රත්තරන් පාට ඉර එළිය කුඹුරුවලට උඩින් වැතිරිලා තියෙන, ළිං පතුල්වල මිනිස්සු කවදාවත් අහන්න බලාපොරොත්තු වෙච්ච නැති විදියෙ රහස් හැංගිලා තියෙන ගම්මානයක් තිබුණා. මේ ගමේ ජීවත්වුනා එක පිරිමි ළමේක්. එයාගෙ නම රවී.රවී ගම්මානෙක ඉපදිච්ච කොල්ලෙක් උනාට මොකෝ රවීට තිබ්බෙ ගම්මානෙ අනිත් කොල්ලො කෙල්ලො දැක්කා වගේ හීන නෙවෙයි. රවී හරි odd character එකක් විදියට තමයි ගමේ අනික් මිනිස්සු දැක්කෙ. මිනිහට තිබ්බෙ මහ අමුතු හීන. රවීව දන්න හැමෝම වගේ රවී ගැන කිව්වේ “ආකාසෙ මාළිගා හදනවා” කියලා. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නෙ මිනිහට තිබ්බ හීන මොනවද කියලා.
තමන්ගෙ ගම්මානෙ පරම්පරා ගාණක් තිස්සේ ඔය රන් කහවනු, රත්තරන් පිළිම, භාජන වගෙ දේවල් පොළොව යටින් මතුකරවන්න හේතුවෙච්ච හන්දා, රවීත් ඉඳලා හිටලා ගම්මානෙ අනිත් මිනිස්සු වගේ බිංකුණ්ඩෙක් වගේ පොළොව හාරපු එක කලේ. “බිංකුණ්ඩෙක් වගේ පොළොව හෑරුවට හම්බුවෙන මගුලක් නෑ ළමයො. දැන්වත් ඇඟ වෙහෙසල කරන රස්සාවක් හරි හොයාගනිං අඩුගානෙ මොලේ වෙහෙසන්න බැරිනං” කියල ඕක දකින දකින පාරට අම්මා පපුව අල්ලගෙන කහින ගමන් කිව්වට මොකෝ බිංකුණ්ඩා චරිතෙන් මිදෙන්න ප්ලෑන් එකක් තිබ්බෙ රවීට නම් නෙවෙයි. රවී දිගටම පොළොව හෑරුවෙ කවදහරි, වටින දෙයක් හම්බුවෙලා ඒකෙන් තමන්ගෙ ජීවිතේ මීට වඩා හොඳ අතට හැරවෙයි කියලා හිතලා.
අන්න ඒ සිතුවිල්ල තමයි ඔය විදියට රවීගෙ පොළොව හෑරිල්ල එක දවසකදි වෙනස් කරන්න හේතු වුණේ. ඒ පොළොව හාර හාර උන්නු රවීගෙ උදැල්ල පිත්තලවලින් කරපු අමුතු විදියෙ කැටයම් කපලා තිබිච්ච පහණක වැදුනෙ. රත්තරන් කාසි හම්බුවෙයි කියලා හිතන් උන්නට හම්බුනේ මඩ ගෑවිච්ච, පරණ පාට පහණක් හන්දා රවී ඕක විසි කරලා දාන්න හිතුවට ටවුන් එක කෙලවරෙ තියෙන ඇන්ටික් බඩු කඩේට ඕක දුන්න නම් අතේ සතේ නැතුව ඉන්න වෙලාවෙ කීයක් හරි හොයාගන්න තිබ්බ කියල හිතලා තමා මිනිහා පරණ පහණ ගෙට අරගෙන ආවෙ.
පරණ වෙච්ච හන්දා, මලකඩ වගේ බැඳිලා තිබිච්ච හන්දා තමා ගෙදර අරගෙන ආව පහණ, තෙල් ටිකක් දාපු රෙද්දක් අරගෙන පිහිදාන්න රවී රෑ තිස්සෙ නැගිටලා උන්නේ. “මේ වගේ පහණක් පිහිදාද්දිනෙ ඇලඩින්ට හිතූ පැතූ සම්පත් ලබා දෙන භුතයෙක්ව සෙට් උනේ” කියල හිතුවට ඇත්ත ජිවීතේ එහෙම වෙන්නෙ නෑ කියලා රවී දැනගෙන උන්නා.
ඒ උනාට මේක ඇත්ත ජීවිතේ නෙවෙයිනෙ කතාවක් නෙ. ඒ නිසා ඒක එහෙමම උනා. ඔව් රවි පහණ රෙදි කෑල්ලකින් පිහිදාද්දි හිතුවෙ නැති විදියට භූතයෙක් එළියට ආවා. නිකන්ම මේ පුශ් ගාලා එලියට ආවෙ නෑ. පොළොව පොඩ්ඩක් විතර දෙදරුවා, අහස කම්පා වුනා, හූ හඬක් එක්ක තමා භූතයා එළියට ආවෙ. ඇලඩින් ගෙ කතාවෙ වගේ නිල් පාට භූතයෙක් නෙවෙයි. නිකන් මනුස්ස පාටක් තියෙන, රත්තරන් පාට කෙස් තියෙන භූතයෙක්. රවී මුලින් බයවුනා. ඒ උනාට ඒ බය අරින විදිය භුතයා දැනගෙන හිටියා.
“මම තමයි මේ පහණට අරක්ගෙන ඉන්න භූතයා. මට කතාකරාට thank you. ඒ නිසාම මම ඔයාට වර තුනක් දෙනවා කැමති දෙයක් ඉල්ලන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න ඕන මේ පහණ ඔය කතන්දර වල තියෙන පහන් වගේ ඉල්ලන දේම දෙන්නෙ නෑ. අණකට කීකරු වීමක් නෙවෙයි මෙතනදි වෙන්නෙ ඉල්ලන කෙනාගෙ intentions වලට සවන් දෙන එක”
“ඒ කිව්වේ? මට තේරුණේ නෑ?”
“ඔයාට තේරේවි ඔයා ඉල්ලපු දේවල් ලැබුනම” කියලා භූතයා කිව්වට රවී ඒක ගැන එච්චර හිතුවෙ නෑ. කොහොමත් මේ පහණකින් එළියට ආව අවුරුදු ගානක් පහණක් අස්සෙ හිරවෙලා උන්නු භූතයෙක් කියන කතන්දර ඔච්චර හිතන්න ඕන නෑ කියලත් රවී හිතුවා.
මේ සිද්දිය වෙද්දිත් රවීලා උන්නෙ සල්ලි පැත්තෙන් සෑහෙන්න වැටිලා. තාත්තා මැරෙද්දි තිබිච්ච හැමදේම තමන්ට නැතිවෙලා ගිය එකෙන් සල්ලි ප්‍රශ්නවලට විතරක් නෙවෙයි රවීලට මූන දෙන්න උනේ. තාත්තා නැතිවෙච්ච් එකයි ඒත් එක්ක ආව අනිත් ප්‍රශ්නයි එක්ක රවීලගෙ අම්මා උන්නෙත් ලෙඩ ගානෙ. ඇඟේ ලෙඩයි හිතේ ලෙඩයි දෙකම. ඒ වගේම රවීටත් හරියට රස්සාවක්වත් කිසිම දෙයක් තිබ්බෙ නැති හන්දා ගෙදර ප්‍රශ්න ටිකෙන් ටික වැඩිවෙන ගමන් තමයි උන්නෙ.
අන්න ඒ හන්දයි රවී තමන්ගෙ වර තුනෙන් පලවෙනි එක ඉල්ලුවෙ.
“මට පොහොසත් වෙන්න ඕන. තාත්තා මලේ ලෝකෙටම ණය වෙලා. ඒ නිසා අපිට සල්ලි ඕන” කියල රවී කිව්වම භූතයා හිනා උනා,පහන දිලිසුණා.
පස්සෙන්දා උදේ රවී නැගිටිද්දි මිනිහගෙ ඇඳ උඩ දියමන්ති පුරවපු බෑග් එකක් තිබ්බා. හැබැයි හැමදේම රවී හිතුව විදියට උනේ නෑ. රවී බලාපොරොත්තු වෙච්ච පොහොසත් ජීවිතේ කියන්නෙ එහෙම මේ ආතල් life එකක් නෙවෙයි කියල කියන්න වගේ තමයි තාත්තගෙ තව හැංගිල තිබිච්ච ණයවලට අදාල ලෝයර්ස්ලා, ණය දුන්න මිනිස්සු, බැංකු ලියුම් අරව මේව සෑහෙන රවීලව හොයාගෙන ආවෙ. ඒ විතරක් නෙවෙයි එකපාර මෙහෙම පෝසත් වෙන්න නම් “කොහොම සල්ලියක් ඇද්ද?” කියල හිතුව හොරු කණ්ඩායම් රවීලගෙ ගෙදරට රෑට රෑට පනින්න උත්සහ කරේ. මේ ඔක්කොම ප්‍රශ්න මැද්දෙ අම්මා තව තවත් ඔලුවෙ කරදර පුරවගත්තා. කියන්න කෙනෙක් නැති හන්දම රවී ආයෙම භූතයට කතා කරා.
“මේක නෙවෙයි මට ඕන වෙච්ච දේ” රවී කිව්වම භූතයා කලේ හිනාවෙච්ච එක.
“මොකද්ද එහෙනම් වෙන්න ඕන?”
“මගෙ දෙවනි වරයෙන් මට ඕන ඔලුවෙ කරදරයක් නැතුව ජීවත්වෙන්න, මේ ණය කොලයි, අරවයි මේවයි උස්සන් ඇවිල්ල අපිට කරදර කරන මිනිස්සුන්ගෙන් අපිව බේරගන්න” කියල රවී ඉල්ලුවම භූතයා ආයෙ හිනා උනා. පහණ දිළිසුනා.
දෙවනි වරය ඉස්ට වෙන්න පස්සෙන්දා උදේ වෙන්න උනේ නෑ. එදා රෑ හිතාපු නැති විදියට ආව මහ ගංවතුරකින් රවීලගෙ මුලු ගමම විනාස උනා. රවීගෙ තාත්තා ණය අරගත්ත මිනිස්සු, බැංකු, රවීගෙ ගෙදරට පනින්න ආව හොරු මේ ඔක්කොම ඒ ගංවතුර හන්දා විනාස වෙලා ගියා. කොටින්ම රවීගෙ හොඳම යාලුවොන්ගෙ ගෙවල් පවා විනාස වෙලා ගියා. රවීලගෙ ගෙදර තිබ්බෙ කන්දක් උඩ හන්දා බේරුනාට විනාස වෙච්ච ගම්මානෙ දිහා බලාගෙන රවී කල්පනා කරේ එක දෙයයි.
“මේකද මං බලාපොරොත්තු වෙච්ච සැනසීම”
“මේක නෙවෙයි මං බලාපොරොත්තු වෙච්ච දේ” කියල රවී භූතයට කිව්වට භූතය කලේ සුපුරුදු විදියටම හිනා වෙච්ච එක. රවී කාලෙට ගෙවෙන්න ඉඩ දුන්න. තුන්වෙනි වරේ ඉල්ලන්න රවීගෙ හිතට හයියක් තිබ්බෙත් නෑ. ඒ වගේම එයාගෙ හිතට ඒ වරය ඉල්ලන්න ලොකු බයකුත් තිබ්බා. රවී වයසට ගියා. අම්මා මැරුණා.
“ඔයා හිනාවෙලා ඉන්න දවසක තමයි පුතේ මගෙ ආත්මෙට සැනසීමක් හම්බුවෙන්නෙ” කියලා මැරෙන්න කලින් අම්මා කිව්වට හිනාවෙන්නෙ කොහොමද කියල රවී දැනන් උන්නේ නෑ.
ඒ වගේ දවසක තමයි රවී ආයෙ වතාවක් පහණ එලියට අරගත්තෙ.
සුපුරුදු විදියට භූතයා ආව. අවසන් වරය තාම ඉතිරි බව මතක් කරලා දුන්නා. භූතයා වෙනුවට මේ වතාවෙ හිනා උනේ රවී.
“මට මේ පාර මුකුත්ම උවමනා නෑ” රවී කිව්වා. “මට දැනගන්න ඕන එක දෙයක් විතරයි, ඇයි ඔයා මං ඉල්ලපු දේවල් මං බලාපොරොත්තු නොවුන විදියට ලබා දුන්නෙ?”
භුතයා උන්නෙ කලින්ටත් වඩා වයසට ගිහින්. හිනාවෙන්න උත්සහ කරාට භූතයගෙ කටෙන් මේ පාර පිට වුනේ හිනාවක් නෙවෙයි මහ දුක හිතෙන හඬක්.
“මං දුන්නා රවී. ඔයා බලාපොරොත්තු වෙච්ච හැමදේම දුන්නා. ඇත්ත. මං ඒ දේවල් දුන්නෙ ඔයා බලාපොරොත්තු වෙච්ච විදියට නෙවෙයි.ඔයා ඉල්ලපු form එකෙන් නුදුන්න බව ඇත්ත. ඔයා කිව්වා ඔයාට ඕන සැනසීමෙන් ඉන්න කියලා. හිත ඇතුලෙන් ඔයා හිතුවා නේද සැනසීම කියන්නෙ කවුරුවත් නැති ලෝකෙක ඉන්න එක කියලා? මතකද වර තුන දෙන්න කලින් මම කිව්වා මේ පහණ කිසිම command එකකට ඔලුව නවන්නෙ නෑ හැබැයි intentions වලට සවන් දෙනවා කියලා?
අන්න ඒකයි උනේ. ඔයා කිව්ව දේ මට ඇහුනා. ඔයා හිත ඇතුලෙන් හිතපු දේ මම දැක්කා. ඔයාගෙ intentions වලට අනුව ඔයාට ලැබිය යුතු දේ ලැබුණා”
“එතකොට මේ හැමදේම උනේ මගෙ වරදකින්ද?”
“නෑ, ඒක ඔයාගෙ වරද නෙවෙයි. ඒ තමයි ජීවිතේ හැටි.ජීවිතේ අපි ඉල්ලන සමහර දේවල් අපිට දෙන්නෙ අපිටවත් හිතාගන්න බැරි මහ අමුතු twist එකක් එක්ක.අපි ඉල්ලන සමහර දේවල් පිටිපස්සෙ තියෙන්නෙ අපිටවත් හිතාගන්න බැරි විදියෙ මහ අමුතු intentions. ජීවිතේ ඉස්සරහට ගෙවෙන්නෙ අන්න ඒ intentions එක්ක”
රවී ඉන්පස්සෙ කලේ සෑහෙන වෙලා පුටුවක වාඩිවෙලා භූතයා කිව්ව මේ දේවල් ගැන කල්පනා කරන එක. තමන්ගෙ ජීවිතේ ඉස්සරහ දවස් හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් තමන්ගෙ intentions අනුව කියන එක තේරුම්ගන්න උත්සහ කර එක.
අන්න ඒ සිතුවිල්ල එක්ක තමයි රවී පහණ අරගෙන ගෙයින් පිටවුණේ. එකම එක deep breath එකක් එක්ක රවී භූතයට කිව්වෙ එකම එක කතාවක් විතරයි. ඒ “මම ඔයාව නිදහස් කරන්නම්” කියන එක.
රවී ගඟේ වතුර උඩට දාපු පහණ ගංගා පතුල බලා යන්න කළින් එලියට ආව භූතයා රවීට කිව්වෙ එක දෙයයි.
“ඇත්තටම නිදහස් කියලා කියන්න පුලුවන් කිසිම දෙයක් උවමනා කරන්නෙ, බලාපොරොත්තු වෙන්නෙ නැති මිනිස්සු”
පහණ ගඟ පතුලට ගියේ රවීගෙ හිත අස්සෙ තිබිච්ච පසුතැවිලි වීම් ඔක්කොම හිත පතුලෙ නිදන් කරන ගමන්.එදයින් පස්සෙ තමයි රවී ඇත්තටම එයාගෙ අම්මා බලාපොරොත්තු වෙච්ච විදියට හිනාවෙලා, පසුතැවීමක් නැතුව ජීවත්වෙන්න පටන් ගත්තෙ.
මොකද එයා දැනගෙන හිටියා “සමහර වෙලාවට අපිට ඕන කියලා අපි හිතන දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියන එක”
ReplyForwardAdd reaction |