හේමන්ත සන්ධ්‍යා -37

  කර්කෂ වියළි දේශගුණ තත්ව යටතේ මලක් මැල වී තිබෙන්නේත්, සෞම්‍ය දේශගුණයට එළඹි කල එය ප්‍රාණවත් වී නැවුම් ව සුවඳ විහිදුවා ලන්නේ යම් සේ ද, කඳුකරයේ සිහිලැල් පරිසරයේ දී නිකිනි ද අලුතෙන් ම විකසිත වී සිටියා ය. ඇය ඩෙස්මන් හා සුමනා ගැන සොයා බැලුවේ වෙනදාට ත් වැඩි උනන්දුවෙනි. විනෝද ගමනක් ආවා කියා නො සිතා ඕ ඩෙස්මන් ට තෙල් සාත්තුව කළා ය.

“කෙල්ලොත් දැකල තියෙනව මේ වගේ කෙල්ලෙක්නං දැකල නෑ නිකියො. මොන කෙල්ලද මෙහෙම ගමනක් ඇවිත් මේ නාකි මිනිහෙක්ගෙ ඇඟේ තෙල් ගගා ඉන්නෙ…”

ඩෙස්මන් දෙඩුවේ සිය අවංක හැඟීම නො සඟවා, හදෙහි කැකෑරෙන අවංක ස්නේහයකිනි.

“දෙවියන් වහන්සෙ නිකිනි ට සතුට අහිමි කරන්නෑ කියල මට විශ්වාසයි. එක පාරක් වැහෙද්දි ඊට වඩා හොඳ පාරවල් ගණනාවක් අලුතෙන් ඇරෙනව දරුවො. මට ඕනෙ මගෙ කෙල්ල සතුටෙන් ඉන්නව බලන්න”

“ඔයා කියන්නෙ නිකී ට හොඳක් වෙනවට මං කැමති නෑ කියලද…”

සුමනා නෝක්කාඩුව හැඟවූවා ය.

“නිකී කියන්නෙ මගෙ හුස්ම ටික. එයාගෙ සතුට තමයි මගෙ සතුට. ඒත් මට බයයි මේ කෙල්ල දික්කසාද ගෑනියෙක් විදිහට මේ සමාජෙ අසරණ වෙනවට”

“ග්‍රැනී”

නිකිනි වඩාත් එඩිතර හා ස්ථාවර හඬකින් අමතමින් සිය මිත්තනිය දෙස ට ඍජු බැලුමක් හෙළුවා ය.

“ඩිවෝස් එකක් කියන්නෙ ලෝක සම්මත නීතියක්. මැරි කරපු දෙන්නෙක්ට තව දුරටත් එකට ඉන්න බෑ කියල හිතෙනවනං ගෞරවනීය විදිහට වෙන් වෙන්න නීතියෙන් හදල දීපු අවස්ථාවක්. ඒක කොහොමවත් අසරණ කමක් නෙවෙයි ග්‍රැනී”

ඩෙස්මන් යෞවනයෙකු වාගේ සිනාසුණේ ය.

“ටීචර්ලට ඕව තේරුං කරල දෙන එක ලේසි නෑ නිකී. ළමයින්ට ජීවත් වෙන්න උගන්නන්නෙ ටීචර්ල වුණාට මොකද ඒ තරං සම්ප්‍රදායික විදිහට හිතන මනුස්ස කොට්ටාසයක් තව නැති තරං”

“අනේ මේ ඉන්න”

සුමනා මූණ හකුළා ගත්තා ය. ඩෙස්මන් නැවතත් හිනැහුණේ ය.

දොරට තට්ටු කරන හඬක් නැගුණේ ඒ අතර ය. තිදෙනා ගේ ම ඇස් එදෙසට යොමු විය.

“අංකල්…මේ අයි කම් ඉන්…”

“ආ විදත් පුතා…කම් කම්…”

දොර හැරිණි. නිකිනි මල් පිබිදෙන දෑසකින් බලා සිටියා ය. රත්තරං පාට හිරු මඬලක් සේ ඔහු පායා එත්දී මල් නො පිපී තිබෙන්නේ කෙසේ ද?

“අංකල්ටයි ආන්ටිටයි මොනවද අඩු පාඩු කියල බලන්නයි මං ආවෙ”

විදත් නිදහසට කාරණා කීවේ ය. නමුත් ඔහු ගේ ඇස් වල ලියැවී තිබුණේ නිකිනි ව දැක ගන්නට වූ නො ඉවසිල්ලයි. ඇය ඉවත බලා ගෙන සිනහව ගිල ගත්තා ය.

“අනේ පුතා මොන අඩු පාඩුවක්ද අපිට මේ වගේ මිණිපිරියක් ඉද්දි”

ඩෙස්මන් සේ ම සුමනා ද නිකිනි දෙස බැලුවේ ආඩම්බරය තැවරී ගත් දෑසකිනි.

“මෙච්චර ලස්සන ගමනක් ඇවිල්ලත් අනිත් ළමිස්සියො වගේ අඟර දඟර පපා ඉන්නව කියලද…මේ පාන්දරිංම ඇවිත් මට තෙල් සාත්තුව කරනව”

“වාසනාව වාසනාව. අංකල්ලගෙ වාසනාව. ග්‍රැනීලට ටී ගෙනත් දුන්නද නිකිනි”

“එවල තිබුණා”

“ඒ ඔක්කොම හරි පුතා”

“එහෙනං අපි බ්‍රෙක්ෆස්ට් වලට යමු. දැං ඉතිං මොකද කරන්නෙ නිකිනි…කොහෙද අපි ඊළඟට යන්නෙ…”

විදත් වචන හැසිරවූයේ සිය සැලසුම් සියල්ල ම ඇය ගේ රුචිකත්වය මත පදනම් ව ඇති සෙයිනි. 

“මටනං කොහේවත් යන්න ඕන්නෑ”

ඇය පුංචි දැරියක ගේ හුරතලය පෑවා ය. අනිත් තිදෙනා උනුන් ගේ මුහුණු බලා ගත්තේ ඈ අදහස් කළ දේ නො තේරුම් ව ය.

“මේ කඳුකරේ මේ සීතලේ මල් බල බලා පයිං ඇවිදින්න තිබුණනං මට ඇති. ආයෙ වාහනේට නැගල ගමන පටං ගන්නවට වැඩිය මං ආසයි එහෙම”

“ඉතිං අපි ටිකක් ඇවිදිමු”

“ඔවු ඉතිං හැමදාම නුවර එළි එනවයි කියලයැ…නිකිනි ඇවිදල එන්න. අර ළමය ඉන්නවනෙ තනියට”

ඩෙස්මන් ඒ අදහස් කළේ ගුවනි ගැන ය. තවමත් සුමනා ගේ හිතේ ගුවනි ගැන කහටක් ඉතිරි වී තිබුණා ට ඩෙස්මන් ගේ සිත ඇද ගන්නට ගුවනි සමත් වී සිටියා ය. 

“ඒ වුණාට මේ විදත් ගමන ප්ලෑන් කරල තියෙන්නෙ දවස් දෙකටනෙ. අපිට එහෙම කාලෙ නාස්ති කරන්න බෑනෙ නිකී. අපි වෙන වෙලාවක විවේක පාඩුවෙ එමු නේද…පප්පත් තව ටිකක් සනීප වුණාම…”

සුමනා ගේ යෝජනාව ට නිකිනි එක හෙළා එකඟ වන්නට තිබිණි. නමුත් විදත් ඊට තත්පරකට ඉක්මන් වූයේ ය.

“අයියෝ ආන්ටි මොනාද මේ කියන්නෙ…අපි ආවෙ එන්ජෝයි කරන්නනෙ. කිසිම රෂ් එකක් නෑ. රිලැක්ස් එකේ මේ ක්ලයිමේට් එක විඳගෙන යමු”

“එහෙනං ඉතිං කට්ටිය ඇවිදල එන්න. මමයි පප්පයි හොටෙල් එකට වෙලා ඉන්නං. පයිං ඇවිදින්න දැං අමාරුයි පුතා”

අන්තිමට එසේ තීරණය විය. නමුත් පයින් ඇවිදින්නට යාම ගැන සදිසා ගේ සතුටක් වූයේ නැත.

“මොන විකාරයක් ද අනේ. ට්‍රිප් එකක් ආවෙ පයිං කට්ට කන්නද….අනිත් එක මේ පාරවල් ගානෙ ඇවිද්ද කියල මොනා බලන්නද…බලන්න දේවල් තියෙන තැං වලට වෙහිකල් එකේ යං”

“ඒකනං ඇත්ත”

පාලිකා සිය දියණිය ගේ පැත්ත ගත්තේ නිකිනි රිදවන්නට වැඩියෙන් ඕනෑ වී තිබූ නිසා ය. විදත් සදිසා ට වඩා නිකිනි ගැන විශේෂයක් දක්වන බව දැන් දැන් ඇය ට දැනේ. ඈ දෙස බලත්දී ඔහු ගේ ඇස් වලට ආරූඩ වන ළෙංගතු බව කිසි සේත් සදිසා හා දොඩත්දී පාලිකා දුටුවේ නැත.

“නිකිනි ඉතිං මායං කාරිනෙ. මුල ඉඳලම අපේ අම්මවයි ඩැඩීවයි රවට්ට ගත්ත. ඔච්චර හොඳ ගෑනියෙක්නං මොකද දන්නෑ බැඳපු මනුස්සයත් එක්ක හොඳින් ඉන්න බැරි වුණේ”

පාලිකා නිකිනි ගැන සිතූයේ එසේ ය. කෙසේ හෝ නිකිනි ගේ කැමැත්තට ඉඩ දෙන එක වලක්වන්නට ඇය උත්සාහ කළා ය.

“අපි වෙලාව නාස්ති නොකර ඉතුරු කර ගමු විදත්. නිකං සෙල්ලං කරන්න ආව නෙවෙයිනෙ. බලන්න තියෙන තැන් වලනෙ අපි ටිකක් වෙලාව ගත කරන්න ඕනෙ”

උදේ ආහාර ගන්නා ගමන්, විදත් කෙරේ කරුණාවෙන් සේ ඕ තොමෝ ඔහු ගේ හිත වෙනස් කිරීමේ අසාර්ථක උත්සාහයක් දැරුවා ය.

“අනිත් එක නිකිනි ට එහෙම මේ නුවර එළියට වෙලා නැලවි නැලවි ඉන්න ඕනනං මංජුලත් එක්ක ඇවිත් සතියක් හමාරක් ඉන්න එකනෙ තියෙන්නෙ…නැද්ද මං අහන්නෙ…”

සදිසා ‘හිචිස්’ ගා සිනහ වූවා ය. පාලිකා ඒ වගේ වචන ටිකක් යොදා ගත්තේ හිතා මතා ම සිය ඇහැට ඇඟිල්ලෙන් ඇනීමේ අරමණෙන් බව වටහා නො ගන්නට තරම් නිකිනි දුර්වල වූවා නොවේ.

“හරි හරි. මගෙ ඉල්ලීම ඉල්ලා අස් කර ගත්තා. ඕගොල්ලො කැමති විදිහට කරන්න”

ඇය එසේ කීවේ සිනහ වෙවී වී ද හිත යට රිදුමක් වූයේ ය. ගුවනි ඇගේ අත් ගොබයකින් අල්ලා ගත්තා ය.

“නෑ නෑ නිකිනි අක්කල ඇවිදල එන්න. ඇවිදින්න බැරි අය ඇතුළට වෙලා ඉන්න. මේක එන්ජෝයි කරන්න ආපු ගමනක්නෙ. නැද්ද විදත් අයිය…”

සහස් මැදිහත් වූයේ, නො එසේ වී නම් පාලිකා මේ ගමනේ අණසක මුළුමනින් සියතට ගන්නට නියමිත බව දැනුණ නිසාවෙනි.

“ඔව් ඉතිං…මාත් ආසයි අවුරුදු විසි ගාණකින් ආපු එකේ නිදහසේ හෙමිහිට මේවගෙ ඇවිදල බලල එහෙම යන්න”

විදත් සන්සුන් මන්දහාසයකින් කීවේ ය. පාලිකා නිශ්ශබ්ද වූයේ ඉනික්බිති ය. නිකිනි ගුවනි සමගින් හෝටලයේ විසිතුරු වූ උයනෙන් පිටතට විත්, පෙත් මග දිග පහලට බසින්නට වූවා ය. එමග දෙපස වැටවල්, පොකුරු ගණන් මල් දැරූ වැල් රෝස වලින් මායිම් වී තිබුණේ ය. ගෙවල් වල මිදුල් පවා හෝටල් වල මෙන් මලින් ගහන ව විසිතුරු සිතුවම් මවා තිබිණි. ඩේසි, ලිලී හා බේබීස් බ්‍රීත් වැනි නම් දන්නා මල් සේ ම නො දන්නා බොහොමයක් මල් ද එ උයන් හි පිපී හිනැහෙමින් තිබිණි.

“ආ…”

ඔවුන් පසු පස එමින් සිටි සහස් ගේ හඬින් නිකිනි සේ ම ගුවනි ද හැරී බැලූහ. සහස් ගුවනි දෙසට මග දිගට වැටවල් වලින් කඩා ගත් මල් මිටියක් දිගු කළේ ය. ඈ එය ගන්නට මඳක් පසු බානා බවක් නිකිනි ට දැනිණ.

“ගන්න ඉතිං…කොල්ලා ආසාවෙං කඩපු මල් ටිකනෙ”

ඇය යමක් කියන්නට පෙර විදත් කීවේ ය. ගුවනි මල් මිට ගත්තේ ලැජ්ජා ශීලී යෞවනියක ගේ කෝල ලීලයකින් නොවේ. ඍජු සිනහවකිනි.

“තෑන්ක් යූ…ඒත් මේ මල් ටික ගස් වලම තිබුණනං මීට වඩා හොඳයි කියල මට හිතෙනව”

“මටත්….ගහක පිපිල තියෙද්දි බලල සතුටු වෙන එක තමයි මලකට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය”

නිකිනි ද ගුවනි ට එකඟ වූවා ය.

“හයි…යූ…”

සහස් සිය හිස කේ පිටුපසට අදිමින් ම අහස දෙස බලා ගත්තේ ය.

“ගෑනුංගෙ හිත් සතුටු කරන්න මහන්සි වෙන්න තියා හිතන්නවත් හොඳ නෑ විදත් අයියෙ. මුං හිතන්නෙ කොහොමද අප්ප…”

විදත් හඬ නගා හිනැහුණේ ය. ඒ ආකර්ෂණීය සිනහව දෙස නිකිනි නෙතු නො පියවා බලා සිටියා ය. මිත්‍ර ගේ වයසේ පසු වූවත් ඔහු ට වඩා විදත් ගෙන් දැකිය හැක්කේ යෞවනවත් පෞරුෂයකි. ඇතැම් විට ඔහු ජීවත් වූ දියුණු මහාද්වීපික පරිසරය ඊට හේතු වූවා වන්නට පුළුවන. 

සහස් ගුවනි සමගින් එක පෙළට වැටෙත්දී විදත් හා නිකිනි ස්වභාවයෙන් ම පසු පසට වූහ. ඔහු ගේ පසෙකින් හෙමිහිට පා පොඩි නගා යත්දී නිකිනි ට දැනුණේ හදිසියේ ම ඇය වයස දහ අටක විස්සක බාල යෞවනියක වූවා සේ ය.

“වැරැද්ද ඔයාගෙ”

දිගු නිහැඬියාවකට පසු ඔහු හදවතේ ගැඹුරු පත්ලෙන් කතා කළේ ය. නිකිනි නෙතු ඔසවා බැලුවේ කිසිත් වටහා ගත නො හැකි ව ය. නමුත් විදත් ගේ ස්වරූපයෙහි කිසිදු නොහොඳ නෝක්කාඩුවක් වූයේ නැත.

“මීට කලිං මට කතා නොකරපු….ඔයාට කතා කරන්න තිබුණා. කලිං…මීට ගොඩක් කාලෙකට කලිං…එහෙනං මෙලහකටත් අපි දරුවො දෙතුන් දෙනෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙනව”

බඩ හා පපුව අතර පෙදෙසේ දැවිල්ලක් පැතිර යනවා නිකිනි ට දැනිණ. සමහර වැරදි වූ කලී වෙන්නට නියමිත ම ඒවා ය. ඒ වරදින් මිදෙන්නට හෝ නිදහස් වන්නට ඇය ට කල් ගත වූයේ එබැවින් විය යුතු ය.

“මට දැං බයයි”

ඊළඟට ඔහු කීවේ වඩාත් හෙමිහිට ය. ඒ වචන තුළ ඇතුළේ ඉසිහින් සන්තාපයක් තැවරී තිබෙනු දැනී ඇය තිගැස්සී නෙතු නගා බැලුවා ය. විදත් ගේ ඇස් වලත් වේදනාවක දීප්තිය විය.

“මං ෆිට් තමයි. හිතෙනුත් මං තරුණයි තමයි. ඒත් ඔයාට වඩා අවුරුදු විස්සකට මං වැඩිමල්නෙ”

නිකිනි ට බිම බැලිණ.

“ඔයාට වඩා ගොඩක් කලිං මැරෙන්න වෙයිද කියල මට බයයි නිකිනි”

එතැන එහෙම ම බිම හිඳ කෑ ගසා හඬන්නට තරම් දුකකින් නිකිනි පිරීතිරී ගියා ය. නමුත් ඉකියකුදු පිට කර ගන්නට ඇය සමත් වූයේ නැත.

“මට එච්චර ඉක්මනට මැරෙන්න බෑ. ඔයත් එක්ක තව හුඟක් කල් මට මේ ජීවිතේ ගෙවන්න ඕනෙ. මෙහෙම සතුටෙං…”

 විදත් ගේ වමතේ සුළැඟිල්ල සිය සුරතේ සුළැඟිල්ලෙහි යන්තම් ස්පර්ශ වනු නිකිනි ට දැනිණ. මේ තත්පරය තවත් පමා කර ගන්නට ඇය ට සිත් දුන්නේ නැත. ඈ සිය ඇඟිලි පහෙන් ම ඔහු ගේ අත් බාහුවක් තද කොට අල්ලා එහි එල්ලී ගත්තා ය. ඒ එක තත්පරයකට ය. කවුරුන් හෝ දකීවියි ඇසිල්ලකින් බිය වූ ඕ ඊළඟ නිමේෂයේ වහා ඒ අත මුදා හැරියා ය. විදත් ඇදෙස බැලුවේ කිසි දා ක වචන වලින් විග්‍රහ කොට පැවසිය නො හැකි අති මහත් ප්‍රේමයකිනි. නෙතු ඔසවා ඔහු දෙස බලා ගෙන ද දෙතොල් තද කොට මඳහස තෙරපා ගෙන ද සිටි ඇගේ වත මත අසීමිත නිවීමක් ඇඳී තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles