” මං අනුකිව කසාද බඳිනවා…”
එකපාරටම දෙනෙත්ගෙන් ආව ඒ කෙටි පණිවිඩය දිහා චංචලා බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ.
” විහිලු කරන්න එපා දෙනෙත් …”
චංචලා උන්න රැස්වීමේ වැදගත්කමත් අමතක කරලා දෙනෙත්ට කෙටි පණිවිඩයක් යැව්වාය.
” තමුසේ මගේ ඔලුව කන එක විතරමයි කරන්නේ චංචි .. මට මෙහෙම ජීවත් වෙන්න බෑ .. අනුකි මට මාරම සහනයක් .. ඒ හින්දා ප්ලීස් … අපි තීරණයක් ගනිමු …”
දෙනෙත්ගෙන් ආව ඒ කෙටි පණිවිඩේ චංචලා කී වතාවක් කියෙව්වාද මන්දා ? ආයේ ආයේම , ආයේ ආයේම කියෙව්වා. එක පාරටම දෙනෙත්ගේ ජීවිතේට ආව මේ තරුණිය ගැන දෙනෙත් මේ තරමට ආසක්ත වෙන්න හේතුව චංචලාට හිතාගන්නවත් පුලුවන් වුනේ නැහැ. අනෙක් අතට තමන් අතින් දෙනෙත්ගේ මානසික සුවය බිඳෙන මහා පරිමානක විෂ දළ ඉපදුන බවකුත් චංචලාට මතක නැහැ.
” අපේ අම්මා අනුකිට හරි ආදරෙයි …”
” අනුකි අපේ ගෙදර එනකොට කන්න බොන්න උස්සගෙන එන්නේ…”
” අනුකිගේ වැඩේම ආව වෙලාවෙම ඉඳගෙන ගෙවල් අස් කරන එක ….”
” අනුකි මාරම කෙල්ලෙක් අප්පා …”
දෙනෙත් විටින් විට කියපු කතන්දර එකින් එක චංචලාට මතක් වුනා. දෙනෙත්ගේ වැඩිමහල් නැගණියගේ හොඳම මිතුරිය අනුකි දෙනෙත්ගේ ගෙදර යන එන එක ගැන තමන්ට සැකයක් තිබුනේ නැත්තේ කොහොමද කියලා චංචලා ආයේ ආයෙම කල්පනා කරා. ඇස් කෙවෙනි රතු වීගෙන යන තරමට කදුලු කඩාගෙන වැටෙන්න ගත්තා. චංචලා ආයේ ආයේම දෙනෙත්ට ඇමතුම් ගත්තා. ඒත් ඒ එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනේ නැහැ.
ඊට පස්සේ චංචලා දෙනෙත්ගේ නංගිට ඇමතුමක් ගත්තා.
” අයියා ඉන්නවාද නංගී ..”
” අනේ අක්කේ මම ක්ලාසස් වල වැඩ එක්ක බිසි .. ඒ නිසා මේකට කෝල් ගන්නෙපා.. ප්ලීස් අයියාගේ නම්බර් එකට ගන්නකෝ .. “
නංගි එකපාරටම එහෙම කියනකොට චංචලාට අදහා ගන්න බැරි වුනා. තමන්ගේම සහෝදරියක් ගානට සලකපු නංගීගේ වාග් විලාශය චංචලාගේ හිත කුඩු පට්ටම් කරලා දැම්මා.
” අයියා ආන්සර් කරන්නේ නැහැනේ ..”
ඇඬෙන එක ආයාසයෙන් නවත්තගෙන චංචලා එහෙම කිව්වේ, එවෙලෙ දැනුන අසරණකම නිසා. දෙනෙත් වටේ කේන්ද්‍ර වෙලා තිබුන තමන්ගේ ලෝකේ කැරකෙන විදියක් ගැනවත් ඇයට වැටහුනේ නැහැ.
” අනේ ඉතින් අයියාට කතා කරන්න ඕනි නැති නිසානේ කතා නොකර ඇත්තේ.. ඒක තේරුම් අරගන්නකෝ .. එයාට ඕනි නම් ගනීවී….. “
නංගී එහෙම කිව්වාම චංචලා නංගිගෙන් සමාව අරගන්න ගමන් ඇමතුම විසන්ධි කලා. ඊට පස්සේ නවාතැනේ ජනේලෙන් එලිය බැලුවා. අඳුර විතරමයි ඇයට පෙනුනේ.
ඒත් එක්කම දෙනෙත්ගෙන් ඇයට ඇමතුමක් ආවා.
” ඇයි නංගිට කරදර කරන්නේ ?… මට ආයේම කතා කරන්න දෙයක් නෑ …”
” දෙනෙත් .. එහෙම කරන්න එපා.. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් අනේ මම හදාගන්නම් … අපි කතා කරමු ..ප්ලීස් ප්ලීස් ..”
” ආයේ මට කතා කරන්න දෙයක් නෑ ..ප්ලීස් මට මෙවෙලේ ඕනි මගේ නිදහස .. ඒකට බාධා කරන්න එපා …”
” මම කවදාවත් ඔයාට බාධා කලේ නෑනේ දෙනෙත් ..”
‘” අනේ ප්ලීස් … ඇති /..”
ඇමතුම විසන්ධි වුනා. චංචලාට දැනුනේ ජීවිතේම විසන්ධි වුනා කියලා. චංචලා එහෙමම ඇඳ පාමුල වාඩි වුනා. එක තත්පරේකින් මුලු ජීවිතේම අහිමි වෙලා ගිහින් බව ඇයට දැනෙනවා. ඒත් ඇයට වැටහුනේ නැහැ ඊළඟ පියවරට තමන් කරන්න ඕනි මොනවාද කියලා. පැය දෙක තුනක් එහෙමම වාඩි වෙලා උන්න චංචලා රෑ හතට විතර නාන කාමරේ ඇතුලට ගියා. මහ හඬින් අඬා වැටුණා. කෙනෙක්ගේ ජීවිතේ වඩා වටිනා අර්ධය අහිමි වෙලා ගියාට පස්සේ ඊලඟ හුස්ම වෙනුවෙන් මහා හයියක් වුවමනා වෙනවා.
සීතල වතුරේ පැය දෙක තුනක් ගෙවනකොට චංචලාට තමන්ගේ ශරීරය පවා තමන්ට අවනත නතිව යන වග දැනුනා. ඇය තුවාය ගත වටා ඔතාගෙන කාමරේට ආවා.
අසරන බව දැනෙන වෙලාවට වැඩියෙන්ම වටින කෙනාව මතක් වෙන එක නවත්තගන්න බැහැ. චංචලා එක දිගටම දෙනෙත්ව අමතන්න ගත්තා. සැරෙන් සැරේ වේගවත් හුස්ම ගන්නේ නැතුව ඉන්න බැරි වෙනකොට චංචලාට ජීවිතේ ගැන බය දැනෙන්න ගත්තා. ඇය දෙනෙත්ට කෙටි පණිවිඩයක් යැව්වා.
” ඔයා සතුටින් ඉන්න ඕනි .. මම ඔයාට ආදරෙයි …”
ඉන් පස්සේ ඇයට වටේ කිසිම දෙයක් පෙනුනේ නැහ.
” පහුවෙනිදා උදේ දෙනෙත්යාලුවෝ කට්ටියත් එක්ක චංචලාගේ කාර්‍යාලයට ගියේ ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුම කරන්න. ඒත් චංචලා එදා කාර්‍යාලයට ඇවිල්ලා තිබුනේ නැහැ.
” උඹට මායි නංගියි දෙන්නාම කිව්වා පුතෝ ඕක ඇස් රතු වෙන්න පුලුවන් විහිලුවක් කියලා..”
ආයෙම චංචලාගේ නවාතැනට යන්න වාහනය හරවගන්න ගමන්, දෙනෙත්ගේ නංගිගේ පෙම්වතා වුන දෙනෙත්ගේ මිතුරා එහෙම කිව්ව. දෙනෙත් උන්නේ දරාගන්න බැරි පීඩනෙන්. එක දිගටම ඇමතුම් ගත්තත් එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනෙත් නැහැ.
කිහිප වතාවක්ම දොරට ගැහුවට සද්දයක්වත් නැති නිසා දෙනෙත් වේගවත් පහර කිහිපයකින් දොර කැඩුවා. පිරිස හිටියේ අසීමාන්තික බයක.
යහන පාමුල සිහි විසඟව වැටිලා උන්න තමන්ගේ පෙම්වතියව දෑතින්ම ඔසවා ගත්ත දෙනෙත්ගේ ස්වරූපය මිතුරන්ට කිසිදිනෙක අමතක නොවන තරම්.
” දැන් පේශන් ටිකක් ස්ටේබල් .. එයාට පැනික් ඇටෑක් කිහිපයක් ඇවිල්ලා … ඒ වගේම ප්‍රෙශර් එක ….පැය ගානක් එහෙමම හිටපු අවදානම තවම තියෙනවා.. අපි බලමු …”
වෛද්‍යවරයා එහෙම කියනකොට දෙනෙත් වේගයෙන් බිත්තියේ ඔලුව ගහ ගත්තා.
” දැන් උඹ සිහි කල්පනාවෙන් ඉන්නෝනි දෙනා … මෙවෙලේ මොක කරත් , ඒ වෙලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නෑනේ.. දෙයියනේ කියලා ඒක තේරුම් ගනින්,…. සමහර විහිලු වලට සීමාවල් තියෙන්න ඕනි ..උඹ ඒ විහිලුවට අල්ලගත්තේ නරකම තැන ..”
පිරිසේ වැඩිමල්ම මිතුරා එහෙම කිව්වා.
දෙනෙත් කොරිඩෝවේ අසුනකට වැටිලා ඇස් පියාගෙන චංචලාට සුව ප්‍රාර්තනා කලේ තමන්ගේ දුර දිග නොබලපු වැඩේ ගැන දස දහස් වාරයක් පසු තැවෙන ගමන්.
ReplyForwardAdd reaction |