ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනූ Chole Zhao

Chole Zhao, ඇය තවම 39 හැවිරිදි වියේ පසු වන්නියක්. ඇය ගැහැනියක වීමටත් වඩා වටිනා යමක් තිබෙනවා.ඒ ජීවිතයේ පස්වෙනි දශකයට එළඹෙන්නට වසරක් තබා ලෝකයේ ඉහළම සිනමා සම්මාන උළෙලක් වූ ඔස්කා සම්මාන උළෙලේ අනූ තුන්වැනි අදියරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඈ සතු කර ගැනීමයි.
නමුත් මෙය සිනමාවට සම්බන්ධ කාන්තාවන්ට විශේෂ වන්නට තවත් හේතුවක් තිබෙනවා.ඒ ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය කාන්තාවකට ලැබී ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි.

ඔව්! අදියර අනූ තුනක් තිස්සේ එය කාන්තාවන් හිමි කරගෙන ඇත්තේ දෙවාරයක් පමණයි.

මුලින්ම එය අසූ දෙවැනි සම්මාන උත්සවයේදී Kathryn Bigelow හිමි කරගන්නේ The hurt locker වෙනුවෙන්.Chole Zhao එය මේ වසරේ හිමි කරගන්නේ කාන්තාවක විසින් ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කරගත් වාර්තාව වසර එකොළහකට පසු අලුත් කරමින්.ඒ Nomadland චිත්‍රපටිය සඳහා.

චීනයේ බෙල්ජින්හි උපත ලබා ඇති Chole Zhao චීන ජාතික කාන්තාවක්.ඇය අධ්‍යක්ෂිකාවක් මෙන්ම තිර රචිකාවක් සහ නිෂ්පාදිකාවක් ලෙස ද කටයුතු කරනවා.Songs my brothers taught me නම් චිත්‍රපටිය ඇය මුලින්ම නිර්මාණය කරන්නේ 2015.

මව අහිමි Chole Zhaoගේ සුළු මව චීන නිළියක් ද වෙනවා.තරුණ Chole Zhaoට ඇමරිකන් පොප් සංස්කෘතිය ගැන දැඩි උනන්දුවක් වූ බව කියැවෙනවා.ලන්ඩනයේ අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ ලොස් ඇන්ජලීස් වලට අධ්‍යාපනය හදාරන්න එන Chole Zhao තමන්ගේ පලමු උපාධිය ලබා ගන්නේ දේශපාලන විද්‍යාවෙන්.සාමාන්‍ය ජොබ්ස් කීපයකට පස්සේ ඇය නිව්‍ යෝක් සරසවියෙන් චිත්‍රපටි නිෂ්පාදනය ගැන හදාරන්න පටන් ගන්නවා.ඉන්පසු ඇගේ ගමන ඇරඹෙනවා.චිත්‍රපට ක්ෂේත්‍රයට අපූරු නිර්මාණ මේ නිර්මාණශීලි චීන ගැහැනිය අතින් නිමැවෙනවා.

ඇය ඔස්කා සම්මානය දිනමින් හොඳම චිත්‍රපටිය ලෙස ද සම්මානය දිනාගත් Nomadland චිත්‍රපටියට පදනම් වෙන්නේ Noman සංස්කෘතියට අයත් මිනිසුන්ගේ කතාවයි.RV වර්ගයේ වෑන් රියකින් ඔහේ තැනින් තැනට යමින් සංචාරයක නිරත වන මිනිසුන්ගේ ජීවිතය ගැන නරඹන අපවද කොටස්කරුවන් කරමින් දිග හැරෙන අපූර්ව චිත්‍රපටියක් ලෙස Nomadland චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්.නමුත් ඔවුන් ඒ Nomad ජීවිතයට වැටෙන්නේ සංචාරයට ප්‍රිය නිසාම නොවේ. Neveda ප්‍රාන්තයේ Emprire නම් කර්මාන්තපුරයක් වසා දැමීම නිසා එහි වැසියන්ට Noma ජීවිතයක් තෝරා ගැනීමට සිදු වෙනවා.ආර්ථික අවපාතයක ගොදුරක් වෙන මිනිසුන්ගේ කතාව සැබෑ Nomad මිනිසුන්ගේ සැබෑම ජීවන අත්දැකීම් අලලා නිර්මාණය වීම මේ චිත්‍රපටිය තුළ පවතින විශේෂ ලක්ෂණයක්. ඒ අතරේ මේ කතාව තුළ සැමියාගේ වියෝවෙන් පීඩිත ගැහැනියකගේ වියෝව ද අපේ හදවත් වේදනාවෙන් බර කරන්නට සමත්.

Chole Zhao මේ චිත්‍රපටිය නිපදවන්නේ 2017 වසරේ Jessica Bruder නම් ලේඛිකාවක ලියූ Nomadland: Surviving America in the Twenty First Century කෘතිය ඇසුරෙන්.තිර රචනය සහ නිෂ්පාදනය ද Chole Zhao විසින්මයි කර තිබෙන්නේ මේ චිත්‍රපටිය තුළ ඇති ලොකුම විශේෂත්වය වන්නේ ප්‍රධාන චරිතය හැරුණු විට අන් සියලුම චරිත නිරූපණය කරන්නේ සැබෑ Nomad ජීවිත ගෙවන්නන් වීම.එවැනි අභියෝගයක් ගැනීමම Chole Zhao සතු දක්ෂකමක් ලෙස හඳුන්වන්නට නොහැකි ද? වෙනස් සිතුවිල්ලක් ඇය ජයග්‍රහණය කරා මෙහෙයවා අවසන්.Nomad වරුන්ට අමතරව මෙහි ප්‍රධාන චරිතය මැවූ නිළිය වූ Frances Mcdormand ටද ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය හිමිව තිබෙනවා.

ජීවිතය දිග ගමනක් බව ප්‍රේක්ෂකයන්ට පසක් කරන චිත්‍රපටියකින් සිනමාවේ දිගු ගමනක් යන චීන ගැහැනියකට ඔස්කා සම්මානය හිමි වන්නේ ඒ ආකාරයෙන්.ඇගේ සිනමා ගමන ද දිගුදුර එකක් විය යුතුමයි.

“විශ්වාසය සහ ධෛර්යය ඕනෑම කෙනෙකුට තමන් තුළ යහපත්කම රඳවා ගන්නටත් එකිනෙකාට යහපත් වෙන්නටත් හේතුවක්.එය කිරීම දුෂ්කර වීම කිසිවෙකුටත් ගැටලුවක් නොවිය යුතුමයි”

Chole Zhao එක් වතාවක පවසා තිබෙනවා.

විශ්වාසය සහ ධෛර්යමත් බව මේ නිර්මාණශීලි කාන්තාව රැගෙන ආ දුර අතිමහත් නොවේද?

Related Articles

Don't Miss


Latest Articles