ආදර සැලසුම් – 2

0
1748

මෞර්යා පැය භාගයක් පමණ ඇතුළත තලවතුගොඩ පිහිටි ආදිත්‍යගේ නිවස වෙත වාහනය පැදවූයේ ඔහු පැවසූ මං සලකුණු ඔස්සේය. විශාල තාප්පයකින් සහ විශාල ගේට්ටුවකින් සමන්විත වූ ඒ දෙමහල් නිවස බැලූ බැල්මට මන්දිරයක් සේ දිස් වී පෙනුණි.

” මං කවුද කියලා දන්නෙවත් නැතුව මට මෙච්චර උදව් කරාට තැන්ක්යූ මෞර්යා ” 

ආදිත්‍යය එසේ කීවේ මෞර්යා සුවිසල් ගේට්ටුව ඉදිරිපස වාහනය නතර කළ පසුවය.

” මනුස්සයෙක් අමාරුවේ වැටුනම උදව් කරන්න එයා කවුද කියලම දැනගෙන ඉන්න ඕනේ නැහැ ආදිත්‍ය. එහෙනම් ගෙදර ගිහින් කාලා බීලා ඔය බෙහෙත් ටික බීලා ඉක්මනින් සනීප වෙන්න.මතකනේ ඩොක්ටර් කිව්වා.අපි මොන දේ කරන්නත් කලින් මුලින්ම අපි ගැන හිතලා ඉන්න ඕනේ ” 

ආදිත්‍ය වාහනයෙන් බැස ගේට්ටුව විවෘත කළ පසු මෞර්යා වාහනය පණ ගන්වාගෙන නිවස වෙත යාමට පිටත් වූවාය. ඇය පිටව යද්දීම ආදිත්‍ය එසැණින් හැරී බැලූයේ පසුතැවීමකිනි. ඇගේ දුරකථන අංකය හෝ ඉල්ලා ගැනීමට නොහැකිවීම පිළිබඳව ආදිත්‍ය තමාටම දොස් පවරා ගනිමින් ගේට්ටුවෙන් ඇතුළු වූයේය. 

” කමක් නෑ ආපහු ජොගින් ට්‍රැක් එකේදි හරි හම්බවෙයිනේ ” 

ආදිත්‍ය එසේ සිතමින් නිවසට ඇතුළු වූයේ සුසුමක් හෙලමිණි. කාලයක සිට මේ නිවසට ඇතුළු වන කිසිම මොහොතක තමාට සැනසීමක් දැනී නැත. ආදිත්‍යය බෙහෙත් පාර්සලය මේසය මතින් තබා නවීන පන්නයේ මුළුතැන්ගෙයට ඇතුළු වූයේ යන්තමින් කුසගින්නක්ද දැනෙමින් තිබුණු නිසාය. සින්ක් එක තුල ගොඩ ගසා තිබුණු සෝදා නැති පිඟන් කෝප්ප කිහිපයක් නිසාද ,දින කිහිපයකින් ඉවත් කර නොතිබුණු කුණු බාල්දිය නිසාද මුළුතැන්ගෙයි පුරා පැතිරෙමින් තිබුයේ තරමක දුගඳකි. 

ආදිත්‍ය මුළුතැන්ගෙයි ජනෙල් පියන් විවෘත කර දමා සින්ක් එක තුළ තිබූ පිඟන් කෝප්ප කිහිපය සෝදා දමා කුණු බාල්දියේ තිබූ කුණු බෑගයේ කට ගැට ගසා එය මුළු තැන්ගෙයි දොර ඇර පිටතින් තැබුවේය. උදෑසන සිට දැනෙමින් තිබුණු පපුවේ වේදනාව නැවතත් දැනෙන්නට පටන් ගත් නිසා ආදිත්‍යය ඒ මොහොතේ කෑමට ගත හැකි යමක් තිබේදැයි බලන්නට මුළුතැන්ගේ සිසාරා බැල්මක් හෙළුවේය.

අනතුරුව ආදිත්‍ය විශාල ශීතකරණයේ දොර විවෘත කර එදෙස බලා උන්නේය.එළවලු කූඩයේ තිබූ නරක් වී ගිය එළවලුත් නැවුම් එලකිරි පැකට්ටුවකුත් හැරුණු කොට ශීතකරණයේ වූයේ පරණ වී ගිය කෑම අඩංගු පෙට්ටි කිහිපයක් පමණි. නැවුම් එළකිරි පැකට්ටුව අතට ගත් ආදිත්‍යය වීදුරුවක් ගෙන එය පුරවාගෙන සාලය වෙත පැමිණියේ හිස් හැඟීමකිණි.

කෑමට පෙර ලබා ගැනීමට තිබුණු බෙහෙත් පෙත්ත එළකිරි වීදුරුව සමඟ පානය කළ ආදිත්‍ය එක හුස්මට එළකිරි වීදුරුව අවසන් කළේය. පෙර දින රාත්‍රියේද හරිහැටි කෑමක් නොවූ බැවින් කුසගින්න උග්‍ර වෙමින් තිබුණු නිසා ආදිත්‍ය සෝෆාවෙන් වාඩි වූයේ Uber eats app එක වෙත යොමු වෙමිනි.

කුසගින්නක් තිබුණද කෑමට එතරම් පිරියක් නොවූ නිසා ආදිත්‍ය ඇණවුම් කළේ සැන්විච් කිහිපයක් පමණි. ආහාර ඇනවුම පැමිණීමට තවත් විනාඩි විස්සක් පමණ ගතවන නිසා ආදිත්‍ය දුරකථනය පසෙකින් තබා සෝෆාවේ ඇලවූයේය. ඉදිරි බිත්තියේ පෙනෙන්නට තිබුණේ විශාල ලෙස රාමු කර තිබූ මංගල ඡායාරූපය ය.එය දුටු ආදිත්‍යට සුසුමක් හෙළුනේ ඉබේටමය.

පෙරදින සවස් යාමයේ නිවසින් පිටවූ ෂෙහාරා මේ වන විටත් නිවසට පැමිණ උන්නේ නැත. දුරකථන ඇමතුම් ලබා ගත්තද ඇය ඒවාට ප්‍රතිචාර නොදක්වන නිසා ආදිත්‍ය එවැන්නකට වෙහෙස වන්නට කාලය වැය කළේද නැත. ව්‍යාපාරිකයෙකු වූ පියා ගේ බල කිරීමට අවුරුදු තිස් 34 දී සිදු කර ගත් විවාහය අවුරුද්දක් ගතවන විට මේ තරම් කටුක හා නීරස එකක් වේ යයි ආදිත්‍ය සිහිනයකින්වත් සිතා තිබුණේ නැත. තමාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව වත් සොයා නොබලන ෂෙහාරා බිරිඳකගේ වගකීම් සහ මුලින්ම අමතක කර කිරිල්ලියක සේ නිදහසේ පියාඹන්නීය. ඒවා සමග ඔට්ටු වන්නට විවාහ වූ මුල් කාලයේ ආදිත්‍යය උත්සාහ ගත්තද මේ වනවිට ඔහු උන්නේ ඒ සියල්ලෙන්ම වෙහෙසට පත් වීය. 

ආදිත්‍යගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ දුරකථනය නාද වන හඬිනි. 

” අම්මා.. කියන්න ” 

ආදිත්‍යගේ හඬෙහි වූ මලානික බව හඳුනා ගන්නට අෂිකා හට ඒ වචන දෙක පමණක් ප්‍රමාණවත් විය. 

” තාම ගෙදරද පුතේ ? ” 

” හ්ම්ම්.. අද office එකට යන්නෙ නෑ කියලා හිතුවා අම්මා “

ආදිත්‍ය පිළිතුරු දුන්නේද දෑස් පියා ගෙනය. ඒ තරමටම ඒ මොහොත වෙහෙසකාරී බවකින් යුක්ත විය.

” ඔයා අසනීපෙන්ද ආදිත්‍ය ? ” 

” ටිකක් ඒ වගේ අම්මා. පොඩි ගැස්ට්‍රයිටිස් ගතියක් තියෙනවා. මං බෙහෙත් අරගෙන ආවේ  ” 

” මං ඔයාට හැමදාම කියනවනේ පුතේ වෙලාවට කන්න බොන්න කියලා.කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ.කොච්චර බෙහෙත් ගත්තත් වැඩක් නෑ ඔයා ඔයා ගැන හිතන්නෙ නැත්තං  ” 

ආදිත්‍ය කිසිවක් කීවේ නැත. මේ වහල යට තමා මුහුණ දෙන බොහෝ දේවල් තම මවට පැවසීම සීමා කලේ ඇගේ හිතට තවත් බරක් එකතු නොකරනු පිණිසය. ඇය තමා හා තම සහෝදරයා වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් බව ආදිත්‍ය තේරුම් ගන්නට පටන් ගත්තේ කුඩා කාලයේ සිටමය. එම නිසා තවත් සිත් වේදනා ඇයට දීම කළ යුතු නැත.

” ඔයා මල්ලිට කිව්වද ඔෆිස් එන්නේ නැහැ කියලා ? ” 

” තාම කිව්වේ නෑ අම්මා. තාම අටහමාරයිනේ. නමයට විතර අරගෙන කියනවා මම අද එන්නෙ නෑ කියලා ” 

” ෂෙහාරා ගෙදර නැහැ නේද ? “

අශිකා ඇසුවේ ඉවෙන් මෙනි. ආදිත්‍ය වචනයෙන් නොකීවාට ඒ නිවස තුළ බොහෝ දේවල් සිදුවෙමින් පවතින බව අශිකා දැන ගෙන උන්නාය. 

” හ්ම්ම් ” 

” මං ඔයාට දවල්ට කෑම ටිකක් හදලා එවන්නම් ආදිත්‍ය. ඔයා දැන් රෙස්ට් කරන්නකෝ ” 

ආදිත්‍ය දුරකථන ඇමතුම අවසන් කළ අතර ආහාර ඇණවුම පැමිණියේ ඉන් ටික වේලාවකට පසුවය. එයින් ද ආදිත්‍යය ආහාරයට ගත්තේ එක් පාන් පෙත්තක් පමණි. කෑමෙන් පසුව ගත යුතු වූ බෙහෙත් පෙති කිහිපය ද ලබා ගත් ආදිත්‍යය නිවසේ තරප්පු පේළිය නැග්ගේ තම එකම සහෝදරයා වූ අභිමන්ට කෙටි පණිවිඩයක් සටහන් කරන අතරේය.

දේවක දේවපුර විසින් වසර විසි ගණනකට පෙර ආරම්භ කළ ” Advertz ” නම් වූ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ වර්තමාන හිමිකරුවන් වූයේ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වූ ආදිත්‍ය දේවපුර සහ අභිමන් දේවපුරය. නීතියෙන් වෙන් වී නැතත් දේවක දේවපුර ජීවත් වූයේ වෙනම නිවසකය. දෙපුත්‍රයන්ගේ මව වූ අශිකා දේවපුර අවිවාහක පුත් අභිමන් දේවපුර සමග දේවක විසින් ඉදි කරන ලද සුවිසල් මන්දිරයේ ජීවත් වූ අතර ආදිත්‍ය දේවපුර වෙනම නිවසක ජීවත් වීමට පැමිණියේ  ෂෙහාරා සමග විවාහ වීමෙන් පසුව ය.

නිදන කාමරයට පැමිණි ආදිත්‍ය බැලුවේ කාමරය අපිළිවෙළ වී ඇති ආකාරය දෙසය. ඇඳේ කොනකට වන්නට ගොඩ ගසා තිබූ ඇඳුම් කිහිපය ගෙන අසල වූ කුඩා සෝෆාවට දැමූ ආදිත්‍ය ඇඳ මතින් හාන්සි වූයේ තවමත් පහව නොගිය පපුවේ වේදනාව අමතක කර දමන අතරේය. දෑස් පියාගත් ආදිත්‍යගේ සිතට හදිසියේම මෞර්යා පැමිණියේ අහම්බෙනි.

බැලූ බැල්මට මෞර්යා තමාට වඩා වසර ගණනාවකින් බාල විය යුතුය.ඇගේ හැසිරීම සහ කතා බහ කියා පෑවේ ඇය වැදගත් පවුලක දියණියක බවයි. ඇය ඉතා කරුණාවන්තය. සෞම්‍ය ගතිගුණ ඇය සතුය. අන් අය කෙරෙහි උණුවන සිතක් ඒ ආකාරයට කෙනෙකුට පහළවන්නේ ඉතා කලාතුරකිනි. මෞර්යාද එවැන්නියකි. නැත්නම් ඇය පැමිණි කාර්ය පවා පසෙක ලා තමා වෙනුවෙන් ඒ තරම් උපකාරයක් කිරීමට ඇය පෙළඹෙන්නේ නැත.

නින්ද තමා වෙත පැමිණියේ කොයි මොහොතේදැයි ආදිත්‍යයට මතකයක් තිබුණේ නැත. ඔහු අවදි වූයේ ෂෙහාරාගේ හඬිනි.

” ආදිත්‍ය ? මොකද මේ ? ඉස්සරහ දොරත් ඇරලා දාලා ” 

ෂෙහාරා තරමක් උස් හඬින් කීවේ ආදිත්‍ය විසින් විශාල වරදක් සිදු කර ඇති ආකාරයටය. ඇය අත වූ උස් අඩි පාවහන් යුගල කාමරයේ කොනකට වන්නට තිබූ සපත්තු රාක්කය වෙත විසි කර ඇඳුම් රාක්කය මත වූ සුදු පැහැ තුවාය රැගෙන නාන කාමරය වෙත පිවිසියාය.

නාන කාමරයේ වතුර මල විවෘත වන හඬ ඇසුණු පසුව ආදිත්‍ය ඇඳේ අනෙක් පස හැරී නැවතත් දෑස් පියා ගත්තේ ශෝකයෙනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here