දිගු සුසුමක් මුදා හල අපූර්වා කෝප්පය පතුලේ ඉතිරිව තිබූ අවසන් තේ උගුරත් පානය කළේ සැහැල්ලුව ගිය හදවතින්ය. බොහෝ කලකට පසුව සිත නිවී සැනහී ගියා වන් හැඟීමක් ඇයට දැනෙමින් තිබිණ.
මසක් පුරා කොටසින් කොටස එකතු කළ රුපියල් දස දහසක මුදලක් සවස් වරුවේ සමරසේකර මුදලාලි වෙත ගෙන ගොස් දුන්නාය. තාත්තා ණයට ගත් මුදලෙන් ගෙවන්නට ඉතිරි වී ඇත්තේ තවත් තිස් දහසක් පමණි.
“මිනිස්සුන්ගේ කරදර හැමදාම තියෙන්නේ නෑ. අපි කොහොම හරි අම්මවත් සනීප කරගන්න බලමු..”
හේෂානිත් සවස පැවසූයේ ඒ අයුරින්ය. දුක සතුට යනු මිනිස් ජීවිතය තුළ එකම කාසියක දෙපැත්තක් බව අපූර්වා හොඳටම අවබෝධ කරගෙන උන්නාය. ගෙවී ගිය කාලය හෝ සිදු වූ දේවල් නැවත වෙනස් කිරීමට නොහැකි වුවත් වර්තමානයට මුහුණ දිය යුතුමය. පසුගිය කාලය පුරා අපූර්වා වෙහෙස වෙමින් උන්නේත් ඒ ශක්තිමත් ගැහැණු ආත්මය උපද්දවන්නටය.
“ඔයා නැතිවුණා කියලා කිසි දෙයක් වෙනස් වුණේ නෑ තාත්තේ. අපි හැමෝගෙම ජීවිත වල අපි එදා වගේම ඉස්සරහට ඇවිදගෙන යනවා. වෙනසකට තියෙන්නේ ඔයා අපි ළඟ නැති එක විතරයි. එදා ඒ වගේ තීරණයක් නොගත්තනම් අදටත් ඔයා අපි එක්ක සතුටින් ජීවත් වෙනවා තාත්තේ. ජීවිතයේ අමාරු උනේ මට මිසක් බාප්පට නෙමෙයි. ඔයාව නැති උනේ අපිට මිසක් බාප්පට නෙමෙයි.”
අවසන අපූර්වා තමාටම පවසා ගත්තේ දිගු සුසුමක් මුදා හරිමින්ය.
ඒ හා සමගම සමගම ඕ තමාරාට දුරකතන ඇමතුමක් ලබා ගත්තාය.
“මැඩම් මම අපූර්වා…..”
“ඔයාගේ නම්බර් එක මම ෆෝන් එකට දාගෙන තියෙන්නේ පුතේ. කොහොමද ඉතිං ඔයාලට.”
එහා පසින් ඇසුණේ අපූර්වා බලාපොරොත්තු නොවූ තරම් කාරුණික හඬකි.
“හොඳින් ඉන්නවා මැඩම්. අනේ මමත් එක්ක තරහ වෙන්න එපා. මම ආඩම්බරයි කියලා හිතන්නත් එපා.”
“මොනවා බෙදා ගන්න බැරුවද පුතේ මං ඔයා එක්ක තරහ වෙන්නේ. අනිත් එක ගෑණු දරුවෙක් ආඩම්බර වෙන්න ඕනේ තමයි.”
“මේ ජීවිතේ ගොඩක් දේවල් වුනේ මං බලාපොරොත්තු වෙච්ච වෙලාවක නෙමෙයි මැඩම්. ජීවත් උනාට තවමත් මං ඉන්නේ ඒ අතීත මතක වලින් මිදෙන්න බැරුව. සමහර වෙලාවට මට හිතෙනවා මං තවමත් එතන නතර වෙලා කියලා. ඒ නිසා මැඩම් ඇවිල්ලා අපිට උදව් කරන්න ලෑස්ති වෙච්ච එකක් එක පාරටම විශ්වාස කරන්න මට බැරුව ගියා.”
“මට තේරෙනවා දරුවෝ. මිනිස්සු එක එක විදිහයි. තව කෙනෙක්ගේ අසරණකම උනත් මිනිස්සු තමන්ට වාසියක් කරගන්න පාවිච්චි කරනවා. එහෙම එකඟ නොවුනු එකටත් මං ඔයාට රෙක්ස්පෙක්ට් කරනවා.ගෑනු දරුවෝ ඉස්සර කරගන්න ඕනේ හැඟීම් නෙමෙයි මොළය.”
“උදේ ලොකු හාමුදුරුවොත් වැඩියා මැඩම්. මැඩම්ට පුළුවන්නම් මගේ ගේ හදල දෙන්න. ලොකු දේවල් නෙමෙයි මැඩම්. මගේ අම්මටයි ආච්චිටයි ජීවත් වෙලා ඉන්න කල් පොඩි හරි පහසුකමක් දෙන්න තිබුනොත් මට ඒ ඇති.”
“ඇයි පුතේ එහෙම කියන්නේ. එහෙම හිතන්න එපා. අම්මයි, ආච්චියි විතරක් නෙමෙයි ඔයත් සතුටින් ජීවත් වෙන්න ඕනෙ. දුවට මග ඇරිච්ච ඉලක්කවලට අපි හෙමින් හෙමින් යමු. මම හෙටම එන්නම්. අපි ලස්සන චූටි ගෙදරකට ප්ලෑන් එක ඇඳගමු.”
“ගොඩක් වියදම් කරන්න එපා මැඩම්. අපිට දැනට මේ තියෙන කොටසත් කුස්සියකට හරි කාමරයකට හරි පාවිච්චි කරන්න පුළුවන්නේ.”
“අපි එහෙම කරමු දුව. මට මේ පින්කම කරගන්න ඉඩ දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ.”
අපූර්වා දුරකතනය විසන්ධි කළේ මිනිසුන්ට මේ සා කාරුණික විය හැකිදැයි සිතමින්ය. මිහිපිට ජීවත්වන එහෙව් මිනිසුන් දෙවි දේවතාවන් වැනියැයි ඕ සිතුවාය. දෑස් මුල කඳුළක් එකතු වූයේ නිරායාසයකින්ය. ඒ කඳුළට කොපුල් දිගේ ගලා යන්නට ඉඩ දුන් යුවතිය අඳුර දෙස බලා උන්නේ නිවස තුළින් ඇසෙනා පොල් ගානා හඬටත් කන්දීගෙනය. විශ්වාසය. ඒ දුකට වැටෙනා කඳුලක් නොවේ. දුකටත් සතුටටත් එක සේ සංවේදී වන ගැහැණු සිතින් ඉපදුනු සතුටු කඳුලකි.
*************
තමාරා යුගාෂ්ව නිරීක්ෂණය කළේ කිසිවක් නොඅසමින්ය. ඔහු සිටින්නේ සතුටින් නොවන බව විශ්වාසය. අපූර්වාගේ ඇමතුම නිමා වූවාට පසුව ඕ උඩුමහලට නැගුනේ යුගාෂ්ව සොයාගෙනය. ලා කහපාටට එකම එක විදුලි බුබුළකින් පමණක් ආලෝකවත් වූ සැදැල්ලෙහි කෙළවරක වූ තරුණයා සුදු යකඩ වැට අල්ලාගෙන පහතට එබී උන්නේය.
“පුතා අර දරුවා කතා කළා…ඒ දරුවා කැමතියි අපි ගේ හදලා දෙනවට”
තමාරා පැවසුවේ කතාවට ආරම්භයක් ලබා ගන්නටය.
“අපි ඒ වැඩේ ඉක්මන් කරමු අම්මා….”
“ඔව්…මම හෙට එන්න පොරොන්දු වුණා. අපි ඉස්සරවෙලා ප්ලෑන් එකක් අන්දගන්න වෙයි නේද පුතා. වාස්තු බලන්නත් ඕනේ..
“මම උදේට ජානකට කෝල් කරන්නම් අම්මා. ඌ ඒ වැඩේ කරලා දෙයි.”
“මම හිතුවේ කාමර දෙකයි, සාලෙයි, කෑම කාමරයයි, කිචන් එක, නාන කාමරය, පොඩි වැරැන්ඩා එකක් වගේ…ඒ ටික ඇති නේද පුතා.”
“ඇති අම්මා…හොඳටම ඇති.”
“ඒ දරුවත් කිව්වා පරණ කාමරයටම අල්ලලා හැදුවට කමක් නෑ කියලා. එතකොට ඒකෙනුත් එයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නේ.”
“ඔව් අම්මා…අර ගුණසේකරලටම කන්ට්‍රැක් එක දුන්නනම් හරි. ඒ මිනිස්සු වගකීමෙන් වැඩ කරන මිනිස්සුනේ”
“මමත් හිතුවේ එහෙම තමයි පුතා.”
යුගාෂ් දුන්නේ කෙටි පිළිතුරුය. ඒත් තමාරාට පිටු පාගෙනය. ඔහුගේ ඒ වෙනස තමාරා හොඳින් හැඳින්නේත් එනිසාය. ඔහු මේ අයුරින් තමාව මගහරින්නේ සිතට වද දෙන කාරණයකදී බව විශ්වාසය.
“පුතා මොනවා හරි කරදරේකින්ද..”
“නෑ අම්මා ඇයි….”
“මම දෙයක් අහන්නද..”
“අහන්න අම්මා……”
“අප්පචිත් එක්ක නඩුවක් කතා කරනවද….”
යුගාෂ් තමාරා දෙසට හැරුණේ ඈ එසේ අසද්දීය. තත්පර කිහිපයක් අම්මා දෙස බලා උන් තරුණයා ඒ දෙවුර හිස් මත තම දෑත් තැබුවේය.
“අම්මට අප්පච්චි කතා කළාද..”
ඒ දෑස් නතරව තිබුණේ තමාරාගේ දෑස් මතමය. අප්පච්චි කිනම් හෝ මොහොතක අම්මාට කතා කර තමා නවතන්නට උත්සාහ දරාවියැයි ඔහු සිතුවේය. තමාරා හිස දෙපසට වැනුවේ නැතැයි කියන්නටය.
“එහෙනම්..”
“මට ඒ ආරංචිය ආවා පුතා.”
“මං අම්මට කෙටියෙන්ම කියන්නම්කෝ. මම මේ නඩුව බාර ගත්තේ ඇත්තටම ඒ ගෑණු ළමයට අසාධාරණයක් වෙලා තියෙන නිසා. අනිත් එක ඒ අම්මගේ කඳුළු දැක්කහම මට මතක් උනේ මගේ අම්මව. මේ ගැන මමත් එක කතාකරද්දි ඒ තාත්තා වෙව්ලුවා අම්මා. තමන්ගේ දරුවට වෙච්ච අපරාධෙ දරා ගන්න ඒ තාත්තා මොනතරම් වෙහෙසක් දරනවද කියලා මට තේරුනේ ඒ වෙලාවේ. මං ඒ නඩුව බාරගත්තේ එහෙම. පස්සේ තමයි මං දැනගත්තේ අම්මා ඒ නඩුවේ එහා පැත්තෙ ඉන්නෙ මගේ අප්පච්චි කියලා. මං ඒ මිනිස්සුන්ට දුන්නේ බලාපොරොත්තුවක්. මං ඒ බලාපොරොත්තුව ආපහු ඇදලා ගත්තම පුෂ්පානන්දගෙයි, මන්ත්‍රී සේනකගෙයි මගෙයි අතර වෙනසක් නැතුව යනවා.”
“පුතා…..”
“චුට්ටක් ඉන්න අම්මා මම ඉතිරි ටිකත් කියනකල් ඊට පස්සේ මන්ත්‍රී සේනක කතා කරලා මට තර්ජනය කළා අම්මා මේ නඩුවෙන් අයින් වෙන්න කියලා. ඒක බැරි උන තැන සල්ලි පාවිච්චි කරලා මාව මේ නඩුවෙන් අයින් කරන්නත් එයා උත්සාහහ කළා.”
“මට බය ඔයාට කරදරයක් වෙයිද කියලා…..”
තමාරා එසේ පැවසූයේ කියන්නට සිතා ගෙන ආ කිසිවක් කියන්නට ඉඩක් නොදී යුගාෂ් ඇයව සිරකර ගත්තාට පසුවය. ඒ කිසිවක් මගහරින්න යැයි ඔහුට පවසන්නට තරම් සිතක් දැන් ඇයට වූයේ නැත.
“ඒක ගැන කියන්න මම දන්නෙ නෑ අම්මා. හැබැයි මම මෙතැනදී කාගේවත් බලපෑම් වලට යටත් වෙන්නෙ නෑ. අම්මා මොනවා හරි ඉල්ලීමක් මගෙන් කරන්න හිතාගෙන හිටියනම් මට සමාවෙන්න. අනිත් මිනිස්සු වගේම අම්මත් හිතනවනම් මම මේ හැප්පෙන්න අප්පචිත් එක්ක කියලා ඒක එහෙම නෙමෙයි අම්මා.”
“මට තේරෙනවා පුතා, ඒත් ලෝකයා ඒක විශ්වාස කරන එකක් නෑ. මං බය වෙන්නේ ඔයා ගැන.”
“මං ඒ ගැන හිතන්නේ නෑ. මං මේ වෙලාවේ උපරිම උත්සාහ කරනවා ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න.”
“අප්පච්චි නඩු පරදින ජාතියේ මනුස්සයෙක් නෙමෙයි…”
තමාරා එලෙස පැවසූයේ තත්පර කිහිපයක් නිහඬව උන්නාට පසුවය.
තමාරාගේ ඒ වදන් වලට යුගාෂ් කිසිවක් පැවසූයේ නැත. උසාවි භූමියේ හමු වූ සියල්ලෝම පැවසූයේත් එයයි. නඩුව දිනන්නට අවැසි සියලු සාක්ෂි සාධක තමා ළඟයැයි යුගාෂ්ට සිතුනේ සවස අමායා ජංගම දුරකථනය ගෙනැවිත් දුන්නාට පසුවය. මෙවේලෙහි ඔහු කල්පනා කරමින් සිටියේත් ඒ සාක්ෂි ගොනු කරගන්නා ආකාරය ගැනය.
“අම්මා මේ වෙලාවේ මගේ අම්මා මතක් කරගන්න ගැමුණු කුමාරයාගේ කතාව. මටත් කියන්න තියෙන්නේ ඒ වගේම දෙයක් තමයි. හැමදාම අසාධාරණයට ඔලුව උස්සන්න ඉඩ දීලා, බලාගෙන ඉන්න බෑ අම්මා. අම්මා මට එහෙම උගන්වලත් නෑ. මං මගේ රාජකාරියේ යුතුකම ඉටුකරනවා. ඒක මගේ හෘද සාක්ෂියට මහා සැනසීමක් වෙයි. අපි හැමෝම ආත්මාර්ථකාමී උනොත් මේ ලෝකෙ පවතින්නේ කොහොමද අම්මා. එහෙම උනොත් දවසින් දවස සිද්ධ වෙන අපරාධ වැඩිවෙලා අම්මටවත් මේ ගේට්ටුවෙන් එළියට බැහැලා අඩි දහයක් නිදහසේ ඇවිදගෙන යන්න බැරිවෙයි. මේ ගැන මීට වඩා හිතන්න එපා. මේක මගේ වෘත්තියේදී මට සාමාන්‍යයි අම්මා. අම්මා හිතන්න මේ ඉන්නේ අප්පච්චියි පුතයි නෙමෙයි එකම උසාවියක වැඩ කරන නීතිඥවරු දෙන්නෙක් කියලා. අපි දෙන්නා මෙතනට අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේ අදාල කරගන්නේ නෑ. අප්පච්චි, අප්පච්චිගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී හිටියි. මම මගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී හිටිනවා අම්මා. ඔයාගේ හිනාව හැමදාම මේ මූණේ ලස්සනට තිබුණොත් ඇති. ඒක තමයි මගේ ජීවිතේට ඔයාට දෙන්න පුළුවන් ලොකුම ආශීර්වාදය.”
යුගාෂ් පැවසූයේ තමාරාව සිය ගතට වාරු කරගෙනය. මේ දුකක්ද, සතුටක්ද යන්න පැහැදිලිව හඳුනාගත නොහී වූ සමරා සිය දෑස් වල උපන් කඳුලක් සඟවා ගත්තේ ඇසිපිය සළසමින්ය. මේ සා සංවේදී සිතක් හිමි ලෝකයාට ආදරය කරන්නට දන්නා පුතෙකු බිහිකර හදා වඩා ගැනීමේ සතුට ඔහු එවේලෙහි උපරිමයෙන්ම විඳිමින් උන්නාය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)