සුසුවඳ සූත්‍ර – 55

0
3227

අන්තරා රයිස් කුකර් එකට රම්පේ කොළයක් කපා දැම්මා ය. රම්පේ සමගින් සම්බා හාලේ බත් පිසෙන විට හමනා සුවඳ දසත පැතිරෙයි. වැඩිය මිරිස් නො දමා දියට වාගේ හොදි තියා පිසූ මෝර කරවල හොදි හා ලුණු දමා බදින ලද වියළි මිරිස් කරලක් සමගින්, අම්මා ගේ රම්පේ බත් පිඟක් දෙකක් වුණත් බඩ පැලෙන්න කන්න නූපුර ට පිළිවන. විදේශ ගතවීමට පෙර සතියකට දින දෙකක්වත් නූපුර ගේ උදේ ආහාරය ලෙස සකසන්නේ මේ කෑම වට්ටෝරුවයි.

“කරෝල හොදි එක්ක බත් කන්නෝනෙ අම්ම”

කියා නූපුර කීවේ ලංකාවට පැමිණෙන අතර ගුවන් යානයේ දී ම ය. තුරුණු ඉලන්දාරියෙකු නොව තවමත් ඔහු සිය ගැටවර කොලු ගැටයා සේ ය අන්තරා ඔහු ගේ අතක් පිරිමැද උරහිස සිපගත්තේ. පුතු ළඟ ඉන්නවා නම් ඉර හඳ තාරකා වුණත් ඔහුට ගෙනැවිත් දිය හැකි සෙයක් ඇයට හැඟිණි. නූපුර දුරස් වී යාම කොයි තරම් හිස්තැනක් සිය ජීවිතයෙහි ඇති කොට තිබිණි ද කියා ඇයට දැනෙන්නේ දැන් ය.

නූපුර කැමති වූයේ සීයා ජිතේන්ද්‍ර ගේ ගෙදර යනු වෙනුවට ඉපදුණු දා සිට ලංකාවෙන් පිටව යන තුරු ම ඔහු හැදී වැඩුණු ඔහු ගේ ගෙදර නතර වෙන්නටයි. අන්තරා ඔහු ගේ කැමැත්තට ඉඩ දුන්නා ය. ශරීරය සුවපත් වනුයේ හිත සුවපත් වූ විටයි. හිත් සුව වනුයේ පෑරෙන්නේ නොමැතිව නිසංසලේ පවතින විටයි. තමන් කැමති තැනක ජීවත් වන්නට ලැබීම තරම් සුවයක් හදවතකට තව තිබිය හැකි ද?

“ඔක්කොම කන්නෝනේ…”

අන්තරා බත් පිඟාන ද ගෙන නූපුර ළඟින් වාඩි වූයේ පොඩි කාලේ සිට ම කියනා කතාවත් එක්කයි. අම්මා කවන විට ඔහු පොතක් දෙස හෝ පරිගණකය දෙස බලාගෙන, කන්නේ මොනවාද කියා හෝ නො දැන බත් ටික කයි. ඔහු ආසාම සරල කෑම වට්ටෝරුවක් ඇති දාකට දෙවාරයක් බත් කයි. නමුත් අතින් කන්නට දුන් විට බත් කටවල් තුන හතරක් යන්තමින් ගිල දමා අත සෝදාගනී. කොයි තරම් වැඩ තිබුණත් අන්තරා ඔහු ට තුන් වේල නො වරදවා කෑම කැව්වේ එබැවිනි. ඒ දුටු අය අනන්තවත් ඇයට දොස් කියා තිබේ. නූපුර දිනෙක තමන්ගේ ජීවිතය තනිව ගත කරන්නට නො දැන වැඩිහිටි වනු ඇතැයි චෝදනා කොට තිබේ. නමුත් අන්තරා සිතුවේ ඔහු ගේ කුස පිරෙන්නට පෝෂ්‍යදායී අහරක් වැටීම ගැනයි. දක්ෂිණ පවා දොස් පවරත්දී ඇය නූපුර ට කෑම කැව්වා ය. නමුත් විදේශයකදී ඔහු ට කවන්නට කෙනෙකු සිටියේ නැත. ඔහු සිය කටයුතු සියල්ල ම තනිව කරගෙන තිබේ. ඔහු ගේ ළඟින් හිඳ ආදරය දෙන්නට කිසිවෙකු එහි සිටියේ නොවේ. හැකි සැම විට ම තම දරුවන්ට දිය හැකි උපරිමයෙන් ආදරය දීමේ වැදගත්කම එය යයි අන්තරා මේ දැනුත් සිතයි.

“මට දැන්නං හොඳයි අම්ම. හැබැයි දැං හිතෙනව සෙමෙස්ටර් එකේ පාඩුව බලන්නැතුව ගෙදර ආපු එක හොඳයි කියල”

“ඇයි…”

අන්තරා බත් කටක් නූපුර ගේ මුවෙහි ලූවා ය.

“අම්ම ළඟ මෙහෙම ඉඳල ගියාම තව අවුරුද්දක් දෙකක් වුණත් ඇදගන්න පුළුවන් වෙයි. ඔසී වල හිටියනං කවුද මාව මෙහෙම බලාගන්නෙ…”

රෝගයක් සුව වන්නට වෙදකම් වලට වැඩියෙන් හෙදකම් බලපානවා ය යන්න පැරණි කියමනකි. නූපුර ගේ සැත්කම් තුවාල ඒ තරම් පරිස්සමෙන් හා ඉක්මනින සුව වූවේත් අන්තරා ගේ හෙදකම් නිසා විය හැක. නූපුර ගේ හිසෙහි වූ ගෙඩියෙහි සෛල පරීක්ෂාවෙන් පසු එය සාමාන්‍ය ගෙඩියක් බවට දන්වා විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණ පරීක්ෂණ වාර්තාව අන්තරා ගේ සේ ම දක්ෂිණ ගේ ද හිස් හා හිත් මත පැටවී තිබූ බර සැහැල්ලු කළේ ය.

“යුගාත්ම අංකල් හරි හොඳයි නේ…”

නූපුර ගේ ඒ හදිසි පැනයෙන් අන්තරා තිගැස්සී ගියා ය. නමුත් ඒ බව නුූපුර ට නො පෙන්විය යුතු ද වූයේ ය.

“ඇයි…”

අන්තරා විමසූවේ බත් පත මත නෙතු රඳවාගෙනයි.

“එහෙම හිතෙනව. දැනෙනව. හැම මනුස්සයෙක් ගැනම එහෙම හිතෙන්නෑනෙ”

නූපුර ගේ මූණ දෙස කෙලින් බලන්නට බැරි අපහසුවක් අන්තරා ට දැනෙමින් තිබිණ.

“අම්ම දන්නවද මට ඉස්සර අර සම්පතී ආන්ටිව පේන්න බෑ”

අන්තරා ගේ හදවත් බිත්ති වල සංකෝචනයක් සිදු විය. පොඩි කමට ඔහු ඇයව ‘සම්පතී ගෑනි’ ලෙස හැඳින්වූ හැටි ඇයට සිහි වූයේ ය.

“මට තිබුණ එකම කේන්තිය අපේ තාත්තව ඒගොල්ලො අයිති කරගත්ත එක වෙන්නැති. අම්ම අඬන හැටි… දුක් විඳින හැටි මට බලං ඉන්න බැරි වුණා. ඊටත් වැඩිය අපේ තාත්ත අපිට විතරයි අයිති වෙන්න ඕනෙ අපිට විතරයි ආදරේ කරන්නෝනෙ වගේ හැඟීමක් ඒක. තව ටිකක් ලොක වෙනකොට මට තාත්ත ගැනත් දැනුණෙ කේන්තියක්. තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් කියන්නෙ ඒ නමට සීමා වෙච්ච කෙනෙක් විතරක් වෙන්නෝනෙ කියල අදහසකින් වෙන්නැති ඒ. ඒ කියන්නෙ තාත්ත කියන මනුස්සයට ගෙදරින් එහාට වෙන ආදරයක් ඇතිවෙන්න බෑ වෙන හැඟීම් ඇති වෙන්න බෑ වගේ සෙල්ෆිශ් හිතිවිල්ලක් ඒක. ඒව අම්ම මේ රටවල පරම්පරා ගාණක් තිස්සෙ අපේ ඩීඑන්ඒ වලම ලියවෙච්ච සම්ප්‍රදායික ගති ඒ. ලෝකෙ ඊට වැඩිය ගොඩක් බ්‍රෝඩ් කියල දැනෙන්නෙ මේ දූපතෙන් එළියට ගියහම. මනුස්සයෙක් කියන්නෙ එක චරිතයක් නෙවෙයි. එක මනුස්සයෙක් ඇතුළෙ පොඩි ළමයෙක් තරුණ කොල්ලෙක් තාත්ත කෙනෙක් පුතෙක් ලවර්  කෙනෙක් වගේ චරිත ගාණක් ජීවත් වෙනව. තාත්ත කෙනෙක් කියන්නෙත් සාමාන්‍ය පිරිමියෙක්ට. අනිත් හැම මනුස්සයෙක්ටම වගේම තාත්ත කෙනෙක්ටත් පොදු පිරිමි හැඟීම් තියෙනව. හැබැයි හැඟීම් වලට වහල් වෙලා අපි වැරදි දේ කරනවද ඔළුවෙන් කල්පනා කරල හරි දේ කරනවද කියන තීරණේ තියෙන්නෙ අපි අතේමයි. හැබැයි දැං මං තාත්ත ගැන වුණත් තරහක් හිතන්නෑ. එයා වැරදි ම වුණත් ඒ වරදත් එක්ක මිනිහෙක් මැරිල යන්න ඕන නෑනෙ. එතනිං පටන් අරං එයා අලුත් ජීවිතයක් ගෙවපුදෙන්. කොච්චර මොනා වුණත් අපිට තාත්ත නැති වුණේ නෑනෙ කියල එදා හොස්පිට්ල් එකේදි එයාව දකිද්දි මට හිතුණ. තාත්ත අම්මව අතෑරල සම්පතී ආන්ටි ළඟට ගිය එක වුණත් හරිද වැරදිද කියල මං දැන් හිතන්නෑ. ඇත්තටම අපි හිතන්න ඕනත් නෑ. තාත්ත කියන්නෙත් මනුස්සයෙක්නෙ අම්ම…”

අන්තරා බලා සිටියේ විශ්මයෙන් මහත් වූ දෑස් වලිනි. නමුත් ඇගේ රතදර මත්තෙහි ලා හසරැල්ලක සේයා ඇඳී තිබිණ. ඇගේ තුරුලේ නැලැවුණු පුංචි කොලුවා ලොකු වී තිබේ. වැඩිහිටි හිතකින් හිතන්නට පටන්ගෙන තිබේ.

“අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කියන්නෙ රහත් වෙච්ච මනුස්සයෙක්ට නෙවෙයිනෙ අම්ම. එයාලටත් එයාලගෙම කියල ජීවිතයක් තියනව. එයාලගෙම හැඟීම් තියනව. එයාලටත් ආදරේ විඳින්න ඕනෙ. එයාලටත් ආදරේ කරන්න ඕනෙ. අම්ම තාත්ත කියන පදවියෙන් එහාට… අනිත් හැම මනුස්සයෙක්ටම තියන හැම හැඟීමක්ම එයාලටත් තියනව. ලෝකෙ අනිත් මිනිස්සුන්ව දකින්න පටංගත්තට පස්සෙ මට දැන් ඒක තේරෙනව”

අන්තරා ගේ ඇස් දිළිසෙමින් තිබිණ. ඒ කඳුළු පිරීමෙනි. පියා ගැන පුතු ගේ හිතේ තිබූ අපැහැදීම ඒ විදිහට තුනී වී යාම ගැන ඇයට දැනුණේ සැනසිල්ලකි. එසේ ම ඔහු ගේ පරිණතිය පිළිබඳ අම්මා වශයෙන් නිම් හිම් නැති සතුටකි.

“මට ඔයා ගැන ආඩම්බරයි පුතා. හැමදේම දරාගෙන ඔයා වෙනුවෙන් විතරක් ජීවත් වෙච්ච අම්මට ඔයා මේ දුන්න සැනසිල්ල ඇති. මගෙ පුතා අනිත් මිනිස්සුන්ව තේරුං ගන්න මනුස්සයෙක් කියන සතුට විතරක් මට ඇති”

පටල සේ දෑස් මත්තෙහි බැඳුණු කඳුළු, දෙපේළියක්ව කොපුල් තලා දිග රූරා වැටිණ. නූපුර අම්මා ගේ උරහිස වටා අතක් දමා ඇයව ඔහු ගේ සිරුරට ලං කොටගත්තේ ය.

“මං ඔයාගෙ පුතානෙ. ඉතිං ඔයා වගේ හිතන්නැති වෙයිද…ඒකට ටිකක් පරක්කු වුණා විතරයි”

අන්තරා වමතේ ඇඟිලි වලින් දෑස් මිරිකා හැරියා ය.

“තාත්තට විතරක් නෙවෙයි අම්මටත් ඒ හැමදේම අදාලයි. තාත්ත දැන් අම්ම ළඟ නැති වුණත් අම්ම සතුටෙන් ඉන්න ඕනෙ”

“මං සතුටෙන් තමයි බබා”

“මිනිස්සුන්ට කසාද බඳින්න වයසක් අදාල නෑ අම්ම. අවුරුදු හැටේදි වුණත් කෙනෙක්ට තමන් කැමති කෙනෙක් හම්බවුණොත් ඒ කෙනාට ලං වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒ දෙන්න කොච්චර තේරුං අරගෙන ජීවත් වෙනවද කියන එකයි වැදගත්. අම්ම යුගාත්ම අංකල් එක්ක ජීවිතේ ඉතුරු කාලෙ සතුටෙන් ඉන්නවට මන්නං කැමතියි”

“පුතා. ඔයා මොනාද කියන්නෙ…”

සැබවින් ඇය අපහසුවට පත් වූවා ය. සිය පුතු සමගින් මෙවන් මාතෘකාවක් ගැන කතා කරන්නට පෙරදිග මව්වරුන්ට ශක්තියක් ඇතැයි සිතිය නො හැකි ය.

“සීයා මට කිව්ව යුගාත්ම අංකල් කියන්නෙ කවුද කියල. එයාව හම්බවුණාට පස්සෙ මාත් දැනගත්ත එයා කොහොම කෙනෙක්ද කියල. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ඔය දෙන්න හොඳින් ඉඳී කියල. මගෙ අම්ම දැන්වත් හිනාවෙලා සතුටෙන් ඉන්නවනං මාත් කැමතියි”

අන්තරා පිඟාන පසෙක තබා ඉඳුල් අතින් ම නූපුර වැළඳගත්තා ය. ඇගේ දෑසින් එහෙම කඳුළු ගලා ගියේ ඇයි කියා ඇය ම දන්නේ නැත. නමුත් එසේ හැඬීමෙන් පසු කිසියම් සැහැල්ලුවක් දැනිණ.

“මට එහෙම ආයෙ බඳින්න ඕනකමක් නෑ බබා”

ඇය එසේ කීවේ රතු කරගත් මූණෙන් ලැජ්ජාවෙන් යුතුව ය.

“ඒත් එහෙම කළාම ආරක්ෂාවක් තියනව නේද අම්ම… සීය කියනව වගේ ඩිග්‍රි එක ඉවරවෙලා මං වැඩ කරන්න ගත්තහම මටත් වැඩිය අම්මව බලන්න බැරි වෙයි. ටික කාලෙකට වුණත් මට අම්මව මිස් වෙන්නත් පුළුවන්. යුගාත්ම අංකල් අම්ම ළඟින් ඉන්නවනං මට වුණත් බයක් නැතුව මගෙ වැඩක් කරගන්න පුළුවන්. අම්මයි තාත්තයි වෙන් වුණා කියලවත්… ඔය දෙන්න ආයෙ වෙන අයව මැරි කළා කියලවත්… අපි අතරෙ සම්බන්ධකං වල කිසිම වෙනසක් වෙන්නෑ කියල තේරෙන වයසක අම්ම දැන් මං ඉන්නෙ. අනික බලන්න මං අසනීප වුණ වෙලාවෙ… තාත්තයි යුගාත්ම අංකලුයි දෙන්නම හිටිය එක අම්මට වගේම මටත් මාර හයියක් වුණා. ජීවත් වෙන කාලෙ අපි සතුටෙන් ජීවත් වෙන්නයි ඕනෙ අම්ම”

අන්තරා ගේ කොපුල් වලට ලේ පුරා පුපුරු ගැසුවේ ය. ඇය යටි තොල්පට සපාගෙන බිම බලාන සිටියා ය. නූපුර අම්මා දෙස බලාගෙන ම සිටියේ ය. ඇය කෙතරම් නම් අහිංසක ගැහැනියක් ද? ආදරය නිසා දුක් විඳින්නට පමණක් නොව ආදරය නිසා සැනසෙන්නටත් ඇයට අයිතියක් තිබිය යුතුවා නොවේ ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here