සුහදිනි – 15

සිතුවම් අඳින යුවතිය මුණ ගැසෙන්නට ඕනෑ බවට අහස් කරන ප්‍රකාශයට එතරම් වැඩෙන්නට නොදෙන්නට සියුම් තීරණය කළේ ය. සාරණ්‍යා එතරම් පහසුවෙන් අහස්ගේ ජීවිතයෙන් මිදී ගොස් ඇතැයි සිතිය නොහැකි වේ.ඔහු සරසවි සිසුවියක කෙරෙහි උනන්දු වීමම ඇය පාරන්නට ඉඩ තිබේ.

“තමන්ගේ රූපේ ගැන එච්චර කැප වෙලා ලස්සනට ඉන්න සාරණ්‍යා ඇඳුමක්වත් මැදලා අඳින් නැති කැම්පස් කෙල්ලෙක්ට පැරදුණා කියලා පිළිගන්න සතුටු වෙන එකක් නෑ බං.”

සියුම් ඔහුට දැනෙන සත්‍යය පැවසී ය.ඒ අසා අහස් උස් හඬින් හිනැහී ය.

“ඒ ළමයාගෙ චිත්‍ර මාව හීල් කරනව.මට ඕනෑ ඒ ළමය එක්ක කතා කරන්න.දකින ඕනම කෙල්ලක් යාලු කරගන්න මට පිස්සුද බං? හය වසරේ ඉඳන් ළඟ හිටිය උඹත් දැන් මේ මීඩියා කාරයෝ වගේ කතන්දර හදනවද?”

අහස්ගේ ඒ ප්‍රශ්නය නැගෙන්නේ කෝපයෙන් නොවන බව සියුම් දනියි.අහස්ගේ ජීවිතය තුළ නියත සත්‍යයන් කිහිපයක් පවතී.සියුම් සමඟ කිසි දිනෙක අමනාප නොවීම ඇත්තේ ඉන් ඉහළ තැනක ය.

“ෆේස්බුක් එකේ ඉන්ස්ටා එකේ ආදරෙන් කමෙන්ට්ස් දාන ගෑනු ළමයින්ට මාව බඳින්න ඕන කියල උඹ හිතනවද බං? මං නම් හිතන්නෙ උන් අපි කාටත් ආදරෙයි.ඒක මේ රටට තියන ආදරෙත් එක්ක එන දෙයක්.කමකට නැති පාලකයො පන්නන්න කඳුළු ගෑස් කකා ගුටි කකා මහන්සි වුණු කොල්ලො කෙල්ලොම තමයි බං අපිට ආදරෙත්.ඒවා මේ සෙක්ස් ෆැන්ටසි කරන්නේ වැඩකට නැති මීඩියා කාරයො.”

ජනප්‍රියත්වය යොදාගෙන ඕනෑතරම් තරුණියන් ආකර්ෂණය කර ගන්නට හැකි තරුණයා මේවා කියන්නේ අවංකව ම ය.එහෙත් සියුම් ඔහුගේ ඉල්ලීමට ඉඩ නොදෙන්නට තීරණය කළේ ය.

“ඊළඟ ටුවර් එක ඕස්ට්‍රේලියාවේ නේද? උඹට ඒක නැති වෙන එකක් නෑ.මහන්සි වෙනවනෙ?”

සියුම් ඒ වෙනුවට මාතෘකාව වෙනස් කළේ ය.අහස් හිනැහුණේ ය.සිහිනය අතරමඟ අතැර දමන්නට හිත හදා ගන්නට අසීරු ය.අනෙක් අතට ඒ සිහිනය වියැකී නොයන බව විශ්වාස කරන්නට ද ඔහු සතුටු ය.

“සාරණ්‍යා නිහඬ වුණයි කියලා හිතන්න එපා පුතේ.ඒකි කොයිම වෙලාවක හරි ආයේ ඇවිස්සෙනව.ඒත් කරන්න ඕන කොහොමහරි ඒවා දරාගෙන ඉන්න එක.”

සියුම් එසේ කියද්දී රිය පදවන අතර ම ඔහු දෙසට හැරී හිනැහෙන්නට අහස් වග බලා ගත්තේ ය.

“මට අර චිත්‍රකාරි එක්ක කතාවක් තියනව.”

ප්‍රේමයක් බිඳී ගිය වහා හදිසි තීරණවල පැටලෙන මිතුරන් ඕනෑතරමට සියුම් දැක තිබේ.ඒවා තරුණ ආවේගයන්ගේ අනිටු ප්‍රතිඵල ය.අතිශය සාමාන්‍ය තරුණියක ජීවිතයට ළං කරගන්නට අහස් උත්සාහ කරන්නේ ඒ නිසාදැයි සියුම් සිතී ය.

“උඹට කැම්පස් එකේ පොඩි වෙලාවක වැඩක් තියනව කියල නේද කිව්වේ?”

සරසවි දොරටුව අසලින් සියුම් බැස ගනිද්දී අහස් විමසී ය.අද හවස් වරුවම ගත වන්නේ අහස් සමඟ බවත් ඊටපෙර සරසවියට ගොස් කරගන්නට මිනිත්තු දෙකක කටයුත්තක් ඇති බවත් සියුම් පවසා එතරම් වෙලාවක් ගෙවී නැත.මේ මිනිත්තු දෙක පැය දෙකක් වීමට ඉඩ ඇති බව අහස් දනියි.නමුත් මෙතැනින් යා යුත්තේ සියුම් කැටුවම ය.

“උඹ ඔහොම අයිනකින් වාහනේ නවත්තන් ඉන්නකොට..”

සියුම් එසේ කියන්නට පටන් ගනිද්දී ම අහස් ඔහුට රවා බැලී ය.සියුම් උස් හඬින් හිනැහෙන්නට විය.එකම විහිළුව නොනවත්වා කිරීම වුව ද අසීරු නොවේ.කරදර ගොන්නක් උරහිස් මත තබා සිටින මිතුරා එකම සරදම හමුවේ වුව ද හිනැහෙන්නේ නම් ඒ සරදම දවස පුරාම කරන්නට සියුම් කැමති ය.මිත්‍රත්වය එතරම් ම මිහිරි දෙයක් බව ඔහු සිතයි.

“මෙතනට ඇවිල්ල මට කෙල්ලො කතා කරත් කොල්ලො කතා කරත් උඹ එනකම්ම මම උන් එක්ක කතා කරනව.සෙල්ෆි ගන්නව.”.

අහස් අසාර්ථක වූ කාලයේ ඔහුට එල්ල වුණු සමාජ ජාලා මඩ ප්‍රහාර වළක්වන්නටත් ඔහුට කාලය උවමනා බව කියන්නටත් බොහෝ තරුණයන් ක්‍රියා කළ බව නොරහසකි.මහ මඟදී මුණ ගැසී කතාබහ කරන්නේ ඔවුන් ද විවේචකයන් ද නොදැනම අහස් ඔහු සමඟ හිනැහෙන කතා කරන සෑම කෙනෙකු සමඟම කතාවේ යෙදීම ප්‍රිය කළේ ය.

සියුම්ගේ අනාවැකිය ටක්කෙටම හරියන්නට එතරම් වෙලා ගත වූයේ නැත.වාහනයේ වීදුරුවට තට්ටුවක් දැමූ කොල්ලන් රෑන වෙනුවෙන් පිටතට ආ අහස් ඔවුන් සමඟ සංවාද කළේ සන්තෝසයෙනි.සමාජ ජාලාවල කියන තරමට ඔහු ප්‍රතික්ෂේප කරන්නන් නොවේ.ඔහු ඉතා ඉක්මනින් සුපුරුදු රිද්මයට පැමිණෙන තෙක් මඟ බලන්නන් බොහෝ ය.කතාවට එන යුවතියන් සහ යෞවනියන් සමඟ අහස් කතාබහ කළේ ඉතා කැමැත්තෙනි. මිනිත්තු දෙක මේ වෙද්දී පැයක් කරගත් සියුම්ගේ සරසවි සගයන් සමඟ කාලය බෙදා ගන්නට ඔහු හිත හදාගෙන හුන්නේ ය.ඉතා අසභ්‍ය වචන දෙක තුනක් සියුම්ට වට්ස් ඇප් පණිවිඩයක් මඟින් යවමින් ප්‍රමාදයට කාරණා අසන්නට මේ වේලාසන වැඩි ය.

සියුම් ප්‍රමාද වීම ගැන මුල්ම වතාවට ඔහුට සතුටක් දැනෙන්නට විය.මේ ඇයදැයි ඔහු නොදනී.නමුත් මේ සිහිනයේ ඇති කඩා හැලෙන වරලස බව ඔහුට සහතික ය.උමතු සිතිවිල්ලක් සේ පෙනෙන සිතිවිල්ල ක්‍රියාත්මක කරන්නට දෙවතාවක් සිතීම අහස් අතැර දැමී ය 

සකී!!

ඔහු තමන් අසලින් යන යුවතියට ඇමතුවේ උස් හඬකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles