වේලාසන ම හිරු සැඟවිණ. ඝණ වලා ස්ථරයක් හිරු කිරණ පොළොවට පැමිණීම මුවහ කළේ ය. ඒ මන්දරාමත් එක්ක අමුතු සීතල පවනක් හැමුවේ ය. අන්තරා විදුලි උඳුනෙහි වීදුරුවට මුහුණ ලං කොට කිහිප වරක් ම ඇතුළට දෑස් පා කොට යවා බැලුවා ය. රන්වන් පාටින් මෆින් සෑදෙමින් තිබිණ.
යුගාත්ම ගේ රිය නලා හැඬවූයේ මෆින් බේක් වෙන සුවඳ පිටතට හමන්නට ගත්දී ය. අන්තරා ඔවුන් ඇතුළට ගෙන යළි එන විට මෆින් සුවඳ ගේ පුරා හැම අංශුවක ම පිරෙමින් තිබිණ.
“දෙයියනේ මේ ගෑනි අපිව සුවඳින් පිස්සු වට්ටල මරනව දවසක”
පාරින්දි අන්තරා ව බදාගෙන කීවා ය. හවසට යුගාත්ම සමගින් පැමිණෙන ලෙස පාරින්දි ට ඇරයුම් කළේ අන්තරා ය. යුගාත්ම සමග තනිව හැසිරෙත්දී ට වඩා, පාරින්දි සිටියදී ඇයට පහසුවක් දැනේ. යුගාත්ම ගේ හැසිරීමෙහි කිසිදු චෝදනාත්මක සාධකයක් වන නිසා නොවේ. ඒත් පාරි සිටියදී ඇයට වඩාත් පහසු ය. විශේෂයෙන් ම දික්කසාද වූ ගමන් ගැහැනියක වශයෙන්, පිරිමියෙකු තනිව ඇසුරු කරත්දී වපරැස් යොමු වීමේ ඉඩකඩ වැඩි බව ඇය දනී. ඒ සියල්ල අමතක ම කළත් පාරි සිටියදී අන්තරා ට දැනෙනා අමුතු පිරිපුන් බවක් වේ. ඇගේ ඇඟෑළුම්කම් වලට ද හුරතල් හැසිරීම් වලට ද අන්තරා කැමති ය.
“යාළුවො දෙන්නටම එක වගේ සලකනවනං අපිටත් ඔහොම බදාගන්න දෙන්නෝනෙ හරිනං…”
යුගාත්ම ගේ ඇස් වල වූයේ උසස් පෙළ පන්ති වල ඉන්නා දඩබ්බර කොල්ලෙකුගේ වන් දඟයකි. පාරින්දි හඬ නගා හිනැහෙන ගමන් ‘ආස ඇති’ යයි කීවා ය. අන්තරා ගේ දෙතොලතරට වැඩි සිනහව තරවටුවකට ළඟ එකකි. නමුත් එහි කිසිදු නොමනාපයක් වූයේ නැත.
පාරින්දි ඇගේ ම හිතට යම් යම් දෑ ඒත්තු ගැන්වීමේ උත්සාහයක්, දින කිහිපයක් තිස්සේ ම දරන්නී ය. යුගාත්ම අන්තරා දිනා ගැනීමේ උත්සාහයක් දරනුයේ පවුල් දෙකක ශක්තිය හා ආශිර්වාදය ද ඇතිවයි. එතැන්හිදී ඇය යනු නො ගිනිය හැකි තරම් ක්ෂුද්‍ර වූ අංශුවකි. ඊටත් වැඩිය ටික දිනෙක සිට යුගාත්ම ඇය ඇමතීමේ දී ‘දරුවො’ යන ආමන්ත්‍රණය යොදාගනී.
“දරුවො…”
මුල් ම දිනයේ දී ඇය වහාම සිය නොමනාපය පෙන්වූවා ය. යුගාත්ම කිසිසේත් කලබල වූයේ නැත.
“දරුවො තමයි… මගෙ කෙල්ලො දෙන්නට වැඩිය ටිකක් වැඩිමල් ඇති ඔයා”
ඊට පස්සේ ඒ වචනය නිතර ම යොදා ගන්නට හෙතෙම සැලකිලිමත් වූයේ ය. මහා පවුල් දෙකක බලයත් එක්ක යුගාත්ම වෙනුවෙන් අන්තරා සමග හැප්පී, තැලී පොඩි වී චප්ප වී යන්නට ඇයට සිදු වනු ඇතැයි නියත බියක් ඈ වටකොට ගති. අනිත් අතට මොනවා කෙසේ සිදු වුණ ද අන්තරා ගේ ළබැඳි හිතවත්කම අහිමි කරගන්නට ඈ ලෝභ ය. එහෙම හිතවත්කම් ජීවිතයක් සතු වන මහා වත්කම් වේ. ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසාවෙන් එහෙව් වත්කම් විනාශ කරගත යුතු ද? එහෙම වුණත් කම් නැතැයි ඇයට සිතුණ අවස්ථා නැතිවා නොවේ. ප්‍රේමය එපමණට ඇස් අන්ධ කරන්නට තැත් නො කළා ද නොවේ. නමුත් නිදි වැරූ රැයවල් ගණනාවක් විසින් ද යුගාත්ම ගේ හැසිරීම විසින් ද ඇයට පසක් කොට සිටියේ අන්තරා ගේ හිතවත්කම රැකගත යුතු බවයි.
අතත් කටත් පිච්චි පිච්චී උණු උණුවේ – උඳුනෙන් පිටතට ගත් ගමන් ම මෆින් වල රස විඳි අත්දැකීමක් ඊට පෙර යුගාත්ම ට හෝ පාරින්දි ට වූයේ නැත. ඉඟුරු යහමින් තැම්බෙන්නට දැමූ විනිවිද පෙනෙනා තේ පෝච්චියෙහි රන් පැහැති තේ පැසිණි. ඉඟුරු වල හා අගනා තේ කහට වල සුවඳ එකට මුහු වී මෆින් සුවඳ සමග තරග කළේ ය.
“දහයක් කෑවත් මදි වගේ මට”
යුගාත්ම මෆින් එක අතින් අතට මාරු කළේ ය.
“මගෙ කොලුපැටියත් එහෙමයි. අනේ මට ලෝබයි මෙහෙම කද්දි… එයාට ආයෙ කවද හදල දෙන්නද…”
සිනහවකින් කීවාට අන්තරා ගේ ඇස් කඳුළු පටලයකින් වැසෙන්නට ගත වූයේ නිමේශයකි.
“කාලෙනං මාර ඉක්මනට ගෙවෙනවනෙ අප්ප. එහෙ බලල මෙහෙ බලනකොට අවුරුද්දෙන් බාගයක් ගිහිං”
යුගාත්ම, ඇගේ හිත මත ප්‍රේමයේ පිරිත්පැන් ඉසිනා මුදු පිරිමිකාර හඬකින් කීවේ ය.
“ඔව්‍ව්… නූපුර ආවට පස්සෙ ඔයාට බැරියෑ එයා ළඟට ම වෙලා එක එක කෑම ජාති හදල දිදී ඉන්න… “
“අපිටත් එක්කම හදන්න ටිකක් වැඩිපුර… නේ පාරින්දි…”
“අපි එතකොට හැමදාම මෙහේ”
අන්තරා මඳහස රඳවාගෙන ම සිටියා ය. දෑස් කඳුළු පටල අතරේ දේදුනු පායා තිබිණි. හිතට මේ දැනෙමින් තිබෙනා හැඟුමන් වෙන්කොට හැඳිනගන්නට ඇයට තේරෙන්නේ නැත.
“කෝල් එකක් අන්තරා”
කියා පාරින්දි කියනා තුරුත්, සිය ජංගම දුරකතනය හැඬවෙන බව වුව අන්තරා ට වගක් වූයේ නැත. දක්ෂිණ! ඔහු ගේ දුරකතන අංකය, අංක ගබඩාවෙන් ඉවත් කොට දමන්නට ඇය කිහිප විටක් සිතුවා ය. නමුත් ඒ නම හදවතින් මකා දැමිය හැකි ද? තව වසර ගණනාවක් ගිය ඉක්බිති වුව ඒ නම ඇගේ හදවතේ නිදන්ගත ව තිබෙනු ඇත.
“දක්ෂිණ…”
කියා කියනා විට මොකක්දෝ අත්‍යන්ත වේදනාවකින් ඈ මිරිකී ගියා ය.
“කොහොමද අන්තරා… ඔයා හොඳින් නේද…”
ඒ ප්‍රශ්නය අහන්නේ දක්ෂිණයි. ඈ කොහොම පිළිතුරක් දිය යුතු ද? ඔහු ට වෛර කළ ගැහැනියක වී නම් හොඳින් බව ඕනවටත් වැඩිය දැනෙන්න අරින්නට පිළිවන. නමුත් හදවතේ කොනකවත් අංශු මාත්‍රීය වෛරයක් හෝ ද්වේශයක් ඉතිරි වී නැත්තේ ය. ඔහු ඇගේ ස්වාමියා ලෙස නීතිමය බැඳීමක් ඉතිරි ව තිබි අවසාන කාලයේ තරම්වත් දැන් මේ මිනිසා ඉදිරියේ හිත හයිය කරගත නො හැකි වනු ඇතැයි ඇය බිය වූවා ය.
“වරදක් නෑ දක්ෂිණ”
හයිය එකතු කරගෙන අමාරුවෙන් ඕ මුමුණාගත්තා ය. යුගාත්ම ඇදෙස බලා ඉවත බැලුවේ ය. පාරින්දි නම් ඒ කඳුළු බින්දුවක් වන් මුහුණ දෙස බලාගෙන ම සිටියා ය.
“ඔයා හොඳින් ඉන්න තමයි ඕනෙ. මොකක්හරි උවමනාවක් දැනුණොත්… අපි වෙන්වෙලා කියල මොහොතකටවත් හිතන්නැතුව මට කතාකරන්න හරිද…”
“හ්ම්”
ඒ වචනය පිටවූවා ද උගුරේ හිරවූවා ද කියා ඇයට නිශ්චිත නැත.
“ඔයාගෙයි පුතාගෙයි ඕන දේකට ඕන වෙලාවක මං ඉන්නව. මං දන්නව ඔයා දැන් ඔයා ගැන අලුතෙන් හිතන්න ඕනයි කියල. තරුපති සර්ගෙ පුතා එක්ක ඔයාගෙ අනාගතේ පිළිවෙළ වෙනවනං… හදවතින්ම මං සුබ පතනව අන්තරා…”
“ම්… මොනාද මේ කියන්නෙ…”
“මට තේරෙනව මං වරදක් කළේ. ඔයා ඒ පොකුණෙ පිපෙන්න තිබුණ නෙළුමක්. සමහර වැරදි… කල් ගතවෙලා හරි නිවැරදි වෙන එක හොඳයි. ආදරෙන් බලාගන්න අතකට ඔයාව බාරවෙන්න තමයි ඕනෙ. එහෙනං… මං තියන්නද…”
“හ්ම්. පරිස්සමෙන් ඉන්න දක්ෂිණ”
“ඔයත්…”
දුරකතන සම්බන්ධය බිඳී යන තුරුත් අසීරුවෙන් දරා උන් හැඟුම් ප්‍රවාහය උදම් රළක් සේ නැගී සිටියේ ය. නූපුර නිසා ගැබ්බර වී තිබි කඳුළ, අන්තරා ගේ දෑසින් පිටමං වී දිය ඇලි දෙපේළියක් ව කොපුල් තෙමමින් ගලා යන්නට විය. ඇය ඉක්මන් කොට අතැඟිලි තුඩින් කම්මුල් පිසදා සිනහවක් නගා ගත්තා ය. සුසුමක් අත්හැරි යුගාත්ම, අසුනෙන් නැගිට ගොස් අන්තරා ගේ රතු හදවතක් ඇති මග් එක ගෙන ආවේ ය. එය තේ දමා ඇගේ අතට ම දුන්නේ ය.
“බොන්න”
අන්තරා තේ උගුරක් බීවා ය. පාරින්දි ඇය වෙතට මෆින් එකක් පෑවා ය.
“ඕගොල්ලො මූඩ් එක අවුල් කරගන්නෙපා හොඳේ. දක්ෂිණ ගැන ඇත්තටම මං දුක්වෙන්නෑ. මෙහෙම වෙලාවක… මෙහෙම අමුත්තක් දැනෙයි කියල මං හිතං හිටියෙත් නෑ”
“එහෙම හොඳයි අන්තරා”
ඇය යුගාත්ම ගේ නෙතු මත නතර වූවා ය.
“දික්කසාදෙන් පස්සෙ වෛරක්කාරයො වෙනවට වඩා… යාළුවො වෙන්න බැරිනං සාමාන්‍ය දැනහැඳුනුම්කමවත් ඉතුරු වෙනවනං කොච්චර හොඳද…”
තේ පානයෙන් පස්සේත් ඔවුහු කතා කරමින් සිටියහ. අන්තරා තනි කිරීමේ ලෝභකමක් යුගාත්මට සේ ම පාරින්දිට ද දැනුණා සේ ය.
“ඉතිං යුගාත්ම අන්‍තරාවත් ඩ්‍රොප් කරගෙනම යන්නකො”
කියා ඈ කීවේ තමන්ව පාලනය කරගනිමිනි. අනුන් වෙනුවෙන් එහෙම කැපවීමක් කළ විට හිතට අමුතු සැනසිල්ලක් දැනේ. මගේ කියා අයිති කරගැනීමකින් පසු කිසි සේත් එහෙම දැනෙන්නේ නැත. පරිත්‍යාගශීලී බව ආත්ම තෘප්තිය ගෙන දෙන බව පාරින්දි අත්විඳිමින් සිටියා ය.
“මං ගැන වද වෙන්නෙපා හරිද… මේ… මං ඕකේ. ඒ වෙලාවෙ කොහොමටත් මං හිටියෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනකල්ද කොහෙද…”
අන්තරා හිතාමතා ම ඉක්මනින් වේශාන්තරණය වෙමින් සිටියා ය. කඳුළක් දෙකක් වැටුණු විට ගැහැනුකම් ඉස්සර වේ. අලුතෙන් දිය නා සූදානම් වූ ඇය වෙතින් හුරතල් හුරුබුහුටි ඉරියව් දිස් විය. පාරින්දිව බස් එක ළඟට දැමීමෙන් පසු යුගාන්ත අහඹු තැනෙක රිය නතර කළේ ය.
“මං ඉක්මනට එන්නං”
කියා දිව ගිය ඔහු යළි පැමිණියේ ඇයට මිශ්‍ර අච්චාරු බඳුනක් රැගෙනයි. අන්තරා ගේ මුහුණට ලස්සන සිනහවක් ආවේ ය.
“මේ වෙලාවෙ මූඩ් ෆික්ස් කරන්න හොඳම දේ”
ඔහු රිය හරවාගනිත්දී අන්තරා ඒ මුහුණ පැත්තට දුටුවා ය. එහි වූයේ පරිනතර පිරිමියෙකු ගේ තෘප්තිමත් සිනහ රේඛාවකි. අන්තරා අච්චාරු කැබැල්ලක් ටූත් පික් එකෙන් ගෙන ඔහු ගේ මුවට ලං කළා ය. යුගාත්ම යන්තම් ඇගේ අතින් අල්වාගෙන ම එය මුවෙහි ලා ගත්තේ ය.
“ඔයා කන්න. මට ඕන්නෑ”
ඉස්සර ම ඉස්සර අප්පච්චි ඇය ආසා දෙයක් කන්නට අරං දීත් එහෙම කියූවා ඇයට සිහි විය. හදවත මැද්දේ ම ගැස්මක් හට ගෙන කම්පන තරංග සිරුර පුරා විසිර ගියේ ය.