සියල්ල වැරදෙමින් යයි. සියල්ල මා අතිශය දරුණු ලෙසින් රිදවමින් සිදු වන්නේය. එහෙත්, නොවෙනස්වන යමක් දරා ගැනීම වෙනුවෙන් සිත සහ හදවත සම්මුති ගත වී ඇත. අවැසි වන්නේ මේ අසීරු දවස් ගෙවා ගැනීමය
ජීවිතය අපට අවශ්‍ය සියල්ල ඒ පරිද්දෙන්ම ලබා දෙන්නේ නැත. මේ සාක්ශාත්ව නැගෙන්නේ ඒ සත්‍යයය.
තනුර මට පෙම් කරන බව කීවේ අප දේශන අවසන් වී නේවාසිකාගාරයට යමින් සිටියදීය. මම ගල් ගැසී බලා උන්නෙමි . ඔහු මුළු කණ්ඩායමේම සිසුවියන්ගේ ආකර්ෂණය දිනාගත් අයෙකි. එහෙව් ඔහු මට පෙම් කරන බව පැවසීම එවෙලෙහි මට විශ්වාස කරගත නොහැකි විය. ඒ තියා මගේ මිතුරියන්ද තනුර එලෙසින් පැවසූ බව විශ්වාස කර ගත නොහැකිව මෙන් එම කෙටි පණිවිඩය යළි යළි පෙන්වන මෙන් ඉල්ලූ ආකාරය මට අමතක නැත.
” ආ ඔය තියෙන්නේ ….ඒක තමයි කියන්නේ පතාගෙන එන ඒවා තමයි යොදාගෙන යන්නේ කියලා. කොච්චර කට්ටිය ක්‍රෂ් එකේ හිටියත් අන්තිමේදී කොහොම හරි තනුරගේ හිත බැඳුනේ පවනිටනේ…. ඕක තමයි ඉතින් කියන්නේ වාසනාව කියලා…. “
ඒ දින වල මිතුරියන් සේම අප උන් නේවාසිකාගාර ගොඩනැගිල්ලේහි වූ සියල්ලන්ගේම කතාබහ වූයේ අපි දෙදෙනාය. තනුර නිසා මා සරසවිය තුල තරුවක් විය. අප සැනසීමෙන් පෙම් කලෙමු.
මා උන්නේ සැබෑම සතුටිනි. අධ්‍යාපන කටයුතු සේම විෂය බාහිර කටයුතු වලදීද අප එක්ව කටයුතු කලෙමු.
උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු ආයතන දෙකක රැකියා සමඟ අප කාර්‍යබහුල වූයෙ මු. සියල්ල වෙනස් වෙමින් යන බව මට වැටහුනේ ඉනුත් ටික කාලයකට පසුවය. එහෙත් මට තනුර අවිශ්වාස කිරීමෙහි උවමනාවක් තිබුනේ නැත. ඔහු මහ මග හරින බවත් වෙනදා මා කෙරෙහි දැක්වූ උත්කර්ෂවත් ප්‍රහර්ෂය ඔහු වෙතින් මා කෙරෙහි කාන්දු නොවන බවත් වැටහෙද්දී පවා මම ඔහු විශ්වාස කරමින් බලා උන්නෙමි.
අහිමි වන්නට යන බව වන ඉඟිය පළමු වතාවට ඉතා තදින් දැනුනාට පසුව මම ඒ ගැන තනුර සමග කතාබහ කරන්නට තීරණය කළෙමි.
” අනේ පින් සිද්ධ වෙයි ඔළුව කන්නැතුව ඉන්නවද …කවුරු හරි කියනවා මල විකාරයක්… ඊට පස්සේ ඒක හිතාගෙන ඇවිල්ලා මාත් එක්ක පැටලෙන්න තියාගන්න එපා එපා…. මේ දවස්වල මාරම ස්ට්‍රෙස් එකේ වැඩ ගොඩක ඉන්නේ…. ඔයත් ඔලුව කන්න තියා ගත්තහම මට ජීවිතේ එපා වෙනවා… ප්ලීස් පවනි..”
පළමු දවසේ තනුරට තිබුණේ ඒ හා සමාන පිළිතුරකි. ඉන් පසුවද මම ඒ පිළිබඳව විමසන හැම වතාවකම තනුර ඒ හා සමාන පිළිතුරු දී මග හැරියේය.
” තනුර ගැන පොඩ්ඩක් හොයලා බලපන්. ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක ඌ ලන්ච් ගන්න යනව එනවා දෙතුන් දෙනෙක්ම දැකලා තියෙනවා…..”
අප දෙදෙනාගේම මිතුරියකගෙන් මට එලෙසින් අනතුරු ඇඟවීමක් ලැබිණි.
ඉන් තව ටික කාලයකට පස්සේ තනුර සමඟ ගත් ඡායාරූපයක් අදාල තරුණියගේ මුහුණු පොත් ගිණුම සොයාගන්නට මටම ඉඩ ලැබුණේය.
ඉන් එහාට ඒ පිළිබඳව සඟවා බලමින් කතා කරන්නට අවශ්‍ය වූයේ නැත මම තනුරගෙන් ඍජුවම ඒ පිළිබඳව විමසා සිටියෙමි.
“ඔව් යාළුයි… ඇයි?”
තනුරුදු තිබුනේ එවන් පිළිතුරකි. සැබැවින්ම මට එයට දෙන්නට එවෙලෙහි පිළිතුරක් නැඟුණේ නැත.
“ඒත්… මම ?”
“මේක මගේ කැමැත්ත ඉතින්… මං ඒකට ඔයාට උත්තර දෙන්න ඕනි නැහැ…”
පියවි සිහියට එළඹ සියල්ල සිදුවන්නේ කෙලෙසින්ද වටහාගත් මොහොතේ පටන් මම අතීතය ස්මරණය කරමින් තනුර අමතමින් හඬා වැටුනෙමි. එක දිගට කෙටි පණිවිඩ යැවුවෙමි. එක දිගට ඇමතුම් ගත්තෙමි.
මට එලෙසින් කියවන්නට ඉඩ දුන් තනුර එක්වරම සියලු සම්බන්ධතා මාර්ගවලින් මා අවහිර කළ දැම්මේය. ඔහුගේ මිතුරන් හරහා ඔහු සම්බන්ධ කරගන්නට දැරූ උත්සාහය යන්න ව්‍යාර්ථිය.
මට උමතු නොවී සිටින්නට හැකි වුවේ නැත මම තනුරගේ නවාතැනටද ඔහු සොයාගෙන ගියෙමි. නමුත් ඔහු නවාතැන මාරු කර තිබුණේය.
” මට තේරෙන්නේ නෑ මම මොකක්ද කරන්න ඕනි කියලා මේ සාරා.. තනුර නැති ජීවිතයක් ගැන මට තේරෙන්නෙ නෑ. මගේ ජීවිතයේ හැම දෙයක්ම කේන්ද්‍ර වෙලා තිබ්බේ තනුර වටේ. මම එයාට ආදරේ කරේ මට මට පුළුවන් උපරිමයෙන්….අනේ මම මොකක්ද කරන්නේ ?”
මම මහා හඬින් හඬා වැළපෙමින් මගේ මිතුරියට කෙටි පණිවිඩ යැව්වෙමි.
” ඒක අපි නොදන්නවා නෙමෙයි නේ. ඒත් මේ වෙලාවේ මේ සිද්ධ වෙලා තියෙන දේ පිළිගන්න ඕනේ… ආයේම තනුරට බැඳෙන්න හිතෙන වාරයක් පාසා අර කෙල්ලගේ ප්‍රොෆයිල් එක බලන්න. තනුර ඔයාට ආදරයක් නෙවෙයි අඩු තරමෙ හොඳම යාලුකමක් වත් තියෙනවා නම් ඔයාව තවත් පාවිච්චි නොකර ඔහේ ජීවිතේ හදාගන්න දෙන්න තිබුන… ඔයාගෙන් පිළිවෙළට බ්‍රේක් අප් වෙන්න තිබුනා…. ඒත් අවුරුදුී කීයක් එයා ඒ බොරුව කරලාද ? . අපි කොච්චර අපේ හිත රවට්ටගන්න හැදුවත් ඇත්ත කියන්නෙ මහ වේදනාත්මක දෙයක්. දැන් ඔයා ගැන හිතන්න ගන්න . ඔය හොඳ ගතිගුණ ඔහොමම තියාගෙන දැන් ඔයා ගැන හිතන්න ගන්න..”
ඕ එලෙසින් පැවසුවාය. ඉන්පසුවද දිගින් දිගටම මා අමතමින් සිත ශක්තිමත්ව තබා ගැනීම සඳහා මට උපකාර කලාය. මට සිත් සේ කියවන්නට දී අසා උන්නාය.
එළඹුණු සති අන්තයේ සෙනසුරාදා උදෑසනම ඇය මගේ නවාතැන කරා පැමිණ උන්නේ සතියක් නවතින්නට බඩු මුට්ටුද උත්සාහගෙනය
” එතකොට ඔෆිස් යන්නේ නැද්ද?”
” සතියක් work from home ඉල්ලගත්තා අවුලක් නෑ. අපේ බොසා සීන් එක තේරුම්ගත්තා…..”
ඇය එලෙසින් පවසා බලෙන්ම නවාතැන් තුළට ඇතුළු වූවාය.
” බලනවය මේකෙ හැටි…. මේ වගේ තැනක මනුස්සයෙක්ට පුළුවන්ද ජීවත් වෙන්න ….ලෑස්ති වෙනවා ලෑස්ති වෙනවා. මේවා අස්පරස් කරලා අලුතෙන් හුස්මක් කටක් ගමු…”
අපි දෙදෙනා එක්ව මුළු නවාතැනම කණපිට ගැහුවෙමු. ජීවිතය අලුත් වන්නට එවන් කුඩා කුඩා වෙනස්වීම්වලින් ලැබෙන්නේ සුළුපටු උත්තේජනයක් නොවේය.
ඒ පැය කිහිපය තුළ මම ඉතා කාර්යබහුලව උන්නෙමි. මට තනුරව සිහිපත් වූයේ නැත. එහෙත් සියලු වැඩ අවසන් කර නාන කාමරයට ගොස් ශවරා යට සිට ගත්තාට පසු මට නොහඩා සිටින්නට හැකි වූයේ නැත
” ඇති තරං අඬන්න …හැබැයි මතක තියාගන්න උඹ දැන් උඹ ජීවිතේ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෙ. උඹ දැන් උඹව නැගිට්ටව ගන්න ඕනේ….”
සාරා මහා හඬින් එලෙස පවසනු ඇසුණි
වසර දෙකක් ගෙවී ගොස් අවසන්ය. තනුර ගේ හ හැරයාමෙන් විඩාබරව රෝගාතුර වූ සිත සුවපත් කරන්නට වෛද්‍ය ප්‍රතිකාරද ගන්නට සිදුවිය මාස හයක් පමණ උපදේශන කටයුතු වෙනුවෙන්ද සහභාගී වූයෙමි. සාරා ඒ සියලු කටයුතු සඳහා මා සමග සෙවනැල්ලක්වූවාය.
ජීවිතයට බලාපොරොත්තුවක් වත් තනාගන්නට නොහැකිව විඩාවෙන් සිටි මා යළිත් ජීවිතය දකින්නට බලාපොරොත්තු ගොඩගසා ගන්නට හැකි තරමේ ශක්තිමත් බවකින් පුරවන්නට සාරා උත්සුක වූවාය.
අද මම අලුත් රැකියාවක් සඳහා විදෙස් ගත වන්නෙමි . මට දැනෙන්නේ මා දෙවැනි වරට ඉපදෙන බවකි. ඒ උපත සාරා නම් මගේ මිතුරිය නිසාය ඉතා අසීරු අවස්ථාවක පවා මා අත් නොහැර මා අසලින් උන් ඇය නිසාය. මෙහෙව් යාලුකම් ජීවිතයට වාසනාවකි.
ReplyForwardAdd reaction |