කියවන්න පොතක් – මල්ලිගේ විත්ති.

0
630

හද්ද පිටිසර ගමක පාසලින් ආරම්භ වන ‘මල්ලිගේ විත්ති’ කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන් ය.

හාස්‍ය රසයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියක් වන මල්ලිගේ විත්ති අප බොහෝ දෙනෙකුගේ ළමා විය හැඩ කළ කෘතියක්.

දඟකාර කුඩා පිරිමි දරුවෙක්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ කෘතිය ලියන්නේ ගුණදාස ලියනගේ මහතා විසින්.

ඉරිදා ලංකාදීප පුවත්පතට ‘ලොකු අයියා” යන අන්වර්ථ නාමයෙන් ලියනගේ මහතා මේ කතා මුලින්ම ලියන්නේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා සරල බස් වහරකින් මේ කෘතිය රචනා වී තිබෙනවා.

රෑ කෑම වෙලාව වෙන තුරු ම “අලියා” කිසිම සද්දයක් කළේ නැත. එහෙත් රෑ කෑම කන්නට ඔන්න මෙන්න කියා තිබිය දී බට ගාල දෙසින් බල්ලකු උඩු බුරලන හඬ ඇසෙන්නට විය. එය තාත්තාට ඇසේ ය කියා මම හොඳටම බිය වීමි. බල්ලාගේ බිරීම ටිකින් ටික වැඩිවන විට විල්බට් හෙමින් සීරුවේ මට කතා කොට “අලියගෙ කම්මුල් තෙමිල” යි කීය. කැලේ මැද්දේ බල්ලා කෑගසන්නේ ඇයි දැයි සිතා තාත්තා එළියට බැස ඌට අඬ ගැසුවේ ය. ඌ වඩාත් තදින් බිරුවා මිස ගෙදර ආවේ නැත. තාත්තා පොල් හුළක් ද පත්තු කරගෙන බට ගාල අස්සේ රිංගුවේ ය. බල්ලා ලිහා දමා හවඩියත් ගෙන තාත්තා ගෙදර එන විට ‘අලිකාරයන් ‘ දෙන්නා ම සිටියේ ඇඳක් යට ය.

(ඇබිත්තයා)

ළමා වියේ අපූර්වත්වය සහ ඇට්ටරකම්,ගැමි සුන්දරත්වය, හැටේ දශකයේ ලාංකීය පරිසරය මේ කෘතියෙන් අපූරුවට විස්තර කෙරෙනවා. ඒ අවදියේ පාසලක නේවාසිකාගාරයේ අත්දැකීම් අතර තිබෙන්නේ කුමන කාලයකවත් වෙනස් නොවන දරුවන්ගේ දඟකාරකම් වල විවරණයක්.

මම උගුර යටින් කෑ ගසමින් මගේ අත අල්ලා ගත් “යකාගේ” මුහුණ දෙස බැලුවෙමි.ඒ යකෙක් නොවේ, අපේ අම්මා ය .” මම හැමදාම උඹට කියනවා,මේ සරපයි ගොඩවල්වල පනින්න එපයි කියලා.කියන එක අහන්නෙ නැති හින්දා අල්ල ගන්න තමා අද මම මෙතන හැංගිලා හිටියෙ” කියමින් අම්මා රතඹලා කෝටුවකින් මගේ පිට හරහට තළන්නට පටන් ගත්තා ය.මට කෝටු පාරට වැඩියෙන් රිදුනේ අක්කා ඈත සිට දුවගෙන අවුත්”යස වැඩේ! යස වැඩේ!! උඹට ඇද්ද?” කියමින් මට කල සරදමය.

(කැකිල්ල වීරයා)

කතා හතලිස් හතරකින් යුතු මේ කෘතිය ගුණසේන ප්‍රකාශනයක්.

ඔබේ මනසට සැහැල්ලුවක් ලබා ගන්න මේ කුඩා පොත ඔබේ පොත් එකතුවට එක් කර ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here