ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන් පෙනුමක් තිබුණත්, ඒ යටින් සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ව පෙනෙන්නා වූ සලකුණු වඩා හොඳින් බැලූ කල දකින්නට ලැබුණේය.
දොර විවෘත උනේ දොරට තට්ටු නොකරමය. කාන්තාවක් සෙමින් ඇතුළට ආවාය. ඇගේ ඇඳුම් පරණ වී තිබුණි, මුහුණ මහන්සි වී තිබුණි. ඇගේ කොණ්ඩය ලිහිල්ව බැඳ තිබුණි, දෑස්වල තිබුණේ බියක් සහ අසරණකමකි.
විදුර හැරී මල්කාන්ති දෙස බැලුවේ කිසි දවසක නොදැකි අයෙක් දෙස බලන අන්දමෙන් ය.
“පණිවිඩේ ලැබිච්ච ගමන් ආව එක හොඳයි” කියා විදුර කියද්දී මල්කාන්ති හිස සැලුවේ එක එල්ලේ විදුර දෙස බලාගෙන මන්ත්‍රීතුමා මේ කියන්නට යන්නේ කුමක්ද කියා හිතාගන්න බැරුව මෙන් ය.ඇගේ දෑස්වල ප්‍රශ්නාර්ථයක් විය.
“මම එන්න කිව්වෙ වැදගත් වැඩකට. සත්සරා ඇඟේ ගාගෙන තියෙන ගූ හට්ටිය ගැන දන්නවා ඇතිනේ? ඒකි ගූ හැලි හලාගත්තට මට කමක් නෑ. හැබැයි ඒ දහ ජරාව මගෙ ඇඟේ ගෑවෙනවට මං කැමති නෑ. මට ඕනෙත් නෑ” කියමින් විදුර කෙලින්ම කාරණයට පිවිසියේය.
මල්කාන්තිගේ මුහුණේ ඇඳී තිබූ බිය තවත් වැඩි විය. “ඔව්… ආරංචි වුණා.” ඇගේ හඬ විදුරට ඇසුණේ යන්තමින් මෙනි.
“මට මල්කාන්තිගෙන් සපෝට් එක ඕන මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න.” විදුර කියද්දී මල්කාන්ති විදුර දෙස බැලුවේ “මම කොහොමද උදව් කරන්නේ?” කියන ප්‍රශ්නාර්තය මුහුණේ ඇඳගෙනය.
“මම… මට මොනවද කරන්න පුළුවන්?”
සත්සරාගෙ අම්මා විදියට මල්කාන්තිට පුලුවන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න. මල්කාන්තිනෙ ඒ දරුවාගේ අම්මා. එහෙම කරගන්න පුලුවන් උනොත් අපිට මේ නඩුවෙන් ගැලවෙන එක අමාරු වෙන්නෙ නෑ.”
“පැමිණිල්ල අස්කර ගන්න? මහ අසාධාරණ කතාවක්නෙ ඒක. බොරුවක් නෙවෙයිනෙ ඉතින් පැමිණිල්ලෙ තියෙන්නෙ එහෙම එකේ මම මොකටද නිකන්ම ගිහිල්ලා පැමිණිල්ල අස් කරගන්නෙ. අනික මම දැන් මේ ආවපු ආවෙත් මට එන්න කිව්ව හන්ද මිසක් මට ආයෙ මේ ගම පැත්ත පළාතෙ එන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. ඔය කෙල්ලව උනත් මම මගේ අත් දෙකෙන් නලවලවත් නෑ. එහෙව් එකේ අහවල් එහෙකටද මම මේ ඒකි ඇඟේ ගාගත්ත දහ ජරාව මගෙ ඇඟේ ගාගන්න හදන්නෙ?.”
“අසාධාරණ කතාවක්නෙ? අසාධාරණේ වෙච්ච හැම එකාටම සාධාරනේ කරන්න නෙවෙයි මං ඉන්නෙ කියන එක උඹ අමතක කරන්න එපා. ළමයි කියන්නේ උන් පොඩි කාලෙ ඉඳල බොරු කියනවා ඇටෙන්ශන් එක ගන්න. තමුන් දැන් කරන්න ඕන කෙල්ලට කියලා දෙන එක මේ කරගත්තෙ ගොං කමක් කියන එක. අනික් එක පොලිසියට ගිහිල්ලා මේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න එක. කෙල්ලගෙ අම්මම ගිහිල්ලා මේක බොරුවක් කියල කිව්වොත් කවුරු උනත් ඕක විස්වාස කරනවා” බය නැතුව, ශක්තිමත් බවකින් යුතුව කීවද තමන්ගේ වදන් වල තිබෙන්නේ හිස් තර්කයක් බව තේරුම් ගන්න විදුරට අපහසු උනේ නැත.
“ඒත්… සත්සරා මාව විශ්වාස කරයිද?” මල්කාන්තිගේ සිතේ ඒ ප්‍රශ්නය කැරකුනේ නැතුව නොවේ. ඉපදුණ අලුතම තමන් දරුවාව හැර ගිය ආකාරය මල්කාන්තිට අමතක් උනේ නැත. ඒ කාලයේ කෙල්ල බරක් ලෙස දුටුවට ඒ බර අත හැර ගියා කියා තමන්ට උපයා ගන්නට හැකි වූ කිසිත් සැනසුමක් තිබුනේ නැත.
“ඒක මගෙ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඒක තමුන් විසඳගන්නෙ කොහොමද කියන එකත් මට අදාල නෑ. හැබැයි මේ උදව්ව කරොත් මම ඒකට නොසලකා ඉන්නෙ නෑ. හැමදාම ඔය කොළඹ ගාමන්ට් අස්සෙ තැම්බි තැම්බි ඉන්න බෑනෙ. මම ගේ එහෙමත් හදාගන්න උදව් වෙන්නම්. සල්ලිත් දෙන්නම්. මොකටද නිකන් මේ නැති ප්‍රශ්න ඇඟේ දාගෙන තමුන්වත්, ලමයවත් දුක් විඳින්නේ? නාකි ගෑණී මැරිච්ච දවසක කොහොමත් ඔය කෙල්ලව භාරගන්නෙ වෙන්නෙ උඹටනෙ. එහෙම එකේ කරදර ගොඩක් එක්ක කෙල්ලව භාරගන්නවද එහෙම නැත්තම් කෙල්ල එක්ක හොඳට ජීවත්වෙන්න සල්ලි ටිකක් හොයාගන්න මේ වැඩේට කැමති වෙනවද කියන එක හිතනවා’
මල්කාන්ති උන්නේ තමන් ඊලඟට තබන්නට ඕන පියවර කුමක්ද කියා කල්පනා කරන ගමන් ය. වසර ගණනාවක දුප්පත්කම සහ අසරණකම ඇගේ සිතට මහත් පීඩනයක් ගෙන දී තිබිණි. “අලුත් ජීවිතයක්…” ඇය සිතුවාය. ඒ අලුත් ජීවිතය ඇරඹෙන්නේ සත්සරාගේ ජීවිතයේ ළමා කාලය අවසන් කර උනත් කමක් නැතැයි කියා සිතන තැනකට මල්කාන්තිගේ දුප්පත්කම සහ අසරණකම ඇගේ මනුසත්කම සහ මව්වත්කම පහළට ඇද දමා තිබුණි.
“මම… මම මොකක්ද කරන්න ඕනේ?” ඇය අවසානයේ ඇසුවාය. ඒ කටහඬේ තිබුණේ තීරණයකට එළඹුණු බවක සේයාවන් කියා අඳුරාගන්න විදුරට අපහසු උනේ නැත.
“මං කියන්නම් කරන්න ඕන දේවල් මොනවද කියලා. ඉස්සෙල්ලම කරන්න ඕන පැමිණිල්ල අයින් කරගන්න එක” කියා විදුර මේසය මත ලියවිල්ලක් තැබුවේය. එය සත්සරාගේ අනාගතය අඳුරු කරන ලියවිල්ලක් බව මල්කාන්ති නොදැන සිටියා නොවේ. එහෙත් එයට වඩා ගෙවුණ වසර ගණනාවක් තිස්සේ තමන් උන් අඳුරෙන් මිදීමේ මහත් උවමනාවක් මල්කාන්තිට තමන්ද තවත් ගැහැණියක බව අමතක කර තිබුණාය.
ඒ සියල්ල එසේ තීරණය වෙද්දී ගම්මුන් විසින් යලි ප්‍රතිසංස්කරණය කර දුන් පැළේ සත්සරා රැඳී සිටි කොටස තුළ රජ කලේ නොසන්සුන්කාරී නිහැඬියාවකි. පහන් වනතුරුම ඇස් පියා ගැනීමට නොහැකිව, ගුණවතී සත්සරාගේ ඇඳ අසලම වාඩි වී සිටියාය. අරුණගේ ඇමතුමෙන් පසු ගුණවති උන්නේ සැබවින්ම තමා විසින් කළ යුත්තේ කුමක් ද කියා හිතාගන්නට බැරුවය.
“මෙච්චර කාලයක් මේ කෙල්ල උන්නද මලාද කියල හෙව්වෙ කරේ නැති, මේ කෙල්ලට එක ටොපියක තරමෙ දෙයක් ගෙනල්ලා දුන්නෙ නැති එකී මොකද හදිසියේ මේ ඇවිල්ලා තියෙන්නෙ? මෙච්චර දවසක් ඒකිට අමතක වෙච්ච අම්මාකමක් මතක් කරගෙන?” කියන ප්‍රශ්නෙ අරුණගෙන් ඇසුවද ඒ වනාහී ඔහුට පිළිතුරු දෙන්නට හැකියාව තිබෙන ප්‍රශ්නයක් නොවන බව ගුණවතී නොදැන උන්නා නොවේ.
සත්සරාට තාත්තෙක් නැති බව මුළු ගමම දැන සිටි කරුණකි. කොළඹ ගාමන්ට් එකක වැඩට ගිය සත්සරාගේ අම්මා වූ මල්කාන්ති නැවත ගමට ආවේ රැකියාවෙන් ඉවත් වී නොවේ. ඇය ගමට ආවේ, තමන්ගේ බඩට දරුවෙක් දමා ඒ දරුවාගේ තාත්තා පැන ගියයින් පසුව, ගැට අන්නාසිද, අරව මේවාද තවත් දහසක් අත් බෙහෙත් කරත් බඩෙන් එළියට ඇද ගන්න බැරිවූ සත්සරාව, අනතුරුව “දැන් කල් පැනලනෙ, දැන් නම් මුකුත්ම කරන්න බෑ” කියා ගබ්සා මධ්‍යස්ථානයේ දොස්තර පැවසූ පසුවය. ඉන්පසු ඒ දරුවාව තමන්ගේ ළඟ දමා නැවත වතාවක් රැකියාව කරන්නට මුල් උනේද මල්කාන්තිමය. දරුවෙක් සමඟ ගෙදර ආ මල්කාන්ති තමන්ගේ හිසට බරක් නැති බව මවක් වූ තමා සිතුවද, දෝණියැන්දාගේ බඩ අස්සට වී ගෙපැල අස්සට රිංගා ගත්ත තව එකෙකුගේ බඩ කට පුරවන එක මහ බරක් ලෙස තමා එදවස දුටු බව ගුණවතීට අමතක නොවේ.
“උඹ මට කියපං කවුද උඹට මේ කරදරේ කර එකා?” කියා මල්කාන්ති ගැබ්බර වී ඇති බව දැනගත් දිනයේ තමා ඇයට පහර දෙමින් ඇසුවද කටෙන් වචනයක් ඒ ගැන පිටකලේ මල්කාන්ති නොවේ.
“දැනගත්තා කියලා අම්මා මක් කරන්නද? මොකෝ ඒ මිනිහව මට කසාද බන්දල දෙන්නද? දැනගත්ත කියල වැඩක් නෑ. දැන බලන්න ඕන මේකෙන් ගැලවෙන හැටියක්” කියා ඒ පහර කන මැද්දෙත් මල්කාන්ති කිසිම වගක් නැතුව මෙන් කියද්දී “උඹ මගේ බඩෙන් වදාපු එකෙක් කියන්න ලැජ්ජයි” කියා තමා ඇයට සාපකල බව ගුණවතීට අමතක නැත.
ඒ නිසාම මුල් දිනවල “අපේ කාළකණ්ණිකමට මේකිගෙ බඩට ආව කාළකණ්ණියා” කියා පැවසුවද, මල්කාන්ති නැවත වතාවක් ගාමන්ට් රැකියාවට ගියයින් පසු ගෙපැලේ තනිකම නැතිකරගන්න උදව් වූ සත්සරා දෙස වඩා අනුකම්පාව මුසු වූ ආදරයකින් බලන්නට තමා පුරුදු වූ බව මතක් වෙද්දි ගුණවතී තමන්ට එහා පසින් නිදාගෙන උන් සත්සරා දෙස බලා මහ හුස්මක් හුලඟට එක්කරාය.
උදෑසන හිරු කිරණ ජනේලයෙන් කාමරය තුළට වැටෙද්දී, දොරට තට්ටු කරන හඬ ගුණවතීව ඒ දීර්ඝ රාත්‍රියේ නින්දෙන් අවදි කරන්නට කටයුතු කල බව හැබෑවකි. ඇය දොර විවෘත කළේ බිය මුසු වූ දෑසිනි. එළියේ සිටගෙන සිටින මල්කාන්ති දුටු මොහොතේ කෙහෙ වල්ලෙන් ඇදගෙන උස් පහර දෙන්නට ආ සිතුවිල්ල ගුණවතී අමතක කර දැමුවේ එයින් කිසි පලක් කිසිවෙකුට නොලැබෙන බව හොඳින්ම දන්න නිසාවෙන් ය.. ඇගේ මුහුණේ තිබුණේ වෙහෙසකර පෙනුමක් වුවත්, දෑස්වල යම්කිසි තීව්‍රතාවයක් විය. ඇය පොලිස් නිලධාරිනියගේ රැකවරණය යටතේ පැමිණි බවක් පෙනිණි.
“අම්මේ…” කියා මල්කාන්ති ඉතා සියුම් හඬකින් කතා කරද්දිත් ගුණවතී අහක බලාගත්තේ අමනාපය පෙන්වන්නට මෙනි.
“මොකටද ආවෙ?”
“අම්ම හරි කතාවක්නෙ අහන්නෙ. මට මගේ දරුවාව බලන්න බැරිද?”
“මෙච්චර කල් උඹ උන්නෙ දරුවෙක් කියල එකෙක් නැති ගාණටනෙ. එහෙම එකේ එකපාර උඹට දරුවා බලන්න උවමනාවක් ආවෙ කොහෙන්ද?”
ගුණවතීගේ හඬේ තිබුණේ දැඩි කෝපයකි, එය වසර ගණනාවක් තිස්සේ ගොඩගැසුණු වේදනාවක ප්‍රතිඵලයකි.
එහෙත් මල්කාන්ති උන්නේ ඒ වදන් වලින් සැලෙන අදහසක නොවේ. අම්මාව බයට පත් කරන, එමෙන්ම කැළඹීමට පත් කරන වදනක් මල්කාන්ති සතුව එවෙලේ තිබුණාව.
“මං ආවෙ ළමයව එක්කරගෙන යන්න”
“එක්කරගෙන යන්න? කොහෙද?”
“මට පුලුවන් දැන් ළමයව බලාගන්න”
“ඇයි උඹට එකපාර හතර මහා නිධානෙ පහල උනාද? ඒකිට අප්පෙක් හිටියේ නෑනෙ කොහොමත්. අම්මෙකුත් හිටියෙ නැති ගාණටනෙ හිටියෙ. එහෙම එකේ උඹ ආයෙ මේ ආවේ මොන අයිතියක් පෙන්නගෙනද?”
“මටයි දරුවගෙ තාත්තටයි මේ දරුවා ගැන නැති අයිතියක් වෙන කාටද තියෙන්නේ?” කියා මල්කාන්ති ආවේගයෙන් මෙන් කියද්දී ගුණවතීගේ දෙනෙත් ලොකු උනේත් “තාත්තා?” කියන වදන බොඳ වී මෙන් වියපත් දෙතොල් අස්සෙන් පැන්නේත් එකම වරකය.
“ඔව් තාත්තා. ඕනම ළමේකට අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්නවනෙ නේද?”