ආදර තරංග

නිමේෂ්ට වැලිමඩට එන්න කිසිම අදහසක් තිබුණේ නැහැ.

“මාමා අසනීප උනයින් පස්සෙ එයාගෙ රේඩියෝ එකෙ වැඩ ටික කරගන්න විදියක් නෑ කියලා ඔයාගෙන් අහනවා පොඩි කාලෙකට එන්න පුලුවන්ද කියලා” අම්මා කියද්දි එයා හිතුවේ ඒක තාවකාලික දෙයක් කියලා – මාස හයක් වගේ, නැත්නම් අවුරුද්දක් වගේ පොඩි කාලෙකට විතරක් යන ගමනක් කියලා.

නිමේෂ් කොහොමත් උන්නේ ජීවිතෙන් එයාට ඇත්තටම මොකක්ද ඕනේ කියලා තේරුංගන්න බැරුව. තිබ්බ සම්බන්ධකම් කීපයක්ම කැඩිල ගියයින් පස්සෙ, ඉස්ක්කොලෙදි හරියට පාඩම් වැඩ එහෙම නොකල හන්ද රස්සාවක් හොයාගන්න අමාරු වෙද්දි, “රස්සාවක් නැති කෙනෙක්ට අපෙ අම්මල කීයටවත් කැමති වෙන්නෙ නෑ” කියලා යාලුවෙච්ච කෙල්ලො කියද්දි නිමේෂ් ඇත්තටම හිතුවා “මගේ ජීවිතේ මොන පැත්තට යාවිද?” කියලා.

“ඉක්මනට එනවා” කියලා හිතාගෙන ගියාට නොහිතපු විදියට, ජීවිතේ එයා වටා එතිලා එයාව තදින් අල්ලගත්තා. බස් හෝල්ට් එක ළඟ තිබුණු, පරණ පත්තර කඩවලින් වටවෙච්ච, කට්ටකුමංජල් සුවඳ ගහන, පොඩි, පරණ බිල්ඩිමක තිබුණු මාමාගේ පොඩි රේඩියෝ ස්ටේෂන් එකට උදව් කරන්න ආව නිමේෂ්ගෙ ගමන අන්තිමේ නතර උනේ එයාව වැලිමඩට එයාගෙම වචනෙන් කිව්වොත් “පිස්සු වට්ටලා”. ගොඩක් දවස්වල රෑට, එයා රෑ 9 ඉඳන් මධ්‍යම රාත්‍රිය වෙනකම් ෂිෆ්ට් එක කළා .මේ රේඩියෝ එකට කතාකරේ තාමත් පරණ සිංහල ආදර සිංදු අහන, කලාතුරකින් තමන්ගේ නම කියවනවා අහන්න ඕනේ වුණු තනි වුණු කෝල් කරන අය. සමහර අය කවදාවත් කියාගන්න බැරිවෙච්ච තමන්ගෙ ආදර කතා කියන්න, දුක බෙදාගන්න නිමේෂ් එක්ක කතාකරා.

ස්ටේෂන් එකේ හොඳම කාලේ ගොඩක් ඉස්සර මීට අවුරුදු ගාණකට කලින් බවත්, දැන්, ඒකට සවන් දෙන්නෙ රෑට ත්‍රී-වීල් පදින අය, වයසට ගිය ප්‍රේමවන්තයි සහ නිදාගන්න කලින් සිංදුවක් අහන්න හදන ඉඳහිට එන කීපදෙනෙක් විතරයි. ඒත් නිමේෂ් ඒ නිශ්ශබ්දතාවට කැමති වුණා. කන්ට්‍රෝල් බෝඩ් එකේ තිබුණු පොඩි එළියට, හරි පැත්තට ගැහුවොත් තාම වැඩ කරන කැසට් ඩෙක් එකට. “ON AIR” කියලා රතු එළිය පත්තු වෙනකොට තමන්ව තමන් ජීවත්වෙන ලෝකෙන් වෙනම සද්ද විතරක් තියෙන රූප නැති ලෝකෙකට ඇදගෙන යන ඒ හැඟීමට නිමේෂ් ටික ටික පිස්සු වැටුණා.

නිමේෂ් පිස්සු වැටුණේ ඒකට විතරක් නෙවෙයි. එයා තව කෙනෙක්ට පිස්සු වැටුණා. ඇත්තටම කිව්වොත් තව කෙනෙක්ගෙ කටහඬට. මුලින්ම එයා කතා කළේ සිකුරාදා දවසක.

එදා රෑ 11:30ට විතර ඇති. සිංදු ලිස්ට් එක ඉවර වෙන්න ළඟයි. නිමේෂ් හොඳ සැරට හදාගත්ත කළු කෝපි කෝප්පයක් බිබී ඉද්දි තමයි ෆෝන් එක රින්ග් වුණේ. ඒ රින්ගින්ග් සද්දෙම පොඩි, අවිනිශ්චිත බවක් තියෙනව කියන එක නිමේෂ්ට නොදැනුණා නෙවෙයි. ඒත් ඒ හැම සිතුවිල්ලක්ම පැත්තක තියලා නිමේෂ්  එයාගේ සුපුරුදු හඬින් පොඩ්ඩක් පරිස්සමින්, ෆෝන් එක ගත්තා.

“සුභ සන්ධ්‍යාවක්, මේ වැලිමඩ රේඩියෝව. කවුද කතා කරන්නේ?”

එහා පැත්තෙන් මුකුත් ඇහුනේ නෑ නිශ්ශබ්දතාවයක්. හුස්මක් ඇරෙන්න.

ඊට පස්සේ හරි හීනි කටහඬකින් එයා කිව්වා: “මධූ”

ඒ කටහඬ හරි මෘදුයි, නුපුරුදු තනුවක් වගේ ලස්සනයි, මොකක් හරි හිර කරගෙන ඉන්නවා වගේ, නැත්නම් ගොඩක් කල් දුක් වින්ද දෙයක් ගැන තාම හිතනවා වගේ කියන මොකක් හරි හැඟීමක් ඒකේ තිබුණා. මධූ සිංදුවක් ඉල්ලුවා. එච්චර ප්‍රසිද්ධ නැති එකක්. ‘අහසින් එහා’ කියන පරණ සිංහල ආදර සිංදුවක්, හීනි ගිටාර් නාදයක් එක්ක, සඳ එළියේ තමන්ගෙ නැතිවෙච්ච, තමන්ව දාලා ගිය ප්‍රේමවන්තයා එනකම් බලන් ඉන්න කෙල්ලෙක් ගැන කිය පද ටිකක් බුණු එකක්. නිමේෂ්ට ඒ සිංදුව හොයාගන්න ටිකක් මහන්සි වෙන්න උනා. වෙනදට නම් සිංදුව ඉල්ලලා ඉල්ලපු කෙනා කෝල් එක කට් කරාට මේ සිංදුව ඉවර වෙනකොටත් මධූලයින් එකේ හිටියා.

“ස්තූතියි,” ඇය කිව්වා. “මට… ඒක ආයෙත් අහන්න ඕන වුණා.” ඒ හඬ හරිම රහසින් වගේ ඒක කිව්වේ.

ඊට පස්සේ ඇය කට් කළා. හැබැයි මධූ ආයෙමත් කතා නොකර හිටියෙ නෑ.

ඊළඟ සිකුරාදා, එයා ආයෙත් කතා කළා.

ඒ වෙලාවමයි. ඒ සිංදුවමයි.

ඊළඟ සති කිහිපය පුරාම, මධූගෙ හඬ නිමේෂ්ගෙ රාත්‍රී ෂිෆ්ට්වල හැමදාම තිබුණා. හැමදාම සිකුරාදාට. හැමදාම එකම සිංදුව. සිංදුව ඉවර වෙනකම් මධූ කෝල් එකේ දිගටම හිටියා. “ස්තුතියි මට ඒක අහන්න ඕන උනා” කියලා කෝල් එක කට් කරා හැමදාම එකම විදියට. ඊට එහා කිසිම දෙයක් මේ දෙන්න අතරෙ කතා නොඋනට ටික ටික දෙන්නට දෙන්න සිංදුව යන අතරවාරෙ දෙන්නට දෙන්නගෙ නිශ්ශබ්ධතාවය අහගෙන ඉන්න, ඒකට උවමනාවෙන් සවන් දෙන ප්‍රමාණෙ වැඩි උනා. ඒ කතාව තිබුනෙ එයාලා දෙන්නා අතර විතරයි. මධූ නිමේෂ්ට කිව්වා මධූ ගාල්ලේ මුහුද අද්දර හැදුණු බව. එයා දවසක් සංගීත ගුරුවරියක් වෙන්න කැමති වුණු බව. එයා තවමත් ආදරය විශ්වාස කරනවාද නැද්ද කියලා තීරණය කරලා නැති බව.

“මට හිතෙනවා සමහර මිනිස්සු හදවතේ බාගයක් නැතුව ඉපදෙනවා කියලා,” මධූ දවසක් කිව්වා. “සහ ජීවිත කාලයම ඒ බාගේ හොයමින් ඉන්නවා.”කියලා

නිමේෂ් මධූට ස්ටේෂන් එක ගැන කිව්වා. එයා දවසක් පොත් ලියන්න කැමති වුණු හැටි ගැන. කවුරුත් තමන් කවුද කියල නොදැන ඉන්න වෙලාවට, තමන්ගෙ මූණ හංගගෙන ඉන්න පුලුවන් වෙලාවට මිනිස්සු කියන කතා ගැන. නිමේෂ් කවදාවත් මධූගෙන් වැඩි ප්‍රශ්න ඇහුවේ නැහැ. මධුත් නැහැ. ඒක තමයි එයාලා කවදාවත් කතා නොකළ නීතිය: නැති කරගන්න අකමැති අය කියන්න අකමැති දේවල් ගැන අහන්න එපා.

ඒත් දෙන්න අතරෙ ඉඟි තිබුණා. දොරක් සද්දෙට වැහෙන හඬක්, “ඔයා වීකෙන්ඩ් වල මොනවද කරන්නෙ?” කියලා නිමේෂ් මධූගෙන් ඇහුවම මධූ එකපාර සයිලන්ට් උන එක, දවසක් රෑ දුරින් බබා කෙනෙක් අඬන සද්දයක් – ඊට පස්සේ දිග, හිස් නිශ්ශබ්දතාවයක්.

නිමේෂ් ඒවා ඇහුවෙ නෑ, ඒත් නිමේෂ් ඒවට උත්තරයක් අහවි කියල හිතලා වගේ මධූ සුපුරුදු විදියට රහසින් කිව්වා: “ඒවා ගැන මගෙන් අහන්න එපා.”

මේ එන කෝල්ස් වලට දෙන්න උත්තර දෙන එක සෑහෙන කාලයක් තිස්සෙ කෙරීගෙන ගියා.

හැම සිකුරාදාම, අනිවාර්යයෙන්ම මධූ කෝල් කරද්දි ඒ කෝල් එක ආන්ස්වර් කරන්න නිමේෂ් බලාගෙන ඉඳියා.

හැබැයි එක දවසක් ඒ හැමදේම වෙනස් උනා. මොකද ඒ සිකුරාදා මධූ කෝල් කරේ නෑ.

නිමේෂ් බලාගෙන හිටියා මධූ කෝල් කරාවි කියලා.

මධූ බිසී ඇති කියලා නිමේෂ එයාටම කියා ගත්තා, වැස්ස නිසා සිග්නල් නැති වෙන්න ඇති කියලා එයාටම කියාගත්තා.

එක සතියක් ගියා. ඊළඟ සතිය ආවා. ඒත් කෝල් එකක් ආවෙ නැහැ.

මධූ ඒ සිංදුව කෝල් කරලා ඉල්ලුවෙ නැති වුණත් නිමේෂ් ඒක ප්ලේ කළා.

හැම සිකුරාදාම සුපුරුදු වෙලාවට.

එයා බලාගෙන හිටියා, කවදාවත් එන්නෙ නැති වැස්සකින් පරිස්සම් වෙන්න කුඩයක් ඉහලගෙන ඉන්න කෙනෙක් වගේ නිමේෂ් බලාගෙන හිටියා.

දවසක් රෑ නිමේෂ් මධූ එයාට දීල තිබුන ෆෝන් නම්බර් එක ඩයල් කළා. එක පාරක් රින්ග් වුණා. ඊට පස්සේ කට් වුණා.

එයා ඊළඟ දවසේ ආයෙත් ට්‍රයි කළා. සහ ඊට පස්සේ දවසේත්. ඒ විදියට කී සැරයක් නම් කෝල් කරාද.

ඒත් ඒ කිසිම වෙලාවක මධූවත් වෙන කෙනෙක්වත් ආන්සර් කළේ නැහැ.

ඊට පස්සේ, මාසයකට පස්සේ සිකුරාදා දවසකම මධ්‍යම රාත්‍රිය පොඩ්ඩකට කලින්, නිමේෂ්ගෙ ෆෝන් එක රින්ග් වුණා.

මේ කතාව කියන කාලෙ ටච් ස්ක්‍රීන් ෆෝන් නොතිබ්බ හන්දා කෝල් කරන්නෙ කවුද කියල නොදැන උන්නත් ඒ “මධූ වෙන්නැති” කියන සැකේ නිමේෂ්ගෙ හිතේ තිබ්බා .

නිමේෂ් රින්ග් වෙන ෆෝන් ඒක දිහා බලාගෙන හිටියා.

ඒත් එයා ඒ කෝල් එකට ආන්සර් කළේ නැහැ.කල්පනා කරලා, කරලා කෝල් එක ගන්න නිමේෂ් අත උස්සද්දි කෝල් එක කට් වෙලා තිබුණා.

මධූ ආයෙත් කවදාවත් කතා කළේ නැහැ.

රේඩියෝ ස්ටේෂන් එක අවුරුදු දෙකකට පස්සේ වහලා දැම්මා. බිල්ඩිම විකුණලා, හාඩ්වෙයාර් කඩයක් බවට පත් කළා. නිමේෂ් ආපහු ගෙදරගියා. එයා කවදාවත් කාටවත් මධූ ගැන කිව්වේ නැහැ. ඒත් එයා මධූ ආස සිංදුව තිබුණ පරණ සී.ඩී. එක එයාගේ බෑග් එකේ තියාගත්තා. හැම සිකුරාදා රාත්‍රියකමඒ සිංදුව අහන ගමන් නිමේෂ් ඇස් පියාගන්නවා, සහ ඊට පසුව එන නිශ්ශබ්දතාවයට සවන් දෙනවා.

මොකද සමහර වෙලාවට, ආදරේ දුකම හිතෙන කොටස සමුගැනීම නෙවෙයි නිසාත් ඒක, එයාලගේ වචන ඉවර උනාට පස්සෙ කියාගන්න දෙයක් නැතුව හිර උනාට පස්සේ එන හිස් නිශ්ශබ්දතාවය හන්දා.

 එයාට ආපහු කවදාවත් ඒ හඬ අහන්න බැරි බව මතක් වෙද්දි දැනෙන හැඟීම හන්දා කියන එක නිමේෂ් විශ්වාස කරපු නිසා.

More Stories

Don't Miss


Latest Articles