“දූ හිතනවද දූ ඔය හැප්පෙන්න හදන කලු ගලේ ඔලුව වැදිලා තුවාල වෙන එකක් නෑ කියලා. අමතක කරන්න එපා පුතේ ඔයා කරන්න යන දේ මොන තරම් හොඳ දෙයක් උනත් පුතේ සමහර වෙලාවට සමහර දේවල් අපිට කරන්න බෑ. ඔය සත්සරා කියන්නෙ තාත්තා කවුද කියල නොදන්න, අම්මගෙ ආදරයක් රැකවරණයක් නොලැබිච්ච දරුවෙල්. ඒකෙන්ම පුතාට තේරුම්ගන්න පුලුවන් ඇතිනෙ ඒ ළමයගෙ අසරණකමේ තරම. අනික සමහර ළමයි ඔය වගේ ඉරණමක් අරන් එන්නෙ උප්පත්තියෙන් මයි. එහෙම ළමයින්ගෙ ඉරණම වෙනස් කරන්න ඔය දරුවා වගේ මිනිස්සු කොච්චර උත්සහ කරත් ඒක එහෙම කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා.
අන්තිමේ සමහරවිට මේ ප්‍රශ්නෙ හන්ද සත්සරාගේ ජීවිතේ තව විනාස අඩියකට වැටිල, ඔය දරුවයි අපි වෙනම ලෝක අමාරුවක වැටෙන්න වුණත් ඉඩ තියෙනවා කියන එක අමතක කරන්න එපා” කියා සද්ධානන්ද මහත්තයා කිව්ව කතාව සමුධ්‍යා එදා රැයේ නින්දට ගිහිල්ලත් මතක් කරන්නට කටයුතු කරාය. සද්ධානන්ද මහත්තයා මේ ගමේ අවුරුදු ගණනාවක් ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඔස්සේ ඒ කතාව කියන්නට ඇති බව සමුධ්‍යාට රහසක් නොවේ. මිනිසුන් ගැන ඉගෙන ගන්නට පුලුවන් වන්නේ ඔවුන් සමග ජීවත්වීමෙන් ලබන අත්දැකීම් වලින් නිසාම ලක්ෂිත සහ ඔහුගේ දේශපාලන බලයක් සහිත පියා ගැන තමන්ට වඩා අදහසක් සද්ධානන්ද මහත්තයට තිබෙන බව සමුධ්‍යා පිළිගත්තාය.
“ඒ වුනාට එහෙමයි කියලා සල්ලියි බලයයි නිසා මේ වගේ පාප වැඩ කරන මිනිස්සුන්ට ඉඩ දීලා බලන් ඉන්න පුලුවන් ද?” කියා සමුධ්‍යා ඒ නිදි නැති රැයේ කියාගත්තේ තමන්ටමය. සමුධ්‍යා සත්සරාව වෛද්‍යවරයෙකු කරා ගෙනයන්නට කටයුතු කරේ ඒ සිතුවිල්ල අනුවය. සද්ධානන්ද මහත්තයා මෙයට කිසිසේත්ම එකඟ නොවන බව දන්නා නමුත් නොසිතූ පරිද්දෙන් සද්ධානන්ද නෝනා සහ ගුණවතී ලබා දුන් සහය සමුධ්‍යාට බය නැතුව එක් අඩියක් ඉස්සරහට තියන්නට රුකුල් දුන්නාය.
එදා සත්සරාට සිදුවුණ දේ දැනගත්තයින් පස්සේ ගුණවතී උන්නේ කිසිම දෙයක් කරගන්නට නොහැකි පරිද්දෙන් අත පය අගුලු වැටී මෙන් එක තැනකට වී කල්පනා කරමින් ය. එහෙත් හිත තිබුනේ බොහෝ දුර ඈතක විහිදෙමින් ය.
“මෙච්චර දෙයක් වෙලත් ඇයි පුතේ උඹ මට කිසි දෙයක් කිව්වෙ නැත්තෙ?” කියා ආච්චි මෙතෙක් වේලා පැල අස්සේ තිබුණ නිහඬ බව බිඳිද්දී සත්සරා හැරුණේ ඇස් දෙකේ කඳුලු පුරවාගෙනය. ඒ මේ වුන කිසි දෙයක් හින්දා හිත අස්සේ පැලපදියම්ව තිබූ දුකක් හෝ බයක් නිසාවෙන් හටගත් කඳුලක් නොවේ. ආච්චි තමන්ට “පුතේ”කියා අමතන්නේ දරාගන්න බැරි තරමේ ආදරයක් නිසාවෙන් බවට තේරුම්ගිය දුකකින් ය.
“මට බය හිතුනා ආච්චියෙ”
“මං උඹට ගහයි බණියි කියලද?”
“නෑ ආච්චි අම්මේ මට බය හිතුනා ආච්චි අම්මා ඔය විත්තියක් දැනගත්තයින් පස්සෙ මන්ත්‍රී ගෙදර වැඩට යන්න බැරුව අපිට කන්න හෙම නැතිවෙයි කියලා” සත්සරා වචන අවසන් කලේ ආයෙමත් අලුත් වුන ඉකි බිඳුමක් එක්කය. ගුණවතී සත්සරාව ළඟට ගෙන තුරුලු කරගත්තේ ඒ කඳුලු නවත්තවන්නට මෙනි.
“උඹට මෙච්චර කාලෙකට අම්මයි අප්පයි දෙන්නම උනේ මම. එහෙම එකේ එදාවේල හම්බ කරගන්න කියල මං කවදාකවත් උඹව බිල්ලට දෙයි කියල උඹ හිතුවෙ කොහොමද පුතේ? උඹව නැතිකරන්න හිතාන මං උඹේ අම්මට මං දන්න අත් බේත් ගොඩ බේත් කර විත්තිය හැබෑව. ඒකි කරගත්ත අසමජ්ජාති අපරාදෙ හන්ද ගම්මුන්ගෙන් ඒකිට වඩා කතා ඇහුවෙ, දුක් වුනේ මං බව ඇත්ත. උඹ ඉපදෙන්න කලියෙන් මං උඹ ගැන හිතුවෙ අපේ නම්බුව විනාසකරන්න ආව කාලකණ්ණි පැටියෙක් බව හැබෑව. හැබැයි උඹ උපදිලා උඹෙ අම්මා උඹෙ මූණවත් දකින්න අකමැතිවෙච්ච වෙලේ උඹව අතට අරගත්ත වෙලේ ඉඳලා මේ වෙනකම් මං උඹට ආදරේ මිස වෛර කලේ නෑ පුතේ. මං හිතුවෙ මට මගෙ කෙල්ලව බේරගන්න බැරි වෙච්ච එකේ ඒකිව හරි පාරෙ යවන්න බැරිවෙච්ච එකේ උඹට හරි පාර පෙන්නල දෙනවා කියලයි මං හිතුවෙ. මං කවදාවත් හිතුවෙ නෑ බං උඹට මගෙ ඇස් මානෙ මෙහෙම දෙයක් වෙයි කියලා”
ගුණවතීත් සත්සරාත් එකම රැයක නින්දක් නොමැතිව සත්සරා ගැන හිතමින් දෙතැනක ඉද්දී ලක්ෂිත උන්නේ දහවලේ වෙච්ච දේ ගැන කල්පනා කරමින් සත්සරා ගැන කෝපයෙන් බලමින් ය.
“ඒකි නිකන් එකපාර පත්තිනි අම්මා වගේ රඟපාන්න ගත්තෙ කලින් වතාවල මං එක්ක හිනාවෙලා කතාකරපුව අමතක වෙලා වගේ… බැල්ලි. අම්මට අතට අහුවෙන්න ඔන්න මෙන්න කියල කියද්දි තමයි කටට බේරෙන්න වචන ටිකක් ආවෙ. තව තප්පරයක් දෙකක් මිස් උනානම් ඉවරයි” කියා ලක්ශිත හිතුවේ අම්මාගේත් ගුණවතීගේත් ඇස් අස්සෙ එවෙලෙ ඇඳී තිබුන ප්‍රශ්නාර්ත බැල්ම නැවත නැවත මතක් කරගන්නා ගමන් න.
අනෙක් අතට සත්සරාව අල්ලාගන්නට මෙච්චර දවසක් ගත්ත එක ගැන ලක්ෂිත උන්නේ තමන් එක්කම තරහකින් ය. පළවෙනි දෙවනි වතාවේ සත්සරා තමන් එක්ක හිනාවෙමින් කතාකරමින්, තමන් මාන බලන්නේ ඇයව ඩැහැගන්නට කියා නොදනිමින් උන් කාලයේ ඇයව පොඩි කර දැම්මා නම් මෙවන් ප්‍රශ්නයක් අද නොවන බව ලක්ෂිත නොදන්නවා නොවේ.
“වෙනදට හිනාවෙලා මාත් එක්ක ලකී මහත්තයා කියල කතා කරන ගෑණි අද බයවෙච්ච ගමන් මාව තල්ලු කරලා යන්න ගියේ මොකක් හරි වෙනසක් ඒකිට තේරිච්ච හන්දනෙ. ඒකිට එකපාර මේ ඤාණෙ පහල වෙන්නෙ නෑනෙ මං මොකාටද එන්නෙ කියල තේරෙන්න. එක්කො ඒකි මේ විත්තිය කාට හරි කියල තියෙනවා. එහෙම නැත්තම් කවුරුහරි මේක දැකලා ඒකිට මොකක් හරි කියලා තියෙනවා” කියා හිතෙද්දිත් හිත අස්සෙන් එක්තරා බියක් මතුවෙනු ලක්ශිතට නොතේරුනා නොවේ. තාත්තට කොච්චර දේශපාලන බලයක් තිබ්බත්, මෙහෙම දෙයක් එලියට ආව තැනක තමන්ට නීතියෙන් කොච්චර ගැලවීමක් ලැබුණත් මිනිසුන්ගේ සිත් වලින්, ඇස් වලින් ගැලවීමක් නොලැබෙන බව ලක්ෂිත දැන උන්නේය.
“ඕකි ආයෙ මෙහෙ ඒවිනෙ කවදහරි. ඒ නැතත් මං ඕකිට හොඳ පාඩමක් උගන්නනවා. මං ඕකිට හොඳින් කතා කරා වැඩියි” කියා හිතමින් ලක්ෂිත සුව නින්දක් උදෙසා දෙනෙත් පියාගනිද්දි සත්සරා උන්නේ තවත් නිදි නොමැති රැයක් වෙනුවෙන් ඇහැර ගෙනය. දහවලට කොපමන අව් රස්නයක් පරමාකන්ද ගමට උඩින් පෑයුවද රාත්‍රිය තිබෙන්නේ එතරම්ම සීතලකින් ගල් වීය. පොල් අතුත් මැටිත් සම සමව ගෙන තනා තිබුන පැලේ පොල් අතු හිඩැස් අස්සෙන් ආ සීතල ඇඟේ දැවටෙද්දී සත්සරා ආච්චි අම්මාට තව තවත් තුරුලු වුණාය. ආච්චි අම්මා මෙසේ තමන්ව තුරුලු කරගත්තේ ජීවිතේ පළමු වතාවට බව දන්නවා උනත් ආච්චි අම්මාගේ ඇඟෙන් මිදී ආ ඒ උණුසුම අස්සෙ සත්සරාට දැනුනේ සුපුරුදු බවකි. ආච්චි අම්මා කෙනෙකුට වඩා අම්මා කෙනෙකුගේ උණුහුමකි. ඒ උණුහුම ඔස්සේ තමන්ට බිය වන්නට කාරණා නැති බව දන්නවා නමුත් ආච්චි අම්මාට හැමදාකම තමන්ව පරිස්සම් කරන්න බැරි බව දන්න හන්දාම සත්සරා මෙතෙක් වෙලා තමන් වටා තිබූ නිහඬ බව බිඳින්නට මුව විවර කලාය.
“මට හරි බයයි ආච්චියෙ” කියා සත්සරා ආයෙම වතාවක් කියද්දී ගුණවතී සත්සරාව තුරුලු කරගෙන මෙසේ කිව්වාය.
“අපි බයවෙන්න ඕන අපි මොකක් හරි වැරැද්දක් කරානම් විතරයි කෙල්ලෙ. මෙතන උඹ වැරැද්දක් කරලා නෑ. උඹටයි වැරැද්ද වෙලා තියෙන්නෙ. එහෙම එකේ බයවෙන්න ඕන වැරැද්ද කරපු එවුන් මිසක්කා වැරැද්දක් වෙච්ච එවුන් නෙවෙයි.
අනික…
මට මගේ දරුවා බේරගන්න බැරිවෙච්ච එක ඇත්ත. හැබැයි මං උඹට ඉස්සරහට කිසිම කරදරයක් එන්න ඉඩක් තියන්නෙ නෑ මයෙ පුතේ”