තාරුකා ගේ අම්මයි තාත්තයි වෙන් වුනේ තාරුකා උසස් පෙල කරලා ඉවර වෙනකොට. වෙන් වීමෙන් මාස ගානකට පස්සේ තාරුකාගේ තාත්තා සමන්මලී නැන්දා එක්ක විවාහ වුන ආරංචිය තාරුකාට කිව්වේ තාරුකාගේ අම්මා.
” ඔන්න දැක්කා නේද මහ ලොකු තාත්තාගේ තරම .. පුලුවන් තරම් මට වැරදි කියලා කියලා අන්තිමේදි කරපු දේ… ලොකු අම්මලයි, මාමලයි ඔක්කොමත් මටමනේ දෙහි කැපුවේ .. දැන් තේරෙනවා ඇති ඔක්කොමලට මහ ලොකු මිස්සක සමරබන්දු මහත්තයාගේ තරම … ඔයාවත් අරගෙන යන්න තමයි මිනිහා දත කෑවේ.. එතකොට ඉතින් ඒකටත් මම වැරදිකාරයා කරන්න පුලුවන් නේ … එව්වා කොහේද මාත් එක්ක .. මම ඔය ජෝඩුවට යහතින් ඉන්න දෙන්නේ නෑ මට මේ කරපු දේට …”
ඒ කිව්ව දවසේ ඉඳන් උදේ හවස අම්මාගේ ඒ කතාව අහගෙන ඉන්න තාරුකාට සිදු වුනා
” ඔය ගෑණි කැම්පස් කාලේ ඉඳන්ම මහ නැට්ටිච්චි .. ඒකනේ මෙච්චර නාකි වෙනකල් මිනිහෙක් පල නොදුන්නේ.. කොච්චර තනතුරු දැරුවත් වැඩක් තියෙනවාද හරි හමන් මිනිහෙක් එක්ක පෝරුවකට නැගලා, කුසෙන් ළමයෙක් වදාගන්න බැරි වුන ගෑණු කමෙන්… මායම දාලා දාලා අල්ලගත්තා මගේ මිනිහාව … කොහොමත් කැම්පස් ලව් එකනේ …. මාව බැන්දාට ඉරිසියාවෙන් පුපුර පුපුර උන්නේ ඔය ගෑණි … අන්තිමේදි මේ මෝඩ මිනිහත් ආයෙම අහු වුනා….”
අම්මා තාරුකා එක්ක ඒ දේවල් පවා කියවන්න ගත්තේ ඇයට ඒවා අනවශ්‍ය බව වත් හිතන්නේ නැතුව. සමන්මලී නැන්දා ගැන තාරුකාට තිබුනේ අම්මා කිව්වා වගේ අපහැදිලි චිත්‍රයක් නෙවෙයි. වතාවක් දෙවතාවක් සමන්මලී නැන්දා තාත්තාව මුණ ගැහෙන්න ආ ගිය මතකය තාරුකාට තියෙනවා.
කොහොම වුනත් තාරුකා අම්මා එක්ක වගේම තාත්තා එක්කත් සම්බන්ධතාවය රැකගෙන ඇගේ ජීවිතේ ඉදිරි වැඩ කලා.
” උඹ නම් මරු තාරුකා .. ඔය ඉවසීම, ඔය හැසිරීම ඔය වයසේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ…”
දවසක් තාත්තාව මුන ගැහිලා පන්තියට ආව තාරුකාට මිතුරිය එහෙම කිව්වා.
” වෙන්නැති මදාරා.. ඒත් මම දන්නවා තාත්තා අතේ වරදක් ණැති බව…”
තාරුකා එහෙම කිව්වේ, මෙච්චර කාලයක් හිතේ හංගගෙන උන්න කතාවක් මිතුරිය එක්ක බෙදාගන්න තීරණය කරලා. මිතුරියත් කුතුහලයෙන් බලාගෙන හිටියා.
” අපේ තාත්තා අම්මාව බැදලා තියෙන්නේ ප්‍රපෝසල් එකකින් … මං දන්න තරමින් ඒ ගමේ අම්මාගේ තාත්තා යටතේ වැඩ කල කෙනෙක් තමා අපේ සීයා…. ඒ කිව්වේ තාත්තාගේ තාත්තා.. ඒත් කෝමින් කෝම හරි ඒගොල්ලෝ මේ දෙන්නාව බන්දවලා… තාත්තා කැම්පස් එකේදි යාලු වෙලා උන්න සමන්මලී නැන්දා එක්ක සම්බන්ධේ තාත්තා නවත්තලා තමයි අම්මව බැඳලා තියෙන්නේ…… ඊට පස්සේ ඒ දෙන්නට මාව ලැබිලා… මට මතක ඇති කාලේ ඉඳන් මධාරා අපේ අම්මා තාත්තාට සැලකුවේ වැඩකාරයෙක්ට වගේ… සමහර වෙලාවට කැත වචන වලින් බනිනවා..හිඟන්නා එහෙම කියලා.. අම්මාගේ සැලරි එකයි, වතුපිටි වල ආදායමයි එක්ක තාත්තාට හැරෙන්න බැරි වුනත් තාත්තා තමා ගෙදර වියදම් ඔක්කොම බැලුවේ… ඒත් අම්මා මොකක්දෝ ඇරියස් එකක් එක්ක ජීවත් වුනේ.. මට ටික ටික දේවල් තේරෙනකොට මට අම්මාගේ ඒ හැසිරීම් ඇත්තටම එපා වුනා…
අපේ ගෙදර උයන්න එන ආච්චිව අල්ලලා පවා අම්මා තාත්තා එක්ක රණ්ඩු කරනවා මට ඇහිලා තියෙනවා… තාත්තා ඒ සෑහෙන්නම වෙලාවල කරේ කාර් එකත් අරගෙන එලියට ගිය එක.. මාවත් එක්කගෙන යන්න උත්සාහ කරත් අම්මා කිසි වෙලාවක ඒකට ඉඩ දෙන්නේ නෑ…
තාත්තා කවම කවදාවත් අම්මට අත උස්සලා නෑ.. ඒ වගේම අම්මා කියන කතා වලට අම්මට සාප කරලා නෑ.. එයා කොයි වෙලෙත් කියනවා ඇහිලා තියෙන්නේ එක කතාවයි..
ඔයාගේ ඔය කියවිලි කාමරේ ඇතුලෙදි තියාගන්න .. දරුවාට ඇහෙනවා ඕව කියලා….
ඒ නිසා තාත්තා අම්මාගෙන් ඩිවෝස් වෙලා සමන්මලී නැන්දා එක්ක ජීවත් වෙන එක මට හරි සතුටුයි.. මාත් කැම්පස් ගියාම එ දෙන්නා එක්ක ඉන්න යන්න හිතාගෙන ඉන්නේ.. එතකොට අම්මට මුකුත් කියන්න බෑනේ…ඔයා නොදන්න තව කොටසක් තියෙනවා.. ඒක පස්සේ කියන්නම් …..”
මධාර පුදුමෙන් වගේ අහගෙන හිටියා. එදා හවස මධාරා ගෙදර ගිහින් ඒ කතාව ඇගේ අම්මා එක්ක කිව්වා. අම්මයි, තාරුකාගේ අම්මයි, තාත්තයි, සමන්මලී නැණ්දයි ඔක්කොමලා එකම සරසවියේ නිසා එකිනෙකා අඳුනන බව මධාරා දැනගෙන උන්නේ.
” හ්ම්ම්ම්ම් … මිස්සක අයියා නරක මිනිහෙක් නෙවෙයි දෝණි .. පෙර කරපු පාපෙකට රේණුකා එක්ක ජීවිතේ ගෙවන්න වුනාට ..”
” ඒ කිව්වේ ?..”
” එව්වා ඔයාට වැඩක් නෑ … දැන් ගිහින් පාඩම් වැඩක් බලාගන්න …”
අම්මා එහෙම කිව්වත් මධාරා ආයෙම ආයෙම අහන්න ගත්තා.
” මේ කතා තාරුකාට එහෙම කියනවා නෙවෙයි තේරුනාද .. ඒ කෙල්ල කොහොම හරි ඉගෙනගත්තොත් විතරයි රේණුකාගෙන් ඈතට පියාඹගෙන සැනසීමෙන් ඉන්න පුලුවන් වෙන්නේ…”
” හරි අම්මා…”
” ඔය රේණුකාගේ තාත්තා ලඟ වැඩ කරපු කෙනෙක් තමා මිස්සකගේ තාත්තා..”
“ඔව් ඔව් .. එහෙම කතාවකුත් කීව තාරුකා…”
“: රේණුකා කැම්පස් එකේ ඉන්නකොට එක්කෙනෙක් එක්ක යාලු වෙලා උන්න කෙනෙක් නෙවෙයි .. එයා දැනගෙන උන්නේ නෑ එයා සම්බන්ධතා පවත්වන දිග පලල.. කැම්පස් අවුට් වෙලා ටික දවසකින් තමයි එකපාරටම ඔය මිස්සකව බඳිනවා කියලා අපිට කිවේ.. පස්සේ තමා අපි විස්තරේ දැන ගත්තේ..”
” ඒ මොකක්ද ?..”
” රේණුකාගේ පිට සම්බන්ධෙකින් එයා ප්‍රෙග්නන්ට් වෙලා තිබුනා…. ඒ මිනිහා රේණුකාව දාලා ගිහින් .. රේණුකාගේ තාත්තා, මිස්සකගේ තාත්තාව බය කරලා, බල කරලා මේ කසාදේට කැමති කරගෙන … තාත්තා වහ බොනවා කීව නිසා මිස්සක ඒ කසාදෙට කැමති වෙලා.. එදයින් මිස්සකගේ ලස්සන ජීවිතේ අපායක් වුනා.. රේණුකාගේ විෂ ජීවිතේ විඳගන්න වුනා…”
මධාරා ට තමන්ගේ මිතුරිය ගැන දැනුනේ අනුකම්පාවක් වගේම ආදරයක්.
” මිස්සකගේ දරුවා නොවන බව දැන දැනම මිස්සක තාරුකාට ඇස් දෙක තරමට ආදරේ කලා.. ඌ අපිට කිව්වෙත් එක කතාවයි.. කෙල්ලට දැනුම් තේරුම් තියෙනකල් මම ඔය කරුමේ කර ගහනවා කියලා..මොකෝ රේණුකාගේ සෙල්ලක්කාර ජීවිතේ ඉවරයක් වුනේ නැහැ… සමන්මලී තමයි ලොකුම කැප කිරීම කලේ.. කවදාහරි මිස්සක රේණුකාගෙන් ඩිවෝස් වුනොත්, එහෙම දවසක මිස්සක එක්ක එක තත්පරයක් හරි ගුලි වෙලා ඉන්න ඕනි කියන විශ්වාසෙන් එයා තනිකමේම ගිලිලා උන්නා.. තනියමම මතක එක්ක ජීවත් වුනා පුතේ…”
මධාරා හිස සැලුවා. තමන්ගේ නොවන බව දන්න දියණියකගේ පරෙස්සම වෙනුවෙන් තමන්ගේ තරුණ කාලයම දිය කරපු ඒ තාත්තා ගැනත්, තමන් විශ්වාස කල ප්‍රේමය වෙනුවෙන් බලා උන්න ඒ පෙම්වතිය ගැනත් මධාරට ආදරේ පිරුණු ගෞරවයක් දැනුනා.
” මේ.. ආයේ තාත්තයි නැන්දයි මුන ගැහෙන්න යද්දී මාවත් එක්ක යන්න ඈ…”
මධාරා තාරුකාට පණිවිඩයක් තිව්වා.
ආදරේ පවතින ස්වරූප එහෙම බව ඇය වටහා ගත්තා.
ReplyForwardAdd reaction |