මීදුම්මාරුත -29

කාව්‍යා ඈත ආකාසය දෙස නෙත් යොමා ගත්තා ය.සකුණ පවසන්නේ කුමක්දැයි සිතමින් සන්සුන් වන්නට ඇයට උවමනා ය.නමුත් සැබෑවටම කැළඹෙන්නටත් හේතුවක් ඇතිදැයි කාව්‍යා සිතුවා ය.

“මං කතා කළේ ඔයා ගැන කාව්‍යා.”

සකුණ සන්සුන් ස්වරයෙන් පැවසී ය.නිශ්චලව සිටි තාරකා පන්තියකින් තරුවක් කඩා වැටෙන අන්දම කාව්‍යා හදිසියේ දුටුවා ය.

“මං ගැන..”

ඇය සසැලෙන හඬකින් ඇසුවා ය.

“ඔව් ඔයා ගැන..”

ඈත දවසකදී හදවතේ උපන් හැඟීම් පැවසීම දවසින් දවස කල් ගත් ආකාරය සකුණ සිහි කළේ ය.ඉන්පසු ඔහුට පිටතින් හිනැහුණ ද අභ්‍යන්තරයෙන් හඬන්නට සිදු වූ කාලයක් පැමිණියේ ය.කාලය ගෙවී ගියේ ඒ ආකාරයෙන් වුව ද ඒ පසුබැස්ම නිසාම කාව්‍යාද ජීවිතයේ කුණාටුවකට හසු වූ බව දැන් සකුණට සිතේ.එදා සෙනුරට පෙර කාව්‍යාට ප්‍රේමය ගැන කියන්නට හැකි වූවානම් ඈ මේ වැන්දඹු වේදනාවට හසු නොවන්නට ද තිබිණ.

“මම ඔයා එක්ක ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නේ කාව්‍යා.ඔයා කැමතිනම් විතරක්.”

කාව්‍යා දුරකථනය විසන්ධි කළා ය.ඇයට ඒ කතාව ඉදිරියට ගෙන යන්නට උවමනා වූයේ නැත.කතා කරන්නට සුදුසු මානසිකත්වයක තමන් නැති බව ඉන් අනතුරුව ඈ සකුණට කෙටි පණිවිඩයකින් ලියා යැවුවා ය.

“සකුණ,ඔයාගේ ජීවිතේ මාත් එක්ක ඉස්සරහට යන්න හිතන්න එපා.මං ඉන්නේ මීදුමකින් වැහිලා කියලයි මට හිතෙන්නේ.ඒත් ජීවිතේ ඉස්සරහ කාලේ ගෙවලා දාන්න මට මේ මීදුම පුරුදු වෙමින් තියනවා.මේ සීතල අන්ධකාරෙට වෙලා සෙනුරගේ මතකත් එක්ක ඉන්න එකයි මට පහසු.ඔයා මං එක්ක එනවා කියන්නේ ඔයාට තවදුරටත් පහසු ජීවිතයක් නොලැබෙන එක සිද්ධ වෙනවා විතරයි.මං ඔයාගේ යාළුවෙක් වගේම ඔයාගේ හොඳම යාළුවගෙ වයිෆ්.ඔයා මගේ යාළුවා වගේම මගෙ නංගිගෙ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්.ඒ කියන්නේ අපි යන ගමන ලෝකෙට කතා කරන්න හොඳ මාතෘකාවක් වෙනව කියන එක.ඒක සෙනුරගෙ නමට ඇති කරන කැළැල මට දරා ගන්න ලේසි වෙන එකක් නෑ.අපි මේ කතාව ආයේ කතා නොකර ඉමු.”

මැදියම ද ඉක්මවද්දී කාව්‍යා තවත් පණිවිඩයක් එවා තිබුණා ය.සකුණ එයට පිළිතුරු යැවූයේ නැත.ඔහු කිසිත් නොකියා හිඳින්නට සිතුවේ ය.

“කාව්‍යා එක්ක කතා කරන එක ටික දවසකට නවත්තපං සකුණ..”

පසුදා උදාරා සමඟ මේ පුවත බෙදා ගනිද්දී සකුණට රසිකගෙන් ලැබුණේ අරුම පුදුම පිළිතුරකි.ඔහු පුදුමයෙන් රසික දෙස බැලී ය.නමුත් උදාරා තම සැමියාව වහා වටහා ගත්තා ය.

“ඔව්,ඒක ඇත්ත මං ඒකට එකඟයි..”

එසේ කියූ උදාරා හේතුව පැහැදිලි කරන්නට පෙර තේ සකසන්නට කාලය ගත්තා ය.වෙන කිසිත් නොකියූ රසික හන්දාත් තේ සකසන්නට කාලය මිඩංගු කරන උදාරා හන්දාත් සකුණට කල්පනා කරන්නට කාලය ඉතිරි විය.

“මේකයි,ඔයා සෙනුර ඉන්න කාලෙත් කාව්‍යාට හුඟාක්ම ළඟ යාලුවා.සෙනුර නැති වුණාට පස්සෙත් කාව්‍යාගෙ හැමදේම හොයා බැලුවෙ ඔයා.එයාට ඔයා නිසා තනියක් දැනුණේ නෑ.හැබැයි ඔයා එයා ළඟ අවුරුදු හයේ ඉඳන්ම හිටියනෙ. ඔයා ඕනෑද නැද්ද කියලා කාව්‍යාට තේරුමක් නෑ.පවුලේ කෙනෙක් වගේ තමයි.ඔයා කවදත් කවී එක්ක හිටියා..”

උදාරා එසේ කියද්දී සකුණට කාරණාව වටහා ගැනීම අසීරු නොවී ය

“මං සයිලන්ට් වුණාම ඇත්තටම මං කියල කෙනෙක් ඕනද කියලා එයාට හිතෙයි..එහෙමනෙ..”

ඔහු ඇසී ය.උදාරා හිස වනා එකඟ වූවා ය.

“සමහරවිට ආයේ කසාදයක් නොබැඳම ඉන්නවද,ආයෙම කා එක්ක හරි ජීවිතේ බෙදා ගන්නවද කියල තීරණයක් ගන්න කාව්‍යාට කාලයක් ඕන ඇති.එයා ඒක තීරණේ කරන්න ඕන එයාගෙ හිත එක්කම ෆයිට් එකක් කරලා.නැතුව අමාරුයි.අපි එයාට කාලේ දෙමු..”

සකුණ එක් දෙයක් තේරුම් ගනිමින් සිටියේ ය.ඔහුගේ ඒකපාර්ශ්වික ප්‍රේමය මිතුරා දිනා ගන්නා ආකාරය දරා ගනිමින් ඒ විවාහයේ දෙවැනි මනමාලයා පවා වන්නට ඔහුට සිදු වූයේ ය.නමුත් ඔහු ඒ වේදනාව දරා ගත්තේ ය.කාව්‍යා හිමිවේයැයි දැන් බලාපොරොත්තු තැබීම ද උගහට ය.ඈ තනිව ජීවත් වීම තෝරා ගන්නට වැඩි ඉඩක් පවතින බව ඔහුට දැනෙයි.එසේ නම් කළ යුතු වන්නේ ගෞරවාන්විත ලෙස ඒ තීරණයට හිස නැවීම වග ඔහු සිතී ය.ඈ සිත බලෙන් දිනා ගන්නට විවිධ විකාර වැඩ කරන්නටවත් ඇයට බලහත්කාරයෙන් ළං වන්නටවත් සකුණගේ කැමැත්තක් නැත.

“මං කාව්‍යාගේ අම්මා එක්ක වගේම සෙනුරගෙ අම්මටත් කතා කළේ ඒකයි උදාරා.මේක හැමෝම කේන්ති ගස්සල අකමැත්තෙන් කරන්න නම් මම ආස නෑ..”

උදාරා ඒ අසා හිනැහුණා ය.

“ඒ අම්මල දෙන්නම ආයේ කවි හොඳ කෙනෙක් බඳිනවටයි කැමැත්ත.ඔයාගෙ අම්මායි තාත්තයි හිතන දේත් අපිට වැදගත්.කාව්‍යා කලින් මැරි කරලයි හිටියේ කියල එයාලා නොහිතා ඉන්න එකක් නෑ..”

නමුත් තමන්ගේ සතුට ගැන අම්මාත් තාත්තාත් ඒකමතික තීරණයකට එන බව සකුණ නොදන්නවා නොවේ.

“ඔය කෝවත් ගැන කවීට සැකයක් ඇති.සේරටම වඩා වෙන්න ඕන එයා ලෝකෙට බයේ මේ තීරණේ නොගෙන ඉන්න හදනවනම් ඒක වෙන්න නොදෙන එක.එයාගේ ජීවිතේ එකම ආදරේ සෙනුරයි කියන හේතුව මිසක් වෙන කිසිම හේතුවක් ඔයාව ප්‍රතික්ෂේප කරන්න හේතු නොවෙනවනම් ඇති.අන්න ඒකටයි අපි නිහඬ වෙන්න ඕන.එතකොට කවීට තීරණ ගන්න පහසු වෙයි.ං

උදාරා වැඩිදුරටත් පැවසුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles