ආදර සැලසුම් – 8

0
2022

මෞර්යා අළුයම පහමාරට පමණ අවදි වී දිය නා ගත්තාය. පෙරදී පුරුද්දක් වශයෙන් ඇවිදීම උදෑසන කාලයේ සිදු කළත් අදින් පසුව එය සවස් කාලයේදී නිදහසේ සිදු කරන්නට මෞර්යා තීරණය කළේ පෙර දින රාත්‍රියේදීය. සුදු පැහැ කලිසමට රෝස පැහැ අත් දිග බ්ලවුසයක් හැඳ මෞර්යා එය කලිසමට යට කළාය. ලා රෝස පැහැ ලිප්ස්ටික් ස්වල්පයක්ද ආලේප කර සරල මේකප් එකක් දමා ගත් මෞර්යා මදක් දිගැති කෙස් කලඹද පිළිවෙලට පීරා ගත්තාය.

නිල්මිණි උදෑසන ආහාරය සඳහා යහමින් පොල් කිරි දමා පිළියෙල කළ කිරිබතක්ද , ලුණු මිරිසක් සහ මෞර්යා කැමතිම ආකාරයට මිරිසට කුකුළු මස් ව්‍යාංජනයක්ද සකස් කළාය. කෑම මේසය සූදානම් කළ නිල්මිණි සුවඳ කහ බතකට තෙම්පරාදු කළ පරිප්පු ද , කුකුළු මස් ව්‍යාංජනයෙන් ස්වල්පයක්ද , තෙල් දැමූ අල සහ පිපිඤ්ඤා පෙති කිහිපයක් ද එකතු කර මෞර්යාගේ දහවල් බත් මුල ද සූදානම් කළාය.

උදෑසන හතහමාරට පමණ නිවසින් පිටත්වීම ප්‍රමාණවත් වන නිසා මෞර්යා හයයි හතළිස් පහ වන විට අත් බෑගයද රැගෙන පහත මාලයට පැමිණියේ නිදහසේ උදෑසන ආහාරය ගැනීම උදෙසාය. චන්දික ද පත්තරය බලමින් කෑම මේසයේ වාඩිවී සිටියේ මෞර්යා පැමිණෙන තුරුය. මෞර්යා තරප්පු පේළිය බැස අත් බෑගය සෝෆාව මතින් තබා කෑම මේසය වෙතට එනතුරු චන්දික පිඟානක් ගෙන කිරිබත් කැබැල්ලකුත් ලුණු මිරිස් සහ කුකුළු මස් ව්‍යාංජනයෙන් ස්වල්පයක් ද බෙදා ගත්තේය.

මෞර්යා කෑම මේසයට වාඩි වන්නට පෙර චන්දික සිනා මුසු මුහුණින් පළමු කිරිබත් කට මෞර්යා වෙත දිගු කළේය.

” මගේ දූට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ “

චන්දික ප්‍රාර්ථනා කළේ හදවතින්ම පැමිණි පිය සෙනෙහස සමගය. මෞර්යා චන්දිකව වැළඳ ආදරය ප්‍රකාශ කර කෑම මේසයට වාඩි වූයේ නිල්මිණි කෝපි රැගෙන එන අතරේය. 

” අද ඉඳලා ඔයාට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙයි පුතේ.ඒ හැමෝම එක්ක හොඳින් ගනුදෙනු කරලා ඔයාගේ වැඩ කොටස කරලා පරිස්සමට ගෙදර එන්න ” 

චන්දික තවදුරටත් කීවේය. මෞර්යාව මේ ආකාරයෙන් ලෝකය වෙත නිදහස් කරන්නට සියුම් බියක් හදවතේ තිබුණද මෞර්යා ඒ සියල්ලටම හොඳින් මුහුණ දෙතැයි යන හැඟීමක් චන්දික තුළ විය. 

බලාපොරොත්තු වූ පරිදි මෞර්යා හත හමාර වන විට තම රථයට නැගී නිවසින් පිටත් වූයේ දෙමව්පිය යුවළගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවය. බත්තරමුල්ලේ පිහිටි ආයතනය වෙත පැමිණෙන විට මෞර්යා බොහෝ දෑ කල්පනා කළාය. හිතට දැනෙන නැවුම් වූ හැඟීම් එකලාසයක් කර ගන්නට වෙර දැරූ මෞර්යා වාහන අංගනයේ කොනකට වන්නට වාහනය නතර කළේ තමා පිළිබඳව සියළුම තොරතුරු ආයතනයේ කිසිවෙකු හා ඕනෑවට වඩා කිව යුතු නැතැයි කලින්ම සිතා සිටි නිසාය. අත් බෑගයේ වූ කුඩා කණ්නාඩිය අතට මුහුණ පරීක්ෂා කළ මෞර්යා අතින් කොණ්ඩය සකස් කරගෙන අත් බෑගයද ගෙන වාහනයෙන් බැස කාර්යාලය වෙත පියවර තැබුවේ තරමක චකිතයකිනි. කාර්යාල රැසකින් සමන්විත වූ ගොඩනැගිල්ලක එක් මහලක ආයතනය පිහිටි නිසා මෞර්යා විදුලි සෝපානයට නැගී අදාළ මහලට ගොඩ වූවාය.

අභිමන් දේවපුර සාමාන්‍යයෙන් කාර්යාලයට පැමිණෙන්නේ සියල්ලන්ටම පෙරය. දවසේ කළ යුතු වැඩ සැලසුම් කරන අභිමන් ආයතනය පුරා ඇවිද සේවකයන් සමග කතාබහේ යෙදෙමින් ඔවුන් සමග සුහදශීලීව කාලය ගත කිරීම සහ ඔවුන්ගේ වැඩ පිළිබඳව සොයා බැලීමට උදෑසන කාලය වෙන් කිරීමට පුරුද්දක් කර ගෙන උන්නේය. එහෙත් ආදිත්‍ය දේවපුරගේ කල් ක්‍රියාව ඊට හාත්පසින්ම වෙනස් වූයේය. උදෑසන නමයට පමණ කාර්යාලයට පැමිණෙන ආදිත්‍ය තම කාර්යාල කාමරයට වී ඉතා වෙහෙසෙමින් කටයුතු කරන්නේය. සේවකයන් සමඟ ඉතා සුහදශීලීව සහ සහයෝගයෙන් කටයුතු කරන නමුත් ඔහු අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට අභිමන් මෙන් සේවකයන් අතරේ ගැවසෙන්නේ නැත. එහෙත් සෑම සේවකයෙකුම ආයතන ප්‍රධානීන් දෙදෙනාටම එක ලෙස ආදර ගෞරවයෙන් සැලකූ අතර ඔවුන් දෙදෙනා ද සේවකයන් හට සැලකූයේ ඒ ආකාරයෙන්මය.

අභිමන් පුරුදු පරිදි උදෑසනම පැමිණ තම සේවය සඳහා සූදානම් වන සේවකයන්ගේ laptop වලට එබෙමින් ඔවුනට උපදෙස් දෙමින් විවිධ කාරණා ඔවුන් සමග සාකච්ඡා කරමින් උන්නේය. සියලු දෙනාම පාහේ අභිමන්ගේ මේ පුරුද්දට ඇලුම් කළ අතර ඔවුන් වඩාත් මානසික නිදහසකින් යුතුව සේවය කරන්නටද එය හේතුවක් විය. 

මෞර්යා කාර්යාලයේ විශාල දොරෙන් ඇතුළු වී කොරිඩෝව දිගේ පැමිණියේ ඔය අතරේය. අභිමන් සේවකයෙකු වෙත නැඹුරු වී පෙර දිනයේදී ඔහු විසින් ලියන ලද දැන්වීමක හරි වැරදි බලමින් උන්නේය. හදිසියේ දැනුනු හදවත පැහැර ගන්නා සුළු විලවුන් සුවඳකට අභිමන් පසුපස හැරී බැලුවේය. මෞර්යා අත් බෑගය අතැතිව දෙගිඩියාවෙන් මෙන් වටපිට බලමින් උන්නාය.

” ගුඩ්මෝනින් ” 

අභිමන් ඉස්සර වූයේය.

” ගුඩ්මෝනින් මිස්ටර්… ” 

මෞර්යා නැවතුනාය. මේ තමාගේ සම්මුඛ පරීක්ෂණය සිදු කළ ආයතන ප්‍රධානියාය.එහෙත් තමා ඔහුගේ නම දන්නේ නැත. 

” අභිමන්.අභිමන් දේවපුර “

අභිමන් මෞර්යා වෙත අත දිගු කළ අතර මෞර්යාද අතට අත දී සිනහවක් පෑවාය.

” ඒ කියන්නේ අපේ අයියා ඔයාවද  interview එකෙන් තෝරගෙන තියෙන්නෙ ? “

සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණු දින මේ රැකියාව සඳහා තෝරා ගන්නා කෙනාව තීරණය කළ යුතු තවත් කෙනෙක් සිටින බව අභිමන් පැවසූ ආකාරය මෞර්යාට සිහිපත් විය.එසේ නම් ඒ අභිමන් ගේ සහෝදරයා විය යුතු යැයි මෞර්යා අනුමාන කළාය.

” මං හිතන්නේ ඔව්.ඊයේ මට නෙහාරා කියලා කෙනෙක් කෝල් කරා අද ඉඳන් වැඩට එන්න කියලා “

අභිමන් අත බැඳි අත් ඔරලෝසුව දෙස බැලුවේය.

” නෙහාරා තව විනාඩි පහකින් දහයකින් එයි. මං අපේ අලුත් පෝස්ට් එකට ගන්න කෙනාට වෙන් කරපු වර්ක් ප්ලේස් එක ඔයාට පෙන්නන්නම්. එන්න “

අභිමන් ඉස්සර වූයේය.කොරිඩෝවකින් ප්‍රවිෂ්ට වීමට ඇති මේ කාර්යාලයේ පරිගණක ගණනාවක් සඳහා වෙන්කළ කොටස් ඇත. ඒ ශාලාව කෙළවර කාර්යාල කාමර කිහිපයක්ද ඇත.ඒවා ආයතනයේ උසස් නිලතල දරන අය වෙනුවෙන් බව මෞර්යා දුටුවේ දොරවල් වල ගසා ඇති නිලතල නාම කිහිපයක් දැකය.

අභිමන් මෞර්යාව කැඳවාගෙන ආවේ එසේ වෙන් කළ කොටසක ඇති පරිගණකයක් ආසන්නයටය.වටපිටාවෙන් බාධා එල්ලවීම වැළැක්වීම සඳහා බෙදා වෙන්කර තිබුණත් සියල්ලන්ම එකට වැඩ කරන සුන්දර පරිසරයක් ඒ කාර්යාලය තුළ තිබීමම මෞර්යාගේ හදවත තුළ පහන් හැඟීමක් ඇති කරමින් තිබුණි. 

” මේ තමයි ඔයාගෙ තැන. ඔයාට කරන්න තියෙන වැඩ ටික නෙහාරා ඔයාට කියයි.ඇත්තටම නෙහාරා කියන්නේ මගේ සෙකට්‍රි. ඔයාට අනිත් අයගෙන් උදව් ලැබෙනකන් ඔයා හරියටම කරන්න ඕනේ මොනාද කියල නෙහාරා කියයි.” 

” ඕකේ මිස්ටර් අභිමන් ” 

” අනිත් එක , ඔයාගේ මේ චූටි වර්ක් ප්ලේස් එක ලස්සනට නීට් එකට තියාගන්න එක ඔයාගේ වගකීමක් හරිද ? එහෙම නොවුනොත් අපේ අයියට ගොඩක් තරහ යයි. මොකද එයා තමයි මේ ඔෆිස් එකේ අන්තිමට එලියට යන්නේ.එයා නිකමට හරි වටයක් කැරකිලා බැලුවොත් පහුවදා උදේට එතන ඉන්න කෙනාට බැනුම් අහන්න වෙනවා ” 

එසේ නම් ඔහු ඉතා තද ගතිගුණ ඇති සැර පරුෂ පුද්ගලයෙකු විය යුතුය. මෞර්යා තප්පර කිහිපයක් නිසොල්මනේ බලා උන්නාය.තමා කොහොමටත් පිළිවෙල නිසා එසේ බැනුම් අසන්නට හේතුවක් නැත. එහෙත් තම ප්‍රධානියා සැර පරුෂ පුද්ගලයකු බව අසන්නට ලැබීම මෞර්යාගේ හිතට ගෙන ආවේ සියුම් වූ බියකි.

” අයියෝ බය වෙන්න එපා මෞර්යා. මං එහෙම කිව්වට අපේ අයියා එහෙම සැර කෙනෙක් නෙමෙයි. එයා මං වගේ මේ ඔෆිස් එක වටේ කැරකි කැරකි කට්ටියත් එක්ක හිටියේ නැති උනාට එයා තමයි මට වඩා හොඳ.කට්ටිය මං හිතන්නේ මටත් වඩා ආදරේ එයාට. ඒ නිසා ඔයා බය නැතුව වැඩ කරන්න.අනිත් එක මට ඔයාගෙන් හොඳ ක්‍රියේටිව් වැඩ ටිකක් ඕනේ” 

මෞර්යා මදහසක් ඇතිව බලා උන්නාය. ඇයට සිහිවූයේ තම පියාවය. තම පියා ද ඔහු යටතේ සේවය කරන සියලුම සේවකයන්ට සලකන්නේ මේ ආකාරයෙ ආදර ගෞරවයකිනි. තත්ත්වය තරාතිරම කුමක් වුවත් සියල්ලන්ම මිනිසුන් ලෙස ඔහු සලකන්නේය.තමාට ද එවැනි ප්‍රධානීන් යටතේ රැකියාවක් කිරීමට ලැබීමම වාසනාවකි.

” එහෙනම් දැන් ඔයා මෙතනින් වාඩිවෙලා ටිකක් රිලැක්ස් වෙලා නෙහාරා ආවම එයාගෙන් කරන්න ඕනේ මොනාද කියලා අහගන්න.ඊට පස්සේ දවල් වෙලා නෙහාරාත් එක්කම මේ ඔෆිස් එකේ ඉන්න අනිත් අයව අඳුර ගන්න. මං නෙහාරාට කියන්නම්කො අනිත් අයට ඔයාව ඉන්ට්‍රඩියුස් කරන්න කියලා.” 

අභිමන් එසේ කියා වෙනත් සේවකයෙකු වෙත යන්නට හැරුනේය. මෞර්යා පරිගණකය ඉදිරිපිට වාඩි වී පරිගණකය අසල වූ කුඩා පැලයක් සහිත විසිතුරු බඳුන අතට ගෙන බැලුවාය. අනතුරුව නැවතත් එය තිබු තැනම තබා කාර්යාලය පුරා බැල්මක් හෙළුවාය. 

අත් බෑගයේ වූ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ මෞර්යාගේ දැහැන බිඳ දමමිනි.දුරකථන තිරයේ සටහන් වූයේ අනුත්තරා ලෙසය. මෞර්යා වටපිට බලමින් ඇමතුම ක්‍රියාත්මක කළේ තවමත් සැලකිය යුතු සේවකයන් පිරිසක් පැමිණ නොතිබූ හෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here