පිණි මුතු පලසක් – 31

0
1216

“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට කිව යුත්තේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් අරුණටවත් දෙව්නිටවත් තිබුණේ නැත.

“ඒ දරුවට අම්මා කෙනෙක් නෑ කියල නේද කිව්වේ?” කියා දෙව්නි ඇසුවේ තමන්ට ලැබුණ විස්තරවල එවන් දෙයක් ලියවී තිබුන බව මෙන්ම සත්සරා හමුවුණ හැම අවස්තාවකදීම ඇයගේ බාරකාරයා ලෙස පෙනී උන්නේ සත්සරාගේ ආච්චි අම්මා වුන ගුණවතී පමණක් බව මතක තිබුණ නිසාවෙනි.

“ඒක තමයි මමත් කල්පනා කරේ. කේස් එකේ මුල ඉඳල කිසිම තැනක උන්නෙ නැති කෙනෙක් එකපාර අම්මා කියාගෙන ඇවිල්ලා වෙන කිසිම දෙයක් ගැන හොයා බැලිල්ලක් නැතුව එකපාර පැමිණිල්ල අස් කරගන්නවා කිව්වෙ ඇයි කියලා” කියද්දිත් දිලානි උන්නේ හිත ඇතුලෙන් මේ අසන්නට ලැබුණ කතාව නැවත නැවත විමසමිනි.

අරුණගේ මුහුණ තිබුනේ අකුණක් වැදුණාක් මෙන් දැඩි සිතුවිලි විද්‍යාමාන කරමිනි. “මෙච්චර දවසක් උන්නෙ නැති අම්මෙක් කොහෙන්ද එකපාර ආවෙ?” ඇසූ අරුණගේ කටහඬේ තිබුණේ පුදුමයට වඩා සැකයකි.

“ඒ මනුස්සය කිසිම ෆෝම් එකකට සයින් කරලා නෑ. නීත්‍යානුකූල භාරකාරත්වයක් තියෙන හන්ද අපිට හැබැයි ඒ මනුස්සයා ඇවිල්ල කියන කතාව මගාරින්නත් බෑ නිකන් කතාවක් විතරයි කියල හිතලා” දිලානිගේ හඬේ තිබුණේ ද එවැනිම අප්‍රසාදයකි.

“මේ මජර පොලිටිශියන්ස්ලා ගෙ වැඩ,” දිලානි මුමුණුවාය. “හරි ලේසියි ඉතින් ඕන බලු වැඩක් කරල අත පිහිදගන්න.” කියද්දිත් මේ සියල්ල පිටුපස ඉන්නේ විදුර වීරබද්ධන නම් දූශිත දේශපාලඥයාගේ බලය බවට ඇගේ සිතේ තිබූ සැකය දැන් තවත් වැඩි වී ඇත.

අරුණ හිස සැලීය. “හරියටම හරි. කේස් එකට කේස් එකක් වෙන්න නූල් අදින්නෙ කවුද කියන එක ඉතින් අපි නොදන්නවා නෙවෙයිනෙ දිලානි.අපි ඔච්චර සර්ව සාධාරණව වැඩ කරත් අපි අමතක කරන්න නරකයි මෙතන වැරදිකාරයගෙ පැත්තෙ අපිට නැති පවර් එකක් තියෙනවා කියලා” කියද්දිත් අරුණගේ දෑස්වල ඇඳී තිබුනේ සුලුපටු කෝපයක් නොවේ. මේ පිටුපසේ ඉන්නේ විදුර වීරබද්ධන බව අරුණත්, දිලානිත්, දෙව්නිත් තිදෙනාම දැන සිටියහ. අනෙක් අතට තමන්ගේ පියා මෙවන් තුට්ටු දෙකේ වැඩ කරන මනුස්සයෙකු බව දැන ගැනීමම අරුණව වඩ වඩාත් කෝපයට පත් කරන්නට හේතු වී තිබුණි. 

දිලානි නැගිට කාර්යාලය පුරා එහෙට මෙහෙට ඇවිදින්නට පටන් ගත්තේ හිත කලබල වීම දරාගන්නට බැරිම තැනය. ඇගේ පියවර වේගවත් විය. “අම්මා ඇවිල්ල නිල වශයෙන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නවා නම්, අපි මෙච්චර දවසක් මහන්සි වෙච්ච එකෙත් ප්‍රයෝජයනයක් නැතිවෙනවා. සත්සරාගේ ස්ටේට්මන්ට් එක තාමත් ස්ට්‍රෝන්ග් කියන එක මම පිළිගන්නවා. ඒ උනාට අම්මට සමහර විට සත්සරාව උනත් නම්ම ගන්න පුලුවන් වෙයි නේද?” 

අරුණ පුටුවේ හිඳගෙනම කාමරයේ එහා මෙහා ඇවිදිමින් උන් දිලානි දෙස බැලීය. “අම්මාව කවුරුහරි මැනේජ් කරනවා, එහෙම නැත්තම් පගාවක් දීලා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් ඇරෙන්න” කියද්දිත් අරුණගේ කටහඬේ තැවරී තිබුනේ මේ කියන වදන්වලට ආලේප වුණ යම්කිසි බරපතළකමකි.

දිලානිගේ දෑස් කුඩා විය. ඇගේ බැල්ම තියුණු විය. “මනුස්සයෙක් ඇවිල්ල කිසිම පදනමක් නැතුව කියන දේකින් කේස් එක සම්පූර්ණයෙන්ම කඩන් වැටෙයි කියලා මම කියන්නෙ නෑ. ඒ උනාට කේස් එක ලේට් වෙන්න පුලුවන්. ඒකත් සුලුවෙන් සලකන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ.”

මේ සියල්ල හොඳින් අසා සිටි දෙව්නි හදිසියේ දුරකථනය අතට ගත්තේ වැදගත් ඇමතුමක් පිණිසය. නීති වාර්තා අංශයේ දෙව්නිගේ ඇමතුම හා සම්බන්ධ උන නිලධාරියාට පවසන්නට දෙව්නි සතුව වැදගත් පණිවිඩයක් විය. “පහුගිය පැය 24 ඇතුළත සත්සරා කියන මයිනර්ගෙ නඩු ගොනුවට ඇසෙස් කරපු  හැමදෙනාගේ ලිස්ට් එකක් මට ඉක්මනට ඕන” ඒ වනාහී හුදෙක් ඉල්ලීමකට එහ අගිය විධානයක් බඳු විය. “ෆිසිකල්, ඩිජිටල් ඇසෙසබිලිටීස් ඔක්කොම චෙක් කරන්න. ඒ වගෙම මට දැනගන්න ඕන සත්සරාගේ අම්මා කියන කෙනෙක් ඇවිල්ලා මොකක් හරි ස්ටේට්මන්ට්ස් වල වෙනසක් කරාද කියන එක” 

ඒ ඇමතුම අවසන් කල දෙව්නි අනතුරුව දුරකථනය තබා, ඉන්පසු අරුණ දෙසට හැරුණාය. 

“අපිට ඉතුරුවෙලා තියෙන්නෙ තව එක චාන්ස් එකක් විතරයි අරුණ. එයාලා බොරු ප්‍රකාශයක් උසාවියට දුන්නොත් ඕක ලොකු කේස් එකක් වෙනවා. එයාලට මේ වෙලාවෙ ඕන මේක තව කල් දාගන්න. ඒකට කරන්න පුලුවන් හොඳම දේ තමා ඔය ඉන්ටරැක්ශන්ස් විදියට අරගෙන එන්නෙ” 

අරුණ පුටුවේ පිටුපසට හේත්තු වී, ඇඟිලි දෙකෙන් නළල තද කර ගත්තේ මේ සියල්ල එකපාර ඔලුවට වැටීම දරාගන්න අපහසු අන්දමේ හිසරදයක් ඇතිකරන්නට වූ නිසාවෙනි. “මම නඩුව හදිසියෙ ඉල්ලා අස්කර ගැනීම්වලින් වළක්වගන්න යෝජනාවක් හදන්නම්. ළමා ආරක්ෂණ පනත යටතේ විනිසුරු නියෝගයක් ඉල්ලන්න පුලුවන් නෙ. ඒකෙන්  දෙමාපියන්ගේ ඕනෑම යෝජනාවක් අධිකරණ සත්‍යාපනයකට අරන් යන්න වෙනවනෙ.”

. “හරි. හැබැයි කරන දෙයක් ඉක්මනට කරන්න වෙනවා.” කියා දිලානිත් දෙව්නිත් අරුණව ඒ කාමරයේ දමා පිටතට යන්නට සැරසුනේ තම තමන්ට නියමිත් ඉතිරි වැඩ රාජකාරි සඳහාය. එහෙත් ඒ ගමන මදකට නතර කර ආපසු හැරී අරුණගෙන් අහන්න දෙයක් දිලානිට තිබුනාය.

“අරුණ ඒ සත්සරා කියන ගර්ල්ගෙ ටීචර්ව විස්වාස කරනවද?” කියා දිලානි ඇසූ කතාවේ තේරුම් කුමක්ද කියන ගැටලුව තිබුණ නිසාම අරුණ දිලානි දෙස බැලුවේ කුතුහලය රැඳුණු නෙතකිනි.

“ඔව් දිලානි. ඇයි ඔයා එහෙම දෙයක් ඇහුවෙ”

“නෑ අරුණ මම දන්නෙ නෑ ඒ මිනිස්සු තාම දන්නවද කියලා සත්සරාගෙ අම්මා හදිසියේ ඇවිල්ල මෙහෙම ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා කියන එක. ඔයා හිතන්නෙ නැද්ද අපි ඒ ටීචටයි සත්සරාගෙ ගෙදර අයටයි මේ විස්තරේ දැනුම් දෙන්න ඕන කියලා?” දිලානි ප්‍රශ්නාර්තයක් රැඳුන නෙතකින් තමන් දෙස බලා ඉද්දී අරුණ කරේ නිහඬවම එක එල්ලේ දිලානි දෙස බලා උන් එකය.

ළමා අපයෝජන නඩු විභාගයන්හිදී දරුවන්ට යුක්තිය ඉටු වීමට බාධා කරන්නේ පිටස්තරයන් නොව, ඔවුන්ගේම පවුලේ සාමාජිකයන් හෝ සමීපතමයන් බව අරුණ, දිලානි සහ දෙව්නි ඇතුලු පිරිස හොඳින්ම දැන සිටියහ. සමාජ ආර්ථික පීඩාවන්, බිය ගැන්වීම්, සහ මුදල් පොරොන්දු හමුවේ මවුවරුන් හෝ පියවරුන් පවා තම දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව හඬ නැගීම නවත්වන අවස්ථා කොතෙකුත් තිබේ. එවැනි තත්ත්වයන් යටතේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුහුණ දෙන අභියෝගයන් අතිමහත් ය. ඔවුන්ට සත්‍යය සොයා ගැනීමටත්, දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඒ අතරම නීතියේ සීමාවන් තුළ ක්‍රියා කිරීමටත් සිදු වන බව අරුණ හොඳාකාරවම දනී. අවාසනාවකට, සමහර අවස්ථාවලදී දරුවාගේම භාරකරුවන්, ඔවුන්ගේ මානසිකත්වයේ ඌනතාවය හෝ ආත්මාර්ථකාමිත්වය නිසා හෝ දරුවාගේ අනාගතය පිළිබඳව නොසිතා කටයුතු කරන අවස්තාවන් අනන්තවත් තිබේ.

අරුණ හිස සැලුවේය. ඔහුගේ මුහුණේ වෙහෙසක් තිබුණත්, දෑස්වල තිබුණේ දීප්තියකි. “මම ළමා ආරක්ෂණ පනත යටතේ හදිසි නියෝගයක් ගන්න උත්සාහ කරනවා. ඒකෙන් පුළුවන් ඔය අම්මා කියන කෙනාට නඩුව හදිසියෙන් අස්කරගන්න බැරි වෙන්න වැඩ කරන්න.”

“ඒක හොඳ අදහසක්. හැබැයි අපි ඉක්මන් වෙන්න ඕනේ,” දිලානි පැවසුවාය. “ඒ මිනිස්සු මේ වෙද්දීත් වැඩේට බැහැලා ඇති. අපිට තියෙන වෙලාව අඩුයි.”

දෙව්නි ඔවුන් දෙදෙනා දෙස බැලුවේය. “අපි ඉක්මනට ගුණවතී ආච්චිට මේක දැනුම් දෙන්න ඕනේ. එයා තමයි සත්සරාගේ එකම ආරක්ෂාව. මේ සිදුවීම වුනත් වෙන කෙනෙක්ගෙන් ඒ මිනිස්සු දැනගන්නවට වඩා අපිම කියන එක හොඳයි.”

“ඔව්, ඒක හරි. ඒ දරුවට මේකෙන් ගොඩක් දුක හිතෙයි. ඒත් ඇත්ත දැනගන්න එක හැමදේටම වඩා වැදගත්.”

“සත්සරා දැන් ටිකෙන් ටික හැදෙන වැඩෙන දරුවෙක්. එයා මේක දරාගනීද දන්නේ නැහැ. මට මතකයි එයාගේ ඇස්වල තිබුණ බය. ඒ බය ආයෙත් එන්න දෙන්න බැහැ අම්මට නෙවෙයි කාට උනත්.”

“අපි එයාව ශක්තිමත් කරන්න ඕනේ, අරුණ. මේක එයාට තනියෙන් දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි,” දිලානිගේ කටහඬ මෘදු විය. “ඇත්තටම ඒ දරුවට ඉන්න හිතවත් අය කවුද කියන එක පොඩි කාලෙම දැනගන්න එක හොඳයි.”

ඒ රාත්‍රිය එසේ ගෙවී ගියේය.

අරුණගේ කාර්‍යාලයේ ලයිට් අලුයම වනතුරුම දැල්වී තිබිණි. දුරකථන ඇමතුම්, ලේඛන සකස් කිරීම්, සහ නිහඬ සාකච්ඡා අතරතුර දිලානි, අරුණ සහ දෙව්නි තේරුම් ගත්තේ මෙය හුදු නීතිමය සටනක් නොවන බවයි. එය කුඩා දරුවෙකුගේ අනාගතය, යුක්තිය සහ බලාපොරොත්තුව වෙනුවෙන් කරන සටනක් බවත් මේ ලියැවෙන්නේ සත්සරාගේ ජීවිත කතාව බවත් ඔවුන් සියලුදෙනාම එක හෙලාම පිළිගත්තහ.

 එහෙත්, එම කතාවේ අවසානය, දරුවෙකුගේ අහිංසක සිහින බිලිගන්නා එකක් වේද, නැතහොත් යුක්තියේ හිරු නැවතත් පායා ඒමක් වේද කියන කුහුල සියල්ලන්ගේම සිත් දවන්නට හේතු වූ බව ඇත්තකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here