ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ අනෙක් මේස අතුරෙන් පිරී තිබුණේ මේස දෙකක් පමණකි. එයින් එකක විශ්ව විද්‍යාල සිසුන් යුවළක් යැයි සමුධ්‍යා සිතු දෙදෙනෙක් තම ලැප්ටොප් පරිගණක දෙස බලමින් රහසින් කතා කරමින් සිටි අතර, අනෙක් මේසයේ ඉතාම තරුණ අවදියේ කෙල්ලන් දෙදෙනෙකු ටැබ් පරිගණයකින් මොන මොනවදෝ නරඹන අතර චොකලට් කේක් කැබැල්ලක් බෙදාගෙන අනුභව කරමින් සිටියහ. අවට වාතාවරණය තිබුනේ වැස්සට අර අදිමින් නිසාවෙන්මදෝ ඇතුළත වාතාශ්‍රයද පිරී තිබුණේ මද සිහිලසකිනි.ජනේලයට පොද වැස්ස මෘදුව තට්ටු කරමින් තිබූ අතර, ඇතුළත වාතය කුරුඳු සහ කෝපි සුවඳින් පිරී තිබෙන්නට හේතු වන්නට ඇත්තේ පසෙක බැරිස්ටා කෙනෙකු විසින් කෝපි සකස් කරමින් සිටි නිසා බව සමුධ්‍යාට රහසක් උනේ නැත.
අරුණව මුණ ගැසීමට පාසල් නිවාඩු කාලයේ නිවසේ සිට පැමිණී මේ ගමන ගැන බයක් සමුධ්‍යාගේ සිතේ තිබුණේ නැත. එහෙත් හිත තිබුණේ ප්‍රේමයේ මේ නව දියවර නිසාවෙන් යම් ආකරයක කෝල බවකින් වෙලී ගොසිනි. ඒ කෝල බව “අරුණ දැන් ඒවි” යැයි හිත දෙන ඉඟිය භාරගත්තේ මද, ප්‍රේමණීය කිතියක් නොඑසේනම් කිලිපොලා යෑමක් සමගය.
අරුණ අවන්හලට ඇතුලු වූයේ සමුධ්‍යා එවන් සිතුවිලි වැස්සක සිරව ඉඳ්දීය.
“කවුරු එනකම්ද මේ බලන් ඉන්නේ?” කියා අරුණ දෙනෙත් ඉදිරියේ පෙනී ඉද්දී සමුධ්‍යා මොහොතකට දෙනෙත් බිමට හරවගත්තේ හිතට වඩාත් දිරිගෙන ආයෙ වරක් අරුණ දෙස බලන බලාපොරොත්තුවෙනි.
“මං දන්න කෙනෙක් එනකම්” කියා සමුධ්‍යා හුරතල් විදියට හිස ඇලකර බලද්දී මේ තවත් මිනිසුන් ගැවසෙන අවන්හලක් නොවුනා නම් තමාට ඇයගේ රෝස පැහැ කම්මුලක සුමුදු සුසිනිදු බව බලන්න තිබුනා නොවේද කියා සිතුවේය.
අරුණ සමුධ්‍යා ඉදිරිපිට මේසයේ වාඩි වුනේ ඒ සිතුවිලි සමගම දෙනෙතින් සමුධ්‍යාව අනන්ත වාරයක් සිප ගනිමිනි. ඔහුගේ කමිසයේ බොත්තම් දෙකක් ලිහිල් කර තිබුණ අතර, ඒ කමිසයේ විවර වුන පෙදෙසින් පෙනෙන අරුණ ලා දුඹුරු පැහැ සම මත රෝම අතර දිදුලමින් උන් දහදිය බිඳු සමුධ්‍යාගෙ නෙත ගැටුණාය දවස පුරා තිබූ නීතිඥයකුගේ බැරෑරුම් පෙනුම වෙනුවට, අරුණගේ දෙනෙත් අස්සේ දැන් තිබෙන්නේ මහන්සියෙන් බර වූ, නමුත් බලාපොරොත්තුවෙන් පිරුණු ප්‍රේමණීය හැඟීම් බව අලුතෙන් ආදරය කරන්නට ගත්තා වුවද තේරුම්ගන්නට සමුධ්‍යාට අපහසු වූයේ නැත.
“ඔයාට මහන්සි පාටයි,” සමුධ්‍යා මිමිණුවේ නමුත්, ඇගේ කටහඬ අරුණට දැනුණේ ඉතාම වෙහෙසට පත් වූ දිනක දෑත මත කවුරුන් හෝ ගෙනවිත් තබන සිහිලැල් දිය බඳුනක් තරම් සැනසිලිදායකවය.
“ඔව්, ඇත්තටම මහන්සියි, මෙතනට එනකම්ම මාර මහන්සියක හිටියෙ. හැබැයි දැන් නම් මහන්සි නෑ” කියා අරුණ කිව්වේ හිස පැත්තකට ඇල කර සමුධ්‍යා දෙස බලා ඇහැක් ගසමිනි.
“ඒ ඇයි?”
“ආහ් දන්නෙම නැද්ද?”
“මොකද්ද?”
“ඒ ඇයි කියලා?”
“නෑ අනේ දන්නෙ නැති හන්දනෙ ඇහුවෙ”
“ඔයාව දැක්ක නිසානෙ ළමයො” කියා අරුණ නැවත වතාවක් සුපුරුදු ප්‍රේමණිය සිනාව නගද්දී හිත කිති කැවුන නමුත් සමුධ්‍යා උන්නේ ඒ වගක් එලියට නොපෙන්වන්නට උපරිම වැයම දරමිනි.
“ආ ඒ කියන්නෙ මේ මාව දැක්කම දැන් කට්ටියගෙ මහන්සිය නිවෙනවද? ශෝක් නේ. මම ටීචින් වලින් අයින්වෙලා මහන්සිවෙන මිනිස්සු ඉන්න තැන්වලට ගිහිල්ලා මහන්සිය නිවලා සල්ලි හොයාගන්නවා” කියා සමුධ්‍යා කියද්දී අරුණ එයට දෙන පිළිතුර මෙතෙක් වෙලා මේසය උඩ රැඳී තිබුණ සමුධ්‍යාගේ අත අල්ලගන්නට පාලමක් කරගත්තේය.
“ආහ් ඒවටනම් එන්න ලෑස්ති වෙන්න එපා මං ලෝයර් කෙනෙක්. අල්ලල කූඩුවට දානවා හොඳේ” කියා අරුණ කියද්දී සමුධ්‍යා වටපිට බැලුවේ මේ ආදර කතාව දෙස කවුරුන් හෝ නෙත් යොමා බලා හිඳිනවාද කියා දැනගන්නටය.
“ඔයා බයද අපි දෙන්නව කවුරුහරි දකී කියලා?” අරුණ අසමින් මෙතෙක් වේලා සමුධ්‍යාගේ අත මත තබාගෙන උන් තමන්ගේ අත ඉවතට ගන්නට තැනුවද සමුධ්‍යා එයට ඉඩ නොදේ අරුණගේ සිහින් දිගු එහෙත් ශක්තිමත් අත වගේ තම සුමුදු අතැඟිලි පටලව ගත්තාය.
“කවුරු දකිනවද කියන එකට වඩා මට ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට, අපි දෙන්නම එරිලා ඉන්න ප්‍රශ්නෙට අදාල කවුරුහරි මේක දකීවිද කියල අරුණ” කියා සමුධ්‍යා දිගු හුස්මක් හෙලද්දී අරුණත් එයට පිළිතුරු දෙන පිණිස හෙලුවේ දිගු හුස්මකි.
කිසිදු වදනක් හුවමාරු නොවූ තත්පර කිහිපයක් ගෙවී ගියේ ඉන් අනතුරුවය. ඔවුන් අතර නිශ්ශබ්දතාවය දරාගන්නට අපහසු එකක් නොවූ නමුත් එය ඉදිරියට එන්නට නියමිත බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ගැන සිතුවිලි වලින් පිරී තිබුණ බව දෙදෙනාම එකහෙලා පිලිගත්තහ,.
“මම ඔයාගේ තේ එක ඕඩර් කළා,” සමුධ්‍යා නිහඬතාවය බින්දාය.“ඉඟුරු දාලා. සීනි නැතුව.”
“මං එක දවසක් ඉඟුරු තේ බොන්න ආසයි කිව්වෙ. ඒක ඔච්චර හොඳට මතක තිබ්බද?.”
“ මතකයි. හැබැයි හැමදේම නෙවෙයි. වැදගත් දේවල් විතරයි.”
“මොනවා අමතක උනත් කමක් නෑ. මාව මතක තියාගෙන උන්නොත් ඇති”
“මං ඊයෙ මුලු දවසෙම කල්පනා කරේ ඔයා කිව්ව දේ. මට ඇත්තටම හිතාගන්න බෑ ඇයි කියලා සත්සරාගෙ අම්මා අරහෙම දෙයක් කරන්න හිතුවෙ”
“ඕක පස්සෙ අපෙ තාත්තා ඉන්නව කියන එක ඉතින් අපි දෙන්නම හොඳටම දන්නවනෙ. නීතියෙන් ඒකට ඉඩක් දෙන්නේ නැහැ සමුධ්‍යා. ළමා අපචාර නඩු කියන්නේ පැමිණිලිකරුවාගේ කැමැත්ත මත අයින් කරගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ උනාට අපේ තාත්තා ඔය හදන්නෙ තමන්ට තියෙන පවර් එක පෙන්නන්න. එයා හිතනවා ඇති ඒක අපිට පස්සට අඩියක් තියන්න හේතුවෙයි කියලා.
ඒ උනාට මට බය තියෙන්නෙ ඒක ගැන නෙවෙයි” කියා අරුණ කතාව නතර කරද්දී අරුණ මේ කියන්නට හදන්නේ යම් කිසි දරාගන්නට අපහසු දෙයක් බව තේරුම්ගන්නට සමුධ්‍යාට අසීරු උනේ නැත.
අරුණ හිස පහත් කළේය. ඔහුගේ නළල තිබුණේ රැලි වැටීය.
“මට බය, මම හිමින් හිමින් අපේ තාත්තා වගේ වෙයි කියලා. මේ සිස්ටම් එකත් එක්ක වැඩ කරගෙන යද්දී, සමහර වෙලාවට හිතෙනවා යුක්තියට වඩා ප්‍රැක්ටිකල් දේවල් බලපානවා කියලා කෙනෙක්ට වෙන්න ඕන සාධාරණේද අසාධාරණේද කියල ඩිසයිඩ් කරන්න. මට බය මගේ හිතේ තියෙන මනුස්සහැඟීම්, යුක්තිගරුක හැඟීම් ඒ ප්‍රැක්ටිකල් ලෝකෙ ඉස්සරහදි නැති වෙයි කියලා. සත්සරා වගේ ළමයෙක්ව දැක්කම, මට හිතෙනවා මම කරන දේ වැදගත් කියලා. ඒත් මගේ තාත්තා වගේ අය ඒක නැති කරලා දාන්න හදනකොට, මට හිතෙන්නේ ඇත්තටම මේ ලෝකෙ පවතින්නෙ අපි යුක්තිය කියල අදහන දේට වඩා අයුක්තිය කියලා තියෙන ප්‍රැක්ටිකල් දේ මත නේද කියන එක. ඔයාම හිතන්නකො කෙනෙක්ව මරලා දාන්න කොච්චර ලේසිද? ඒත් මනුස්සයෙක්ව ජීවත් කරන්න කොච්චර අමාරුද?
ඒ හැමදේටම වඩා මම බය මේ හැමදේම අතරෙ මට ඔයාව නැති වෙයි කියලා සමුධ්‍යා. ආදරේ උනත් ප්‍රශ්න එක්ක එද්දි ලස්සනයි කියලා කියනවා. ඇත්ත. ඒ උනාට අපි දෙන්නම ආදරේ කරන්න ගත්තෙ වෙන අය ඇති කරපු ප්‍රශ්නයක් මැද්දෙන්. ඒ ප්‍රශ්නෙන් කරදර වෙච්ච මිනිස්සු අපිට එකතු වෙන්න ඉඩ දෙන එකක් නෑ කියල වෙලාවකට මට හිතෙනවා. එහෙම වෙලාවකදි මට හිතෙනවා කාට යුක්තිය ඉටු උනත් මට ඔයාව නැති වෙලා ඉටුවෙන යුක්තියකින් වැඩක් තියෙද කියලා?
ඔහුගේ හඬේ සියුම් වෙවුලීමක් තිබුණ අතර එය සමුධ්‍යාට දැනුණේ ඉදිරියේදි වෙන්නට නියමිත යම් අනතුරක අනතුරු ඇඟවීමක් ලෙසිනි.සමුධ්‍යා අරුණ දෙස බැලුවාය. අනතුරුව තම අත තව තවත් ඔහුගේ අතැඟිලි අතර තදින් පටලවා ගත්තාය. මේ ගැටලුකාරී ලෝකය තුළ ඔවුන් දෙදෙනාටම එකිනෙකාගේ රැකවරණය අවශ්‍ය බව ඔවුන් දෙදෙනාම දැන සිටියහ.
“අපි හැමෝම හිතාගෙන හිටියට අපේ තාත්තා නපුරු කෙනෙක් කියලා, අපේ තාත්තා නපුරු කෙනෙක් විතරක් නෙවෙයි සමුධ්‍යා අපේ තාත්තා හුළඟක් වගේ. ඊළඟට හමන්නෙ මොන පැත්තටද කියල කියන්න අපි දන්නෙ නෑ. අඩුමගානෙ අපේ තාත්තාවත් ඒක දන්නවද දන්නෙ නෑ.” අරුණ මුමුණද්දිත් ඒ හුළඟ තිබුණේ ඔවුන් සොයා එමිනි.