ස්වාධීන කාන්තාවක් වෙන්න නම් මේ ලක්ෂණ ඔයා සතු විය යුතුමයි

ස්වාධින කාන්තාවක් වීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවන නමුත් ස්වාධීන කාන්තාවක් වීම කියන්නේ කාන්තාවකට අභිමානයක්.තීරණ ගැනීම සහ ක්‍රියාත්මක වීම සඳහා කිසිවෙකුගෙන් යැපෙන්නේ නැති ජීවිතයේ පැමිණෙන සියලු අභියෝග වලට ශක්තිමත්ව සහ තනිව ධෛර්යයෙන් යුතුව මුහුණ දෙන කාන්තාවක් ස්වාධීන කාන්තාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඇය ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණ වන අතර තමාගේ වටිනාකම හොඳින් හඳුනා ගෙන කටයුතු කරනවා. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ස්වාධීන කාන්තාවක් සතු ලක්ෂණ ගැනයි.

ඇය ඇගේ වටිනාකම් හොඳින් හඳුනා ගෙන කටයුතු කරයි.

ස්වාධීන කාන්තාවක් තමන්ගේ ආත්ම වටිනාකම සහ ආත්ම අභිමානය පිළිබඳව හොඳ විශ්වාසයක් ඇතිව කටයුතු කරනවා. එහිදී ඇයට ජීවිතයේ ඇයට අවශ්‍ය දේ පිළිබඳව මනා අවබෝධයක් සහ පැහැදිලි චිත්‍රයක් තිබෙන අතර එය පසුපස හඹා යාමට තරම් ඇය ගැන විශ්වාසයක් ඇය තුළ  තිබෙනවා.  ඒ වගේම ඇයව පහත් කිරීමට හෝ ඇගේ වටිනාකම් අවතක්සේරු කිරීමට ඇය කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. 

ඇය ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණයි 

ස්වාධීන කාන්තාවක් සැම විටම ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණයි. ඇය වචනාර්ථයෙන් සහ සංකේතාත්මකව දෙපයින් නැගී සිටින අතර ඇයට ඇයගේම ඉලක්ක ,අදහස් සහ අරමුණු තිබෙනවා. ඔවුන් පැහැදිලිවම තමා කවුද යනුවෙන් හඳුනාගෙන තිබෙන අතර ඒ සඳහා කිසිවෙකුගේ අදහස් හෝ වලංගු භාවයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඇයට සතුටු වීමට අන් අයගේ මත හෝ තහවුරු කිරීමක් අවශ්‍ය නොවන අතර ඇය ඇගේ ආත්ම විශ්වාසය හරහා ආත්ම තෘප්තියට පත් වනවා.

ඇය ස්වයංපෝෂිතයි 

මෙයින් අදහස් කරන්නේ ස්වාධීන කාන්තාවක් සෑම විටම ඇගේ අවශ්‍යතා ඇය විසින්ම සම්පූර්ණ කර ගන්නා බවයි. ඇගේ එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමෙහි සිට , අවශ්‍යතා සපුරා ගැනීම දක්වා ඇය කිසිවෙකු මත රඳා පවතින්නේ නැහැ. ඇය ඇයගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන වටපිටාව සකස් කර ගැනීම උදෙසා ක්‍රියා කරන අතර ඇයගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරනවා.

ඇය අභියෝග වලට තනිව මුහුණ දෙයි

ස්වාධීන කාන්තාවක් කිසිම විටකදී අභියෝග හමුවේ නතර වන්නේ නැහැ. තමන්ගේ අරමුණු සහ ඉලක්ක කරා යන ගමනේදී ඇතිවන බාධක ඇය තම ආත්ම විශ්වාසය සහ ශක්තිමත්භාවය සමග ජය ගන්නවා. අසාර්ථක වීම නොවැළැක්විය හැකි බවත් එය සාර්ථකත්වය කරා යන ගමනේ කොටසක් බවත් ස්වාධීන කාන්තාවක් අවබෝධ කර ගෙන සිටින අතර ඇය එම අවබෝධය ඉදිරියට යාමට , වඩාත් අධිෂ්ඨානශීලී වීමට පෙළඹවීමක් ලෙස භාවිතා කරනවා.

ඇය තම කාලය කළමනාකරණය කර ගනියි

කාලය කළමනාකරණය කරගෙන සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව වැඩ කිරීමේ ප්‍රතිඵල පිළිබඳව හොඳ අවබෝධයක් ස්වාධීන කාන්තාවකට තිබෙනවා. තමාගේ අරමුණු සහ ඉලක්ක කරා යාම සඳහා තමා සතු සම්පත් සහ කාලය කළමනාකරණය කර ගැනීම සඳහා ඇය උනන්දු වන අතර ඇය අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරනවා.ඒ වගේම එදිනෙදා ජීවිතයේදී ඇය ඉතාම කාර්යක්ෂම වන අතර ඇය සතු කළමනාකරණය කර ගැනීමේ හැකියාව නිසා ආතතියකින් තොරව තමාගේ ඉලක්ක කරා ළඟා වනවා.

ඇය අවබෝධයෙන් යුතුව තමන්ගේ ගැටළු නිරාකරණය කර ගනියි

ඕනෑම කෙනෙකුට ජීවිතයේ ගැටලු සහ බාධක පැමිණෙන අතර ස්වාධීන කාන්තාවක් තමන්ගේ ගැටලු තමා විසින්ම නිරාකරණය කර ගැනීම සිදු කරනවා.මෙහිදී ඇය ඉතා අවබෝධයෙන් යුතුව ගැටළු දෙස බැලීම සිදු කරන අතර තමා වෙනුවෙන් එය වෙනත් කිසි අයෙකු විසඳන තුරු බලා සිටින්නේ නැහැ.කලබල වීමකින් තොරව, කිසිවෙකුට චෝදනා කිරීමකින් තොරව සහ ආතතියට පත් වීමකින්  තොරව ඇය ඇගේ ගැටලු ඉතා ප්‍රඥාවන්ත ලෙස නිරාකරණය කර ගන්නවා.

ඇය උපකාර පැතිය යුතු වේලාව පිළිබඳව අවබෝධයකින් කටයුතු කරයි 

ස්වාධීන කාන්තාවකගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ස්වාධීනත්වය සමතුලිත කිරීමට සහ අවශ්‍ය විටෙක උපකාර ඉල්ලීමට ඇති හැකියාවයි. ස්වාධීන කාන්තාවක් සෑම විටම ඇයගේ ස්වාධීනත්වය අගය කරන අතර තනිවම තීරණ ගැනීමේ සහ ගැටළු විසඳා ගැනීමේ හැකියාව පිළිබඳව ඇය තුළ විශාල විශ්වාසයක් පවතිනවා. නමුත් උපකාර පැතීම දුර්වල කමක් ලෙස ඇය සලකන්නේ නැහැ. ඇයට තනිව හැසිරවිය ප්‍රමාණයට වඩා වැඩි යමක් අවශ්‍ය වන අභියෝගවලට මුහුණ දෙන විට අන් අයගෙන් සහයෝගය පැතීම සඳහා ඇය පැකිලෙන්නේ නැහැ. ස්වාධීන කාන්තාවක් වීම යනු සෑම දෙයක්ම තනිව සිදු කිරීම නොව උපකාර පැතිය යුත්තේ කොයි මොහොතේ ද යන්න පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇති කාන්තාවකටයි.

ඇය නිහතමානී බව අගය කරයි 

ස්වාධීන කාන්තාවක් සාමාන්‍යයෙන් එදිනෙදා අභියෝග වලට තනිව මුහුණ දීමත් , තනිව තීරණ ගැනීම සහ අන් අයගෙන් යැපීම ප්‍රතික්ෂේප කරන නිසා ඇය තුළ පවතින අභිමානය , අධිමානය ලෙස හඳුනා ගන්නා පිරිසක්ද සිටිනවා. නමුත් ඇත්ත වශයෙන්ම ස්වාධීන කාන්තාවක් නිහතමානී බව අගය කරන අතර තමා තුළ තිබෙන අභිමානයට  හානි නොවන පරිදි ක්‍රියා කරනවා. ඇය සෑම විටම අන් අය සමග සුහදශීලීව ක්‍රියා කරන අතර , අන් අයට උදව් කිරීම ,කරුණාවන්ත වීම සහ ඔවුන්ගේ තීරණ වලට ගෞරව කිරීම සිදු කරනවා.

ස්වාධීන කාන්තාවක් වීම සෑම අතින්ම කාන්තාවකට අභියෝගයක් වෙන නමුත් එය සැබවින්ම කාන්තාවකට අභිමානයක් ගෙන දෙනවා. කාන්තාවක් යනු ශක්තිමත් සහ ධෛර්ය සම්පන්න කෙනෙක් වන අතර ඇය කිසිම විටකත් කිසිවෙකු මත යැපීම සිදු කළ යුතු නැහැ. ඉහත කී ලක්ෂණ කාන්තාවක් තුළ ස්වභාවයෙන්ම දකින්නට ලැබෙනවා නම් ඇය ස්වාධීන කාන්තාවක් ලෙස හඳුනා ගන්නට හැකි වන අතර ඔබට ස්වාධීන කාන්තාවක් වීමට අවශ්‍ය නම් මේ කරුණු අනුගමනය කිරීමට හැකියාව තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles