විවාහ වෙන්න කලින් වර්ෂාගෙන් අසංකට පැනවුණේ එකම එක කොන්දේසියයි. ඒ විවාහ වුණාට පස්සේ දෙන්නත් එක්ක වෙනම ගෙදරක ඉන්න ඕනි කියන කාරණාව.
“මට ඔයා කියනදේ තේරෙන්නේ නැතුව නෙමෙයි වර්ෂා. ඒත් මං කොහොමද අම්මව තනියෙන් අර විශාල ගෙදර දාලා වෙනම ගෙදරක ඉන්න හිත හදාගන්න.. තාත්තයි අයියයි දෙන්නා නැතිවුනාට පස්සේ මායි අම්මයි අවුරුදු පහළොවක් විතරම හිටියේ ඔය ගෙදර….. දැන් එකපාරටම අම්මට තනියම ඔය ගෙදර ඉන්න බැහැ. අනිත් එක අපි ඔය ගෙදර තට්ටු දෙකට හදාගත්තෙත් කවදාහරි දවසක ඉන්නවා කියන අදහසේ……
” ප්ලීස් තේරුම් ගන්න …මං ඔයාගේ වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඔයා දිනපතා ගිහිල්ලා අම්මව බලලා ආවත් කමක් නෑ මට වෙනම ගෙවල් හදන්න ඕන නෑ. මං කියන්නේ වෙනම ඇනෙක්ස් එකක් අරගෙන හරි ඉමු. ගෙවල් ලඝ නැතුව ටිකක් දුරට වෙන්න ලේන් එකකින්….”
“අපේ අම්ම එහෙම නරක කෙනෙක් නෙවෙයි වර්ෂා…… ඔයාට අම්මත් එක ටික දවසක් ඉන්නකොට තේරෙයි……”
“ඒත් ඒ වෙනකොට දේවල් වෙනස් කරගන්න බැරි වෙන විදිහට එපාවෙලා තියෙයි….. අසංක අනේ ප්ලීස් අපි වෙනම ගෙදරක ඉමු….”
අන්තිමේදී අසංකට වර්ෂට එකඟ වෙන්න සිද්ධ වුණා. අසංක අසීරුවෙන් අම්මට කිව්වා වර්ෂාට වෙනම ගෙදරක ජීවිතේ මුලින් පටන් ගන්න කාලේ ඉන්න අවශ්‍ය බව ඇය පවසන බව
” ඉතිං ඒකට කමක් නෑ පුතේ ….මට ඉතින් මේ ඉන්න විදියෙන් ඉන්න පුලුවන් ….. ඉතින් එහෙමට කියන්න තනියක් නැහැනේ …අහල පහල හැමෝම ඉන්නවානේ….ගෙවල් දොරවල් අස් කරගන්න සතියකට දෙවතාවක් තුන් වතාවක් කවුරු හරි ගෑනු කෙනෙක් හොයාගමු. අනෙක මේ තනි මට මොනවාහරි උයා පිහාගන්න එක මහ දෙයක්ය ….
ඒ දරුවා කියන කතාවේ ඇත්තක් තියෙනවා..දෙන්නා දෙ මහල්ලෝ එක වහලක් යටට උනාම දෙන්නට දෙන්නට ජීවිතේ වටහා ගන්න නම් , දෙන්නට දෙන්නට තේරුම් ගන්න නම් තනියෙන් ඉන්න ලැබෙන අවස්ථාව තමයි වැඩියෙන්ම වටින්නේ..”
අසංක අම්මට නොපෙනෙන්න ඇස් වල කඳුළු හංග ගත්තා. අම්මා තරම් ජීවිතය ගැන වටහා ගත්තු අවබෝධ කරගත්තු ගැහැණියක්ව වර්ෂා විසින් සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් තරමට ඇද හෙලීම ගැන අසංකට දැනුනේ වේදනාවක්. ඒත් ඒ නිවැරදි කරන්නට හැකි මොනම මාවතක්වත් අසංකට පෙනුනේ නැහැ.
කොහොම හරි විවාහයෙන් පස්සේ දෙන්නට ඉන්න අසංගගේ අම්මා උන්න මාවතට යාබද මාවතකින් දෙමහල් නිවසක් කුලී පදනම මත වෙන්කරවා ගන්නට අසංකට පුළුවන් වුණා.
” මං දන්නවා ඔයා ඉන්නෙ තරහෙන් කියලා අසංක … ඒත් ප්ලීස් තේරුම් ගන්න…… මම මගේ යාළුවොන්ගේ නැන්දම්මලා එක්ක උන් විදින දුක් දැකලා තියෙනවා…… ඒ දුක් විදින දුක් දැක දැකම , ඒ ගැන දැන දැනම , ඒ දුකට පත්වෙන්න බැරි නිසයි මම කියන්නේ…..”
ගෙදර බලන්න ගිහිල්ලා එන ගමන් අසංකගේ මූණේ කිසිම සතුටක් නැති බවපෙනුනහම වර්ෂා එහෙම කිව්වා. අසංක ඒකට උත්තර දුන්නේ නැහැ
කොහොම හරි දෙන්න විවාහ වෙලා අලුත් ඇනෙක්ස් එකේ ජීවත් වෙන්න පටන් ගත්තා. අසංක පුළුවන් හැම වෙලාවෙම ගිහිල්ලා අම්මව බලලා ආවා. සමහර වෙලාවට වර්ෂට ඒ ගැන කණස්සලක් දැනුනත් ඇය ඒ බවව පෙන්නුවේ නැහැ
” අවුරුදු ගානක් අම්මයි එයයි එකටමනේ හිටියේ……. ඉතින් අම්මගෙන් වෙන්වෙලා ඉන්න එක එයාටත් අපහසු ඇති. ඒ නැතත් අම්මාටත් හොඳයි මෙයා දවසකට වතාවක්වත් ගිහිල්ලා කතාබහ කරලා ඉඳලා එන එක….”
වර්ෂා හැම වතාවකදීම එහෙම හිතුවා
මාස හතරක් විතර ගෙවිලා ගියා. නොහිතපු විදියට අසංකට රැකියායතනයේ වැඩක් වෙනුවෙන් මාස හයකට විදෙස්ගත වෙන්නට සිද්ධ වුණා.
“ඇත්තමයි වර්ෂා මට ඔයාවත් අරගෙන යන්න තිබුණා නම් හරිම ෂෝක්. ඒත් ඉතින් ඔයාට මාස හයකට නිවාඩු දානවා කියන එකක් කොහෙත්ම ඕකේ නැති නිසා , ඒකට ඉඩක් නැති එකයි ප්‍රශ්නේ…
” මං බොස් එකක්වත් කතා කරා….. බොස් කියන්නේ එහෙම නිවාඩුවක් දෙනවා නම් මගේ මගේ පෝස්ට් එකට වෙන කවුරුහරිම රිප්ලේස් කරන්න වෙනවා කියලා. එතකොට ආයි මං ආපු දවසක ඒ කෙනාව ඒ පෝස්ට් එකෙන් අයින් කරන එක ලේසි වෙන එකක් නැහැලු. අනිත් එක මේ මාස හයේ තමයි ප්‍රොකියුමන්ට් වැඩ හොඳටම තියෙන්නේ. ඒ ඒ වැඩ ටික ඇදපු කෙනෙකු ආයේ පෝස්ට් එකෙන් අයින් කරන එක බොස්ට වුණත් ලේසි වෙන්නේ නැහැ…..”
වර්ෂා එහෙම කිව්වා.
“මට තියෙන ප්‍රශ්න ඒක නෙමෙයිි වර්ෂා”
“එහෙනම්?”
“ඔයාගේ අම්මටවත් අප්පච්චිටවත් ඔයත් එක්ක මෙහේ ඉන්න එන්න බැරි එකේ ඔයා තනියෙන් කොහොමද මේ ගෙදර ඉන්නේ කියලා……”
“එහෙම බයක් නෑ මට ඉන්න පුළුවන්”
“”ඔය කිව්වට ඕක ලේසි වෙන්නෑ දවසක් දෙකක් නෙවෙයිනේ…. මාස හයක්නේ ….සමහරවිට ඕක මාස හතක් අටක් වෙන්නත් පුළුවන්”
“ඔයා බය නොවී ඉන්නකෝ මට පුලුවන් …”
“.මං කියනවට ආයෙ අම්මටයි අප්පච්චරයි කතා කරලා බලන්නකෝ …..සමහරවිට ඒගොල්ලෝ එන්න කැමති වෙයි”
“අම්ම ටව්න් එකට එන්න කැමති නෑ අසංග..කොටින්ම ලොකු අක්කට බබා ලැබුණු වෙලාවත් අම්මා දරුවො බලාගන්න කියල ගිහිල්ලා එක දිගට සතියක් හිටියේ නෑ ……සඳුදා ගියොත් සිකුරාද හවස වෙද්දි ආයෙ දුවලා ගෙදර එනව….. ඊට් පස්සේ තාත්තයි අම්මයි මැදිහත් වෙලා දරුවා බලාගන්න දෙන්නෙක්වම හොයලා ගෙදර නැවැත්තුවා…….”
ඉන් එහාට ඒ ගැන කතා කරල තේරුමක් නැති නිසා අසංක ඒ වෙනුවෙන් , ඒ ගැන කිසිම දෙයක් කිව්වේවත් නැහැ. ඒත් වර්ෂාව තනියෙන් ගෙදර දාලා යන්න බැරිකමක් අසංකගේ හිතේ තිබුණා. අසංක ගේ හිතේ තියෙන මේ විචිකිච්ඡාව ගෙදර කියපු වෙලාවක අසංකගේ අම්මා අසංකගේ මුවින් කිය්වගත්තා.
” පුතා ඒ ගැන හිත කලබල කරගන්න එපා. පුතා ගිහිල්ල දවස් දෙක තුනකින් මං හීන් සීරුවේ ගෙදර යන්නම්….. එක්කෝ දෝනිව මෙහෙ එක්කන් එන්නම්. එහෙම නැත්නම් මං එහෙ නවතින්නම් “
” අම්ම ඔය කිව්වට වර්ෂා ඔය දෙකෙන් එකකටවත් කැමති වෙන්නෙ නෑ අම්මේ. අනිත් එක පණ්ඩිතකමට ඔය තනියෙන් ඉන්නම් කියලා ලෑස්ති උනාට පස්සට එක ලේසිත් නෑ….”
“එහෙමයි කියල ලැබුණු අවස්ථාව මග ඇරලා ඔයා මෙහේ ඉන්න ඕන නෑනේ පුතේ…. දෝණිට එහෙම ඉන්න පුළුවන් කියලා එයා හිතනවා නම් එහෙම ඉන්න අපි ඉඩ දීලා බලමු. එහෙම බැරි වුනොතින් එයා ඒකට උත්තරයක් හොයන්න ඔයාට කතා කරාවි නේ…..”
අන්තිමේදී අසංකත් ඒ තීරණයට හිත හදා ගත්තා. මුල් දවස් දෙක තුන වර්ෂ කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. ඒත් එක දවසක් රෑ මහ වැස්සත් එක්ක අකුණු ගහන්න පටන් ගත්තහම නිවසේ විදුලියත් විසන්ධි වුණා. වර්ෂයට පළවෙනි වතාවට තිගැස්මක් දැනුනා. ඒ අතරෙදි වහලේ වැස්ස ටිකක් තුරන් වුනහම වහල උඩ කවුරු හරි ඇවිදින සද්දකුත් වර්ෂයට ඇහුනා. එතනින් හිත තව ගැස්සුනා.
පහුවෙනිදාට තිබුනේ සෙනසුරාදාවක් .වර්ෂා පුළුවන් ඇඳුම් ටිකත් අරගෙන අසංකගේ අම්මගේ ගෙදරට ගියා
“දෝනි මොකද මේ උදේ ?”
” එහෙ ගෙදර පවර් කට් එකක් අම්මේ…. ඊයෙ රෑ ඉඳන් ලයිට් නෑ නෑ. . අද හැදෙන එක ශුවර් නෑ…..වීකෙන්ඩ් එකේ කරගන්නත් වැඩ ගොඩාක් තියෙනවා. මං ඒ නිසා මෙහෙ ආවා. මං හිතන්නේ වැස්සට ගහක් කඩාගෙන් වැටිලා වෙන්න ඇති…අද හැදුන් නැත්තන් මගේ වැඩ ඔක්කොම අවුල් යනවා මං විකෙන්ඩ එකේ මෙහේ හිටියාට කමක්නැද්ද ?”
අසංකටවත් නොකියා ආපු ගමන ගැන අම්මගෙන් වර්ෂා අවසර ඉල්ලුවා
” අනේ ආයේ ඉතින් සති අන්තේ මොකද? දෝණ්ට ඕන තරම් කල් මෙහෙ එන්න පුළුවන් මේ තියෙන්නේ සාගරයක් වගේ ගෙයක්…”
වර්ෂා අසංගට කෙටි පණිවිඩයක් යවලා තමන් අම්මත් එක සති අන්තේ ඉන්න ආපු බව කිව්වා. අසංක සැනින් ඇමතුමක් ගත්තා
” අම්මත් එක්ක ඉන්න ආවා කිව්වේ ඔයා ගමේ ගියාද ?”
“නෑ මං කිව්වේ මම මෙහෙ අම්මත් එක්ක ඉන්නවා කියලා”
” ඇයි ඒ මොකක්ද එක පාරටම උනේ?”
වර්ෂා සිද්ධ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම කිව්වා. හිත තිගැස්සිලා නිසා තනියෙන් ගෙදර ඉන්න බය හිතුණු බවත් කිව්වා. අසංක වර්ෂාට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඇය අපහසුවට පත් නොවෙන්න කතා ව වෙන පැත්තකට හැරෙව්වා
” දෝනි මං උදේට කිරිබත් හැදුවා. ඔයාට කිරිබත් කන්න මොනවද ඕනේ…..?”
“අනේ ඇයි අම්ම කරදර වුණේ ….මං මං උදේට මොනවා හරි හදන්නනේ හිටියේ…… මේ අසංකත් එක්ක කෝල් එක දිග් ගැස්සුනයින් ඒක පරක්කු වුණා……”
” ඒකට මොකක් වෙනවද ? කොහොමත් මං කෑම උයනවානේ දෝණි..”
ඒ දවස් දෙක දෙකේ අසංක්ගේ අම්මත් එක්ක හැම තත්පරයක්ම වර්ෂයට දැනුනේ අලුත් විදියට. ඉරිදා හවස අම්මත් එක්ක එකතු වෙලා වත්තේ මල් පැල වලට සාත්තු කරනකොට වර්ෂාට ජීවිතේ කවදාවත් නොදන්න තරමේ සැනසීමක් සැහැල්ලුවක් දැනෙන්න ගත්තා
” මං දැනගෙන හිටියේ නැහැ මල් එක්ක ජීවිතේ මේහෙම බව…. මං කවදාවත් මල් අස්සේ මෙච්චර වෙලා ගැවසිලා තිබුණේ නැහැ. ඇත්තමයි අම්මේ ඒකනම් ෂෝක්”
” ඉතින් ඉතින්, එහෙනම් ඇනෙක්ස් එකෙත් මිදුල ඉඩ තියෙනවා නේද…දෝණි මල් ටිකක් වවන්න…”
වර්ෂ අම්මා දිහා බැලුවා
“අසංක ආවහම මායි අසංකයි මෙහෙ නවතින්න එන්නම්… උඩ තට්ටුවේ…”
අම්මා කිසිම දෙයක් වැටහුණේ නැති ගානට වර්ෂ දිහා බලාගෙන හිටියා
“මමයි අසංකට කිව්වේ අම්මේ… බැඳලා අපි වෙනම ඉමු කියලා ……මට හිතෙනවා. ටික කාලයක් අම්ම එක්ක ඉඳලා බලන්න ඕනේ කියලා. සමහර විට මගේ යාලුවන්ගේ නැන්දම්මලා ඒගොල්ලන්ගේ ජීවිත අවුල් කරාට අම්ම අපේ ජීවිතේට ලස්සන මල් වගේ පාටක් ගෙන්න පුළුවන් වෙයිදෝ කියලා මට හිතෙනවා……
වර්ෂ කෙලින්ම එහෙම කිව්වා
” අනේ….දෝනි ඔයා කැමැති තරම් කාලයක් ඉඳලා බලන්න..මට ඔයත් එකයි අසංකත් එකයි. දෙන්නම මගේ දරුවෝ…. දෙන්නගෙ නිදහසට මම ගරු කරනවා. ඔය දෙන්න ඔය දෙන්නාගේ ජීවිතය තනියෙන් ගොඩනගා ගන්න. ඒත් ඉතින් ඒ ජීවිතේ පැත්තකින් මට ඉන්න බැරි කමකුත් නෑ. හැබැයි මම ඔය දෙන්නගෙ ජීවිතේට තියාගත්තේ නැහැ කියලා මට කිසිම තරහකුත් නැහැ. දෝනි කෙලින්ම ඔය කාරණාව කියපු විදිහට මම කැමතියි ……දෝණි මෙහේ ඉඳලා බලන්න….. මෙහෙ හරි යනවා නම් දෝනිට හිතේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්නම් මෙහෙ ඉන්න …. එහෙම නැත්නම් ආයි ඉතිං ඔය ඇනෙක්ස් එක ස සූදානම් කරගෙන යන්න බැරියැ.”
අසංකගේ අම්ම එහෙම කිව්වම වර්ෂ ගිහිල්ලා අම්මව හරි ආදරෙන් වැලඳ ගත්ත. ඇත්තටම වර්ෂගේ හිතට විවාහයෙන් උරුම වන දෙවැනි පවුල නිසා දැනෙන සැනසීම මහ ගොඩක් දැනුනා.
ReplyForwardAdd reaction |