පිණි මුතු පලසක් – 22

0
1042

“මං ඔයාව ඩ්‍රොප් කරන්නම්” කියා අරුණ අහද්දි සමුධ්‍යා ගැස්සුනේ අරුණ කිසිසේත්ම එවන් යෝජනාවක් කරනු ඇතැයි බලාපොරොත්තු නොවූ නිසාවෙනි.

“ම්ම්ම්…මේ”

“ඔයාට අවුලක් නැත්තම් මට ප්‍රශ්නයක් නෑ සමුධ්‍යාව ගිහින් ඩ්‍රොප් කරන එක. නැත්තම් ඔයාට තව සෑහෙන වෙලාවක් ඉන්න වෙයි නේද වාහනයක් උනත් හොයාගන්න?” කියද්දිත් සමුධ්‍යා ආපසු වරක් දුරකතනය දෙස බැලුවේ වැරදීමකින් හෝ පික් මී, ඌබර් රියදුරෙකු තමන්ගේ ඇණවුම භාරගෙන ඇතිදැයි බලන්නටය. එය සිදුව නැති බව දැනගැනීමම සමුධ්‍යාට ආපහු වරක් හිස සොලවා අරුණට එකඟතාවය පලකරන්නට හේතු වුණාය.

අරුණගේ වාහනය ඇතුලේ තිබුන වායු සමීකරණ සීතල. වාහනයෙන් පිටත ඇති වැසි සීතල සමග එක්ව සමුධ්‍යාව වෙව්ලුවන්නට හේතු වුණාය. අරුණ වාහනය ඇතුළත සීතල අඩු කරන්නට කටයුතු කරේ සමුධ්‍යාගේ ඇත් දල පැහැති අත් ගොබයේ හිරිගඩු පිපෙනු දුටු නිසාවෙන්මය. සමුධ්‍යා එයට සිනාවක් තිළිණ කර ස්තුතිවන්ත වෙද්දි අරුණ වාහනය ස්ටාට් කර ඉදිරියට ගමන ඇරඹුවේය.

මොනවා උනත් තමන්ට එහා පැත්තේ හිඳින්නිය තමන්ට පෞද්ගලිකවම සම්බන්ධ බව දැනෙද්දි අරුණගේ හිතට පොඩි චකිතයක් නොදැනුනා නොවේ. 

“හරි වැස්ස නේද?” කියා අරුණ ඒ චකිතය පහකරගන්නට මෙන් කතාකරද්දිත් සමුධ්‍යා උන්නේ වාහනයේ ඉදිරියම බලාගෙන වැටෙන වැස්ස දෙස බලමින් කල්පනා කරමින් ය.

“ඔව්, මෙහෙට මෙහෙම වැස්ස. ආනමඩුවට කොහොමද දන්නෙ නෑ”


“එහෙට කාලෙකට වහිනවා ඔය වැව් එහෙම උතුරුලා යන්න. පාරවල් එහෙමත් යටවෙනවා” කියා අරුණ කිව්වා නොවේ ඉබේම කටෙන් ඒ වචන පිටවුණේය. ඒ වචන ගැන අරුණ පසු තැවුනද එවෙලේ කරන්න දෙයක් අරුණට හැබෑවටම තිබුණේ නැත.

“ඔයා ඒ පැත්ත හොඳට දන්නවනේ? එහෙ ගිහින් එහෙම තියෙනවද?” කියා සමුධ්‍යා අහද්දී එයට පිළිතුරු විදියට “ඔව්” කියා කෙටි පිළිතුරක් දෙනවා මිසක අරුණ ඒ කතාව වඩා දිග්ගස්සාගන්නට හිතුවේ නැත.

“සමුධ්‍යා කොළඹමද?”

“ඔව්, නුගේගොඩ”

“ඉස්කෝලේ ගියේ අනුලද?”

“ඔව්”

“එතකොට කොහෙද ඔයා හයර් ස්ටඩිස් කරේ?”

“මට හම්බුනේ නිල්වලා එක”

“ආහ්. පලවෙනි පත්වීම හැමෝටම වගේ හම්බුවෙන්නෙ ගොඩක් දුර නේද?”

“ඔව්, සමහරු නම් ඉතින් ඔය පොලිටිකල් පවර් වලින් වගේ ඒව හදාගන්නවා.මම නම් ඇත්තටම එහෙම කරේ නෑ. මං ගියා. ඒ පැතිවල ඉන්නෙත් ළමයිනෙ. එයාලට උගන්නන්නත් කවුරු හරි ඉන්නෝනනෙ. අනික අපි ඒව දුශ්කර පැති කියල කියන්නෙ අපි මේ කොළඹ වගේ පැතිවල ඉපදිච්ච එහෙම හන්දනෙ. අඩුමගානෙ අපි එහෙම වාසනාවන්ත වෙලා ඉගෙන ගෙන, ඒ වගේ පැතිවලට ගිහිල්ලා ඒ දරුවන්ට ඉගැන්නුවොත් එයාලා කවදහරි දැනගනීවි එයාලගෙ පැති උනත් දියුණු කරන්න පුලුවන් කියලා”

“ඒ උනාට ඉතින් ගොඩක් වෙලාවට ඒක එහෙම වෙන්නෙ නෑ. අනික ඔය ගොඩක් ප්‍රදේශ තාම අන්ඩර් ඩිවලොප්මන්ට් තියෙන්න ලොකුම හේතුව පොලිටීශියන්ස්ලම තමා”

“අම්මෝ ඒක නම් සහතික ඇත්ත. ඔය මම අරගෙන ආව සත්සරා කියන දරුවට කරදර කරපු මනුස්සයගෙ තාත්තත් ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක්නෙ. මිනිස්සුන්ගෙ චන්දෙන් තමන්ට ගන්න පුලුවන් ඔක්කොම සැප අරගන්න ගමන්, දරුවන්ටත් ඒ සැප දෙන ගමන් වල් වනචර වැඩ කරන එක තමා කරන්නෙ. තමන්ගෙ දරුවො හදාගන්න බැරි මනුස්සයා කොහොමද අරුණ රට තියා ගමවත් හදන්නේ?

අනික ඕනම දරුවෙක් හැදෙන්නෙ තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ හැසිරීම බලලනෙ. ළමයින්ට හොඳ නරක කියලා දෙන්න ඕන දෙමව්පියො. හරිම රෙයා කේසස් තමයි තියෙන්නෙ අම්මලා තාත්තලා අන්තිමටම නරක වැඩ කරත් දරුවො හොඳට හැදෙන. ඒකට හොඳම උදාහරණෙ තමයි ඔය සත්සරාට කරදර කරපු ලක්ෂිත කියන බෝයි. එයාගේ තාත්තව නම් මම ඇහැට දැකලා නෑ ඒ උනාට ඉතින් ගමේ මිනිස්සු ඒ මනුස්සය පේන්න නැති තැන්වල කියන කතන්දර බොරු වෙන්න විදියක් නෑනෙ. තාත්තා කරපු දේ පුතා නොකරනම් වැඩක් නෑ කියනවනෙ. ඔය සත්සරාගෙ ආච්චි අම්මා තමයිලු ඒ ගෙදර දරුවො දෙන්නව පොඩි කාලෙ ඉඳලා බලාගෙන, නාවලා කවලා පොවලා තියෙන්නෙ. එහෙම තමන්ව අම්මා කෙනෙක්ව වගෙ බලාගත්ත මනුස්සයගෙ මිණිපිරීටම කරදර කරන්න බැලුවා කියන්නෙ ඉතින් එහෙම කෙනෙක්ට මනුස්සයෙක් කියන එකත් අනික් මිනිස්සුන්ට කරන අපහාසයක්” කියා සමුධ්‍යා කියාගෙන කියාගෙන යද්දි අරුණ ඇත්තටම උන්නේ කර කියාගන්න දෙයක් නැතුවය. සමුධ්‍යා කියන දේ වරදක් බොරුවක් නැති බව දන්නවා උනත්, ඒ වනාහී සම්පූර්ණ ඇත්තක් බව දන්නවා උනත් තමන්ගේ තාත්තා සහ සහෝදරයා ගැන වෙන කෙනෙකුගේ මුවෙන් මෙවන් දෙයක් අහන්නට ලැබීම දරුවෙකුට කොපමණ වේදනාවක්ද කියන එක විස්තර කරන්න වචන එවෙලේ අරුණ සතුව තිබුණේ නැත. ඒ වනාහී මහා වේදනාවකි. ඒ වේදනාව වචන ලෙස දෙතොල් අස්සෙන් පිටතට ලෙස්සා එතැයි බියෙන් මෙන් අරුණ “හ්ම්” කියා පිළිතුරු දීමේ වෙනසක් සමුධ්‍යා නොදැක්කේ අරුණ වඩා පරෙස්සම් සහගතව වාහනය ඉදිරියට රැගෙන යන්නට කටයුතු කරනවා යැයි ඇය වරදවා වටහා ගත් නිසාවෙනි.

“ඔයාට ඒ බෝයිව හම්බුවෙලා තියෙනවද?” කියා අරුණ වචන හසුරුවා ගත්තේ සමුධ්‍යාගේ හිතේ තමන් ගැන යම් සැකයක් තියේනම් ඒක වලක්වාගනු පිණිසය.

“කාවද?”

“ඔය කිව්ව ලක්ශිත කියන බෝයිව”

“ආහ් ඔව්. වතාවක් එයා මම ගෙදර ඉඳලා ආපහු යද්දි මම නතරවෙලා ඉන්න ගෙදරට ඇවිත් හිටියා. මම බෝඩ් වෙලා ඉන්නේ එහෙ ඉස්කෝලේ ලොකු සර්ගෙ ගෙදරනෙ. අම්මා එක්ක ඇවිත් හිටියෙ. ඒ අම්මා නම් ඇත්තටම වැදගත් පාට මනුස්සයෙක්. හොඳට කතා බහ එහෙමත් කරා. ඒ උනාට මිස්ට අරුණ අම්මලගෙත් වැරදි ඕව. අම්මලා කොහොමත් ඔය පිරිමි ළමයින්ට බුරුල දෙනවා වැඩි. ඒකෙන් වෙන්නෙ ඒ පිරිමි ළමයිත් නරක් වෙලා අන්තිමේ ගමේ රටේ කෙල්ලෙක්ටවත් පාරක බැහැල යන්න බැරි වෙන එක” කියා සමුධ්‍යා කියද්දි අරුණ අතින් බ්‍රේක් ගැසුනේ ඉබේටම වගේය.

හයියෙන් කෑ ගසා “අපේ අම්මා එහෙම නෑ” කියා කියන්නට තිබුණා නම් හොඳ බව හිතෙද්දිත් අරුණට තමන්ගෙ උගුර අස්සේ පිටතට දාගන්නටත් බැරි ගිලගන්නටත් බැරි විසල් කෙල ගුලියක් හිර වී ඇති බවක් දැනුණේය. 

“සතෙක්වත් පැන්නද?” කියා සමුධ්‍යා ඇසුවේ අරුණ විසින් එකපාර තිරිංග තද කිරීම නිසා ඉදිරියට විසි වී ගියාත් එක්කමය.

“ම්ම් මේ.. නෑඈ.. පාර… වැස්ස” කියා අරුණ තටමද්දී අරුණ විසින් කියන්නට යන්නේ “වැස්ස හන්දා පාර ලෙස්සනවා” කියන කතාව බව සමුධ්‍යා හිත අස්සෙන් පෙල ගස්සා ගත්තය.

“වැස්සට පාර ලෙස්සනවා නේද? මාව ඩ්‍රොප් කරන්න ඇවිල්ල මිස්ට අරුණට තව කරදර නේද?” කියා සමුධ්‍යා අහද්දිත් එයට උත්තර විදියට අරුණ “නෑ” කියන්නට වචන පෙලගස්සා ගත්තේ අපහසුවෙනි. හිත තිබුනේ එච්චරටම ඔද්දල් වීය. සමුධ්‍යා කිව් සියලුම දේ ඇත්තක් උනත් තමන්ගේ අම්මා වනාහී මේ ලෝකෙ දරුවෙක්ට ලැබිය හැකි හොඳම අම්මෙකු බව අමතක කරන්නට විදියක් අරුණට තිබුණෙ නැත. අනෙක් අතට සමුධ්‍යා හිතාගෙන හිඳිනා දේ වැරදි බව කියන්න විදියකුත් අරුණට තිබුනේ නැත.

නිහඬතාවය දෙදෙනා අතරම රජකරවන්නට හේතු වුනේ අරුණගේ හිත ඔද්දල් කර ඒ හැඟීමත්, තිරිංග ගැසීම නිසාවෙන් ගැස්සුණ සමුධ්‍යාගේ සිතුවිලිත් ය.

ඒ නිහඬතාවය ඔස්සේම වාහනය හෙමින් හෙමින් ඉදිරියට ඇදී ගියේත්, වාහනය ඇතුලේ මෙච්චර වෙලා සෙමෙන් ඇසුණ සංගීත නාදය දෙදෙනාගේම ඔද්දල් වුන, තිගැස්සුන සිත් සමනය කරන්නට හේතු උනේත් හෙමින්මය.

“වහින්නේ මම නම්

වහින්නට ආසයි

දෝරේ යන තුරා හිත නුබේ…

තෙමන්නට ආසයි

එත් මට ලොබයි

හැගුම් දියවෙදෝ ඔය දෑසේ…”

සමුධ්‍යා දිහා බැලූ අරුණගේත් අරුණ දිහා බැලූ සමුධ්‍යාගේත් දෙනෙත් ආයෙම වරක් එකට පැටලුනේ ඒ වචන සමගමය. එක පෙලටය. දෙයාකාරයකට ගැහෙමින් ය.

වැස්ස තිබුණේ ඒ හැඟීම් තව  තවත් සීතල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here