ආදර සැලසුම් – 3

0
1966

මෞර්යා කන්නාඩිය ඉදිරිපිටට වී හැඩවෙමින් උන්නේ උදෑසන 11ට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය වෙනුවෙනි. තද නිල් පැහැ ගත් කලිසමට සුදු පැහැ කමිසයක් හැඳ එය කලිසමට යට කරගත් මෞර්යා බලා සිටියේ තමා වෙතින් දිස්වන පෙනුම දෙසය. මෞර්යා මේ ඇඳුම මිලදී ගත්තේ සම්මුඛ පරීක්ෂණය වෙත ඇඳගෙන යාම සඳහා මය. එය තෝරා දුන්නේ මෞර්යාගේ හොඳම යෙහෙළිය වූ අනුත්තරාය. අනුත්තරා නිතර අඳින කාර්යාලයට අඳින පන්නයේ ඇඳුමක් ඇඳ හැඩ බලන්නට ඇත්තටම මෞර්යා ආසාවෙන් උන්නාය.

විනාඩි ගණනාවක් තම රූපය දෙස කන්නාඩියෙන් බලාහුන් මෞර්යා රත්තරන් පැහැති ඔරලෝසුවත් රත්තරන් පැහැති කුඩා කරාබු යුවළකුත් පැළඳගෙන ලිප්ස්ටික් ස්වල්පයක් ද ආලේප කරගෙන හැඩ බැලුවාය. සම්මුඛ පරීක්ෂණයකදී උරගා බලන්නේ හැකියාවන් පමණක් නොවන බවත් එයට පෙනුම සහ පෞරුෂය බලපාන බවත් කීවේ අනුත්තරාය.එම නිසා තමාගේ පෙනුමෙහි තවත් කුමක් හෝ අඩුපාඩුවක් ඇතිදැයි බලමින් මෞර්යා තද නිල් පැහැ උස අඩි පාවහන් යුවළද පැළඳ කන්නාඩිය ඉදිරිපිට තවත් වටයක් දෙකක් කැරකුණාය.

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ආයතනය වෙත මෞර්යා උදෑසන 10.30 වන විට පැමිණියේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද කුඩා කල සිටම පුරුදු කෙරූ තම පියාට අනුවය. චන්දික තුල වූ බොහෝ ගතිගුණ මෞර්යා තුළද නොඅඩුවම පිහිටා තිබුණු අතර නිල්මිණි තුල වූ තද ගති වාසනාවකට මෙන් මෞර්යාට පිහිටා තිබුණේ නැත.

ආයතනයේ රැස්වීම් කාමරය තුළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණු අතර එයට මුහුණ දීමේ සූදානමින් තරුණ තරුණියන් කිහිප දෙනෙකුම රැස්වීම් කාමරය ඉදිරිපිට සිටියහ. මෞර්යා උන්නේ තරමක චකිතයෙනි.මේ තමා මුහුණ දෙන පළමු සම්මුඛ පරීක්ෂණය ය.තම පියා විසින් ගොඩනැගූ ව්‍යාපාර තිබියදීත් රැකියාවක අත්දැකීම ලබා ගැනීමටත් , තම හැකියාව තවත් දියුණු කර ගැනීමටත් ආසාවෙන් හුන් නිසා මේ සම්මුඛ පරීක්ෂණයෙන් තමා සමත් වේ යැයි සියුම් බලාපොරොත්තුවක් මෞර්යා තුළ විය.

වාරය එළැඹි පසු මෞර්යා ගැහෙන හදින් යුතුව රැස්වීම් කාමරය තුළට ඇතුළු වූවාය.එහි උන්නේ ඉතාම තරුණ වයසේ පසු වූ හොඳින් හැඳ පැළඳ ගත් තරුණයෙකි. ඔහු අසලින් ඔහුගේ සහායට තරුණියක සිටගෙන සිටි අතර මෞර්යාගේ ජීව දත්ත සටහන සහ අනෙක් තොරතුරු ඇතුළත් ලිපිගොනුව එම තරුණිය අතට ගෙන ආයතන ප්‍රධානියාට ලබා දුන්නාය.

” වාඩි වෙන්න ” 

ආයතන ප්‍රධානියා කීවේ සේවිකාව වෙත ලිපි ගොණුව ලබාදී මෞර්යා තවදුරටත් සිට ගෙන සිටි නිසාය. 

” මීට කලින් කොහෙවත් ජොබ් එකක් කරලා නැහැ නේද? ” 

තරුණ ආයතන ප්‍රධානියා ලිපිගොනුව ඒ මේ අත දිගහරිමින් ඇසුවේ මෞර්යා දෙසවත් නොබලමිනි.

” නැහැ ” 

” එතකොට මේ හැම ඇඩ්වර්ටිස්මන්ට් එකක්ම සම්පූර්ණයෙන්ම design කරේ ඔයාද ? “

එවර ඔහු හිස ඔසවා මෞර්යා දෙස බැලුවේය.

” ඔව්. ඔතන තියෙන්නෙ මම කරපු ඒවායින් ටිකක් විතරයි. මම advertisements , social media posts වගේ දේවල් හුඟක් design කරලා තියෙනවා. ” 

මෞර්යා මදහසක් ඇතිව පිළිතුරු දුන්නාය. එහෙත් හදවතේ තිබුණේ බියකි.ආයතන ප්‍රධානී තරුණයා ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වුවද පිළිතුරු දිය යුත්තේ ප්‍රවේසමිනි.

” ඔයා මේ Strong tea කම්පනි එකට ඩිසයින් කරලා තියෙන Advertisement එක මාරම ලස්සනයි ” 

තරුණයා ඒ දෙස බලා උන්නේ මහත් වූ ආසාවකිනි. එහෙත් ඔහු සඳහන් කල Strong tea ආයතනය තම පියාගේ බව කියන්නට මෞර්යා මුව විවර කළේ නැත.

” මේව හරිම creative . ඇත්තටම හරිම attractive . හැබැයි.. ” 

තරුණයා මොහොතකට කතාව නතර කර තවත් පිටුවක් පෙරළුවේය.

” මේ පෝස්ට් එකට ගන්නේ ඔයාලගෙන් කාවද කියලා තීරණය කරන්න තව කෙනෙක් ඉන්නවා. අද හදිසිම කාරණාවක් නිසා එයාට එන්න බැරි වුණා. ඒ නිසා ඔයාගේ මේ CV එක මගේ සෙකට්‍රිට දීලා යන්න. අපි ඔයාට උත්තරයක් දෙන්නම් ” 

ආයතන ප්‍රධානී තරුණයා ලිපිගොනුවේ ඇතුළත් වූ මෞර්යාගේ ජීව දත්ත පත පමණක් ගෙන අසල සිටගෙන සිටි තරුණිය වෙත දිගු කලේය. මෞර්යා අසුනින් නැගී සිට ස්තුති පූර්වකව ඔහු දෙස බලා ඔහු නැවත ලබා දුන් ලිපිගොනුව ගෙන රැස්වීම් කාමරයෙන් පිටතට පැමිණියේ බරැති හුස්මක් ගන්නා අතරේය.

මෞර්යා කෙලින්ම පැමිණියේ Bakery at the lake වෙතය. සම්මුඛ පරීක්ෂණයට පසුව අනුත්තරා තමාව මුණගැසීමට පැමිණෙන බව කී නිසා එන අතරමගදී ඇයට දුරකථන ඇමතුමක් දුන් මෞර්යා එළිමහන පෙනෙන අයුරින් අසුන් ගෙන දෙදෙනාටම කෝපි ඇනවුම් කළාය.

කම්මුලට අතක් තබාගෙන මෞර්යා මදක් නුදුරින් පෙනෙන වැව දෙස බලා උන්නාය. ඇයට හදිසියේ මතක් වූයේ ආදිත්‍යවය.

” මොනා කරගත්තද දන්නේ නෑ ” 

මෞර්යා සිතූ අතර ඔහු ගැන සොයා බලන්නට හෝ දුරකථන අංකය ඉල්ලා ගත්තා නම් හොඳ යැයි මෞර්යා නැවත සිතුවාය. කොණ්ඩය වවා තැනින් තැන තඹ පැහැ ගන්වා කොන්ඩය බැඳ සිටි වෙනත් තරුණයකු දුටුවා නම් ” රස්තියාදුකාරයෙක් ” යැයි සිතන තමා ආදිත්‍ය පිළිබඳව එසේ නොසිතුවේ මන්දැයි මෞර්යා කල්පනා කළාය. ඔහු දෙස බැලූ බැල්මට පෙනෙන්නේ දිනපතා කාය වර්ධන මධ්‍යස්ථානයක් වෙත යන ඉතා පොහොසත් පවුලක හැදී වැඩුණු තරුණයෙකුගේ පෙනුමය. එහෙත් තමා උදෑසන ඔහු වෙතින් දුටුවේ ඉතා ශෝකී පෙනුමකි. ඉතා කඩවසම් වූ ඔහුගේ මුහුණේ දකින්නට වූයේ මලානික බවකි. එකින් එක ගැන සිතා බලන විට මෞර්යාට දැනුනේ අමුත්තකි.

” ආ නංගි. හරි හැඩයි අද ” 

අනුත්තරා පැමිණ මෞර්යා ඉදිරියෙන් අසුන් ගත්තේ විහිළුවක් කරන අතරේ සිනාසෙමිනි.

” ඔයා ළඟට එනකං මං දැක්කේ නෑ අනූ ” 

” කොහේ දකින්නද ඉතින් , හිටියේ අර වැවේ ගිලිලානේ ” 

මෞර්යා සිනාසුනාය.එහි වූයේ මෞර්යා තුළ කොහොමටත් දකින්නට ඇති පුරුදු සැහැල්ලු බවය.

” ඉතිං මොකද වුනේ interview එකට ? ” 

මෞර්යා සම්මුඛ පරීක්ෂණයේ විස්තරය අනුත්තරා වෙත ඉදිරිපත් කළාය. අනුත්තරා එය අසා සිටියේ මෞර්යා විසින් ඇණවුම් කළ කෝපි රස විඳින අතරතුරය.

” එතන කට්ටිය ගොඩක් හිටියා ඉතින්. බලමුකෝ ” 

මෞර්යාගේ හඬෙහි තැවරී තිබුණේ තරමක බලාපොරොත්තු සුන් බවකි.

” මෙහෙමනේ ඉතින්. අපිට යන පළවෙනි ඉන්ටර්විව් එකෙන්ම පාස් වෙන්න හම්බවෙන්නේ නැහැ මෞර්යා . interview එක අන්තිමට එයාලා කියනවනේ අපි ඔයාට කෝල් එකක් දෙන්නම් , අපි ඔයාට දැනුම් දෙන්නම් අරකයි මේකයි කියලා.ඕක ඕන ඉන්ටර්විව් එකක වෙන වැඩක්. මං උනත් මේ job එකට කලින් interview කීයකට කියලා ගියාද? මේ ජොබ් එක ඇතුලෙ වුනත් පළවෙනි ඉන්ටව් එකෙන් පාස් වුණාට පස්සේ මට තව ඉන්ටර්විස් දෙකක්ම තිබ්බා ” 

මෞර්යා කිසිත් නොකියා බලාගෙන උන්නාය. තමා බලාපොරොත්තු වූ තරම් රැකියාවක් සොයා ගැනීම පහසු නොවේ. එහෙත් බලාපොරොත්තු නැති කර ගත යුතු නැත.

” ඔයාට ජොබ් එකක් නැහැ කියලා සල්ලි අඩුපාඩුත් නැති එකේ ඔන්න ඔහේ තව දෙක තුනකට ට්‍රයි කරන්න අනේ ” 

අනුත්තරා තවදුරටත් කීවේ සැහැල්ලුවෙනි. මෞර්යා මේ සම්මුඛ පරීක්ෂණය කෙරෙහි බලාපොරොත්තු බොහොමයක් තබා ගෙන හුන් බව අනුත්තරා දනී. 

” එහෙම අවුලක් නෑ අනූ. ඒ උනාට ඉතින් මට ඒ තැනට වුණත් හරි ආස හිතුනා. අපි බලමුකෝ ” 

” කොයි ඔෆිස් එක උනත් හදලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න ආස හිතෙන විදිහට. ඒ හින්දා ඔයා ඕක කොච්චර හිතන්න යන්න එපා. මේ.. ඒක නෙමෙයි ” 

” හ්ම් ? ” 

” interview කරේ කොල්ලෙක්ද නැත්තම් වයසක එක්කෙනෙක්ද ? ” 

අනුත්තරා ඇසුවේ රහසිනි. මෞර්යාට එකවරම සිනහවක් නැගුනේ ඇගේ ඒ ඉරියව්වටය.

” අම්මෝ කොල්ලෙක් කොල්ලෙක්. ඇත්තටම ලස්සන කොල්ලෙක් . මං හිතන්නේ ඒ කම්පනි එක එයාගේ ” 

” එහෙනම් ලොකු සල්ලිකාර පවුලක එකම දඩබ්බර පුතා වෙන්නැති ෂුවර් එකටම ” 

මෞර්යා කිසිවක් නොකියා සිනාසුනාය. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ තරුණයා වෙතින් එහෙම ගතියක් දිස් වූයේ නැත. ඔහු ඉතා ප්‍රියමනාපය. ඒ නිසාම ඔහු ඉතා මිත්‍රශීලී ප්‍රධානියකු සහ නායකයකු වන්නට ඇතැයි මෞර්යා අනුමාන කළාය.

” එයාලා ඔයාගේ CV එක ගත්තද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here