම අවමංගල්‍ය වෙනුවෙන් ඕන කරන සල්ලි ගෙවලා වෙස්ට් සුසාන භූමියේ ඉහළ කොටසේ එලේනා වෙනුවෙන් සොහොන් බිමක් හදනවා. දිරාපත්වීම වැළැක්වීම සඳහා ෆෝමල්ඩිහයිඩ් පිරවූ ඉන්කියුබේටර් ටැංකියක් සහිත වාතය රහිත පෙට්ටියක් එලේනා වෙනුවෙන් හදවනවා. මේ ඔක්කොම කරලා මනුස්සයා නතර වෙන්නෙ නෑ. ඒ වෙනුවට හැම රෑකම එලේනාව හම්බුවෙන්න කියලා මේ සොහොන් ගේ දිහාවට යනවා. කාල් කියන්නෙ එතනදි එයාට හැමදාම එලේනාගෙ ආත්මය හමුවෙනවා කියලා.
මේ ටික අමුතුයි කියලා හිතෙනවනම් ඔන්න ඊට වඩා අමුතු කතන්දර තමා ඉස්සරහට අහන්න වෙන්නෙ.
1933 දී එක් රාත්‍රියක, එලේනාගේ මරණයෙන් වසර දෙකකට පස්සෙ දවසක කාල් මේ සොහොන් බිමට යනවා. තනියම නෙවෙයි රෝද හයිකරපු සෙල්ලම් කරත්තයක් එක්ක. සොහොන් ගෙට ඇතුලු වෙන කාල් එලේනාගෙ සිරුර එලියට ගන්නවා. ඊටපස්සෙ අර සෙල්ලම් කරත්තෙ උඩ තියාගෙන මල සිරුර අරගෙන එනවා. මේ වෙද්දි එලේනාගෙ සිරුර පොඩ්ඩ පොඩ්ඩ කෑලි වලට වෙන් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කාල් මොකද කරන්නෙ piano strings වගෙ දේවල් use කරලා ඒ ශරීරය එකට අමුණලා තියාගන්නවා. එයාගේ මූණට වීදුරු ඇස් දානවා, එයාගේ දිරාපත් වෙන සම වෙනුවට ඉටිවලින් පොඟවා ගත්ත සිල්ක් රෙද්දක් දානවා, ඇඟට වහන පණුවො අයින් කරනවා, ගඳ නැතිකරන්න සහ කුණුවෙන එක නවත්තන්න සුවඳ විලවුන් සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය ඉහිනවා. ඒ විතරක් නම් මදෑ මේ මනුස්සයා මේ මල සිරුර තමන්ගෙ ඇඳ උඩ තියාගෙනත් ඉන්නවා. (ඉතුරු විස්තර කියන්නෙ නෑ මං ඔයාලා හිතාගන්නකො)
වසර හතකට පසු , 1940 දී තමයි වටේ පිටේ කට්ටිය කාල්ගෙ අමුතු හැසිරීම ගැන කතාකරන්න යන්නෙ.එයා එකදිගට සොහොන් ගෙට ගිය ගමන නතර කරේ ඇයි කියන එක මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒ වගේම මෙයා නිතරම කාන්තා ඇඳුම් සහ සුවඳ විලවුන් මිලදී ගන්න එක මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒ වගේම දවසක් පොඩි ලමයෙක් දකිනවා කාල් ජනේලෙ ලඟට වෙලා ප්‍රමානෙන් ලොකු බෝනික්කෙක් එක්ක නට නට ඉන්නවා.මේ අතරෙ එලේනගෙ සහෝදරීටත් කාල් ගැන සැක හිතෙනවා. ඒ විදියට තමයි එයා කාල්ගෙ ගෙදර යන්නෙ.
පුදුමෙ කියන්නෙ එහෙම යන සහෝදරීට කාල් කැමැත්තෙන්ම තමන්ගෙ නිදන කාමරේ ඉන්න එලේනව පෙන්නන එක. “හිතාමතාම සහ ද්වේශසහගත ලෙස සොහොනක් විනාශ කර අවසරයකින් තොරව සිරුරක් ඉවත් කිරීම” සම්බන්ධයෙන් කාල්ව අත් අඩංගුවට ගන්නෙ එලේනගෙ සහෝදරියගෙ පැමිණිල්ලක් අනුව.මනෝ චිකිත්සකවරයන් කාල්ව පරීක්ශාකරලා කියන්නෙ කාල්ට එහෙම කිසිම මානසික ආබාධයක් නෑ කියලා.
ඒත් ඒක ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද කියන එක ඕනම කෙනෙක්ගෙ හිතේ මතුවෙන ප්‍රශ්නයක් වෙනවා. අවසානයේ සියලු චෝදනා ඉවත් කරලා කාල්ව නිදහස් කරනවා.
මේ ඔක්කොම පත්තරවල පලවෙනවා. හැබැයි ආදරේ නාමයෙන් කරපු දෙයක් විදියට මේක දකින මිනිස්සු කාල්ට අනුකම්පා කරනවා. මහජනයගෙන් ලැබෙන සහයෝගය නිසාම කාල් ආපහු වතාවක් එලේනගෙ සිරුර එයාට ලබාගන්න පුලුවන්ද කියලා ඉල්ලනවා.ඒ උනාට ඒ ඉල්ලීම නම් ප්‍රතික්ශේප වෙනවා. කාල් ආයෙ වතාවක් මෙහෙම දෙයක් කරන එකෙන් වල්ක්වන්න රහසිගත තැනක එලේනව භූමිදානය කරනවා. මේ ගැන අසතුටු වෙන කාල් මොකද කරන්නෙ “හිතාමතා සහ ද්වේෂ සහගත ලෙස සොහොනක් විනාශ කිරීම” ඇත්තටම කොයි වගේද කියල පෙන්නන්න එලේනගෙ පරණ සොහොන පුපුරවලා දානවා.
මේ ඔක්කොම සිදුවීම් වලට පස්සෙ අවුරුදු 12කට පස්සෙ කාලුත් එලේනගේ ලෝකෙටම යනවා.
ඔහුගේ මරණයෙන් සති තුනකට පසු, ඔහුගේ සිරුර ඔහුගේ මහල් නිවාසයේ තිබිලා හම්බුවෙනවා. එතනම එලේනා වෙනුවෙන් කාල් හදපු death mask එක දාගත්ත ලොකු පිළිමෙකුත් තිබිලා තියෙනවා.
මැරෙන්න කලින් කාල් අන්තිමට තමන්ගෙ දිනපොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා.
“මිනිස් ඊර්ෂ්‍යාව මගේ එලේනාගේ ශරීරයෙන් මා සොරාගෙන ඇත, නමුත් ඇය මරණයෙන් බේරුණු නිසා දිව්‍ය සතුට මා තුළින් ගලා එයි. සදහටම ඇය මා සමඟ සිටී” කියලා.